කාන්තාවන් 9947කට ඒඩ්ස්‌


"එච්. අයි. වී./ඒඩ්ස්‌ වෛරසය ශරීර ගතවූ ගැබිනි මවුවරුන්ගෙන් දරුවාට වෛරසය පැතිරීම ලබන වසර අවසානයේදී සම්පූර්ණයෙන් නතර කෙරේ.

දැනට ප්‍රතිකාර සඳහා යොමු වී නොමැති දිවයින පුරා විසිරී සිටින බවට ඇස්‌තමේන්තු කර ඇති එච්. අයි. වී/ඒඩ්ස්‌ ආසාධිතයින් 1386 දෙනකු දැනුවත් කිරීමේ වැඩසටහන් හා රුධිර පරීක්‍ෂණයන් හරහා ප්‍රතිකාර සඳහා යොමු කරවා ගැනීම.

ෆ ලිංගික ශ්‍රමිකයන්, පිරිමි සමලිංගිකයන් ඇතුළු එච් අයි වී වෛරසය පැතිරවීමේ අවදානමක්‌ සහිත අවදානම් කණ්‌ඩායම් රෝගය පැතිරීම වැළැක්‌වීම පිළිබඳව දැනුවත් කරලීම.

මේ මෙරට ජාතික ලිංගාශ්‍රිත රෝග/ඒඩ්ස්‌ මර්දන වැඩසටහන විසින් මෙරට ඒඩ්ස්‌ රෝගය පැතිරීම තවදුරටත් අවම කරලීම සඳහා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති සැලසුම්වලින් කිහිපයකි. ලොව පුරා විශේෂයෙන්ම අසල්වැසි ඉන්දියාවේ පවා ශීඝ්‍රයෙන් පැතිර යන එච්. අයි. වී/ ඒඩ්ස්‌ රෝගය ශ්‍රී ලංකාවේ පැතිර යැමේ ප්‍රවණතාවය තවමත් අඩු මට්‌ටමක පැවැතිය ද අවදානම් සහගත ලිංගික හැසිරීම් සුලබ වීම නිසා රෝගී වෛරසය පැතිර යැමේ අවදානම ඉහළ මට්‌ටමක පවතින බව අනාවරණය වී තිබේ.

මෙම තත්ත්වය මත ගෝලීය ඉලක්‌කය අනුව යමින් වසර 2025 දී මෙරට එච්. අයි. වී/ඒඩ්ස්‌ රෝගය පැතිරීම බිංදුව දක්‌වා අඩු කරලීමේ ඉලක්‌කය සපුරා ගැනීමේ අරමුණින් එච්. අයි. වී. පැතිරීම වැළැක්‌වීම වැඩසටහන් ක්‍රියාත්මක කෙරෙන අතර දෙසැම්බර් පළමුවැනිදා මෙවර ලෝක ඒඩ්ස්‌ දින සැමරුම පැවැත්වෙන කොළඹ කැම්බල් ක්‍රීඩාංගණයේදී වසර 2025 දී මෙරටින් එච්අයිවී/ ඒඩ්ස්‌ රෝගය පැතිරීම නතර කිරීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරෙන මාර්ග සිතියම ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.

වර්තමානයේ ප්‍රබල බෙහෙත් හා වෛද්‍ය ප්‍රතිකාර හරහා එච්. අයි. වී/ඒඩ්ස්‌ වෛරසය පැතිරීම වැළැක්‌වීමට හැකියාව තිබීම නිසා තවදුරටත් ඒඩ්ස්‌ රෝගය මාරාන්තික රෝගයක්‌ ලෙස නොසැලකේ. එහෙත් රෝගී වෛරසය පැතිරීමේ හැකියාව සහිත අවදානම් ලිංගික හැසිරීම් රටාවන් බහුලව පැවතීම හේතුවෙන් මාරාන්තික නොවූ පමණින් රෝගය පැතිරීම පාලනය නොකර සිටීමේ හැකියාවක්‌ ශ්‍රී ලංකාව වැනි රටකට නොමැත.

අනෙක්‌ අතට මෙරට ජාතික ලිංගාශ්‍රිත රෝග/ඒඩ්ස්‌ මර්දන වැඩසටහනෙහි ලියාපදිංචි වන සෑම එච්. අයි. වී. ආසාධිතයෙකුටම ජීවිත කාලය පුරා අධි මිල බෙහෙත් වර්ග හා ප්‍රතිකාර ලබා දීම සිදුවන්නේ නොමිලයේය. මේ සඳහා රජයට වාර්ෂිකව විශාල වියදමක්‌ දැරීමට සිදුවන අතර රෝගය පැතිරීම පාලනය කර වාර්තා වන එච්. අයි. වී ආසාධිතයන්ගේ සංඛ්‍යාව අවම කරලීමෙන් දියුණු වෙමින් පවතින රටක්‌ වන ශ්‍රී ලංකාව වැනි රටකට එය මහත් අස්‌වැසිල්ලක්‌ වනු ඇත.

දැනට එච්. අයි. වී/ඒඩ්ස්‌ රෝගය මෙරට පතුරුවන ප්‍රධාන අවදානම් කණ්‌ඩායම් හතර ලෙස ලිංගික ශ්‍රමිකයන්, පිරිමි සමලිsංගිකයන්, මත්ද්‍රව්‍ය එන්නත් කරගන්නන් හා වෙරළාශ්‍රිතව විදේශිකයන්ට සේවය සපයන ළමුන් (බීච් බෝයිස්‌) හඳුනා ගෙන තිබේ. අනෙක්‌ අතට සංක්‍රාන්තික ලිංගිකයන් හෙවත් "ට්‍රාන්ස්‌ජෙන්ඩර්"(පිරිමින් බවට පරිවර්තනය වූ කාන්තාවන් හා කාන්තාවන් බවට පරිවර්තනය වූ පිරිමින්) ප්‍රජාව ද මෙහිදී අවදානම් කණ්‌ඩායමක්‌ සේ සැලකිය හැකි වන්නේ ඔවුන් පිරිමින් මෙන්ම කාන්තාවන් ද එක සේ ඇසුරු කිරීම හේතුවෙනි.

මෙම සෑම කණ්‌ඩායමක්‌ම එච්. අයි. වී/ඒඩ්ස්‌ රෝගය යනු කුමක්‌ද? එහි රෝග ලක්‍ෂණයන්, එය පැතිරෙන ආකාරය, අවදානම් සහගත ලිංගික හැසිරීමක්‌ පැවැතියේනම් එච්. අයි වී වෛරසය ශරීරගත වී ඇත්දැයි රුධිර පරීක්‍ෂාවක්‌ මගින් තහවුරු කර ගැනීමේ වැදගත්කම, එච්. අයි. වී වෛරසය ශරීරගත වී ඇත්නම් නිරෝගී අයකු හා සම්බන්ධකම් පැවැත්වීමේදී වෛද්‍ය උපදෙස්‌ මත කටයුතු කිරීම යන කරුණු පිළිබඳව නිසි පරිදි දැනුවත් කිරීම වැදගත්ය. මෙම අවදානම් කණ්‌ඩායම් හතරට අයත් පුද්ගලයන්ගේ සංඛ්‍යාව පිළිබඳව 2013 වසරේදී සිදු කරන ලද සමීක්‍ෂණයකට අනුව මෙරට ලිංගික ශ්‍රමික කාන්තාවන් 9,947 සිට 14,132 දක්‌වාද පිරිමි සමලිංගිකයන් 6547 සිට 8554 ක්‌ දක්‌වාද, මත්ද්‍රව්‍ය එන්නත් කරන්නන් 12,618 සිට 17,459 දෙනකු දක්‌වා ද වෙරළාශ්‍රිතව විදේශිකයන්ට ශ්‍රමය සපයන ළමුන් හෙවත් "බීච් බෝයිස්‌" 873 සිට 1486 ක්‌ දක්‌වාද වූ සංඛ්‍යාවක්‌ සිටින බව අනාවරණය වී තිබේ.

මෙම සංඛ්‍යාවන්ගේ වාර්ෂික වැඩිවීමක්‌ මිස අඩු වීමක්‌ දක්‌නට නොලැබීම හේතුවෙන් එම කණ්‌ඩායම් මෙන්ම ඔවුන් ඇසුරු කරන්නන්ද අවදානම් ලිංගික හැසිරීම්වල යෙදීමෙන් එච්. අයි. වී/ඒඩ්ස්‌ රෝගය පැතිරෙන බව නිවැරැදිව දැනුවත් කිරීම අත්‍යවශ්‍ය කරුණකි.

ඒමන්ති මාරෙඕ

Post a Comment

0 Comments