මොකක්‌ද මේ වකුගඩු රෝගය කරන්න දෙයක්‌ ඇත්තෙම නැද්ද?

කාලික වකුගඩු අකරණිය යනු ක්‍රම ක්‍රමයෙන් කාලයත් සමග වකුගඩු ක්‍රියාකාරිත්වය පහළ බැසීමයි. මෙය වෛද්‍ය විද්‍යාත්මකව Chronic krdney disease (CKD) ලෙස හැඳින්වේ. මෙහි විශේෂත්වය වන්නේ හානි වූ වකුගඩු ප්‍රතිකාර ක්‍රම මගින් නැවත ප්‍රකෘති තත්ත්වයට පත් කිරීමට ඇති නොහැකියාවයි. ඉතා සෙමින් වසර ගණනාවක්‌ පුරා සිදුවන මෙම වෘක්‌ක අඩපණවීම සාමාන්‍යයෙන් රෝග ලක්‍ෂණ නොපෙන්වයි. රෝග ලක්‍ෂණ පහළ වන්නේ වකුගඩු වලින් 90% පමණ අකර්මණ්‍ය වූ පසුවය. කාලික වකුගඩු රෝගය නිහඬ මාරයකු ලෙස (Silent Killer) අන්තර්ජාතික වකුගඩු සංගමය හඳුන්වන්නේ එම නිසයි.

බෝනොවන රෝග අතරින් කාලික වකුගඩු අකරණිය ප්‍රධාන තැනක්‌ ගනී. අද වන විට ලෝක ජනගහනයෙන් 10% කට මෙම තත්ත්වය වැළඳී ඇති බවට ගණනය කොට ඇත. මෙම තත්ත්වය ආසියානු සහ අප්‍රිකාණු රට වල යුරෝපයට වඩා උග්‍ර වේ. වයස්‌ගත වීමේදී ස්‌වභාවිකවම වකුගඩුවල ක්‍රියාකාරිත්වයේ යම් අඩුවීමක්‌ දක්‌නට ලැබේ. වැඩිහිටි ජනගහනය තුළ කාලික වකුගඩු අකරණිය වැඩි ප්‍රතිශතයකින් දක්‌නට ලැබේ. මෑතකදී කරන ලද සමීක්‍ෂණ වාර්තා අනුව වයස අවුරුදු 65-74 අතර පිරිමින් ගෙන් 20% කටත්, කාන්තාවන්ගෙන් 25% මෙම තත්ත්වය ඇති බවට පෙනී ගොස්‌ ඇත. වයස අවුරුදු 75 ඉක්‌මවූවන් ගෙන් 50% කට කාලික වකුගඩු අකරණිය ඇති බවට මෙම වාර්තාව තවදුරටත් හෙළි කරයි. වසර 2010 වන විට ලෝක ජනගහණයෙන් මිලියන 2.6 ක්‌ තීව්‍ර වකුගඩු අකරණිය නිසා රුධිර කාන්දුකරණය (Haemodialysis) ලබාගනිමින් සිට ඇත. මෙම සංඛ්‍යාව වසර 2030 වන විට මිලියන 5.4 දක්‌වා ඉහළ යනු ඇති බවට අනුමාන කෙරේ.

ශ්‍රී ලංකාවේ කාලික වකුගඩු අකරණිය සඳහා බලපාන ප්‍රධානතම රෝග වන්නේ දියවැඩියාව, අධික රුධිර පීඩනය, මුත්‍රා ආශ්‍රිත ගල්, වකුගඩු ප්‍රදාහය (Glomerulonephritis) වකුගඩු බහු කෝෂ්ඨ (Polycystic Kidney Disease) රෝගය, මුත්‍රා ආසාදන සහ උතුරු මැද ප්‍රදේශයෙන් මුලින් හඳුනාගත් තවමත් නිශ්චිත හේතුවක්‌ හඳුනා නොගත් වකුගඩු අකරණියයි. දියවැඩියාව සහ අධිරුධිර පීඩනය නිසි ලෙස ආහාර ව්‍යායාම සහ ඖෂධ මගින් පාලනය කර ගැනීමත් වෛද්‍යවරුන් නියම කරන කාල වකවානු වලදී වකුගඩු පරීක්‍ෂා කර ගැනීමත් කාලික වකුගඩු රෝගය වැළඳීම අවම කර ගැනීමට උපකාරී වේ. වකුගඩු ප්‍රදාහ තත්ත්වය මුත්‍රා ගල් සහ මුත්‍රා ආසාදනවලට නිසි ලෙස රෝග විනිශ්චයකින් පසුව විශේෂිත වකුගඩු සායන මගින් ප්‍රතිකාර ලබාගැනීම කළ යුතුය. බහුකෝෂ්ඨ වකුගඩු රෝගය සහ අනෙකුත් ප්‍රවේණිගත වකුගඩු රෝග සඳහාත් නියමිත සායනවලට සහභාගි වෙමින් නියමිත ප්‍රතිකාර දීර්ඝකාලීනව ලබාගැනීම මගින් කාලික වකුගඩු අකරණිය තීව්‍ර වීම වළක්‌වා ගැනීමට හැකි වේ.

මෙවර ලෝක වකුගඩු දිනයේ තේමාව වී ඇත්තේ 'නිරෝගී වකුගඩු සඳහා සෞඛ්‍ය සම්පන්න දිවිපෙවෙතක්‌ යන්නයි. මෙහිදී වැඩිපුර අවධානය මෙවර යොමු කරනු ලබන්නේ ශරීර ස්‌ථුලතාවය පිළිබඳවයි. ස්‌ථුලතාවය යනු අසාමාන්‍ය ලෙස ශරීරයේ මේද පටක එක්‌රැස්‌ වීමයි. 2014 වසර වන විට ලෝකය පුරා මිලියන 600 ක්‌ ස්‌ථුලභාවයෙන් පෙළෙමින් සිට ඇත. ස්‌ථුලතාවය කාලික වකුගඩු රෝග වැළඳීමේ ප්‍රවණතාවය වැඩි කරන බව තහවුරු වී ඇත. සමීක්‍ෂණ මගින් ස්‌ථුල පුද්ගලයන්ගේ කාලික වකුගඩු අකර්මණ්‍යතාව වැළඳීමේ සම්භාවිතාව ස්‌ථුල නොවන පුද්ගලයන්ට වඩා 83% කින් වැඩි බව තහවුරු වී ඇත. ස්‌ථුල දරුවන්ගේ වකුගඩු රෝග තීව්‍ර වීම ස්‌ථුල නොවන දරුවන්ට වඩා වැඩිය.

කාලික වකුගඩු රෝගයට ප්‍රධානතම හේතු කාරක වන දියවැඩියාව හා අධි රුධිර පීඩනය වැළඳීම ද තරබාරු බව නිසා වැඩිවේ. එහෙයින් ස්‌ථුලභාවය පාලනය කර ගැනීමෙන් කාලික වකුගඩු රෝග වැළඳීමේ හැකියාව අඩුකර ගත හැකි අතර දියවැඩියාව සහ අධිරුධිර පීඩනය වැළඳීම ද අඩුවේ. මෙයට අමතරව ඉහත රෝග වල පාලනය ද තරබාරු බව අඩු කිරීමෙන් ළඟාකර ගැනීමට පුළුවන.

සෞඛ්‍ය සම්පන්න දිවිපෙවෙතක්‌ සඳහා නියමිත සමබල ආහාර වේලක්‌ සහ ක්‍රියාශීලී දිවි පෙවෙතක්‌ නිර්දේශ කෙරේ. මෙමගින් ඔබගේ ශරීර ස්‌කන්ධය නිසි පරිදි පවත්වා ගත හැකි වන අතර දියවැඩියාව සහ අධි රුධිර පීඩනය වැනි රෝග වැළඳීමේ අවදානම ද අඩුවේ. මෙවර ලෝක වකුගඩු දිනය වෙනුවෙන් ක්‍රියාශීලී දිවිපෙවෙතක්‌ අප සමාජය තුළ ව්‍යාප්ත කිරීම ප්‍රධාන අරමුණ වේ.

මේ සඳහා විවිධ වූ ශරීරය ක්‍රියාකාරී වන එළිමහන් ක්‍රීඩාවල නිරත වීමද, නිරතුරුව ක්‍රියාශීලී වීමද සුදුසු වේ. මෙහිදී සේවා ස්‌ථානවලදී මෙන්ම නිවසේදී ද කඩිසර වීම සහ වේගයෙන් ගමන් කිරීමද නිර්දේශ කළ හැක. එකම ස්‌ථානයේ එකම ඉරිඅව්වෙන් වාඩි වී සිටීම වලක්‌වා ගත යුතුය. බයිසිකල් පැදීම, පිහිනීම, එළිමහනේ හැල්මේ දිවයාම ආදිය මැදිවියේ හා වැඩිහිටි පුද්ගලයන් හට ඉතාමත් යෝග්‍යය.

මින් ඔබ්බට යන්නා වූ තවත් කරුණු කිහිපයක්‌ කෙරෙහිද අවධානය යොමු කෙරේ. එනම් වකුගඩු රෝග වැළඳීමේ අවධානම වැඩි පුද්ගලයන් හඳුනාගෙන ඔවුන් වසරකට වරක්‌ පරීක්‍ෂාවන්ට භාජනය කිරීමෙන් ඔවුන්ගේ රෝග මූලික අවස්‌ථාවේදීම හඳුනාගෙන ප්‍රතිකාර සඳහා යොමුකරවීමයි. මෙම අවදානම් කාණ්‌ඩයට අයත් වන පුද්ගලයන් නම් 1. සියලු දියවැඩියා රෝගීන්, 2. සියලු අධි රුධිර පීඩන රෝගීන්, 3. ළඟ ලේ ඥතීන්ට වකුගඩු රෝග ඇති පුද්ගලයන් 4. දුම්පානය කරන්නන්, 5. වයස අවුරුදු 50 ඉක්‌මවූ සියලු දෙනා අයත්වේ.

වකුගඩු රැක ගැනීමට ගත යුතු ක්‍රියාමාර්ග ලෙස අන්තර්ජාතික වකුගඩු සංවිධානය විසින් කරුණු 8 ක්‌ මෙවර ලෝක වකුගඩු දිනය නිමිත්තෙන් දක්‌වා ඇත. ඒවා නම්

1. රුධිර සීනි මට්‌ටම නිසි ලෙස පාලනය කර ගැනීම

2. රුධිර පීඩනය නිසි ලෙස පාලනය කර ගැනීම 

3. ජලය හොඳින් පානය කිරීම

4. දුම් පානය නොකිරීම

5. වෛද්‍ය උපදෙස්‌ නොමැති ඖෂධ භාවිතයෙන් වැළකීම

6. සමබල ආහාර අනුභවය මගින් ශරීර ස්‌කන්ධය නිසි පරිදි පවත්වාගෙන ස්‌ථුලභාවය වැලැක්‌වීම

7. ක්‍රියාශීලී දිවිපෙවෙතක්‌ ගතකිරීම

8. ඉහත ඡේදයේ සඳහන් කළ අවදානම් පුද්ගලයන්ගේ වකුගඩු පරීක්‍ෂාවට ලක්‌ කිරීම

ලෝක වකුගඩු දිනය නිමිත්තෙන් 'නිරෝගී වකුගඩු සඳහා නිරෝගී දිවි පෙවෙතක්‌' යන තේමාව යටතේ ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල මගින් 2017 මාර්තු මස 09 වන බ්‍රහස්‌පතින්දා දින විශේෂ වැඩසටහනක්‌ ක්‍රියාත්මක කෙරේ. උදැසන 8 සිට සවස 1.00 වන තුරු පවත්වන මෙම වැඩසටහනට වකුගඩු රෝග වලින් නොපෙළෙන පුද්ගලයන්ට තම වකුගඩු නොමිලේ පරීක්‍ෂා කර ගැනීමට විවෘතව ආරාධනය කෙරේ. මෙහිදී ඔවුන්ව පූර්ණ වෛද්‍ය පරීක්‍ෂාවකට ලක්‌ කෙරෙන අතර මුත්‍රා හා රුධිර පරීක්‍ෂාවන් නොමිලයේ සිදු කර නිර්දේශ ලබා දෙනු ඇත. මෙයට සමගාමීව විශේෂඥ දියවැඩියා සායනයක්‌ සහ පෝෂණවේදී සායනද පැවැත්වේ. තවද වකුගඩු බද්ධ කිරීම පිළිබඳව හා මොළය මියගිය පුද්ගලයන්ගේ අවයව රෝගීන් සඳහා ප්‍රදානය කිරීම පිළිබඳවත් විශේෂ දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක්‌ ද ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. ක්‍රියාශීලී දිවිපෙවෙතක්‌ සඳහා උපදෙස්‌ සහ අධ්‍යාපනය එදින ලබා දීමට කටයුතු සියල්ල සූදානම් කර ඇති අතර විශේෂාංගයක්‌ ලෙස (Zumba) සුම්බා නැටුම් ක්‍රමය හඳුන්වා දීමට ද කටයුතු සලසා ඇත. මෙම මහඟු අවස්‌ථාවට සහභාගි වී අනාගතයේදී ශ්‍රී ලංකාවේ වකුගඩු රෝග අවම කර ගැනීමේ ක්‍රියාවලියට සක්‍රීයව එක්‌වන ලෙස හා ඉන් අපේක්‍ෂිත ප්‍රයෝජන ලබා ගන්නා ලෙස මෙයින් ආරාධනය කෙරේ.

වකුගඩු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය චින්තන ගලහිටියාව ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල

Post a Comment

0 Comments