යකඩ සපිරි ආහාර ගන්නා දරුවෝ විභාගවලින් විශිෂ්ට ජය ලබති


වර්තමානයේ බොහෝ දෙමාපියන් තම පාසල් යන දරුවනට කරනු ලබන චෝදනාවක්‌ වනුයේ මතක ශක්‌තිය දුර්වල යෑයි කියාය. "කියන කිසිම දෙයක්‌ මතක තියාගන්නේ නැහැ.... ඔය වයසෙදී අපිට හොඳට මතක ශක්‌තිය තිබුණා" යෑයි එම දෙමාපියෝ තම දරුවනට චෝදනා කරන ගමන් තමුන් තුළ පැවැති දක්‍ෂතාවන් ගැනද උජාරුවෙන් පවසති.

ඇත්තටම මෙහි සත්‍යතාවක්‌ පවතීද? එම පැනයට පිළිතුරු සොයා පෝෂණය සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරුන් සිදු කරන ලද සමීක්‍ෂණවලට අනුව හෙළි වී ඇත්තේ වර්තමානයේ පාසල් දරු දැරියන්ගෙන් සියයට 30% ක්‌ පමණ පිරිසකගේ මතක ශක්‌තිය දුර්වලව පවතින බවය. ඊට හේතුව අවිවේකී බවද? පාසල් විෂය නිර්දේශය සංකීර්ණ බවද? නැත. ඊට ප්‍රධානම හේතුව වී ඇත්තේ පෝෂණ ඌණතාවයි. එහිදී යකඩ ඌණතාව ප්‍රධාන සාධකයක්‌ බවට පත්ව ඇත.

ඇතැම් දෙමාපියන් මෙය පිළිගැනීමට මැලිකමක්‌ දැක්‌විය හැකිය. අපේ දරුවන් හොඳට කනවා. යකඩ සපිරි ආහාර ලබා දෙනවා ලෙස පැවැසිය හැකිය. නමුත් දරුවන්ට කන්නට ලබාදී ඇති ආහාර පාන පිළිබඳව සහ යකඩ සපිරි ආහාර ලෙසින් සිතා ලබාදී ඇති ආහාර පිළිබඳව විමසා බැලුවහොත් තමුන් කොතෙක්‌ නිවැරැදි අයුරින් කටයුතු කර ඇති දැයි කියා අවබෝධ කරගත හැකිය.

පෝෂණ ඌණතාවයෙන් පෙළෙන දරුවා

යම් දරුවකුගේ උසට සරිලන බර නොමැති නම් වර්ධනයේ දුර්වලතා පවතී නම් අලස බවින් පෙළේ නම් නිතර නිදිමත බව, සුළු ක්‍රියාකාරකමකදී පවා ඇඟපත රිදෙන බවත් පවසයිනම්, පොත්පත් කෙතරම් පාඩම් කළත් මතකයේ සිටින්නේ නැතැයි පවසයි නම් එම දරුවා කිසියම් පෝෂණ ඌණතාවකින් පෙළෙන බව වටහා ගත යුතුය.

මෙම පෝෂණ ඌණතාවය පිළිබඳව පරීක්‍ෂා කළ විට බහුතරයකට පවතින්නේ යකඩ ඌණතාවයයි. මෙය නිහඬ කුසගින්න ලෙසද පවසයි.

වයස අවුරුදු 5 ත් 14 ත් අතර වියේ පසුවන දරුවන් තුළ රුධිරයේ තිබිය යුතු හිමෝග්ලොබින් ප්‍රමාණය 11.5 g/dl සහ 12.09 g/dl අතර විය යුතුය. මෙය අඩුවූ විට දරුවන් තුළ නීරක්‌තිය මතුවේ.

පෝෂණ ඌණතාවයට බලපාන වැරදි පුරුදු

අප කෙතරම් පෝෂ්‍යදායී ආහාර පාන ගත්තත් ඒවා නියමිත පරිදි නියමිත අයුරින් අනුභව නොකළහොත් සිරුරට අවශ්‍ය නිසි පෝෂණය නොලැබේ.

ශරීරයට අවශ්‍ය විටමින්, ප්‍රොaටීන්, යකඩ ආදී පෝෂ්‍ය කොටස්‌ බහුල ආහාර ඇත්තේ මස්‌ මාංශවලය. ඒවායේ ඇති පෝෂ්‍ය කොටස්‌ ශරීරයට ඉතා පහසුවෙන් අවශෝෂණය කරගැනීමටද පිළිවන.

ධාන්‍ය වර්ග, පලාවර්ගවල ඇති යකඩ ශරීරයට අවශෝෂණය කර ගැනීම මදක්‌ අපහසුය. ඒවා අවශෝෂණය කරගැනීම පහසු කරවීම සඳහා විටමින් 'සී' සහිත ආහාරද ගතයුතුය. එනම් යකඩ බහුල ධාන්‍ය, පලා වර්ග සකස්‌ කරන විට දෙහි, සියඹලා, ගොරකා වැනි විටමින් 'සී' බහුල රසකාරක මිශ්‍ර කළ හැකිය. එසේම එම ආහාරයක්‌ ගත් පසු නෙල්ලි, නාරං, දොඩම්, කාමරන්ඟ, වෙරළු වැනි විටමින් 'සී' බහුල පලතුරක්‌ අතුරු පස ලෙස ගත යුතුය.

බොහෝ දෙමාපියන් තම දරුවන්ගේ පෝෂණය ගැන උනන්දුවන්නේ කුඩා අවධියේදීය. වයස අවුරුදු 7 - 14 පමණ අවධිය ගැන එතරම් සැලකිල්ලක්‌ දක්‌වන්නේ නැත. නමුත් ශරීරයේ උපරිම වර්ධනය සිදුවන්නේ මෙම වයස්‌ සීමාවේදීය. එම වයසේ දී පෝෂණ ඌණතා මතුවීමෙන් සිරුරේ අස්‌ථි වර්ධනය, මොළය වර්ධනය අඩාල වේ.

වර්තමානයේ බොහෝ පාසල් දරුවෝ උදේ ආහාර වේල නොගනිති. දරුවාට අනිවාර්යයෙන්ම උදේ ආහාර වේල ලබාදීමට දෙමාපියන් පියවර ගත යුතුය. පාසල තුළද දරුවාට උදේ ආහාර වේල ගැනීම සඳහා පාසල පටන් ගැනීමට පෙර විනාඩි කිහිපයක්‌ කාලය ලබාදීමට ගුරුවරු පියවර ගතයුතුය.

වයස අවුරුදු 18 පමණ වනතෙක්‌ ශරීරය වර්ධනය වන දරුවාට ප්‍රධාන ආහාර වේල් තුනට අමතරව තවත් ආහාර වේල් දෙකක්‌ ලබාදීම වරදක්‌ නැත. නමුත් එය දරුවාගේ ශරීරයේ බර, වර්ධන වේගය පිළිබඳව වෛද්‍ය උපදෙස්‌ මත සිදුකළ යුතුය.

ඇතැම් දෙමාපියන් තම දරුවන්ට මස්‌ මාංශ, බිත්තර ආදිය ආහාරයට ලබානොදේ. කුඩා කල සිට දරුවන් නිර්මාංශ ආහාරවලට හුරු කිරීම ඊට එක්‌ හේතුවක්‌ වී ඇත. නමුත් එළවළු, ධාන්‍ය වර්ගවලින් පමණක්‌ යකඩ, විටමින්, ප්‍රොaටීන් ආදී පෝෂ්‍ය කොටස්‌ ශරීරයට ලබා ගැනීමට නම් එම ආහාර විශාල ප්‍රමාණයක්‌ අනුභව කළ යුතුය. එය දරුවනට ප්‍රායෝගිකව සිදු කළ නොහැකිය. එනිසා සතියකට දිනක්‌ දෙකක්‌ මස්‌, මාළු ආහාරයට ලබා දිය යුතුය. එහිදී ඌරු මස්‌, එළු මස්‌, හරක්‌ මස්‌, බලයා, කෙලවල්ලා, සාවාලයා, වියළි හාල්මැස්‌සන්, පීකුදු ආදිය ගතහැකියි.

ක්‍ෂණික ආහාර වර්ග, සකස්‌ කළ ආහාර වර්ග ලබාදීම සම්පූර්ණයෙන්ම වැලකී සිටිය යුතු නැත. සතියකට වරක්‌ එවැනි ආහාර ලබාදිය හැකිය. වරද වන්නේ දිනපතා එම ආහාර වර්ග ලබාදීමය.

ප්‍රධාන ආහාර වේලක්‌ ගෙන පැයක්‌ පමණ ගතවන තුරු හෝ එම ආහාර වේල ගැනීමට පැයකට පමණ පෙර හෝ තේ හෝ කෝපි පාන වර්ගයක්‌ නොගත යුතුය. ඒවායේ ඇති ටැනින් සහ කැෆේන් යන රසායන ද්‍රව්‍ය මගින් සිරුරට යකඩ අවශෝෂණයට බාධා මතුවේ.

දෙමාපියන් තම දරුවන් විභාගවලින් සමත් කිරීමට අමතර පංතිවලට යවමින්ද පොත් පත් ලබාදෙමින්ද ගනු ලබන මහන්සිය තුළින් උපරිම ඵල ලබාගැනීමට යකඩ සපිරි පෝෂ්‍යදායී ආහාර වේලක්‌ දිනකට ලබාදීමට ද උත්සාහ ගත හොත් ප්‍රතිඵලය විශිෂ්ට සාමාර්ථයක්‌ වනු සහතිකය.

එබැවින් පාසල් යන තම දරුවන් නිතර අලස බවක්‌ පෙන්වයි නම්, පොත පත පාඩම් කරනවිට නිදිමත බවක්‌ දැනේ යෑයි පවසයිනම්, කෙතරම් පාඩම් කළත් මතක හිටින්නේ නැතැයි පවසයි නම්, සුළු ක්‍රියාකාරකමකදී වැඩ අධික වෙහෙසක්‌ දැනෙන බවක්‌ ඇඟපත රිදෙන බවත් දැනේ යෑයි පවසයි නම් ඔවුනට වහාම පෝෂණයෙන් සපිරි ආහාර වේලක්‌ ලබාදීමට පියවර ගත යුතුය. යන්ත්‍ර මන්ත්‍ර කොඩිවින කරමින්, දරුවා තව තවත් අමතර පංතිවලට යවමින් වෙහෙස වීමෙන් ඇති ඵලක්‌ නැත.

සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ පැවැති යකඩ සපිරි ආහාර ගනිමු. 'සුවය, සවිය, නුවන වඩමු' සහ ලාංකේය පාසල් ළමුන්ගේ පෝෂණ ගැටලු යන මාධ්‍ය සම්මන්ත්‍රනවලදී පෝෂණ්‍ය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්වන පූජිත වික්‍රමසිංහ, රේණුකා ජයතිස්‌ස, ශාන්ති ගුණවර්ධන, චිත්‍රපාලි ද සිල්වා, අයේෂා ලොකු බාලසූරිය යන මහත්ම මහත්මීන් පැවැත්වූ දේශන ඇසුරිනි.

උපාලි ද සේරම්

Post a Comment

0 Comments