වවමු ගම්මිරිස්‌ - හොඳ ආදායම් ලබමු

මහා පරිමාණයෙන් මෙන්ම ගෙවතු වගාවන් ලෙස ගම්මිරිස්‌ වගා කිරීමට ජනතාව වැඩි වශයෙන් පෙළඹීමේ ප්‍රවණතාවයක්‌ මෑතක සිට දැකිය හැක. මිල ඉහළ යැමත් අත්‍යාවශ්‍ය කුළුබඩු විශේෂයක්‌ වීමත් එයට හේතු වී ඇත.

කුඩා ඉඩමක, ගෙවත්තක ගම්මිරිස්‌ වැල් කිහිපයක්‌ වගා කර ගැනීමට ගම්මිරිස්‌ පාරිභෝජනයට ගන්නා අය උනන්දුවක්‌ දක්‌වති.විශාල වශයෙන් ගම්මිරිස්‌ වගා කර ආර්ථිකයට සවියක්‌ කර ගැනීමට අපනයන තත්ත්වයට සුදුසු ගම්මිරිස්‌ වගා කරන ව්‍යාපාරිකයන් දැන් දැන් විශේෂ උනන්දුවක්‌ දක්‌වති. දේශීය වෙළෙඳපළේද ගම්මිරිස්‌වලට ඉහළ මිලක්‌ ලැබේ.

ගොවිජන සේවා මධ්‍යස්‌ථානවල අපනයන කෘෂිකර්ම ව්‍යාපෘති නිලධාරීන්ගේ නිර්දේශ මත සහනාධාර ලෙස පොහොර වර්ගත්, වැඩි දියුණුකළ පැළත්, නිර්දේශිත රසායනික පොහොර, කාබනික පොහොර යෙදීමත් පිළිබඳව දිවිනැඟුම වැඩසටහන යටතේ ලබාදීම සිදු කෙරේ.

ඉතා කුඩා ඉඩමක පවා ගම්මිරිස්‌ වැලක්‌ දෙකක්‌ දැකිය හැක. ග්ලිරිසීඩියා ගසකට. වැට මායිමකට ගම්මිරිස්‌ වැලක්‌ යෑවීමෙන් සාර්ථක අස්‌වැන්නක්‌ ලබා ගැනීමට හැකිය. මේ වන විට හොඳින් පැසුණු අමු ගම්මිරිස්‌ කිලෝවකට රුපියල් 400.00 - 425.00 ක මිලක්‌ ලබා ගත හැකිය. වියළි ගම්මිරිස්‌ කිලෝවක්‌ රුපියල් 1200.00 - 1500.00 ක්‌ වැනි මිලක්‌ ලබා ගත හැකිය. ඉදුණු පොතු ඉවත් කළ සුදු ගම්මිරිස්‌ කිලෝවකට රුපියල් 2000 - 2500 වැනි මිලක්‌ ලබා ගත හැකි වේ. විදෙස්‌ වෙළෙඳපළේ ඉහළම මිලකට අලෙවි කළ හැකිය.

මහා පරිමාණයෙන් ගම්මිරිස්‌ වගා කරන වගාකරුවන් ගම්මිරිස්‌ වැල් පුහුණු කිරීම, ගිනිසිරියා අතු කපා වැල් මුලට දැමීමෙන් පොහොරක්‌ කර ගැනීම වැඩෙන රිකිලිවලට හොඳින් හිරු ආලෝකය ලබාදීමට සැලස්‌වීම ක්‍රමානුකූලව සිදු කරති. මෙසේ කිරීමෙන් එක්‌ කන්නයකදී හොඳින් වැඩුණු ගම්මිරිස්‌ වැලකින් සාත්තුවකින් පසුව ගම්මිරිස්‌ කිලෝ අටක්‌- දහයක්‌ ලබා ගත හැකිය. ගම්මිරිස්‌ වගා කිරීමේදී වගා හානි කිරීමට කිසිදු සතෙක්‌ නොමැති වීමද වගාකරුවන්ට වාසි දායක වී ඇත.

නිෂ්පාදන වියදම අවම කර ගැනීමටද හැකි වේ. ජලය සැපයීමද නිතර අවශ්‍ය නොවන අතර වසුන් යෙදීම වැදගත්ය.

ගම්මිරිස්‌ වගාවකදී සෙවණ වැඩි වීම නිසා දළු වැඩීම අඩු වීම, මල් හට ගැනීම, පූර්ණ ලෙස ඇට සම්පූර්ණ නොවීම, නොමේරු දුර්වල ඇට සහිත කරල් වැටීම රෝග පලිබෝධ වැඩි වී අස්‌වැන්න අඩු වීම නිසා බලාපොරොත්තු වන අන්දමක අස්‌වැන්නක්‌ නොලැබේ.

ග්ලිරිසිඩියා ගස්‌වල යාන් වුණු ගම්මිරිස්‌ වැල්වලට හිරුඑළිය අත්‍යවශ්‍ය බැව් මේ අනුව පෙනේ. ඒ නිසා මේරු අතු ඉවත් කිරීමේදී වැල්වලට හානි නොවීමට වග බලා ගැනීම වැදගත්ය.

ග්ලිරිසිඩියා ගස්‌වල වැඩීම වැඩිවත්ම මුල් පැතිරීමෙන් ගම්මිරිස්‌ වැල්වලට පොහොර සොයා ගැනීමට අපහසු වේ. සෙවණ ගස්‌ හා ගම්මිරිස්‌ වැල් අතර ආහාර සොයා යැමේ තරගයක්‌ ඇති වීමෙන් අස්‌වැන්නට බාධා ඇති වේ.

පා වැල් ඉවත් කිරීම, එල්ලා වැටෙන වැල් ඉවත් කිරීම කළ යුතුය. වැල වටේට කොළ පොහොර යෙදීම කළ යුතු අතර, පස තෙත්ව ඇති විටක නිර්දේශිත රසායනික පොහොරක්‌ යෝජිත ප්‍රමාණයෙන් යෙදීම වැදගත්ය. පැළවලට හානි නොවන අයුරින් වල් ශාක ඉවත් කිරීම, වැල් කහ පාට වීමට, මැල වීමට, ඉඩ නොතැබිය යුතු අතර, එවැනි ලක්‌ෂණ දැකගන්නට හැකි වුණොත් "බෝඩෝ මිශ්‍රණය" යෙදිය යුතුව පවතී.

මෙම ක්‍රමයන් හා උපදෙස්‌ අනුගමනය කිරීමෙන් කුඩා ගෙවත්තක මෙන්ම විශාල වශයෙන් ගම්මිරිස්‌ වගාවන්වලින් සාර්ථක අස්‌වැන්නක්‌ ලබා ගත හැකිය. වගාවට දැඩි කැපවීමක්‌ අවශ්‍ය නොවේ. ළපටි ගම්මිරිස්‌ (බුබුළු) කැඩීමෙන් ආදායම අඩු වීමත් වෙළෙඳපළේ පිළිගැනීමට නොහැකි අස්‌වැන්නක්‌ වෙළෙඳපළට දීමෙන් පාරිභෝගිකයාගේ ගම්මිරිස්‌ කෙරේ හොඳ ගම්මිරිස්‌ යෑයි විශ්වාසය බිඳ වැටීමක්‌ සිදු වේ.

ගම්මිරිස්‌ වගාව පිළිබඳව වැඩිමනත් විස්‌තර ප්‍රදේශයේ අපනයන කෘෂිකර්ම ව්‍යාප්ති නිලධාරිවරයාගෙන් හෝ දිස්‌ත්‍රික්‌ සහකාර අධ්‍යක්‌ෂ (අපනයන) කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ගන්නෝරුව පෙරාදෙණිය ලිපිනයෙන් ලබා ගත හැකිය.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අපනයන කෘෂිකර්ම අංශය නිකුත් කළ පත්‍රිකාවෙන් උපුටා ගත්තේ 

තෙල්දෙණිය ගාමිණී අභයකීර්ති පුටුහපුව 

0 Comments

Contact Info

Lorem Ipsum is simply dummy text of the printing and typesetting has been the industry's.

Search This Blog

Categories

Subscribe Us