කෘෂි රසායන සෞඛ්‍යට අහිතකරයි


මේ වන විට අප පරිහරණයට ගන්නා ආහාරපාන අතරින් එළවලු පලතුරුවල නැවුම් බවක්‌ පෙනුනත් ශරීරයට හිතකර නොවූ රසායනික ද්‍රව්‍යවලින් ඒවා නිර්මිතව ඇති බව හුඟදෙනෙක්‌ නොදන්නවා විය හැකිය. එළවළු සහ පලතුරුවලට වගාවේදී යොදන කෘමි, වල්, දිලීර නාශකයන් නිසා අනාගතයේ බිහිවන පරම්පරාවටත් වර්තමානයේ ජීවත් වන උදවියටත් රෝගී තත්ත්වයන් උදාකරයි.

බොහොමයක්‌ දියුණු රටවල පරිසරයටත් ජනතාවටත් හිතකර නොවූ මෙම පලිබෝධ නාශකයන් පාවිච්චි කිරීම තහනම් කර ඇති අතර තදබල ලෙස නීති රීතිවලට යටත් කර යහ පාලනයකට පත්කර තිබේ. එහෙත් ශ්‍රී ලංකාව වැනි දියුණුවෙමින් පවතින රටක කිසිදු පාලනයකින් තොරව කෘෂිකාර්මික හා වෙනත් සෞඛ්‍ය අංශවල භාවිතය සිදුවෙයි. දෛනිකව කුඩා ප්‍රමාණයන්ගෙන් ශරීරය තුළට එක්‌වන හානිකර කොටස්‌ වේද පටකයේ තැන්පත්වී, පසුව පිළිකා සහ ජානමය විකෘතිතා උපදවනු ලබයි. එපමණක්‌ම නොව මරණයටද එය හේතු කාරකයක්‌ වන්නේය.

ජනගහනය වැඩිවන විට මිනිස්‌ පරිභෝජනයට අවශ්‍ය ආහාර සපුරාලීම සඳහා ආහාර බෝග වර්ග කෘමි සහ දිලීර යන්තන් රැකගත යුතුවෙයි. හරිත විප්ලවය පැවති කාලයේදී කෘමි නාශකයක්‌ ලෙස ඩී. ඩී. ටී. (DDT) භාවිත කෙරුණි. DDT මිනිසාට සහ සතුන්ට අඟුණ බව දැන තහවුරු කර ගැනීමෙන් පසු ඩී.ඩී.ටී. තහනම් කෙරුණි. මේ මගින් ස්‌නායු පද්ධතියටත් අක්‌මාවටත් ඉතාමත් අහිතකර විය.

කෘෂි විද්වතුන් විසින් කරන ලද පරීක්‍ෂණයන්ට අනුව මිරිස්‌, බටු, බණ්‌ඩක්‌කා, තක්‌කාලි, ගෝවා, බෝංචි, මෑ, මල්ගෝවා, අර්තාපල්, නෝකෝල් වැටකොළු යන එළවලු වර්ගවල අවම දූෂිත මට්‌ටම 33.3% බව අනාවරණය කරගෙන ඇත. ඒ මීට වසර 12 කට පෙරයි. අද තත්ත්වය ඊට ඉඳුරාම වෙනස්‌ ප්‍රතිශතයක්‌ ගනී. එම ප්‍රතිශතය ඉතා අධිකය.

එලවලු වර්ගවලට සේම පලතුරුද පළිබෝධ නාශක වලින් තෙම්පරාදු වී ඇති බව තහවුරු වී තිබේ. අඹ, මිදි, කෙසෙල්, ලෙමන් කුලයේ, පලතුරු, ඇපල්, පේර වලද හානිකර රසායනික කොටස්‌ ඉතා ඉහළ මට්‌ටමකින් පවතින බව සත්‍යයකි.

ධාන්‍ය වර්ගවලද මෙම හානිකර තත්ත්වයන් කොතෙකුත් ඇත. වී, තල, මෙනේරි, කුරක්‌කන්, මුං ආදියටද දැන් පලිබෝධ නාශක නැතිවම බැරිය.

ලොව පුරා වාර්ෂිකව මිලියනයකට අධික පිරිසක්‌ විෂ ශරීරගත වීමෙන් 16,000 ක්‌ පමණ මියයන බව වාර්තා වෙයි. විශේෂයෙන් ශ්‍රී ලංකාවේ මේ තත්ත්වය තවත් උග්‍රයි.

සියලුම ආහාර වර්ග අපට වගාකරගත නොහැකි නිසා අපට අවශ්‍ය ආහාර පාන වර්ග (එළවලු පලතුරු) වෙළෙඳ පොළෙන් ගැනීමට සිදුවෙයි. මේවා බොහොමයක්‌ම 100% ක්‌ම විෂවලින් පිරුණු ඒවාය. මේ නිසා අප ගන්නා එළවලු පලතුරු කීපවිටක්‌ම සොදා ගැනීමෙන් 100% ක්‌ වූ පළිබෝධ විෂ ටිකක්‌ හරි අඩුවෙයි. පුළුවන් අයට තම තමන්ගේ එළවලු පලතුරු වගාකර ගැනීම වඩාත් යෝග්‍යවේ.

ආර්. ඇම්. ටී. බී. රත්නායක

Post a Comment

0 Comments