මේ හොරාට ඔබත් එක්‌ වරක්‌ හෝ රැවටුනාද ?


වරදට සමාවදීම දේවගතියකි. එම දේව වාක්‍ය මතුරමින් ධනවත් තරුණ කතුන් රැසක්‌ මුලාකර රුපියල් කෝටි ගණන් මුදල් ඉඩම් සහ රන් ආභරණ වංචාවෙන් ලබාගත් බව කියන 28 හැවිරිදි කඩවසම් තරුණයකු පිළිබඳව ජා - ඇල පාරිස්‌ පෙරේරා මාවත ප්‍රදේශයෙන් අනාවරණය වී ඇත.

මෙහි කථානායකයා වන 28 හැවිරිදි හැන්ඩි තරුණයා ජා - ඇල පාරිස්‌ පෙරේරා මාවතේ අංක 70 හි පදිංචි තරංග පෙරේරා නොහොත් පට්‌ටිය විතානගේ ඉමාල් සංජීව පෙරේරා නමැත්තෙකු බව මීගමුව පොලිසිය කියයි. මීට අමතර මොහු හැඳින්වීම සඳහා මොහු විසින් ව්‍යාජ නම් ගණනාවක්‌ ආරූඪ කර ගෙන ප්‍රදේශයේ ජීවත් වී ඇත.

මොහුගේ විනෝදාංශය යම් යම් වැරදි සිදු වූ කතුන්ට සමාව දෙන බවත් ඔවුන් විවාහ කරගන්නා බවත් සඳහන් කොට පුවත් පත් ගණනාවක වරින් වර විවාහ යෝජනා පළ කිරීමය. ඒ අනුව විවාහ මංගල යෝජනාවලට පිළිතුරු එවන කාන්තාවන්ගෙන් ධනවත් කතුන් පමණක්‌ තෝරා බේරා ගෙන ඔවුන් සමග විවාහ වීමට පෙර ඇසුරු කළ යුතු යෑයි යෝජනා ඉදිරිපත් කරයි. මොහු එලෙස එම කතුන් සමග ඇසුරු කිරීමේ යෝජනාව දමන්නේ එම කතුන් සතු ධනය පිළිබඳව පැහැදිලි අවබෝධයක්‌ ලබා ගැනීමේ කපටි අරමුණෙන්ය. මොහුගේ උගුලට බොහෝ විට හසුවන්නේ විවාහ කඩා කප්පල් වී තනිකඩ ජීවිත ගත කරන තරුණ රූමත් කතුන්ය.

එම කතුන් හමුවීමට මෙම සැකකරු පැමිණෙන්නේ මිල අධික සුඛෝපභෝගී නවීන මෝටර් රථවලිනි. ඔහු පවසන්නේ ඔහු මෝටර් රථ අමතර කොටස්‌ විදේශයෙන් ගෙන්වා අලෙවිකරන කෝටිපති ව්‍යාපාරිකයකු බවය. මොහු කිසිම දිනක එම තරුණ කතුන්ට හෝ ඔවුන්ගේ වැඩිහිටියන්ට සැකකරු පදිංචි ස්‌ථානයට පැමිණීමට අවස්‌ථාවක්‌ නොදෙයි. කලකට පසු මොහුගේ ව්‍යාපාර අවශ්‍යතා වෙනුවෙන් මෝටර් රථ අමතර කොටස්‌ රටින් ගෙන්වීමට මුදල් අඩුපාඩු බව පවසන ඔහු විවාහ කර ගන්නා බවට පොරොන්දු වී මුලාකළ කාන්තාවන් ගෙන් මුදල් යහමින් ලබාගනී. එසේ ඔහු මුදල් ලබා ගන්නේ රුපියල් ලක්‍ෂ ගණනින්ය. ඉන්පසුව එම කාන්තාවන් මග හැර අතුරුදන්වීම මෙම අනංගයා සිරිතක්‌කොට ගෙන තිබිණි.

කොට්‌ටෝරුවා කෙසෙල් ගහට කොටා හොට පැටලී විපතට පත් වුණා මෙන් මෙම සැකකරු ප්‍රථම වරට මාට්‌ටුවන්නේ කොච්චිකඩේ දකුණු වැලිහේනේ පදිංචි 27 හැවිරිදි ධනවත් රූමත් කලින් විවාහ වී සිටි කතක්‌ රවටා රුපියල් එක්‌ කෝටි හතළිස්‌ ලක්‍ෂයක්‌ වංචාකිරීම සම්බන්ධයෙන් මීගමුව පොලිසිය වෙත ලද පැමිණිල්ල අනුවය.

මෙම සැකකරු අගතියට පත් කාන්තාව මුලා කර තම ව්‍යාපාරික අවශ්‍යතා සඳහා යෑයි ඇය සතු රුපියල් ලක්‍ෂ 80 ක්‌ වටිනා ඉඩම් දෙකක්‌ විකුණා මුදල් වංචා කර ඇත. ඊට අමතර ඇයගෙන් සැකකරු වංචනිකව ලබාගත් මුළු මුදල රුපියල් එක්‌කෝටි හතළිස්‌ ලක්‍ෂයක්‌ බව පැමිණිල්ලේ සඳහන් වේ.

මෙම සැකකරු අත්අඩංගුවට ගත් වහාම මෙවැනි බොරු පොරොන්දු දී කෝටි ගණන් වංචා සම්බන්ධයෙන් කඩවත, ඉංගිරිය, මහර, ජා - ඇල ආදී දිවයිනේ පොලිස්‌ ස්‌ථාන රැසකට අවශ්‍ය පුද්ගලයකු බවට දැනුම් දී ඇත. මෙම සැකකරු මීගමුව ප්‍රධාන මහෙස්‌ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා හමුවට ඉදිරිපත් කළ අවස්‌ථාවේ සැකකරු විසින් වංචා කළ මුදල් ප්‍රමාණය රුපියල් කෝටි ගණනින් වන නිසා මෙම සැකකරු සම්බන්ධයෙන් ඉදිරි පරීක්‍ෂණය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට භාර දීමට මීගමුව ප්‍රධාන මහෙස්‌ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා නියෝග කළේය. සැකකරු රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලදී.

මෙහි විමර්ශන කටයුතු මීගමුව මූලස්‌ථාන ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක සමන් තිලක වැලිවිට මහතාගේ අධීක්‍ෂණය මත මීගමුව පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ ස්‌ථානාධිපති උප පොලිස්‌ පරීක්‍ෂක සම්පත් බණ්‌ඩාර මහතා විසින් සිදු කෙරෙයි. මෙම සැකකරුගෙන් අගතියට පත් කාන්තාවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් නීතිඥ මහින්ද සුගතදාස මහතා සමග ජ්‍යෙෂ්ඨ නීතිඥ ඉන්දික සිල්වා මහතා පෙනී සිටියේය.

මීගමුව විමල් කීර්ති

Post a Comment

0 Comments