බිලි පිත්තෙන් මාළු අල්ලන අලිගම්බේ කතුන්


අලිගම්බේ යනු අම්පාර දිස්‌ත්‍රික්‌කයේ ආලියඩිවෙම්බු ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාශයේ ඇති අති දුෂ්කරම ගම්මානයකි. බොහෝ දෙනකුගේ නිසි අවධානයක්‌ නොමැතිව මෙම ගම්මානයේ ජීවත් වෙන්නේ අහිකුන්ඨීක නම් ග්‍රෝතික ජන කොට්‌ඨාශයකි. එනිසාදෝ රජයෙන් ලැබෙන්නාවූ සංවර්ධන වැඩසටහන් මෙ ගම්මානයේ සිදුවන්නේ ඉතා අඩුවෙනි. එනිසා අප මෙම ගම්මානය සොයා යන්නට වූහ.

සාගම ප්‍රදේශයේ සිට දෙපසින් එක දිගට වැටි ඇති කෙත් යායක්‌ මැදින් වැටි ඇති මාර්ගයේ අප මෙම ගම්මානය සොයා යන්නට වූවෙමු. එක්‌ වරම අප දුටු දෙයින් පුදුම වන්නට වූහ. ඒ බිලි පිsති දෙකක්‌ ගෙන මාර්ගය අසලින් ගලා බස්‌නා ඇළෙහි බිලි බානා කාන්තාවන් දෙදෙනෙක්‌ දැකීමෙනි. බිලි බානා අයුරු අපට සුපුරුදු දසුනක්‌ වූවද මේ ආකාරයෙන් කතුන් බිලි බානා දසුන අපට ආගන්තුකය.

අප ඡායාරූප කිහිපයක්‌ ගත්තද එම අවස්‌ථාවේ මඳක්‌ මුහුණ සඟවාගනන්ට උත්සාහ ගත්තද ඇය පසුව නිදහසේ තම කාර්ය කරගෙන යන්නට වූවාය. ජීවත් වෙන්නට නිසි ආදායම් මාර්ගයක්‌ නොමැති වූවද තුන් වේලට කුසට අහරක්‌ නොමැති වූවහොත් වෙන්නේ නොකා නොබී මැරෙන්නටය. සල්ලි වලට තෝරු මෝරු ගන්නට වත්කමක්‌ නැත. හුනුසහල් ටිකක්‌ හෝ ළිප මත තබා රත්කර ඇළෙන් අල්ලා ගන්නා මාළු පැටවුන් ටික මිරිසට හෝ පිස යන්තමින් වේල සරිකර ගන්නට මේ ආකාරයෙන් මෙම කතුන් වෙහෙසෙන්නීය.

අලිගම්බ ගම්මානයේ පවුල් 350 කට අධික ප්‍රමාණයක්‌ වෙසෙති. රාජ්‍ය නොවන ආයතනයකට පින්සිදු වන්නට මෙම ගම්වැස්‌සන්ට ස්‌ථිර නිවාස 50 ක්‌ පමණ පසු ගිය කාලයේ ඉදි කර දී ඇත. නමුත් තවමත් ඉටිරෙදි, තහඩු හෝ පොල් අතු හෙවිලි කර සාදා ගෙන ඇති කුඩා පැලවල් වැනි නිවාස බොහොමයක මෙම ගම්මානයේ ජනතාව වාසය කරන්නේ තමන්ට කළ හැකි වෙන දෙයක්‌ නොවන නිසාවෙනි.

අනේ එන්න නෝනා. එන්න මාතියා අත බලලා මුහුණ බලලා සාස්‌තර කිනවා. එන්න එන්න මේ නෝනා හරි වාසනාවන්තයි. දෙන්න අත හොඳ සාස්‌තරයක්‌ තමයි කීනවා යනුවෙන් මෙම ගම්මානයේ ජීවත් වන කාන්තාවන් සහ ඇතැම් පිරිමින් ගම් නියම්ගම් සැරි සරමින් සාස්‌තර කීමේ ජීවිකාවේ යෙදෙති. ඇතැමුන් තවමත් ඉඳ හිට නයි නටවති. මෙම ගම්මානයේ ස්‌ථීර රැකියාවක්‌ නොමැතිව ජීවත් වන මෙම ජනයා ඇතැම් විට කරන්නට කිසි දෙයක්‌ නොමැති කල්හි ගමින් ගමට ගොස්‌ සිඟමන් යදින අවස්‌ථාද ඇත.

ඔවුනට වගා කරගන්නට කෙත්වතු නොමැත. මහා ලොකු වතු පිටිද නොමැත. යාන්තමින් දිවි සරි කරගැනීමට ඇතැමුන් එළුවන් හෝ හරකුන් ඇතිදැඩි කරන්නේ එයින් හෝ ජීවිතයට යම් තරමකින් පිටුවහලක්‌ ලබන නිසාවෙනි.

මේ අලිගම්බේ කුමාරස්‌වාමි චන්දසේකරන් 'ඉරිදා දිවයින'ට දැක්‌වූ අදහසයි.

අපේ ගම්මානේ ස්‌ථිර නිවාස නැති අය 300 කට ආසන්න ප්‍රමාණයක්‌ ඉන්නවා. කුලිවැඩක්‌ කරලා තමයි ජීවත් වෙන්නේ. ස්‌ථිර රැකියාවන් අපට නැහැ. මොනවත් රස්‌සාවක්‌ නැති වෙලාවට යාන්තමින් මාළුවෙක්‌ අල්ලලා හරි වේල පිරිමහගන්නවා. ගමට ලංගම බස්‌ රථයක්‌ දවසකට වතාවක්‌ එනවා. එහෙම නැති උනාම පාපැදියක්‌ හෝ යතුර පැදියක්‌ නොමැති විට සැතුපම් තුනක්‌ හතරක්‌ පයින්ම අක්‌කරපත්තුච හෝ සාගම ප්‍රධාන මාර්ගයට යන්න සිදු වෙනවා. ඉස්‌සර පාර කැඩිලා පයින්වත් යන්න බැරිව තිබ්බේ. නමුත් පස්‌සේ පාර හැදුවා මීට වසර කිහිපයකට කලින්. නමුත් මේ වන විටත් එම මාර්ගයේ ටිපර් රථ ගල් සහ වැලි වැනිදේ පටවාගෙන ගිහිල්ලා පාර ආයි හොඳටම අබලන් වෙලා තියෙනවා. දැන් සමහර තැන් වලින් යන්නත් ඉතා අපහසුයි යනුවෙන් චන්ද්‍රසේකරන් පවසන්නට වූවේය.

මෙම ගම්මානයේ පාසලක්‌ තිබීම දරුවන්ගේ වාසනාවකි. එමනිසා මෙම දෙමව්පියන්ද කෙසේ හෝ තම දරුවන් පුළුවන් ආකාරයට තරමක හෝ අධ්‍යාපනයක්‌ ලබා දීමට උත්සාහ දරති. ඇතැම් දරුවෝ ඉහළ පංතිවලට එන විට සමහරෙක්‌ නිසි ලෙස අධ්‍යාපනය නොලබන අවස්‌ථාද ඇත. මුල් කාලයේදී ගම්වාසීන්ට විවිධාකාරයේ උදව් උපකාර කිරීම හේතු කොට ගෙන මේ වන විට ගම්වාසීන් බොහෝ දෙනෙකු ක්‍රිස්‌තියානි ආගමට බැඳී ඇත. ඉස්‌සර අපිට උදව් කළා දැන් සමහර වෙලාවට එක එක දේට එයාලත් අපෙන් සල්ලි එකතු කරනවා යෑයිද ගම්වැසියෙක්‌ පැවසුවේය. එනිසා මෙම ජනයාගේ සම්ප්‍රදායික සිරිත් විරිත් ටිකෙන් ටික මෙම ගම්මානයෙන් වියකී යමින් තිබේ.

හැන්දෑවට අපේ ගම්මානයට අලි එනවා අපි හරිම බයෙන් තමයි ජීවත් වෙන්නේ. මේ වන විට එක්‌ අයෙක්‌ අලි ගහලා මැරුණා. අනෙක්‌ අයට තුවාල සිදුවුනා. එම නිසා රාත්‍රී වෙද්දී අපිට හරිම බයෙන් ජීවත් වෙන්නේ. එම නිසා මෙම අලි ගැටලුට ඉතා ඉක්‌මනින් විස`දුමක්‌ දෙන්න කියලා අපි බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. ඒ වාගේම ගමේ තිබෙන විවිධ අඩුපාඩු සකස්‌ කරලා අපටත් අනෙක්‌ මිනිසුන් ලෙස ජීවත් වෙන්න උදව් කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා යෑයිද එම්. නිරෝෂන් පවසා සිටින්නට වූවේය.

කේ. නිරෝෂනි මෙසේ කියන්නීය.

මගේ ගම අනුරාධපුරයේ. මම ගියේ සිංහල පාසලට. මට තෙළිඟු භාෂාවත් හොඳට කථා කරන්න පුළුවන්. පස්‌සෙ මම බැන්දට පස්‌සේ තමයි අලිගම්බට ආවේ. මෙම ගම්මානයේ අය ගොඩක්‌ දෙනෙක්‌ එදාට ලැබෙන කුලී වැඩ කරලා තමයි ජීවත් වෙන්නේ. අපිත් ඉඳලා හිටලා කුළියක්‌ ලැබුණොත් කීයක්‌ හරි හොයා ගන්නවා. කුඹුරුවල තණකොළ ගලවන එක තමයි අපට ලැබෙන ලොකුම කුලී වැඩ. ගමේ මහන්න පුළුවන් අය ඉන්නවා. නමුත් ඒ අයට මහන්න මැෂින් නැහැ. ගොඩක්‌ ළමයි ස්‌කොලේ ලොකු පංතිවලට එද්දී ස්‌කොලේ යන්නේ නැහැ. මේ ආකාරයෙන් අපේ ගමේ විශාල ගැටළු රැසක්‌ තියෙනවා. එම නිසා අපේ ගම්මානයේ කාන්තාවට ස්‌වයං රැකියාවක්‌ කරන්න වැඩ පිළිවෙළක්‌ හදලා දෙන්න. මොනවත් කුලියක්‌ කරන්න නැති වුනාම අපේ කාන්තාවෝ ඇළට ගිහින් මාළු අල්ලනවා. වෙන කරන්න දෙයක්‌ නැහැ. එහෙම කරල හරි ජීවත් වෙන්න වෙනවා යෑයි ඇය පවසන්නට වූවාය.

අලිගම්බේ විලයාඩිපිල්ලෙගෙ අදහසයි මේ

මම නයි නටවලා තමයි ජීවත වෙන්නේ. මාසයකට දින හත අටක්‌ තමයි මේ ආකාරයෙන් නයි නටවන්න යන්නේ. ඒ ගියත් ගොඩක්‌ දවස්‌වලට ලොකු මුදලක්‌ ලැබෙන්නේ නැහැ. ඒකෙන් ජීවත් වෙන්න ඉතා අපහසුයි. කලාතුරකින් සාමන්‍ය මුදලක්‌ හොයා ගන්න පුළුවන් අවස්‌ථාවනුත් තියෙනවා. එම නිසා අපේ ගමේ තිබෙන අඩුපාඩු ටික හදලා අපට ජීවත් වෙන්න හැකි ආකාරයෙන් උදව් කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා යෑයිද විලයාඩිපිල්ලේ අදහස්‌ දක්‌වන්නට වූවේය.

මේ ආකාරයට මෙම අලිගම්බේ ජනතාවට මහත්වූ ගැටලු රැසක්‌ ඇත. ඔවුන් එක්‌ ගෝත්‍රයකට අයක්‌ නිසාදෝ නිසි පිsළිසරණක්‌ තවමත් නොලැබී ඇත. එම නිසා දිනෙන් දින ජීවත් වීමට මහත් වෙහෙසක්‌ ගන්නා මෙම ජනතාවට අන් අය මෙන් ජීවත් වෙන්නට පිලිසරණක්‌ ලැබෙන්නේ කවදාද? ඒ දිනේ එනතෙක්‌ එම ජනයා බලාපොරොත්තුවේ දෑස දල්වා බලා සිටින්නේ ඉදිරි ජීවිතයට සුභාවාදී වේයෑයි සිතාය.

සුසන්ත අමර බන්දු

Post a Comment

0 Comments