දේව බලය ලංකරගන්න


ජීවිතය පිළිබඳ අනේකවිධ ආකෘතීන් අප විසින් අත්දැක තිබේ. බුදු දහම මිනිසාට මඟ කියා දෙන්නේ සතර අගතියෙන් තොරව සිය ජීවිතය ගෙවන ආකාරයයි. මේ මඟ අනුව සිය ජීවිතය පවත්වාගෙන යැම සඳහා උනන්දුව ඇති කර ගැනීමේ වාසිය එලොව මෙලොව දෙකටමය. එසේ තිබියදී තවමත් අපේ සමාජය විසින් උපතින් ලැබූ මේ දායාදය, සිය දියුණුව පිණිස භාවිතා නොකරන තරමට එහි අගය වටහාගෙන ඇත. මහා දායාදයක්‌ ඔබේ අතට පත්කිරීම සඳහා මේ මාර්ගෝපදේශය ලබාදෙන්නේ පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්‌වාමීන් වහන්සේය.

භාවනාව සම්බන්ධයෙන් අසාමාන්‍ය හැකියාවන් තියෙන අය තවම ඉන්නවා.

මට මතකයි, එක දවසක්‌ මම මගේ සහෝදර ස්‌වාමීන් වහන්සේනමක්‌ එක්‌ක භාවනා කරන්න ගියා. එදා හරි පුදුම වැඩක්‌ වුණා. ඔන්න අපි දෙන්නා වාඩිවෙලා භාවනා කරගෙන ඉන්නවා. අපි හරී උත්සාහයක්‌ ගන්නවා සමාධියක්‌ ඇතිකර ගන්න. නමුත් දෙන්නට ම සමාධියක්‌ නෑ. අපි සමාධියක්‌ ඇතිකර ගන්න දවස්‌ ගාණක්‌ මහන්සි ගන්නවා. එක දවසක්‌ හවස හතට විතර අපි දෙන්නා කුටියේ බිම වාඩිවෙලා කළුවරේ භාවනා කරනවා. එහෙම භාවනා කරන කොට දත්කූරු කනවා. මම හිතුවා 'ඉතින් යකෙක්‌ වැහිලා තමයි දැන් මේ තියෙන්නේ..' කියලා. මමත් දැන් හොඳට ම බයවෙලා. දැන් ඉතින් මගේ භාවනාවත් ඉවරයි. මම දැන් හිතනවා 'මම දැන් කතා කරනවා ද, නැද්ද..? මම දැන් මොකක්‌ද කරන්නේ..?' දැන් උන්වහන්සේ විනාඩි දහයක්‌ විතර දත්කූරු කනවා. ඊට පස්‌සේ ටිකක්‌ වෙලා ඉන්නකොට මම ඉක්‌මනට ගිහිල්ලා ලයිට්‌ එක දැම්මා. මම ''මොකද.. මොකද..?" කියලා ඇහුවා. ''හරි.. හරි.." කිව්වා. මං ඇහුවා ''මොකක්‌ද..?" කියලා. ''මං හිත එකඟ කළා.." කිව්වා. ''ඉන්නකෝ බලන්න හරි ගියා ද කියලා.." උන්වහන්සේ ආයෙමත් වාඩිවෙලා මෙනෙහි කරනවා. ''හරි.. හරි.." කිව්වා. දවස්‌ දෙකෙන් හතරවැනි ධ්‍යානයට ම ගියා. ඊට පස්‌සේ අරූප ධ්‍යානත් වැඩුවා. නමුත් අපි දෙන්නාගේ මාර්ගය ගැන පොඩි පොඩි ප්‍රශ්න ඇතිවුණා. ඒ කියන්නේ උන්වහන්සේ මාර්ගය ගැන කතා කරද්දී මට එකඟ වෙන්න බැරි දේවල් කියන්න පටන් ගත්තා. ඒ කියන්නේ සමහර විට ධර්මයේ තියෙන කාරණාවලට එකඟ වෙන්නේ නැති දේවල් කිව්වා. මං කිව්වා ''එහෙම කරන්න එපා.. අපට වැරදුණත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයට වරදින්නේ නෑනේ.. .ඒ නිසා අපට වරදින දේ හරි කියලා හිතලා ඒක ධර්මයේ නැත්නම් ඊට පස්‌සේ ධර්මයේ මේක නෑ.. .නමුත් මේක හරි... කියලා කිව්වොත් ඒක අපේ දෘෂ්ටියක්‌." කියලා. මේ විදිහට අපි දෙන්නාගේ අදහස්‌වල පුංචි පුංචි ගැටලු සහගත තැන් ඇතිවුණා. නමුත් මම ඒ කිව්වේ එයාට සමාධිය වඩන්න තිබුණු හැකියාව ගැනයි. ඒ වගේ අසාමාන්‍ය හැකියා තියෙන අය ඉන්නවා.

හොඳට සමාධිය වඩන සමහර පොඩි දරුවන් මට මුණගැහිලා තියෙනවා. ඒ වගේ ම හොඳට සමාධිය වඩන වයසක අම්මලා මුණගැහිලා තියෙනවා. එතකොට අපට පේනවා, මේ සමාධිය කියන එක පින් බලයක්‌. ඒ කියන්නේ පිනකින් ලබාගන්න දෙයක්‌. මට මුණගැහිලා තියෙනවා සමහර වයසක අම්මලා. ඒ අය කාලයක්‌ මහන්සි අරන් විනාඩි දෙකෙන් තුනෙන් බොහෝම ධාර්මිකව බොහොම හොඳට චිත්ත සමාධිය පුරුදු කරනවා. අපට පැහැදිලිව ම කියන්න පුළුවන්, එබඳු අය මරණින් මත්තේ සුගතියේ යනවා ම යි. දුගතියක යන්නේ නෑ. අපට තියෙන ලොකු ම වාසිය ඒකනේ. අපි දන්නේ නෑනේ අපේ පින්බලය දුර්වල වුණොත් මරණාසන්න වෙනකොට භූතයෝ අපිව එහෙට මෙහෙට ඇදලා ගන්නවානේ. එතකොට ඔක්‌කොම ඉවරනේ.

දෙවිවරු හැමදාමත් ධර්මයට සම්බන්ධයි·

අපට හරි පැහැදිලියි, බුද්ධ ශාසනයත් එක්‌ක දෙවිවරුන්ගේ සම්බන්ධයක්‌ තියෙනවා ම යි. බුදුරජාණන් වහන්සේ දෙවියන්ගේත්, මිනිසුන්ගේත් ශාස්‌තෘන් වහන්සේනේ. අපි ඉස්‌සර සැවැත්නුවර ගියාම පායන කාලය නිසා නව ෙ-තවනාරාමය කියන ලංකාරාම පන්සලේ බූරු ඇඳන් දාගෙන නිදාගන්නේ. සමහර දවස්‌වල අපි සැතපිලා කතා කරමින් ඉන්නකොට අපට පේනවා හරියට එළි සැවැත්නුවර ෙ-තවනාරාමයට යනවා. ඒවාට උල්කාපාත කියලා කියන්න බෑ. උල්කාපාත නම් ෙ-තවනාරාමයට විතරක්‌ වැටෙන්නේ කොහොමද? හරියට එළි වැටෙනවා. සමහර දවස්‌වලට අපි දහය, පහළොව, විස්‌ස ගණන් කරනවා. මට එක නායක ස්‌වාමීන් වහන්සේ නමක්‌ කිව්වා දවසක්‌ උන්වහන්සේ පාන්දර තුනට විතර එළියට වඩිද්දි දැක්‌කලු පැට්‍රල් ලාම්පු එළියක්‌ වගේ ලොකු එළියක්‌ ගන්ධ කුටියේ ඉස්‌සරහා තියෙනවා. ඊට පස්‌සේ ටිකක්‌ වෙලා යනකොට ඒ එළිය උඩට ගියා කිව්වා. ඒ වගේ එකක්‌ මමත් ලංකාවේ දී දැක්‌කා. මට ධර්මය උගන්වපු උතුම් ස්‌වාමීන් වහන්සේ නමක්‌ වැඩසිටියා, වලානේ අමිතගවේසී කියලා. දවසක්‌ උන්වහන්සේයි, මමයි පාන්දර ථූපාරාමයට යද්දී අපට වඩා මීටර් දෙකක්‌ වගේ ඉහළින් එළියක්‌ ගියා. එතකොට අමිතගවේසී ස්‌වාමීන් වහන්සේ කිව්වා ''ආන්න ඤාණානන්ද එළියක්‌.." කියලා. ඊට පස්‌සේ ඒක ටික දුරක්‌ ගිහිල්ලා නැතුව ගියා. එතකොට අපට පැහැදිලිව පේනවා, මේ ධර්මයට දෙවිවරු හරිම සම්බන්ධයි.

ඒ වගේම ධර්මයේ හැසිරෙන පිරිසත් එක්‌ක දෙවිවරු ගොඩක්‌ සම්බන්ධයි. ඒ වගේ ම තිසරණයේ පිහිටලා හොඳට සීලාදී ගුණ රැකගෙන වාසය කළොත් එයාව ආරක්‌ෂා කරනවා කියලා දෙවිවරු පොරොන්දු වෙලා ඉන්නවානේ. ඒ විදිහට දෙවිවරුන්ගේ ගොඩක්‌ සම්බන්ධකම් තියෙනවා. ඊ ළඟට ඔය එළි ගැන කතාකළොත් අපට ඒ සියලු ම එළි දේවතා එළි කියලා කියන්න බෑ. මොකද, අපි දැකලා තියෙනවා, වෙනත් ආගම්වල අයගේ දේවස්‌ථානවලත් යම් යම් ආකාරයට ඔය වගේ එළි පෙනිලා තියෙනවා.

අපේ බුද්ධගයාවේ අසපුව තියෙන්නේ නේරංජනා ගඟ අයිනේ. මම ඉස්‌සර වෙලාම අසපුව හදන්න ඉඩමක්‌ බලන්න ගියා. යනකොට ලස්‌සන අඹ ගස්‌ දෙකක්‌ තියෙනවා. මට මේ අඹ ගස්‌ දෙකට හිත ගියා. මං ඒ එක අඹ ගහකට අත තියලා කිව්වා ''මේකේ දෙවිවරු ඉන්නවා නම් මට මේ භූමිය ගන්න උදව් කරන්න" කියලා. ඉතින් ඉන්දියාව වගේ තැනක අපට ඒ වගේ දෙයක්‌ කරන්න හරි අමාරුයිනේ. නමුත් නන්නාඳුනන රටක අපි කොහොම හරි ඒ ඉඩම අරගෙන අපේ ගොඩනැඟිලිත් හැදුවා. දවසක්‌ අපි මේ අඹ ගස්‌දෙක ෙµdටෝ ගත්තා. ගන්න කොට එක අඹ ගහකින් එළියක්‌ ආවා. ඒ අඹ ගහේ ඉන්නේ දෙවඟනක්‌. නළලින් පල්ලෙහාට තැල්ලක්‌ ඇවිල්ලා කරාබු දෙකක්‌ දාලා හිනාවෙලා ඉන්නවා. මේ ඔක්‌කොම ෙµdටෝ එක ලොකු කළාම පේනවා.

සමහර අවස්‌ථාවල අපි සොහොනකට ගියාම මිනී පුච්චන තැනට ගිහිල්ලා එතැන ඡායාරූප ගත්තා. හැමතැනම එළි. ඒවායින් අපි තේරුම් ගත්තා මේවාට දේවතා එළි කියන විග්‍රහය ගත්තොත් ඒක සාර්ථක විග්‍රහයක්‌ නෙවෙයි. මොකද, භූතයන්ගෙත් ඒවා පේනවා. ඒ නිසා මේක දෙවිවරුන්ටම විතරක්‌ තියෙන එකක්‌ නෙවෙයි. මොකද, සොහොනකට ගිහිල්ලා මිනී පුච්චන තැනක ෙµdටෝ එකක්‌ ගත්තාමත් එතැන දහස්‌ ගාණක්‌ එළි තියෙනවා. ඉතින් ඒ නිසා අපට ඒ එළි පිළිබඳව මේ දෙවිවරුමයි කියලා එකපාරට විග්‍රහයක්‌ කරන්න බෑ. හැබැයි, ඒ එළි පිළිබඳව යම්කිසි විග්‍රහයක්‌ කරන්න පුළුවන්. ඒ සමහර එළි හරි දීප්තිමත්. අන්න එතකොට අපට හිතාගන්න පුළුවන් මේක නම් විශේෂ ආලෝකයක්‌ කියලා.

රුවන්වැලිසෑයේ අපේ පින්කමේ දී එවැනි විශාල ආලෝකයක්‌ තිබුණා. සෝමාවතියේ පින්කමේදීත් එහෙමයිs. සෝමාවතියේ අපේ ඇස්‌ ඉදිරිපිට බුදුරැස්‌ පවා විහිදෙනවානේ. ඉතින් ඒ නිසා මේ වගේ එකක්‌ ලෝකයේ තියෙනවා කොටින් ම අපි යහපත් දෙයක්‌ කරනවා නම්, හොඳ දෙයක්‌ කරනවා නම් එහෙම දෙයක්‌ තියෙනවා. මං හිතන්නේ ඒ දේවල් මේ ලෝකයේ සත්පුරුෂයන්ගේ ක්‍රියාවට තියෙන එකක්‌ කියලයි.

අද අමනුෂ්‍ය ග්‍රහණය බලවත්·

සමහර අය අවසාන මොහොතේ නිකන් තෝන්තුවෙන් වගේ කියනවා ''අන්න අසවලා ආවා.. අන්න පුංචි අම්මා ආවා· මට අඬගහනවා.." කියලා. මේ වගේ දොඩවනවා. එතකොට ගෙදර අය මේක විහිළුවට ගන්න හොඳ නෑ. ඒ වෙලාවට එයාගේ ඔළුවට අත තියලා කියන්න ඕන ''එහෙම නම් අම්මාව බුදුරජාණන් වහන්සේට භාරයි, ධර්මරත්නයට භාරයි, සංඝරත්නයට භාරයි. ගෞතම ශාසනය කෙරෙහි සිත් පහන් වූ සම්‍යග්‍රහ දෘෂ්ටික දෙවියන්ගේ ආරක්‌ෂාව අම්මාට ලැබේවා..·" කියලා. එතකොට අර විදිහට යම් බලපෑමක්‌ තියෙනවා නම් ඒ බලපෑම බයවෙනවා, එයාව දැක්‌කා කියලා. මොකද, ඒගොල්ලෝ ගොඩාක්‌ ළංවෙන්නේ ඒ අයව අපට පේන්නේ නෑ කියලා හිතලයි. කවුරු හරි කෙනෙක්‌ එකපාරට කිව්වොත් ''එහෙම කරන්න එපා.." කියලා එතකොට ඒ අය හිතනවා අපිව දැක්‌කා කියලා. එතකොට ඒගොල්ලෝ මඟ හරිනවා. ඒ වගේ දේවල් හරි පුදුම විදිහට තියෙනවා. සමහර අමනුෂ්‍යයෝ මිනිස්‌සු කන බොන දේවල්වල රසය උරා ගන්නවා. තවත් සමහර අමනුෂ්‍යයෝ මිනිස්‌සුන්ගේ ඇඟවලට රිංගලා ඇඟවල්වල ඉඳලා ජීවත් වෙනවා.

ඒකෙන් අපට එකක්‌ තේරුම් ගන්න පුළුවන්. ඒ තමයි මේ සියල්ල අනාත්මයි කියලා. ඒ කියන්නේ මේ අපේ ශරීරයේ යම්කිසි ශක්‌ති සම්පන්නභාවයක්‌ තිබුණා නම් එහෙම වෙන්නේ නෑනේ. එච්චර ඕන නෑ, එක්‌ස්‌ රේ එකකට පුළුවන්නේ මේ ශරීරය හරහා යන්න. ඒ වගේ මේ ශරීරය හරහා යන්න භූතයන්ට පුළුවන්. හැබැයි, අපේ පින් බලයෙන් තමයි අපි ආරක්‌ෂා වෙන්නේ.

බුද්ධ දේශනාවේ තියෙනවා අපට ශරීර තුනක්‌ තියෙනවා කියලා. එකක්‌ මේ භෞතික ශරීරය. අනිත් එක මානසික ශරීරය. අනිත් එක සඤ්ඤාමය ශරීරය. සමහර අයගේ කර්මානුරූපව මානසික ශරීරයේ සිදුරු තියෙනවා. භූතයන්ට ගොඩක්‌ වෙලාවට පේන්නේ මේ භෞතික ශරීරය නෙවෙයි, මානසික ශරීරයයි. ඒකයි ගොඩක්‌ භූතයෝ බණ භාවනා කරන අයට කරදර කරන්නේ. මොකද, බණ භාවනා කරන කොට එයා මනස එකඟ කරනවානේ. ඒ විදිහට එකඟ කරන කොට එයාට තමන්ගේ බලය පවත්වන්න බැරුව යනවා. එතකොට භූතයා කරදර කරනවා.

අපි ගත්තොත් එයාගේ ඤාති දරුවෙක්‌ පාරේ යනවා කියමු. යනකොට මේ භූතයා එකපාරට හඳුනාගන්නවා 'මේ ඤාතියා..' කියලා. හඳුනාගෙන එයා පස්‌සෙන් යනවා. එයාගේ මානසික ශරීරයේ සිදුරක්‌ තියෙනවා නම් එතැනින් ඇඟට රිංගනවා. ඒ සිදුර හැදෙන්නේ කර්මානුරූපව. සමහරු භූතදෝෂවලින් දුක්‌ විඳිනවා, සමහරු එහෙම භූතදෝෂවලින් දුක්‌ විඳින්නේ නෑ. ඒ කියන්නේ සමහරුන්ට එහෙම දෙයක්‌ නෑ. ඒ නිසා සමහරු ඒක විශ්වාස කරන්නේ නෑ. 'කොවුර්' වගේ මහත්මයෙක්‌ ඒක විශ්වාස කළේ ම නෑ. එතුමා භූතයෝ වැහුණු තැන්වලට යනකොට භූතයා යනවා. එයාත් එක්‌ක කතා කරන කොට භූතයෙක්‌ නෑ. ඒ නිසා එතුමා කියනවා "මේක රෝගයක්‌ මිසක්‌ එහෙම එක්‌ක නෙවෙයි.." කියලා.

නමුත් අපට හරි පැහැදිලියි, සමහර විට වෛද්‍යවරුම බෙහෙත් කරලා කරලා කියනවා "අපට මේ රෝගය හොයාගන්න බෑ, වෙන ක්‍රමයකින්වත් ඕක සනීප කරන්න පුළුවන් ද කියලා බලන්න" කියලා. සමහර විට බෝධිපූජා තියලා පිරිත් කියලා බණ භාවනා කරනකොට අර රෝගය සනීප වෙනවා. ඒ මොකද, භූත කරදරයක්‌ නිසා නම් එයා රෝගී වුණේ ඒ භූත කරදරේ අයින් වුණා ද එයා නිකන්ම සනීප වෙනවා. ඒ වගේ ම මිනිස්‌සුන්ට අනවින කොඩිවින බන්ධන හදි හූනියම් ආදි දේවල් කරනවානේ. එහෙම එකක්‌ ලෝකයේ තියෙනවානේ. මේක හරිම පාපයක්‌. විශාල පාපයක්‌. ඒ කියන්නේ ඒ අමනුෂ්‍යයන්ව නොමඟ යවලා අමනුෂ්‍යයන් ලවා කරවන වැඩ. බාල වර්ගයේ අමනුෂ්‍යයෙක්‌ වෙලා උපදින්නේ ම එයාගේ චරිත පරිහානියක්‌ නිසානේ. එතකොට ඒ කෙනාගේ රුචිකත්වයට වුවමනා කරන පොඩි පොඩි දේවල් දීලා "අරයා මරපන්.. මෙයාට හිංසා කරපන්.." කියලා කියනවා.

එහෙම කරන්න පුළුවන්. මේක විශාල පාපයක්‌. පින් පව් විශ්වාස කරන කෙනෙකුට නම් මේක කරන්න බෑ. මම ඒකයි කිව්වේ අපි ඉස්‌සර වෙලාම සත්පුරුෂයෙක්‌ වෙන්න ඕන කියලා. සත්පුරුෂයෙක්‌ නම් කවදාවත් ඒ වගේ දේවල් කරන්නේ නෑ.

නිහතමානී බව සත්පුරුෂ ගුණයකි·

අපි දන්නවානේ උරුවේල කාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප කියන තුන්බෑ ජටිලයන් ගැන. උරුවේල කාශ්‍යප මුල ඉඳලාම ලොකු මාන්නයකින් හිටියා. බුදුරජාණන් වහන්සේ මෙයාව දමනය කිරීම පිණිස එක එක විදිහට සියගාණක්‌ Rද්ධි ප්‍රාතිහාර්ය පානවා. නමුත් මෙයා හිතන්නේ 'මේ මහා ශ්‍රමණයන් වහන්සේ හරි Rද්මත් කෙනෙක්‌ තමයි. නමුත් මම වගේ රහත් නෑ·' කියලයි. 'මම වගේ රහත් වෙලා නෑ·' කියලා දෘෂ්ටියක හිටියා. හැබැයි සත්පුරුෂයෙක්‌. බුදුරජාණන් වහන්සේ Rද්ධි ප්‍රාතිහාර්ය පානවා පානවා නමුත් හරි යන්නේ නෑ. බුදුරජාණන් වහන්සේ දවසක්‌ කෙළින්ම කිව්වා, 'කාශ්‍යප, ඔබ රහත් කෙනෙක්‌ නොවේ· ඒ වගේම ඔබ රහත් මඟ දන්න කෙනෙකුත් නොවේ·' කියලා.

එහෙම කියපු ගමන් වෙන කෙනෙක්‌ නම් බැන්නා කියලා ඔන්න ආයෙමත් පටන් ගන්නවානේ. 'මම ශ්‍රමණ ගෞතමයන්ට නවාතැන් දුන්නා.

ඉන්න දුන්නා. ඒ ඔක්‌කොමත් දීලා ඔන්න මටත් බණිනවා' කියනවානේ. මොකද, අසත්පුරුෂයා අවවාදයට කැමැති නෑ. නමුත් සත්පුරුෂයා අවවාදයට කැමැතියි. එහෙම කිව්වා විතරයි මෙයා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ වැඳවැටුණා 'ස්‌වාමීනී භාග්‍යවතුන් වහන්ස, මට සමාවෙන සේක්‌වා...· මට ඒ අර්හත් මාර්ගය පෙන්වා දෙන සේක්‌වා...· කියලා කිව්වා. අන්න සත්පුරුෂයා. එහෙම නම් සත්පුරුෂයාගේ එක ලක්‌ෂ ණයක්‌ තමයි නිහතමානීකම.

මොකද, දේවදත්ත ගැන ගත්තොත් එයා ඒ ඔක්‌කෝම කළේ මාන්නයත් එක්‌කනේ. ජාඩියට මූඩිය වගේ දේවදත්තගේ ගැටේටම කෝකාලික කියලා තව පුද්ගලයෙක්‌ අහුවෙලා හිටියා. ඒකටම ගැලපිලා හිටියා. කෝකාලිකත් සාරිපුත්ත මහරහතන් වහන්සේටයි, මොග්ගල්ලාන මහරහතන් වහන්සේටයි අනන්ත අප්‍රමාණ නින්දා අපහාස කළා. ඒකෙ විපාක හැටියට ඇඟ පුරාම වසූරිය ගෙඩි හටගත්තා. ඔන්න මේ ගෙඩි ලොකු වෙලා දැන් ඉතින් මරණාසන්නයි. මෙයාගේ කලින් ජීවිතයක මිත්‍රයෙක්‌ වන කෙනෙක්‌ 'තුදු' කියලා බ්‍රහ්ම රාජයෙක්‌ වෙලා හිටියා. ඉතින් මෙයා බ්‍රහ්ම ලෝකයේ ඉඳලා කෝකාලික ගැන අනුකම්පාවෙන් 'මෙයාව බුද්ධ ශාසනයේ පිහිටුවලා හිත පහදවන්න ඕන' කියලා පෙනී හිටලා, 'මං මේ ඔබවහන්සේට කියන්නේ, ඔබවහන්සේ මේ මෝඩකම් කරන්න එපා...· ශාරිපුත්ත, මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා ගැන හිත පහදවා ගන්න' කිව්වා. එතකොට මෙයා 'කවුද ඔහේ?' කියලා ඇහුවා. 'මම මේ තුදු කියලා බ්‍රහ්මරාජයෙක්‌' කිව්වා. එතකොට මේ කෝකාලික කියනවා, 'ඔහේ කරපු වැඩේ බරපතලකම බලනවා· බ්‍රහ්ම ලෝකයට ගියා නම් පාඩුවේ එහෙට වෙලා ඉන්න එපායෑ. මොකටද මෙහේ ආවේ?'

එතකොට බලන්න, අසත්පුරුෂයාට අවවාදය නුරුස්‌සනවා. අසත්පුරුෂයා අවවාදයට හික්‌මෙන්නේ නෑ. අසත්පුරුෂයා සත්‍යය පෙනි පෙනී දෘෂ්ටිය ගන්නවා. සත්‍ය පෙනි පෙනී වාදය ගන්නවා. සත්‍ය පෙනි පෙනී තමාගේ මතය ගන්නවා. ඒක අසත්පුරුෂ ලක්‌ෂණයක්‌. ඒකයි මම කිව්වේ සත්පුරුෂයෙක්‌ වෙන්නේ භාවනාවෙන් නෙවෙයි. සත්පුරුෂයෙක්‌ වෙන්න ගොඩක්‌ උපකාර වෙන්නේ මේ සත්පුරුෂ ධර්ම ඉගෙන ගැනීම. සත්පුරුෂ ධර්ම ඉගෙනගෙන සත්පුරුෂයෙක්‌ බවට පත්වෙන ගතිගුණ පුරුදු පුහුණු කිරීමෙන්. ඒ දේවල් පුරුදු පුහුණු කරගත්තොත් මේකෙන් අපට සෑහෙන්න ගොඩයන්න පුළුවන්කම තියෙනවා. නැත්නම් පොඩ්ඩක්‌ සමාධියක්‌ ආවාම, කාලයක්‌ සීලයක පිහිටලා ඉන්න කොට කෙනෙක්‌ රැවටෙන්න පුළුවන් එපමණකින් සත්පුරුෂයෙක්‌ වෙනවා කියලා. නමුත් සත්පුරුෂයෙක්‌ වෙන්න නම් අර විදිහට සත්පුරුෂ ලක්‌ෂණ ඇතිකර ගන්නම ඕන. මං ඒකයි කිව්වේ සත්පුරුෂයාට නිහතමානීකම, ඉවසීම, ගුණගරුකභාවය, තමන්ට කරපු උපකාර සිහිකිරීම කියන මේ ඔක්‌කෝම තියෙනවා. අසත්පුරුෂයාට ඒ කිසිම දෙයක්‌ නෑ.

බලන්න, බුදුරජාණන් වහන්සේගේ කරුණාව. දේවදත්ත කෝකාලිකලා ගැන 'මේ අසත්පුරුෂයා·' කියලා දැන දැන මහණ කළානේ. මෙයා අසත්පුරුෂයි· ශාසනය විනාශ කරනවා· සංඝයා භේද කරනවා· ගල් පෙරළනවා· උන්වහන්සේ මේ ඔක්‌කොම දන්නවානේ. දැන දැන තමයි, මේක වුණේ. මොකද, උන්වහන්සේ දන්නවා මෙයා අවසාන මොහොතේ හරි හිත පහදවා ගන්නවා කියලා. ඒ වගේම එයා අවසාන මොහොතේදී හිත පහදවා ගත්තනේ. නමුත් ඒ වෙද්දී ඔක්‌කොම සිද්ධි වෙලා ඉවරයි. නමුත් එයා පොළොවේ ගිලෙන්න ඉස්‌සර වෙලා 'බුද්ධං සරණං ගච්ඡාමි' කියාගෙනයි ගිලුණේ. ඒ පැහැදිල්ලට තමයි එයාට අනාගතයේ යම්කිසි පිළිසරණක්‌ තියෙන්නේ. දැන් මේ වෙද්දී එයාට යොදුන් සීයක්‌ දිග ආත්මයක්‌ තියෙනවා කියනවා. යොදුනක්‌ කියන්නේ සැතපුම් හතක්‌. යොදුන් සීයයි කියලා කියන්නේ සැතපුම් හත්සීයක්‌. ඒ කියන්නේ නිරයේ තියෙන එයාගේ ශරීරය සැතපුම් හත්සීයක්‌ විශාලයි. දැන් ඉතින් එයා නිරයේ කල්පයක්‌ පැහෙන්න ඕන. කල්පය කවදා ඉවර වෙයිද කියලා කියන්න බෑනේ. ඒකට මේ මහා භද්‍ර කල්පය ඉවර වෙන්න එපායෑ. ඒ කියන්නේ මිනිසුන්ගේ වයස අඩුවෙලා අඩුවෙලා ගිහිල්ලා නැවතත් ආයුෂ අවුරුදු අසූදාහෙදීනේ මෛත්‍රී අප බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ. ඊට පස්‌සේ ඒකත් ඉවරවෙලා මේ මහා භද්‍රකල්පය ඉවරවුණාට පස්‌සේ තමයි ඒ කල්පය ඉවර වෙන්නේ.

එතකොට කොච්චර කාලයක්‌ විපාක විඳින්න සිද්ධ වෙනවද? මේ නිසා අපි හැමෝමත් කල්පනා කරන්න ඕන, අසත්පුරුෂයකුගේ ගති ලක්‌ෂණයක්‌ අපි තුළ ඇති වෙන්න නොදී එය බැහැර කරගන්න. අපි ඒ ගති ලක්‌ෂණ එනකොටම හඳුනාගන්න ඕන. 'මේක සත්පුරුෂයකුගේ ස්‌වභාවයක්‌ නෙවෙයි· මේක සත්පුරුෂ ගතියක්‌ නෙවෙයි· මේක අපි දුරු කළ යුතුයි' කියලා කල්පනා කරන්න ඕන. මොකද, නැත්නම් හිතවත්කම් යාළුකම් ඉස්‌මතු කරගත්තාම අසත්පුරුෂයාට ග්‍රහණය වෙනවා. ඒ නිසා අපි සළකා බලන්න ඕන, සත්පුරුෂ, අසත්පුරුෂ භේදය විතරයි.

දිවි හිමියෙන් දහමේ හැසිරීම අපතේ යන්නේ නෑ·

අපි බාහියගේ විස්‌තරය ගැන ගනිමු. බාහියගේ විස්‌තරේ සතුට සංවේගය යන දෙකම මිශ්‍රයි. බාහිය කියලා කියන්නේ රටක නමක්‌. දවසක්‌ මේ රටේ හිටපු තරුණයෙක්‌ ව්‍යාපාර පිණිස නැව් නැඟලා රටවල්වලට යනවා. මෙයා කලින් ආත්මයක කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලයේ පැවිදි වෙලා හිටපු කෙනෙක්‌. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලයේ භික්‌ෂූන් වහන්සේලා හත්නමක්‌ හොඳට ගුණධර්ම පුරුදු කරගෙන ගියා. උන්වහන්සේලා දවසක්‌ කතා වුණා 'දැන් මේ ශාසනය වේගයෙන් පරිහානියට පත්වෙලා තියෙන්නේ. ඒ නිසා අපි ඉක්‌මනට මේ ධර්ම මාර්ගය පුරුදු කරගනිමු' කියලා. ඉතින් ඒ හත්නමම කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ධාතූන් වහන්සේලා තැන්පත් කොට තිබුණු ස්‌වර්ණ චෛත්‍යය වන්දනා කරලා ගල් කන්දක්‌ උඩට නැග්ගා. නැග්ගේ ඉනිමං බැඳගෙන. හත්නමම ගොඩවෙලා 'මාර්ගඵලයක්‌ ලබන තෙක්‌ අපි ජීවිත පරිත්‍යාගයෙන් ධර්මයේ හැසිරෙනවා·' කියලා ඉනිමඟ බිමට තල්ලු කළා. දැන් ඔන්න හත්නම භාවනා කරන්න පටන් ගත්තා. එක නමක්‌ අර්හත්වයට පත්වුණා. අර්හත්වයට පත්වන විටම උන්වහන්සේට Rද්¨ධිබලයත් ලැබුණා. ඊට පස්‌සේ උන්වහන්සේ ඉතුරු හයනමට ප්‍රකාශ කළා 'මම ඔබවහන්සේලාට සෘද්ධියෙන් වැඩලා දානෙ ගෙනැල්ලා දෙන්නම්· ඔබවහන්සේලා ඒ දානෙ වළඳලා පහසුවෙන් භාවනා කරගෙන යන්න' කියලා.

නමුත් ඒ හයනම ඒකට කැමැති වුණේ නෑ. 'අපි තීරණයක්‌ ගත්තනේ නොකා නොබී මේක කරගෙන යනවා කියලා. ඒ නිසා අපි ඒ විදිහටම පිළිපදිනවා·' කිව්වා. ඔන්න දෙවැනි දවසේ තව නමක්‌ අනාගාමී වුණා. උන්වහන්සේටත් Rද්ධිබල ලැබුණා. උන්වහන්සේත් අර කතාවම කිව්වා. නමුත් ඉතිරි පස්‌නම ඒකට කැමැති වුණේ නෑ. අනිත් ස්‌වාමීන් වහන්සේලා පස්‌නමට මාර්ගඵල ලැබුණේ නෑ. හැබැයි සමථ විදර්ශනා වඩන්න මහන්සි ගත්තා. උන්වහන්සේලා ඒ විදිහට සීල, සමාධි, ප්‍රඥා වඩන්න මහන්සි ගත්තේ ජීවිත පරිත්‍යාගයෙන්. ඒ නිසා උන්වහන්සේලා මාර්ගඵල නොලබා නමුත් සත්පුරුෂයන් හැටියට අපවත් වුණා. කෙළින්ම දිව්‍ය ලෝකයේ උපන්නා. මේ විදිහට දිව්‍ය ලෝකයේ ඉපදිලා ඉන්න අතරේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ කාලය උදා වුණා. මෙයාලගේ පිනට එක එක්‌කෙනා ගාණට ඇවිල්ලා උපදිනවා. එක නමක්‌ තමයි කුමාර කස්‌සප මහරහතන් වහන්සේ. එක නමක්‌ දබ්බමල්ලපුත්ත මහරහතන් වහන්සේ. එක නමක්‌ සභිය පරිබ්‍රාජක. තව කෙනෙක්‌ පුක්‌කුසාති. අනෙක්‌ කෙනා තමයි මේ බාහිය.

බලන්න, මේ සසරේ භයානකකම. බාහිය කලින් ආත්මයක වැද්දෙක්‌. ඒ ආත්මයේදී මෙයා සිවුරක්‌ ගන්න ආශාවේ පසේ බුදුරජාණන් වහන්සේ නමකට ඊතලයෙන් විද්දා. ඒකෙන් උන්වහන්සේ පිරිනිවන් පෑවා. මෙයා සිවුර ගත්තා. ඒකේ කර්ම විපාකයට නිරයේ ගිහිල්ලා නොයෙක්‌ දුක්‌ විඳලා තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. බලන්න, දැන් මේ ලැබිලා තියෙන්නේ ඒ අවසාන ආත්මභාවය. ඒ කියන්නේ මෙයා පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ කාලයේ වහා ධර්මය අවබෝධ කරන අය අතුරින් අග්‍රයි. භික්‌ෂූන් වහන්සේ නමකට අග්‍රතානාන්තර දෙනවා දැකලා ඒකට පැහැදිලා හිටපු කෙනෙක්‌. මේ එන්නේ ඒකට ලෑස්‌ති වෙලා. නමුත් අර කර්මයේ විපාකයත් පස්‌සෙන් ආවා.

නිදාගත් ජාතියට කිරිබත්ගොඩ ඤාණානන්ද
හිමියන්ගෙන් පාඩමක්‌

Post a Comment

0 Comments