දිගු කලක් නොකඩවා ගොවිකම කිරීමේ ප්‍රතිඵල වශයෙන් ලාංකීය ජනතාව "ගොවි ජනතාවක්" බවට පත් වූහ. කැලෑ තුළ තිබුණු වී ප්‍රභේද හඳුනාගෙන ඒවා සිය ගොවිබිම්වල වගා කිරීම ඔවුන්ට අපූරු අත්දැකීමක් වූවා නිසැකය. ගොඩ ඉඩමේ (හේනේ) ඇල්වීත් මඩ ඉඩමේ (කුඹුරේ) වෙනත් වී ප්‍රභේදත් වගා කළේ කාලගුණ දේශගුණ රටාවන්ට අනුකූලවෙමිනි. මෙරට භාවිතා වූ වී ප්‍රභේද විශාල සංඛ්‍යාව ජෛව විවිධත්වය සම්බන්ධ වී ගොවිතැනේ දායකත්වය මැනවින් නිරූපණය කරයි. ගන්නොරුව ජාන සම්පත් මධ්‍යස්‌ථානයේ මෙරට පැරණි වී ප්‍රභේද 2442 ක් තැන්පත් ව තිබේ. (පිලිපීනයේ සහල් පර්යේෂණ ආයතනයෙන් ලැබී ඇති ප්‍රභේදත් ඇතුළුව මෙහි තිබෙන මුළු ප්‍රභේද සංඛ්‍යාව 3844 කි.)
දුරාතීතයේ සිට ලාංකීය ගොවියෝ විවිධ වී ප්‍රභේද වගා කිරීමට යුහුසුළු වූහ. නිදසුන් වශයෙන් ගැබිනි මවුවරුන්ගේ පෝෂණ අවශ්‍යතා සඳහා මා වී වර්ග ද රෝගීන් හා කුඩා දරුවන් සඳහා හීනටි වර්ග ද වගා කළ අයුරු දැක්‌විය හැකිය. එමෙන්ම හීලට දවල්ට රාත්‍රියට බත් පිසීමට සුදුසු වෙන වෙනම සහල් වර්ග තෝරාගෙන තිබුණේය. මෙසේ රට පුරා විවිධ සාධක මුල්කරගෙන අවුරුදු 3000 ක් තිස්‌සේ වගා කළ වී ප්‍රභේද සංඛ්‍යාව 2000 කට අධිකය. මේවා එක් එක් දේශගුණ කලාපවල පස හා දේශගුණික තත්ත්වයන් සලකා බලා ඒ අනුව වගා කළ හෙයින් ප්‍රාදේශීයව එම ප්‍රභේද මැනවින් සංරක්‌ෂණය වූයේය.
සහල් සභ්‍යත්වය
පෝෂ්‍ය ගුණය, රසය, නිසරු පාංශු තත්ත්වයන් තුළ වුවත් වගාවීම ඉඩෝරයට මෙන්ම ජල ගැල්මටත් ඔරොත්තු දීම හා කෘමීන් මෙන්ම කෘමි රෝගවලටත් මුහුණදීමේ ශක්‌තිය සහිත මේ විවිධ ප්‍රභේදයන් වගා කිරීමේ තාක්‌ෂණික දැනුම අපගේ සුවිශේෂ උරුමයකි.
වී මුල් අවධියේ ගොඩ බෝගයන් ලෙස වගා කර පසුව මඩට හුරුපුරුදු කරගත් ආකාරයන් ගැන අනුමාන කළ හැකිය. ගොඩ වී වගාව සඳහා පොළොව සකස්‌කර ගැනීමේදී ලී වලින් සකසාගත් සරල උපකරණයන් භාවිතා කර මඩ ගොවිතැන් ඇරඹුණු පසු උදැල්ල නිර්මාණය කරන්නට ඇත. අදත් බිම් සැකසුමේ මූලික උපකරණය උදැල්ලය. උදළු ප්‍රදේශයෙන් ප්‍රදේශයට පසේ තත්ත්වය අනුව විවිධ හැඩ තල ගන්වා සැකසීමට අපේ පුරාණ ගොවියොත් කම්මල්කරුවෝත් සමත් වූහ.
තනි ගවයකු ගවයන් දෙදෙනෙකු වී ගවයකු මී ගවයින් දෙදෙනෙකු වශයෙන් කුඹුරේ සීසෑමට සතුන් යොදාගත් අතර ඒ ඒ බිමට සතුන් යෝග්‍ය වන පරිදි විවිධ ප්‍රමාණයේ නඟුල් සාදා ගත්හ. එම නඟුල් වල අංග ලෙස නිවුන් කැරුල්ල, නිවුන් අත, හී වැල, නගුල් ඉහ, වියදණ්‌ඩ සහ රෑන යන කොටස් පිළිබඳව පැරණි පොත පතෙහි සඳහන් වේ.
අපගේ මුතුන් මිත්තන්ගේ කෘෂි තාක්‌ෂණයෙහි විශිෂ්ටත්වය අදටත් විමසා තේරුම්ගත නොහැකි තරම්ය. දැවමය උපකරණයත් එනම් අත් නගුලක් වැනි දෙයක් උපයෝගී කරගෙන බිම් සැකසූ ගොවියෝ පසුව ගවයින් ලවා අද්දවන නගුල් තනා ගත්හ. නගුල පසට සම්බන්ධ වන කොටසම පසුව යකඩ උපාංග තනා ගත්හ. කොළ දෙබල, කොළ පත්ත, දැත්ත, ටකපෝරුව, බොකු කුල්ල ඔවුන්ගේම තාක්‌ෂණික උපකරණ විය.
විශේෂ ව්‍යවහාර
වැස්‌ස ලැබෙන කාල අනුව "යල" සහ "මහ" ප්‍රධාන වගා කන්න දෙක විය. (සිංහල මාස ක්‍රමයට මැදින් සිට නිකිණි දක්‌වා යල කන්නය ද බිනර සිට නවම් දක්‌වා මහය) යල වගා කළේ සෑහෙන තරම් වතුර තිබූ ප්‍රදේශ වලය. වැව් ජලය මැනවින් ලබාගත හැකි ප්‍රදේශ වල කන්න තුනක් අස්‌වැද්දූ බව කෝනිගල (4 වන සියවස) සෙල්ලිපියේ කියවෙයි. (පිටදහස, අකලහස, මැදහස, මහ, යල අතරමැද)
පූජාවලිය
"පැලක් වපුරා යාලක් ලබන්නා සේ" යන පැරණි යෙදුම් වලින් සරු කුඹුරකින් එකම අසුවන අස්‌වනු ලද බව පැහැදිලිය. අපේ පුරාණ ගොවිකම ගැන 13 වැනි සියවසේ ලියූ පූජාවලිය කරන විස්‌තරය එකල ජනතාව ඒ වෙනුවෙන් කළ කැප කිරීම නිරූපණය කරයි.
සී සෑම නම් සුළං බදන්නාසේ ඉතා උගහට දෙයක, නගුලෙක, වියදඩෙක, පිටවකෙත, බඩවකෙත නිවුනෙක කෙවිල්ලක අවකෑමෙක සී වැලෙක පෙර ගිලියෙක පසු ගිලියෙක විය. මෑයක සී රෑන දෙකක අමුදු බානෙක කැවිටෙක ගොන් ගෙයෙක ගොවියෙකැයි යන මේ අටලොස් දෙනාගේ එක්‌වීමෙන් යන්නා වූ ගමන සී සෑම නම් වෙයි. මෙසේ සී සාන ගොවියෙක්‌හු විසින් පළමුව පලාගොස් කුඹුරෙහි වහ අත් ගසා, ඇළමං පායාගෙන දෙවනුව ශුභ වූ නකතින්ගේ වඩා බිම් නගා දෙසි තුන්සීසා මියර කපා කැට කළා, පෝරු ගා බිජුවට වඩා හිදි පරිද්දෙන් කුඹුරෙහි වකුට ගත මැනව. එවපුලා වූ කුඹුරෙහි සතුන් සතියක් රැක්‌ක මැනැව වැට බැඳ ඉස්‌සන් නමා එගොයම් එගොයම් නිලන අවස්‌ථාවෙහි කුඹුර මැද රැකවල් පැලක් තබාගෙන මැසි දඩක් ලා ගෙන ගෙයදි තන බතක රසක් නොදැන ඇදෙක පිටක් නොතබා රාත්‍රීන් දිවාභාගයෙහි එමැසි දඩේ වැද හෙව රාත්‍රීන් දිවාභාගයෙහි එක දවෙසතෙක් නින්දේ නින්දක් නිදා නොපියා ගෙරින් මීමුන්, ඌරන්, මුවන් ආදී වූ සතා සතුන් සාර මසක් රක්‌ක මැනව. කරලක් නැඟූ තැන් පටන් ගෙන පියන්වා ආදි වූ නොයෙක් රෝගයට කෙත් පාන් කමසේ නැතික කළ මැනව. දවසින් දවසට කුඹුර සිසාරා අතු තබාලූව මැනව. පත් ඇද්ද මැනව. මෙසේ දුක්‌ගෙන ගොයම් රක්‌නා කළ සීනටි කුඹුරෙන් වී නම් තුන් සාරමසක් රක්‌ක මැනව. මෙද Eතුරෙහි ඇළ අමුණු පුවත ආදී වූ බොහෝ කර්මාන්ත අතකට සේ නැතිව කළ මැනව. පැසෙන පස මුළුල්ලෙහි බස සරළ වන තුරු හඩඟ හඬගා කුඹුරේ එමුල්ලෙන් එමුල්ලට දිව දිව කමසේ නැතිව කුරුළු කොබෝ ගිරා ආදි වූ වී කන සතුන් බිණුව මැනැව. ගොයම් පැසුණු කළ දා මැඩ අඳ වී නම් අඳයෙන් එකක් දුන මැනව.
පාරම්පරික ඥානය
අපේ උත්තරීතර උරුමය අපේ සංස්‌කෘතියයි. කෘෂිකර්මය, තාක්‌ෂණය, ගෘහ නිර්මාණය, කලාව ආදී ජීවිතයට සම්බන්ධ සෑම කර්යකදීම මවුපිය ගුරුපරපුරෙන් ලැබෙන ප්‍රත්‍යක්‌ෂ ඥානය බොහෝ වටී. මේ ප්‍රත්‍යක්‌ෂ ඥානය පදනම්ව අපේ පැරැන්නන් විසින් කළ සෞන්දර්යාත්මක නිර්මාණය වූ ගීත හා කාව්‍ය, නිබන්ධනය අද අපට හිමිව තිබේ. එම සාහිත්‍ය තුළ අපේ මුතුන්මිත්තන්ගේ අකලංක සහෘදභාවයත් අන්තර් ඥානයත් අත්දැකීම් සහ අධිෂ්ඨානයත් ගැබ්ව ඇත.
(කීරන්තිස්‌සේ පඤ්ඤාසේකර හිමි විසින් රචිත "වී වරුණ" නම් ග්‍රන්ථය ඇසුරින් මෙම ලිපිය සකස් කරන ලදී.)
- සරත් විජයගුණවර්ධන
0 Comments