ශ්‍රී ලංකාවට පිටසක්‌වල ජීවීන්ගේ ප්‍රහාරයක්‌ද


හිනනරිපොද වැස්‌සට කුඩා දරුවන් මෙන්ම තරුණ පෙම්වතුන් ද කැමැතිය. මහ වැස්‌සට ගොවි ජනතාව කැමැතිය. අනෝරා වැස්‌සට මේ කොයි කවුරුත් අකමැතිය. එවැනි වැස්‌සකට පෙර ගෙට ගොඩවන්නට අපි උත්සාහ ගන්නෙමු. ඉකුත් 14 වැනිදා සෙවනගල ප්‍රදේශයට සහ 15 වැනිදා මනම්පිටිය, අම්පාර සහ මොනරාගල ප්‍රදේශවලටත් රතු වැස්‌සක්‌ ඇදහැලුණු බව වාර්තා විය. රතු වැසි, කොළ වැසි, නිල් වැසි ගැන අසන්නට ලැබෙන්නේ දේශපාලන වේදිකාවලදී වුවත් මෙම රතු වැස්‌ස ඇදහැලුණේ අහසිනි.

ශ්‍රී ලංකාවට පළමු වරට මෙවැනි වැස්‌සක්‌ ඇදහැලීම ගැන අවධානයට ලක්‌ කළ සෞඛ්‍ය අමාත්‍යාංශය වහාම මෙම වැහි ජල සාම්පල වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත එවා පරීක්‍ෂණ ආරම්භ කරන ලදී. එම වැසි ජල සාම්පල ඉකුත් 15 වැනිදා සවස වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත ලැබී තිබිණි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක මහතාගේ උපදෙස්‌ මත වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය අනිල් සමරනායක මහතා මෙම ජල සාම්පල පරීක්‍ෂණ සඳහා අදාළ පර්යේෂණ අංශ වෙත යොමුකර තිබිණි.

මෙවැනි වැස්‌සක්‌ සම්බන්ධව විශේෂ අවධානය යොමු කිරීමට හේතු රාශියක්‌ තිබේ. මෙය වායුගෝලයේ ආම්ලික බව ඉහළ යැම නිසා ඇදහැලුණ වැස්‌සක්‌ විය හැකිය. නැතිනම් ජලයෙහි ඇති රතු පැහැති ඇල්ගී විශේෂ ජලවාෂ්ප සමග අහසට මුසුවී ගොස්‌ වැසි ජලය සමග යළි පොළොවට පතිත වීමක්‌ විය හැකිය.

එසේත් නැතිනම් පරිසරයේ ඇති දූවිල්ල වැසි ජලය සමග මුසුවීමක්‌ විය හැකිය. ඇතැම් මල් වර්ග පිපෙන කාලයට ඒවායේ මල් රේණු ඉහළ අහසට මුසුවී වැසි ජලය සමග යළි පොළොවට වැටෙන්නට පිළිවන. එසේ සිදුවන්නේ අක්‌කර සිය දහස්‌ ගණනින් කාන්තාර බිම් ඇති ප්‍රදේශවල සහ අක්‌කර සිය ගණනින් මල් වගා කරන බිම් ඇති ප්‍රදේශවලය.

රතු වැසි ඉන්දියාව, ඉතාලිය, චීනය වැනි රටවලින් මීට පෙර වාර්තා විය. එම වැසිවලට හේතුවී තිබුණේ වාතයේ ආම්ලික බව ඉහළ යැම, දූවිල්ල, මල් රේණු, ඇල්ගී ආදියයි.

නමුත් 2001 වසරේදී ඉන්දියාවේ කේරල ප්‍රාන්තයට නිතර නිතර රතු වැසි ඇදහැලෙන්නට විය. මෙලෙස නිතර ඇතිවූ රතු වැසි ගැන එරට විද්‍යාඥයෝ පර්යේෂණ කරන්නට වූහ. එහිදී ඔවුහු රතු වැසි ජල සාම්පල ගෙන පරීක්‍ෂණ කළහ.

මෙම වැසි ජලයේ තිබුණේ දූවිලිවත් ඇල්ගීවත්, අම්ලවත් නොව අපගේ පෘථිවියට ආවේණික නොවන ක්‌ෂුද්‍ර ජීවී විශේෂයක්‌ සහ උල්කාපාත වලින් බිඳී ගිය දූවිලිය.

පෘථිවියට ආවේණික නොවන ජීවීන් ලෙස හඳුනා ගත්තේ ඔවුන්ගේ සිරුරේ ඩී. එන්. ඒ. අනු නොතිබීමය. පෘථිවියේ වසන සෑම ජීවියකුගේම සිරුරේ ඩී. එන්. ඒ. අනු තිබේ. ඒ අනුව මෙම රතු වැස්‌ස පිටසක්‌වල ජීවීන්ගේ ප්‍රහාරයක්‌ ලෙස විද්‍යාඥයෝ සැක පහළ කළහ. එම සැකය ලොවට හෙළිවූයේ මේ සම්බන්ධව ඔවුන් ඉකුත් ජුනි මාසයේදී නිකුත් කළ වාර්තාවත් සමගය.

2001 වසරේදී ඇදහැලුණු මෙම රතු වැස්‌ස ගැන ඉන්දීය විද්‍යාඥයන් සිය සමීක්‍ෂණ වාර්තා ලොවට හෙළි කළේ වසර 11 ක්‌ ගත වූ පසුය. එතෙක්‌ ඔවුන් මේ සම්බන්ධව විවිධ පරීක්‍ෂණ සිදුකර ඇත.

මෙතරම් දීර්ඝ කාලයක්‌ තිස්‌සේ සිදු කළ පරීක්‍ෂණයක වාර්තාවක්‌ සැහැල්ලුවෙන් බැහැර කළ නොහැකිය.

ලෝක විනාශය 2012.12.21 දින සිදුවන බවට අනාවැකි පළවේ. පිටසක්‌වල ජීවීන් නිතර පෘථිවියට පැමිණෙන බවට තොරතුරු හෙළිවේ. එසේ නම් පෘථිවියේ ජීවත් වන ජනතාව සිදුකරන ඇතැම් ක්‍රියාවන්ට එරෙහිව පිටසක්‌වල ජීවීන් ප්‍රතිචාර දැක්‌වීම ආරම්භ කර තිබේද? මෙය අප හමුවේ පවතින ගැටලුවකි.

ශ්‍රී ලංකාවට ඇදහැලුණු රතු වැස්‌ස කුමක්‌ වුවත් ඉන් මිනිස්‌ ජීවිතවලට හානියක්‌ සිදුව නැත. මෙතෙක්‌ ලෝකයේ වාර්තා වූ මෙවැනි වැසිවලින් ද මිනිස්‌ ජීවිතවලට අනතුරක්‌ සිදුවූ බවට වාර්තා වී නැත.

ඇතැම්විට මනම්පිටියට, සෙවනගලට අම්පාර සහ මොනරාගල මුහුදුබඩ ප්‍රදේශයට ඉකුත් 14 වැනිදා සහ 15 වැනිදා ඇදහැලුණු රතු වැස්‌ස අම්ල මිශ්‍ර වැස්‌සක්‌ හෝ දූවිලි මිශ්‍ර වැස්‌සක්‌ විය හැකිය.

පසුගිය දිනවල පැවැති කාලගුණ විපර්යාස නිසා ඉන්දියාවේ දූවිලි පිරි කාන්තාර හරහා හමාගිය සුළං ශ්‍රී ලංකාව වෙතද පැමිණ එම දූවිලි වැසි ජලය සමග මෙලෙස ඇදහැලුණ විය හැකිය. නමුත් අපට නිශ්චිත අනාවැකි පැවැසිය නොහැක.

අප රටේ විවිධ ප්‍රදේශවලින් පසුගිය දිනවල පිටසක්‌වල යානා, පිටසක්‌වල ජීවීන් දුටු බව වාර්තා පළ විය. එනිසා මෙම රතු වැස්‌සට අප බොහෝ දෙනා නොතෙමුණත් එය ලෙහෙසියෙන් සිතින් බැහැර කළ නොහැකිය. 

රතු වැසි වසින්නේ කවර කලට දැයි කියා ජ්‍යෙdතිෂඥයන් විවිධ විවිධ අනාවැකි පළ කළ හැකිය. හෙවත් මේ රතු වැසි වසින්නට පිළිවන. වැස්‌ස වලාහක දෙවියනේ මේ ඔබේ අණසකට අවනත නොවූ පිටසක්‌වල වැසිද? එය දැනගන්නට අපට ඊළඟ රතු වැස්‌ස වහින තුරු අහස දෙස බලා ඉන්නට සිදුවේවිද?

උපාලි ද සේරම්
upalideseram@gmail.com

Post a Comment

0 Comments