ලෝකයේ සීග්‍රයෙන් ජනගහනය වියපත්වීමට ලක්‌වන රටවල් අතර ශ්‍රී ලංකාව ද එකකි. 2011 ජන සංගණනයට අනුව වත්මන් ශ්‍රී ලංකාවේ වියපත් ජනගහනය 12% ක් පමණ වන අතර 2015 වන විට එය 28% දක්‌වා වර්ධනය වනු ඇතැයි ජනගහන විද්‍යාඥයින් විසින් පුරෝකථනය කර ඇත. එමනිසා වැඩිහිටියන් ගේ ජීවන තත්ත්වය වඩාත් සෞඛ්‍යමත් සහ ගුණාත්මක තත්ත්වයට පත්කිරීම සදහා වන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම පිළිබදව ශ්‍රී ලංකා රජයේ මෙන්ම සියලු සංවර්ධන ක්‍රියාධරයන්ගේ අවධානය යොමුකළ යුතු බව නොඅනුමානය.
තවමත් අප සමාජයේ එතරම් අවධානයට ලක් නොවූ එහෙත් සමාජය තුළ වරෙක ප්‍රකටව සහ තවත් වරෙක අප්‍රකටව පවතින සමාජ ගැටළුවක් පිළිබදව මෙම ජාත්‍යන්තර වැඩිහිටි දිනය අරමුණු කරගෙන සටහනක් තැබීමට සිතුවෙමි. "වැඩිහිටි හිංසනය" යන වදන අප සවනට එතරම් හුරු නොවූවක් වුවද, වත්මන් සමාජයේ අප්‍රකටව සිදුවන එහෙත් නුදුරු අනාගතයේ අප සමාජයේද ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වන සමාජ ගැටලුව පිළිබද අපගේ දැනුවත්භාවය ප්‍රමානවත්දැයි සිතීමට මේ සුදුසුම කාලයයි. වැඩිහිටියන් හිංසනයට ලක්‌වීම තවමත් සැගවුණු ගැටලුවක්‌ව පවතී. බොහෝ අය විශ්වාස කරන්නේ විස්‌තෘත පවුල් ක්‍රමයක් පවතින ආසියානු සමාජයන්හි වැඩිහිටි හිංසනය අඩු බවයි. ශ්‍රී ලංකාව තුළ තවමත් මේ පිළිබද පර්යේෂණ සිදුකර නොමැති තරම්ය.
එසේ වුවද ශ්‍රී ලංකාව තුළ සිදුවන වැඩිහිටි හිංසනයෙහි ස්‌වරූප කිහිපයක් දැකිය හැකිය. විශේෂයෙන් ශාරීරක හිංසනය, මානසික හිංසනය, වාචික හිංසනය නොසලකා හැරීම මෙන්ම ලිංගික හිංසනයන්ටද වැඩිහිටියන් ලක්‌වීම පිළිබද පුවත් අසන්නට ලැබේ. අවාසනාවන්තම තත්වය වන්නේ බොහෝ විට වැඩිහිටියන්ගේ මුදල් මත පරාධීන වන අයවලුන් අතින් වැඩිහිටියන් මුල්‍යමය අපයෝජනයන්ටද ලක්‌වීමයි. විශේෂයෙන් තමන්ගේ එදිනෙදා වැඩ කටයුතු තමන්ට තනිව ඉටුකරගත නොහැකිව අන් අය මත යෑපීමට සිදුවන වැඩිහිටියන් වැඩි වශයෙන් හිංසනයට පත්වේ. එසේම බොහෝ විට වැඩිහිටියකු හිංසනයට ලක්‌වන්නේ අමුත්තන් අතින් නොව ඔහු හෝ ඇය හොදින් හදුනන පුද්ගලයන් අතින් වීම කැපී පෙනේ. බොහෝ විට පවුලේ සාමාජිකයන්, සහකරුවා, බලය ලත් රැකබලාගන්නකු, අසල්වැසියන් හෝ මිතුරන් මොවුනතර වේ. හිංසනයට ලක්‌වන බොහෝ වැඩිහිටියන් හිංසනයට ලක්‌වන්නේ සිය දියණිය, පුතා හෝ සහකරුවන් අතිනි.
වැඩිහිටි හිංසනය සදහා බලපෑම් කරන අවධානම් සාධක කිහිපයක් හදුනාගත හැක. ඩිමෙන්ෂියා වැනි මතකය පිළිබද ගැටළු යම් වැඩිහිටියකුට ඇත්නම්, ඇදෙන් නැගිටීමට නොහැකිවීම, ඇවිදීම, සිය වැඩ කටයුතු කරගැනීමට නොහැකිවීම ට බලපෑම් කර ශාරීරක ආබාධ පැවතීම, මත්ද්‍රව්‍යවලට ලොල් වූ අයවලුන් පවුලේ සිටීම, පවුලේ සාමාජික සංඛ්‍යාව වැඩිවීම, ආතතිය, හුදෙකලාව සහ සමාජ උපකාරක ව්‍යqහයන් හිගවීම ආදිය ඒ අතර ප්‍රධන වේ. වැඩිහිටියකු මෙවන් එක අවදානම් සාධකයක් හෝ සාධක කිහිපයක එකතුවක් නිසා හිංසනයට ලක්‌විය හැකිය.
නොසලකාහැරීම වැඩිහිටි හිංසනයේ ප්‍රධානතම ස්‌වරුපයකි. රෝහලකදී, සාත්තු නිවාසවලදී, වැඩිහිටියාගේම නිවාස තුළ හෝ වැඩිහිටි නිවාස වැනි පොදු ස්‌ථානවලදී මෙය සිදුවිය හැකිය. වැඩිහිටියාට අවශ්‍ය ආහාර, ඇදුම්, පහසුව, ප්‍රමාණවත් සීතල හෝ උණුසුම නිවාස තුළ නොමැතිවීම, වැසිකිළි, ඖෂධ ලබා නොදීම ආදිය මෙම ඝනයට වැටේ. එසේම හිංසනයට ලක් කරන්නා විසින් වෛද්‍යවරයකු වෙත වැඩිහිටියා රැගෙන නොයාම හෝ බැලීමට ඇති අවකාශයන් අවුරා තැබීම ද නොසලකා හැරීමෙහි තවත් ස්‌වරූපයකි. බඩගින්නෙන් සිටීමට සිදුවීම, ශාරීරික අපද්‍රවය සහ ආසාදනයන් සහිතව දින කිහිපයක් පුරා ඇදෙහි වැතිර සිටීමට වැඩිහිටියාට සිදුවීම මෙහි අහිතකර ප්‍රතිපලයන්ය.
එසේම වැඩිහිටියන්ට මුහුණදීමට සිදුවන තවත් හිංසනයක් වන්නේ ලිංගික හිංසනයයි. මෑතකදී අප රටෙහි මාධ්‍යයට වාර්තා කළ එක සිදුවීමක් වූයේ වයස අවුරුදු 17 ක් වන මුණුපුරා විසින් සිය 78 හැවිරිදි මිත්තණිය දුෂණය කර ඇති බවයි. මෙවන් බොහෝ සිදුවීම් රට තුළ සිදු වුවද ඒවා වාර්තා වන්නේ ඉතා අඩුවෙනි. මෙයාකාරයෙන් වැඩිහිටියන්ට මුහුණදීමට සිදුවන විවිධ අපයෝජනයන් හේතුවෙන් ඔවුන් වඩාත් අසරණ තත්ත්වයන්ට පත්වනු දැකිය හැකිය. තුවාල සිදුවීම, දියවැඩියාව හේතුවෙන් එවන් තුවාල ඉක්‌මනින් සුවපත් නොවීම, ආබාධිතභාවයට පත්වීම, මානසික රෝගවලට ලක්‌වීම, අංශභාගයට පත්වීම මෙන්ම මරණයට පත්වීම දක්‌වා මේවායෙහි ප්‍රතිපලයන් අහිතකර වන බව පෙනෙන්නට තිබේ.
පුවත්පත්වල සදහන් වූ විවිධ සිදුවීම් මෙන්ම, අප එදිනෙදා මුහුණ දෙන අත්දැකීම් විමසන කළ පෙනී යන්නේ වැඩිහිටියන්ට සිදුවන හිංසනයන් ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වන බවයි. ඔවුන්ට කෑම බීම පවා ලබා නොදී නිවසින් එලවා දමන, ඔවුන් පවුලට බරක් හෝ අගෞරවයක් සේ සලකා වැඩිහිටි නිවාස වෙත කොටු කිරීම, සිය මාපියන්ගේ දේපළ තමා සතු කරගෙන ඔවුන් එලවා දැමීම, සිය දෙමාපියන් මෙහෙකාර සේවයේ යෙදවීම, ඔවුනගේ මුදල් බලෙන් උදුරාගැනීම වැනි දෑ කිසිදු චකිතයකින් තොරව සිදුකරන දරුවන් ඕනෑතරම් අප සමාජයේ දක්‌නට ඇත. විශේෂයෙන් වැඩිහිටියන්ට ලැබෙන විශ්‍රාම වැටුප ඔවුන්ගෙන් ලබාගැනීම, රැකියාව අවසානයේ ඔවුනට ලැබෙන සේවක අර්ථසාධක අරමුදල් වැනි ප්‍රතිලාභ ඔවුන් රවටා ලබාගැනීම සහ එම මුදල් අනවශ්‍ය දෑ සදහා වැයකිරීම වත්මන් දරුවන් සිදුකරන්නේ එය සමාජය පිළිගත් සම්මත ක්‍රියාවක් කරන්නාක් මෙන් සිතාගෙනය. පවුල් ආරවුල් වලදී බොහෝ විට වඩාත් ගොදුරු බවට පත්වන්නේ අසරණ වැඩිහිටියන්ය. අද දබර වලදී තුවාල සිදුවීම, පහර කෑම් වලට ලක්‌වීම, දැඩි මානසික වේදනාවන්ට ලක්‌වීම, තර්ජනයන්ට ලක්‌වීම, රැවුම් ගෙරවුම්වලට ලක්‌ව සිත් රිදවීමට ලක්‌වීම වැඩිහිටියන් මුහුණ දෙන වඩාත් පොදු හිංසනයන්ය.
ජාත්‍යන්තර වැඩිහිටි දිනය සමරන මේ මොහොතේ අපගේ අරමුණ විය යුත්තේ පැය කිහිපයක ඉතා සුළු මොහොතක සතුටක් ලබාදීම සදහා හුදෙක් උත්සව සංවිධානය කිරීම පමණක් නොවේ. වැඩිහිටියන් සතුටින් තැබීම අත්‍යවශ්‍ය වුවද තාවකාලික එවැන්නකට වඩා මුළු මහත් වැඩිහිටි පරපුරටම දීර්ඝකාලීන ප්‍රතිලාභ ලැබෙන අයුරින් අපගේ වැඩසටහන් සංවිධානය කිරීමටද අප වග බලා ගත යුතුය. වැඩිහිටි හිංසනය වැලැක්‌වීම සහ පිටුදැකීම සදහා වන ප්‍රතිපත්ති සම්පාදනයටත්, නීති රීති සම්පාදන කර ක්‍රියාත්මක කිරීම සදහාත්, වැඩිහිටි හිංසනය පිළිබදව පොදු ජනතාව අතර දැනුවත්භාවය වැඩිකිරීම තුළින් ඔවුන් ඒවාට එරෙහිව නැගී සිටින තත්ත්වයට පත්කිරීම සදහාත් අප වෙත පැවරී ඇති සමාජ වගකීම ඉටුකිරීම සදහා සුළුවෙන් හෝ යමක් කිරීමට සුදුසුම කාලයයි.
චන්දිමා අබේවික්‍රම
0 Comments