"දුක ඇත්තේ කාටද? කාලණ්‌ණිකම කාටද? තරග කාටද? මැසිවිලි කාටද? නිශ්කාරණ තුවාල කාටද? රතු ඇස් ඇත්තේ කාටද? මුද්‍රික පානය ළඟ පමාවෙන්නන්ටය. මිශ්‍ර කළ මිදි යුෂ සොයා යන්නන්ටය. මුද්‍රික පානය රතුව පෙනෙන විටත් පාත්‍රයෙහි දිලිහෙන විටත් සිනිඳුව වැක්‌කෙරෙන විටත් ඒ දෙස නොබලන්න. අන්තිමේදී එය සර්පයකු මෙන් හපා කා පොළඟකු මෙන් දෂ්ට කරයි. නුඹේ ඇසට අද්භූත දේ පෙනෙන්නේය. නුඹේ සිත හිතුවක්‌කාර දේවල් කතා කරන්නේය. නුඹ මුහුද මැද්දෙහි නිදාගන්නෙකු මෙන්ද කුඹ ගසක් මුදුනේ නිදන කෙනකු මෙන්ද වන්නෙහිය. ඔවුහු මට පහර දුන්නෝය. නමුත් මට රිදුණේ නැත. ඔවුහු මට ගැහුවෝය, නමුත් මට ඒක දැනුණේ නැත. මට කොයි වෙලේ ඇහැ ඇරේද නැවත එය තවත් නොසොයන්නෙමියි නුඹ කියන්නෙහිය,"
මෙය වසර තුන් හාරදහසකට පමණ පෙර ලියන ලද අදහසක් වුවද එය අදටත් මනාව ගැලපෙන බව මත්පැන් පරිභෝජනය කරන අයත් ඒ නිසා පීඩාවට පත්වන පවුල්වල අයත් හොඳාකාරව දනී.
පිරිමියෙක් වුණාම ඉඳහිට හරි ටිකක් බොන්න ඕනෑ. අවුරුද්දට නත්තලට අඩියක් දෙකක් ගහන් නැති පිරිමියෙක්‌ගෙන් වැඩක් තියෙනවැයි,
මෙය ද අද අප සමාජයේ මුල් බැස ඇති ආකල්පයකි. මෙය බොන්නන් විසින් තම වාසියට හදා ගත් සම්පූර්ණ මිථ්‍යාවක් බව නොබොන්නන් හොඳාකාරව දනී. මත්පැන් මත්ද්‍රව්‍ය යනු නිස්‌සාර දෙයකි, එයින් අගතියක් මිස සුගතියක් අයත් නොවේ යන්න තේරුම් ගෙන ඉන් මිදෙන අයත් එමෙන්ම කිසිම දිනක මේ රහමෙර රස බැලීමටවත් කටේ නොතබන ලද සදාතනික අමද්‍යපිකයන්ද අද අප සමාජයේ එමටය. තත්ත්වය එසේ තිබියදී සුරාපානයට ලොල් වූ සහ ලොල් බඳින කාන්තාවන්ගේ ප්‍රමාණය දිනෙන් දින වැඩි වන බව අපට පෙනෙන්නට තිබෙන කරුණකි. වසර ගණනක සිට අපි ඒ ගැන සමීක්‍ෂණයන් කරමින් සිටිමු.
සුරාවට ලොල්වුණ කාන්තාවන් ප්‍රධාන කාණ්‌ඩ දෙකකට බෙදා වෙන්කළ හැක. ඒ දිනපතා පුරුද්දට බොන අය සහ ඉඳහිට යම් යම් විශේෂ අවස්‌ථා වලදී මත්පැන් පානය කරන අය වශයෙනි. විවිධ සමාජ පන්තීන් නියෝජනය කරන මේ බොන්නියන් පිළිබඳව අපගේ මිතුරු සමාජ විමර්ශක තරිඳු මෙසේ විස්‌තර කරයි.
ඇත්තටම අද පවතින සමාජ පන්තීන් තුනේම කාන්තාවන් මත්පැන් පානයට යොමුවීසිටිති. වැඩිපුරම තදින් සුරාවට ඇබ්බැහිවෙලා ඉන්නේ අන්ත දිළිඳු අඩු ආදායම්ලාභී නූගත් යෑයි කියන පන්තියේ ගැහැනුන් සහ ඉහළ මධ්‍යම පන්තියට අයත් කාන්තාවෝ (ශ්‍රී ලංකාවේ උසස් ඉහළ පන්තියේ ගැහැනු සහ පිරිමි කියා පන්තියක් නැති බව අපේ මතයයි) සාමාන්‍ය මධ්‍යම පන්තියට අයත් කාන්තාවන් මත්පැන් නොබොනවාම නොවේ. ඔවුහු එය ඉතා හොර රහසේ අතිශය පෞද්ගලික මට්‌ටමින් කරගෙන යති. එවැනි සමහර කාන්තාවෝ මත්පැන් බොන බව ඒ අයගේ සැමියා හෝ පවුලේ අය දන්නෙවත් නැත. අඩු ආදායම්ලාභී සමාජ පන්තියේ අයත් ඉහළ මධ්‍යම පන්තියේ අය නොවෙතිs. ඔවුන් ප්‍රසිද්ධියේ එළිපිට අනික් අය ඉදිරියේ මද්‍යසාරය ගැනීමේ ප්‍රවණතාවක් දක්‌වනවා. කිසි ලැඡ්ජාවක් බයක් පෙන්වන්නේ නැහැ,
කාන්තාවකගේ පමණක් නොව ඕනෑම අයකු මත්පැන් භාවිත කිරීම සහ එහි වර්ධන තත්ත්වයන් හතරක් ගැන Progression of use අපට මෙසේ විස්‌තර කළ හැක.
* අත්හදාබැලීමේ සහ විනෝදාස්‌වාදයක් ලැබීම සඳහා බොහෝ අය මුලින්ම මත්පැන් භාවිත කරයි. Experimental/Recreational use
* යම් සුවිශේෂී හේතුවක් මත සහ සුවිශේෂී අවස්‌ථාවන් මත මත්ද්‍රව්‍ය භාවිත කරයි. Circumstantial / Occasional use
* අධිකව සහ අඛණ්‌ඩව (නොකඩවා) භාවිතා කිරීම. Intensified/ Regular use
* අනිවාර්ය ලෙස සහ ඇබ්බැහිකාරී ලෙස භාවිත කිරීම. Compulsive / Addictive use
ඉහත අවධි හතරින් මුල් දෙක අයත් වන්නේ ප්‍රාථමික අවස්‌ථාවටයි. පාසල් ක්‍රීඩා උත්සවවල බිග් මැච්, සැණකෙළි, විනෝද චාරිකා, නත්තල් සහ අලුත් අවුරුදු දවස්, උපන් දින සාද මෙම ප්‍රාථමික අවස්‌ථා සඳහා උදාහරණයි. මෙවැනි දිනවල මත්පැන් පරිහරණය කරන අය සිතන්නේ හැමදාම නැහැනේ අද විතරක් බීලා හෙට ඉඳන් නොබී ඉන්නවා කියායි. තුන්වැනි සහ හතරවැනි අවධි ඇත්තේ භයානක අවදානම් අවස්‌ථා වලයි. සරණතාවය සහ ඇබ්බැහිකම මෙයින් අදහස් කරයි. ජීවන රටාවට, පවුලට, සමාජයට ගැටලු පැනනඟින්නේ මෙම අවධි වල සිටින මත්පැන් ලෝලීන් නිසයි.
නතාෂා අධ්‍යාපනය ලබන්නේ අගනුවර ඇති ප්‍රධානතම කාන්තා පාසලකය. ඇය එහි ප්‍රධාන ශිෂ්‍ය නායිකාව පමණක් නොව ක්‍රීඩා නායිකාව වශයෙන් ද එකල වගකීම් දැරූ අතර උසස් පෙළ විභාගය ද ඉහළින්ම සමත්වූ බව ඇය පවසන්නීය.
මගේ තාත්තා ධනවත් ව්‍යාපාරිකයෙක්. අම්මා රට පිළිගත් සමාජ සේවිකාවක්. අපිට හරියට සල්ලි තිබුණා. ඒ වගේමයි. ගෙදර නිතරම උත්සව සම්භාෂණ, පාටි, µන්ක්‌ෂන් හරියට. තාත්තිගේ අම්මිගේ යාළුවො ගෙදර එනව. මහ රෑ වෙනකන් ඒ ගොල්ලො කකා බිබී නටනවා. උසස් පෙළ කරනකන් මං ඒවා දිහා බැලුවෙ වත් නැහැ. ඒත් දවසක් මගේ කසින් සිස්‌ටර් කෙනෙක්‌ගේ (ඥාති සොයුරියකගේ) බල කිරීමට මං බියර් උගුරක් බීවා. මගේ උගුර කට පිච්චිල යනව වගේ දැනුණා. කසින් අක්‌කි කිව්වා ගණන් ගන්න එපා කෙල්ලේ මුල් දවසෙ ඔහොම තමයි, මේක කන්න එතකොට හරියයි කියල මගේ කටේ චීස් කෑල්ලක් එබුවා. ඔන්න ඔහොම තමයි මං අරක්‌කු බොන්න පුරුදු වුණේ.,"
රාත්‍රි සමාජ ශාලාවල, කැරෝකේවල සහ තරු පන්තියේ හෝටල්වල නිතර රෑ කාලය ගෙවන මත් විතට දුම් වැටියට අධික ලෙස පෙම් බඳින නතාෂා අද වන විට කායික සහ මානසික රෝග කීපයකින්ම පීඩා විඳී. ඇයට දැන් මත්පැන්වලින් වෙන්ව ජීවත් වෙන්නට බැරි තත්ත්වයක් උදාවී ඇත. නතාෂා මෙන්ම රාත්‍රි සමාජ ශාලාවල කැරෝකේවල අවන්හල්වල පමණක් නොව තම නිවෙස්‌වලට වැදී මත්පැන් අධික ලෙස පානය කරමින් අඩවන් දෑසින් වෙන වෙන ලෝකවල මනසින් සැරිසරන තරුණ සහ වැඩිහිටි කාන්තාවෝ අද අප රටේ දස දහස් ගණනකි. මොවුන් අතරින් වැඩි දෙනෙක් ශාරීරික සහ මානසික රෝග රැසකින් පීඩා විඳී. සිරෝසිස් (අක්‌මා ප්‍රදාහය) දියවැඩියාව, හෘද රෝග, ශ්වසන රෝග, මෙන්ම ආතතිය, විසාදිය, ක්‌ලමථය, ද්විධ්‍රැව මානසිකත්වය, භින්නෝන්මාදය වැනි මානසික රෝගීන් ද ඒ අතර වෙති.
රාත්‍රි කාලය ගාලු පාරේ සැරිසරන සහ ඒ අවට ලැගුම්හල් තුළ කාලය ගෙවා දමන මනෝරි වෘත්තියෙන් වීදි ගණිකාවකි. (එන්ජිඕ භාෂාවෙන් කියනවා නම් වාණිජමය ලිංගික ශ්‍රමිකාවකි) ඇයත් අධික ලෙස මත්පැන් භාවිතයට යොමු වී සිටී. ඇයත් සමඟ රැකියාව කරන ඇගේ සමහර යෙහෙළියන් සහ ඇගෙන් සේවය ලබන පාරිභෝගිකයන් පවසන අන්දමට මනෝරි සමඟ හරි හරියට බොන්නට කලාපයේම තරගකාරයෙක් නැත. එතරම්ම ඇය මත්පැනට පත්තියම් වී සිටී.
"මං බොන්නෙ මහත්තයො උදේ පාන්දරට වැඩ ඉවර වෙලා. හතරට පටන් ගත්තම මට උදේ දහය වෙනකං බොන්න ඕනි. ඊට පස්‌සේ නිදාගන්නව ආයෙත් ඇහැරෙන්නෙ හවස පහට හයට. මොනාහරි කාලා ආයෙත් පාරට බහිනව. මට ආයෙ ජීවිතයක් නැහැ. මං මැරෙනකං බොනව. මහත්තය විතරයි මට මෙහෙම හරි කතා කරල බීමේ ආදිනව කියල දුන්නෙ. මගේ ජීවිත කාලයටම අනික් ඔක්‌කොම අහන්නෙ. බොමුද එහෙම නැත්නං යමුද,? කියලයි මාව මේ තත්ත්වෙට දැම්මෙ මගෙ කසාද මිනිහ. එයා තමයි මට අරක්‌කු බොන්න පුරුදු කළෙත් ඇඟ විකුණන රස්‌සාවට මාව තල්ලු කළෙත්. මට මේකෙන් ගැලවීමක් නැහැ කවදහරි මාව පාරෙම මැරිල ඉන්නව හම්බවෙයි,"
මනෝරිගේ මුවෙන් හමන සුරා ගඳ සහ සියොළඟින්ම හමන අපුල දුර්ගන්ධය නැහැයට දැනෙද්දී අප සිතට නැඟෙන්නේ ඇගේ මානසිකත්වය නොව ඇය සොයා රැයට ඇදෙන ඇගේ පහස පතන සල්ලාලයන්ගේ රුචිය සහ මානසිකත්වයයි. කෙසේ වෙතත් අපගේ මැදිහත්වීම මත අද මනෝරි මීගමුවේ ඇති පුනරුත්ථාපන මධ්‍යස්‌ථානයක සුවය ලබමින් සිටී.
ශලිනි යනු කෝටිපති සුරූපී තරුණ ලඳකි. ඇය ගැන මට කීවේ ඇගේ නිවසේ ගෙවත්ත අලංකරණය කරන චූටා නමැති තරුණයායි. අපි ඇයව අධ්‍යයනය කළෙමු.
ශලිනිගේ ආශාව අලුත් අලුත් අයත් සමග මත්පැන් පානය කිරීමයි. කොතරම් මුදල් තිබුණත් කොතරම් රූමත් වුවත් ඇයට පන්ති භේදයක් නැත. එමෙන්ම ඇය වනචර, අසංවර, ලිංගිකත්වයට නැඹුරු කාන්තාවක් ද නොවේ. ඇයගේ එකම ආශාව නගරයේ ඇය ප්‍රිය කරන සහ ඇයට හිතවත් වේටර්වරු සිටින තරු පන්තියේ අවන්හලකට ගොස් එහි කොනක ඇති අඳුරු මේසයක අලුත් අයෙක් සමඟ වාඩිවී නොයෙක් දේ ගැන වාද කරමින් සාකච්ඡා කරමින් මධුවිත තොලගෑමයි. ඇය සමඟ එසේ එකට මත්පැන් පානය කළ අය කීප දෙනෙකුගෙන්ම අප අසා දැනගත් පරිදි ශලිනි වැඩියෙන්ම කැමැති දෙමාපිය ආදරය, සහෝදර ප්‍රේමය ගැන කතා කිරීමටයි. මඳ කලකට පෙර මියගිය අප රටේ විසූ ප්‍රසිද්ධ ධනවත් දේශපාලනඥයකුගේ ඥාති දියණියක් වන ඇයට එම ඥාතියාගෙන් අති විශාල බූදලයක් හිමිව ඇති අතර ඇය මෙසේ මත්පැන් පානය වෙනුවෙන් වැය කරන්නේ ඉන් ලැබෙන ආදායමෙන් ඉතා සුලු කොටසකි. වැඩි මුදලක් ඇය වියදම් කරන්නේ ළමා නිවාස වල වෙසෙන අනත් දරුවන් වෙනුවෙන් සහ වැඩිහිටි නිවාස වල ජීවත් වන වයෝවෘද්ධයන් වෙනුවෙනි.
ශලිනිව මට හඳුන්වා දුන් චූටා ඇය ගැන දක්‌වන්නේ මෙවැනි අදහසකි.
ඇත්තටම බොස් අපේ ශලිනි මැඩම් අමුතු චරිතයක්. නොබී ඉන්නකොට ටිකක් කේන්ති යනවා. හැබැයි බිව්වම පොඩි ළමයෙක් වගෙයි. නරක අවලං ගති ඇත්තෙම නැහැ. එයාට අවශ්‍ය දුප්පත්, පෝසත් කැත, ලස්‌සන, උසස්, පහත් ඔය ඕනිම කෙනෙක් එක්‌ක එක මේසෙ වාඩි වෙලා කතා කර කර අරක්‌කු බොන්නයි. එයා මට කතා කරන්නෙ මල්ලි කියල ඩ්‍රැයිවර්ට කියන්නෙ අයියා කියල. කෝකියට කියන්නෙ මාමා කියල. ගෙදරට එන හැම කෙනාටම නෑදැකම් කියලයි කතා කරන්නෙ.
පිටතින් නොපෙනුණට ශලිනි තුළ අප මෙතෙක් නොඇසූ යම් මානසික අවවර්ථක තත්ත්වයක් ඇති බව මට දැනුණු නිසා ඒ ගැන සොයා බලනු පිණිස කැනඩාවේ වෙසෙන මා මිතුරු මනෝ වෛද්‍ය රුවන් ජයතුංගට ඇගේ කේවල සිද්ධි අධ්‍යයනය (case study) යොමු කළෙමි.
කැතරින් හලාවත පැත්තේ පොල් මෝලක කම්කරු ගැහැනියකි. මම ඇය අවුරුදු තිහක් තිස්‌සේ දනිමි. ඇය මෙන්ම ඇගේ දියණියන් සහෝදරියන් සහ මිතුරියන් රැසක්‌ම ඇය සමඟ පොල් මෝලේ පොල් කපමින් මැෂින් කරකවමින් දිවා කාලයේ කම්කරු මෙහෙය කරයි. සවසට හොඳින් දිය නා පිරිසිදු වී සැහැල්ලු ඇඳුමෙන් සැරසී තමන් ජීවත් වන පොල් වත්ත මායිමේ පිහිටි ලැයිම ඉදිරිපිට කුඩා තණ බිමට රැස්‌වෙයි. වයලට් ලොකු රබානක් වැනි බෙරයක් රැගෙන එයි. ඇග්නස් සාලයන් හෝ ඉස්‌සන් බැඳුමක් සමග මයියොක්‌කා තම්බාගෙන එතැනට පැමිණෙයි. ප්‍රීඩා අටේ කෑන් එකක් පුරවා කසිප්පු රැගෙන එයි. ජෙනිටා නැඟිට අසෝක වීදුරුවට රහ මෙර වත්කරයි. කැතරින්ගේ සංඥාවෙන් කට්‌ටිය සව්දම් පුරා වැඩේට සෙට් වෙයි. ජෝගිය ඇරඹෙයි. මහ රැය වන තුරු හෝ පසුදාට පහන් වන තුරු සාඡ්ජය ඇදෙයි. මැදියම් රැයේදී අතිකාල සේවා මුරය අහවරව එන ඔවුන්ගේ පිරිමිද ඔවුන්ගේ සාදයට එකතුවෙයි. කපිරිඤ්ඤා, වාද බයිලාවල කෙළවරක් නැත. හිටි හිටි තැන් වල එහෙමම ඇලවෙන කැතරින්ලා පීටර්ලා පසුවෙනිදා උදේම නැගිට පොල් මෝලේ වැඩට යයි. ඔවුනගේ දින චරියාව එසේය.
නතාෂාලා, මනෝරිලා, ශලිනිලා සහ කැතරින්ලා ඈඳා ගනිමින් මා කියන්නට අදහස් කළේ අද අප රටේ පවතින කාන්තා මත්පැන් සරණතාවය සහ ඉන් පැනනැඟෙන ගැටලු ගැනයි. අප කළ විමර්ශනයන්ට අනුව බහුතරයක් කාන්තාවන් අද මත්පැන් පානයට යොමු වන්නේ කාරණා තුනක් නැත්නම් හතරක් නිසයි. ඉන් පළමුවැන්න ජානමය බලපෑම හෙවත් ප්‍රවේණියයි. සිංහලෙන් කීවොත් ආරෙට ඒමයි. දෙවැන්න කුඩා කලදීම නිවසින් මිතුරන්ගෙන් සමකාලීනයන්ගෙන් ලැබෙන අව ආදර්ශය නිසයි. තෙවැන්න ප්‍රචාරන උගුල් සහ මිථ්‍යා මත විශ්වාස නිසයි. සිව්වැන්න තමා සතුව ඇති විවිධ ශාරීරික සහ මානසික රෝගවලට විකල්ප සොයන්නට යැම නිසයි. මේ කරුණු හතරටම ඒ ඒ පුද්ගලයාගේ පෞරුෂය සහ දරා ගැනීමේ කුසලතාව බෙහෙවින් බලපායි.
අවසන් වශයෙන් යමක් කියන්නට කැමැත්තෙමි. අද අප රට තුළ කොතරම් ජාතික මට්‌ටමේ මද්‍යසාර හා දුම්කොළ අධිකාරි තිබුණත් රාජ්‍ය නොවන සංවිධාන කොතරම් මේවාට එරෙහිව බොරුවට හෝ ඇත්තට මොර ගැසුවත් කාන්තාවන් ප්‍රමුඛ බාල පරපුර මත්පැනට යොමුවන ප්‍රවණතාව වැඩිවෙමින් පවතී. ඔවුන් මෙයට අත්පොත් තබන්නේ බියර්වලින් බව සමීක්‍ෂණ වාර්තා පවසයි. අප කලින් පැවසූ අඩු ආදායම් ලබන පන්තිය සහ උසස් මධ්‍යම පන්තියේ ගැහැනුන් සුරාපානය ප්‍රසිද්ධියේ කළ ද මැද පන්තියේ අය මෙය කරන්නේ. පිළිවෙළට ලෙසටය, කාටත් නොදැනෙන්නට හොර රහසේය. ඇත්ත එළිවෙන විට පරක්‌කු වැඩි විය හැක.
අප කලින් කී මතට යොමු වන හේතු සාධක හතර කලින්ම අඳුනාගෙන නිසි පිළියම් යෙදීමෙන් ඔබගේ තරුණ දියණියන් සහ පුතුන් මත්පැනට මත්ද්‍රව්‍යයට ගොදුරු වීම නවත්වා ගත හැකිය.
මිත්‍ර ශ්‍රී කරුණානායක
0 Comments