ලෝක ජනගහනයෙන් කෝටි 113 කට අධි රුධිර පීඩනය


බිලියන 7.5 ක්‌ පමණ වන ලෝක ජනගහනයෙන් හතෙන් පංගුවක්‌ එනම් බිලියන 1.13 ක්‌ අධි රුධිර පීඩනයෙන් (හයි බ්ලඩ් ප්‍රේෂර්) පෙළෙන බව ලොව ප්‍රමුඛ පෙළේ වෛද්‍ය සඟරාවක්‌ වන "ලාන්සෙට්‌" වෛද්‍ය සඟරාවෙහි ඉකුත් අඟහරුවාදා (15 දා) පළවූ නවතම අධ්‍යයන වාර්තාවක සඳහන් විය.

පසුගිය වසරේදී (2015) සිදු කර ඇති මෙම ජාත්‍යන්තර අධ්‍යයනයට අනුව මෙසේ අධි රුධිර පීඩන තත්ත්වයෙන් පෙළෙන්නන්ගෙන් බහුතරය ජීවත් වනුයේ ශ්‍රී ලංකාවද අයත් අඩු හා මධ්‍යම ආදායම්ලාභී සංවර්ධනය වෙමින් පවතින රටවලය.

එම අධ්‍යයන වාර්තාවට අනුව පසුගිය වසර 40 ක කාලය තුළදී ලොව පුරා අධි රුධිර පීඩනයෙන් පෙළෙන්නන්ගේ සංඛ්‍යාව දෙගුණයකින් වැඩි වී තිබේ.

අධික ලුණු හා පොටෑසියම් ලවණ සහිත ආහාර භාවිතය, දුම්පානය, අධික මත්පැන් භාවිතය ලෙඩ් ආශ්වාසය කිරීම, ජාන මෙන්ම රෝගී තත්ත්වය කලින් හඳුනා නොගැනීම හා නිසි ප්‍රතිකාර නොලැබීම යන කරුණු අධි රුධිර පීඩනයට ගොදුරු වීමට මඟ පාදන බව වෛද්‍ය මතයයි. ජීවිතයේ මුල් කාලයේදී එනම් ළමා වියේදී නිසි පෝෂණය නොලැබීමෙන් මන්ද පෝෂණ තත්ත්වයෙන් පෙළීමද වයස්‌ගත වූ විට අධි රුධිර පීඩනයට ගොදුරු වීමට හේතු වන බව අනාවරණය වී තිබේ.

සංවර්ධිත රටවල් මෙන් නොව බොහෝ සංවර්ධනය වෙමින් පවතින රටවල වැඩි වෙමින් පවතින අධි රුධිර පීඩන තත්ත්වය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ හා ප්‍රතිකාර පහසුකම් හිඟ වීම මත එළඹෙන වසරවලදී මෙම අධි රුධිර පීඩනය එම රටවල තවත් ඉහළ යනු ඇතැයි වෛද්‍ය පර්යේෂකයෝ පෙන්වා දෙති.

අධි රුධිර පීඩනය වැළඳීම යනු අනෙක්‌ අතට හෘද රෝග හා වකුගඩු රෝගවලට මඟ පාදන්නකි. ස්‌ථුලභාවය, දියවැඩියාව හා පිළිකාවන් වැනි වැඩි වෙමින් පවතින රෝග තත්ත්වයන් ඇති වෙමින් අධි රුධිර පීඩනය පැතිරීම වැඩි වෙමින් පවතින තත්ත්වයක්‌ උද්ගතව තිබේ. වැඩිහිටි ජනගහනය වැඩි වෙමින් පැවැතීම නිසා 2015 වසරේ ලොව පුරා විසිර සිටි අධි රුධිර පීඩනයෙන් පෙළෙන වැඩිහිටි ජනගහනයෙන් හරි අඩක්‌ ආසියාතික කලාපයෙහි ජීවත් වූහ.

කෙසේ වුවද නවතම අධ්‍යයන වාර්තාවට අනුව අධි රුධිර පීඩනය දුගී බවටද සෘජුවම සම්බන්ධ බව පෙනී ගොස්‌ ඇත්තේ අඩු හා මධ්‍යම ආදායම්ලාභී රටවලින් වැඩි අධි රුධිර පීඩනයෙන් පෙළෙන්නන්ගේ සංඛ්‍යාවක්‌ වාර්තා වීම නිසාය. මෙම අධ්‍යයනය විශ්ලේෂණය කිරීම මෙහෙයවූ ලන්ඩනයේ ඉම්පීරියල් විදුහලේ ගෝලීය පාරිසරක සෞඛ්‍ය පිළිබඳ මහාචාර්ය මජිත් එසාට්‌ ප්‍රකාශ කරන ආකාරයට වැඩිහිටි ජනගහනය වැඩි වුවද ඉහළ ආදායම්ලාභී සංවර්ධිත රටවල අධි රුධිර පීඩනයට ගොදුරු වන්නන්ගේ සංඛ්‍යාව සෞඛ්‍ය සම්පන්න ආහාර වේලකට හුරු වීම හා රෝගය කලින් හඳුනාගෙන ප්‍රතිකාර ලබා ගැනීම සඳහා දියුණු සෞඛ්‍ය ප්‍රතිකාර සේවාවක්‌ පැවැතීම යන කරුණු මත අඩු වෙමින් පවතින අතර, අඩු හා මධ්‍යම ආදායම්ලාභී රටවල අධි රුධිර පීඩනයට ගොදුරු වන්නන්ගේ සංඛ්‍යාව ජනගහනය වයස්‌ගත වීමත් සමඟම ඉහළ යමින් පවතී.

අධ්‍යයනයට අනුව ලොව අඩුම අධි රුධිර පීඩනයෙන් පෙළෙන්නන්ගේ සංඛ්‍යාව වාර්තා වන්නේ ඇමරිකා එක්‌සත් ජනපදය, කැනඩාව හා දකුණු කොරියාව යන රටවල වන අතර යුරෝපා රටවල් අතුරින් අඩුම අධි රුධිර පීඩන රෝගීන්ගේ සංඛ්‍යාව වාර්තා වන්නේ එක්‌සත් රාජධානියෙනි. 

ආසියාතික ජනගහනය අතුරින් වැඩිම අධි රුධිර පීඩනයෙන් පෙළෙන ජනගහනයක්‌ පවතින රටවල් වනුයේ අධි රුධිර පීඩනයෙන් පෙළෙන්නන් මිලියන 226 ක්‌ සිටින චීනය හා මිලියන 200 ක්‌ සිටින ඉන්දියාවයි.

කෙසේ වුවද ලොව පිරිමි ජනගහනයෙන් වැඩිම අධි රුධිර පීඩනයෙන් පෙළෙන පිරිමින් සිටින රටවල් පහම වාර්තා වනුයේ මධ්‍යම හා නැගෙනහිර යුරෝපා රටවලින් වීම විශේෂත්වයකි. එම රටවල් වනුයේ ක්‍රොඒෂියාව, ලැට්‌වියාව, ලිතුවේනියාව, හංගේරියාව හා ස්‌ලෝවේනියාවයි. කාන්තා ජනගහනය අතුරින් ඉහළම අධි රුධිර පීඩන තත්ත්වයෙන් පෙළෙන කාන්තාවන් සිටින රටවල් පහ වනුයේ අප්‍රිකාවට අයත් නයිජර්, චැඩ්, මාලි, බ්‍රකින පාසෝ හා සෝමාලියාවයි. 

අධි රුධිර පීඩනයෙහි පැතිරීම පිළිබඳව තවදුරටත් කරුණු හැදැරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය මෙන්ම ලොව පුරා විසිර සිටින විද්‍යාඥයින් 1975 ත් 2015 ත් අතර කාලය තුළ ලොව සෑම රටකම අධි රුධිර පීඩනය පැතිරීමෙහි ඇතිවූ වෙනස්‌කම් අධ්‍යයනය කළ යුතුව ඇතැයි මහාචාර්ය එසාට්‌ පවසයි.

මෙතෙක්‌ ලොව දරුණුතම වසංගත තත්ත්වයන් සේ සැලකුණු දියවැඩියාව හා ස්‌ථුලතාවයට වඩා දරුණු හා පුළුල් රෝගයක්‌ වනුයේ අධි රුධිර පීඩනය බව ඔහු කියයි. පුද්ගලයකුගේ රුධිර පීඩන මට්‌ටම ඉහළ යන විට ඒ හරහා ආඝාතය (ස්‌ට්‍රොaක්‌) හෘද රෝග හා වකුගඩු රෝග වර්ධනය වීමේ අවදානම ඉහළ යාම මෙයට හේතුවයි.

දැනටමත් ලොව පුරා සිදු වන සියලුම මරණවලින් සියයට 13 ක්‌ අධි රුධිර පීඩනය හේතුවෙන් ඇති වන බව අනාවරණය වී ඇති අතර ඒ හේතුවෙන් වාර්ෂිකව ලොව පුරා මිය යන සංඛ්‍යාව මිලියන 7.5 ක්‌ ලෙස ඇස්‌තමේන්තු කර තිබේ.

අධි රුධිර පීඩනය පැතිරීම අවම කිරීමෙන් බොහෝ හෘද රෝග මෙන්ම වෙනත් බෝ නොවන රෝග ගණනාවක්‌ නිසා සිදු වන මරණ අවම කරගත හැකි බව මහාචාර්ය එසාට්‌ගේ පර්යේෂණ කණ්‌ඩායමේ සාමාජිකයෙකු වන ලෝක සෞඛ්‍ය සංවිධානයේ තොරතුරු සාක්‌ෂි හා පර්යේෂණ දෙපාර්තමේන්තුවේ සංඛ්‍යා ලේඛන සටහන් කරන්නෙකු වන ග්‍රෙචන් ස්‌ටිවන්ස්‌ පවසයි.

වසර 2011 දී ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් 2025 දී ලොව පුරා අධි රුධිර පීඩනය පැතිර යාම සියයට 25 කින් අඩු කිරීමට තබා තිබූ ඉලක්‌කය ජය ගැනීමට රටවල් නිවැරදි මාවතක ගමන් ගන්නේ දැයි විමසා බැලීමට මෙම අධ්‍යයනය උපකාර වන බව ඔහු කියයි.

ජාත්‍යන්තර සෞඛ්‍ය ප්‍රජාවට අධි රුධිර පීඩනය ලොව ප්‍රමුඛ පෙළේ සෞඛ්‍ය ප්‍රශ්නයක්‌ බවට තේරුම් ගැනීම අසීරු වීම මත එය වසංගත තත්ත්වයකට මේ වන විට පත්ව ඇති බව මහාචාර්ය එසාට්‌ගේ මතය වී තිබේ.

ඒමන්ති මාරඹේ

Post a Comment

0 Comments