සුමන සමන් දෙවි හාමුදුරුවො උරණ නොවෙති


සුමන සමන් දෙයිහාමුදුරුවෝ කොයි කාලේත් අපේ බැතිමතුන්ගේ වන්දනාවට පත්වෙන්නෝය. ඒත් රටේ ඇත්තන් මහා අභිලාශයකින් උන්වහන්සේව වන්දනා කරන්නේ උඳුවප් පොහොයෙන් ඇරඹෙන සිරිපා කරුණා සමය ආරම්භ වන මොහොතේය. ඒ මොහොතේ මුළු සබරගමුවම එකෙළි වන්නේය. සාධුකාරයෙන් ගිගුම් දෙන්නේය. පැල්මඩුල්ලේ ගල්ගන්නාවෙල ශ්‍රී පාද රජමහා විහාරයේ සිට සමන්දෙයි හාමුදුරුවන්ගේ රන් රුවත් සඳුන් රුවත් දේවාභරණත් රන්සිවි ගෙයක තැන්පත් කරවා මහා පෙරහරකොට සිරිපා උඩමළුවට වඩම්මවන්නේ උඳුවප් පොහොය දවසේය.

සුමන සමන් දෙවියෝ

සුමන සමන් දෙවි හාමුදුරුවෝ ශ්‍රී පාද කන්දට අධිපතිව වැඩ වාසය කරනා සෝවාන් වූ අපේ රටේ බෞද්ධ දෙවි කෙනෙක්‌ බව අපේ ඇත්තෝ දනිති. අපේ ඉතිහාස කතාවලට අනුව උන්වහන්සේ වන්දනාව මේ රටේ ආරම්භ වන්නේ බුද්ධාගම ලංකාවට ගෙනෙන්නත් සියවස්‌ ගණනකට කලින්ය. උන්වහන්සේ දෙවරක්‌ම අපේ රටේදී බුදුන් දුටු උත්තමයෙකි. බුදුන්වහන්සේගේ පළමු ලංකා ගමනේදී බණ අසා සෝවාන් වන එතුමෝ මහියංගන සෑය හදන බවත්, තෙවන ලංකා ගමනේදී එතුමන්ගේ ආරාධනා පිට සමනළ කන්දට වඩිනා බුදුන්වහන්සේ කඳුමත සිරිපා සලකුණ තබන බවත්, අපේ වංශකතා අපට කියන්නේය. 

මේ කතාවලට අනුව සමනල කන්ද මේ තරම් පූජනීය තැනක්‌ කළේ සුමන සමන් දෙවිරාජෝත්තමයන් වහන්සේය. උන්වහන්සේ වන්දනා කරන්නට මුල්ම දේවාලය සමනල කන්ද මස්‌තකයේ ඉදි කරනු ලැබුවේ දඹදෙණි යුගය හෙබවූ දෙවන පැරකුම්බාවන්ය. එම දේවාලයට සිවු දෙසින් අතීත බැතිමතුන් විසින් දේවාල හතරක්‌ කරවූ බව ඉතිහාසයේ සඳහන් වන්නේය. කෙසේ වෙතත් සුමන සමන් දෙවි හාමුදුරුවන් වන්දනා කරන්නට ජනසම්මතයෙන් ඉපදුන මහා පුදබිම වූයේ සබරගමුව මහා සමන් දේවාලයයි. ඒ වන්දනාවටත් සියවස්‌ ගණනාවක ඉතිහාසයක්‌ ඇත්තේය. සීතාවක රාජසිංහයන්ගේ වකවානුවේ" සබරගමු මහ සමන් දේවාලයට පර සතුරු උවදුරක්‌ වෙතොත් ඉන් සමන්දෙවි හාමුදුරුවන්ගේ දේවාභරණත්, ප්‍රතිමා වහන්සේලාත් වටිනා වස්‌තුවත් රක්‌ෂා කරගැනීම සඳහා බොල්තුඹේ මහ සමන් දේවාලය ශක්‌තිමත්ව නිම කළ බව සඳහන්ය. මෙම දේවාලය කඳුකරයේ දේව ගබඩාව ලෙසත් හඳුන්වා තිබී ඇතැයි කියෑවිනි.

ඉතිහාසයේ මුල් වකවානුවේ එක්‌ අවධියක සමන් දෙවියන් හා බැඳුණු වතාවත් සම්ප්‍රදාය සබරගමු මහසමන් දේවාලය හා සම්බන්ධ වූ බව මේ ඉතිහාස කතා කියන්නේය. මිනිස්‌සු සමන්දෙවි හාමුදුරුවන් වඳින්නට සිරිපා කරුණා නොකරති. බෞද්ධ බැතිමතුන් සිරිපා කරුණා කරන්නේ ජිවමාන බුදුන් වන්දනා කරන සේ තිලෝගුරු බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද ලාංඡනය වන්දනා කරන්නටය. ඒ බැතිමතුන් සිය සංකල්ප පාදක කරගෙන සුමන සමන් දෙවිහාමුදුරුවන් වැඩහිඳුවා සිටින්නේ සබරගමුව මහසමන් දේවාලය තුළය. මෙතැන් සිට පෙළගැසෙන කතාවට මේ පසුබිම පූර්විකාවක්‌ සපයන්නේය.

දේවාභරණ සහිත පෙරහර

උඳුවප් පොහොයේ සිරිපා කරුණාසමය ආරම්භ වන්නේ සබගමුවම එකෙළි කරමිනි. ශ්‍රී පාදස්‌ථානයේ මහා නායක හාමුදුරුවන් වැඩවාසය කරන්නේ පැල්මඩුල්ල ගල්ගන්නාවෙල ශ්‍රී පාද පුරාණ රජමහා විහාරයේය. පුරාණයේ සිට පැවත එන සමන් දේව ප්‍රතිමාවන් හා දේවාභරණ තැන්පත් කර ඇත්තේ ශ්‍රීපාද පුරාණ රජමහා විහාරයේය. සිරිපා සමය ආරම්භ කිරීම සංකේතවත් කරමින් සමන් දෙවි හාමුදුරුවන්ගේ දේවාභරණත්, දේව ප්‍රතිමාත් පෙරහර කොට ශ්‍රී පාදස්‌ථානයේ උඩමළුවට රැගෙන යන්නේත්, සිරිපා කරුණා සමය අහවර බව ප්‍රකාශ කරමින් නැවත එම පූජාගර්භ වස්‌තූන් වඩම්මවාගෙන විත් තැන්පත් කරන්නේත් ශ්‍රී පාද රජමහා විහාරස්‌ථානයේය.

මේ දේවාභරණ මහා පෙරහරකින් වැඩමවීම සබරගමුව එකෙළි කරනා උත්සවයකි. මේ උත්සවයේදී පැල්මඩුල්ලේ සිට ශ්‍රී්‍රs පාදස්‌ථානය තෙක්‌ වන මග දෙපස බෞද්ධ කොඩි නංවා සැකසීම සිදුවන්නේ රාජ්‍ය මැදිහත් වීමෙනි. එම මග සැරසීම ඒ ඒ ප්‍රදේශයන්හි ප්‍රාදේශීය ලේකම් වරුන් සතු රාජකාරියකි. මිනිස්‌සු උත්කර්ෂයෙන් ඒ සඳහා සැරසෙන්නෝය. පෙරහර මග දෙපස තැන් තැන්හි පඬුරු පුජා භාණ්‌ඩ සමන් දෙවි හාමුදුරුවන් වහන්සේට පේ කිරීම සඳහා බැතිමත්හු රොද බැඳගන්නාහ. මේ සිරියෙන් මුළු සබරගමුවම ඇළලී යන්නේය. 

පෙරහර ෙනැපැමිණීම

සියල්ලෝම හැකි අයුරින් සමන් දෙවි හාමුදුරුවන් පුදන්නට එක්‌ වන මේ මහා වන්දනාවේ එක්‌ අංගයක්‌ වූයේ දේවාභරණ රැගත් පෙරහර රත්නපුර නගරයට පැමිණි පසු කිලෝමීටර් කීපයක්‌ නුදුරින් වූ සබරගමු මහ සමන් දේවාලයට ගමන් කිරීමය. දේවාභරණ වැඩමකරවා සබරගමු මහ සමන් දේවාලයේදීත් පුද සත්කාර කිරීමය.

මේ සම්ප්‍රදාය මෑත වකවානුවේ දී ආරම්භ වන්නේ දැනට දශක දෙකකට පමණ පෙරය. එවකට සිටි බස්‌නායක නිලමේවරයාගේ ඉල්ලීම ප්‍රකාරව පැල්මඩුල්ල ශ්‍රී පාද රජමහා විහාරයේ සිට වැඩම කළ දේවාභරණ සහිත පෙරහර සබරගමු මහසමන් දේවාලයට පැමිණුනේය. එහි සිට බැතිමත්හු මේ දේව පෙරහර වන්දනා කිරීමට සෑම උඳුවප් පොහොයකම සමන් දේවාල භූමියටත් රොක්‌ වූහ.

පසුගිය උඳුවප් පොහොය දිනයේත් බැතිමත් පිරිස්‌ සමන්දේවාල භූමියේ දේව පෙරහර එනතුරු අපේක්‌ෂාවෙන් උන්හ. මේ පෙරහර සමග එන ජන ගංගාව ඇසුරෙහි වෙළෙඳපලක්‌ බිහි වෙන්නේය. සබරගමු මහසමන් දේවාලය අවට පූජා භාණ්‌ඩත්, බැතිමතුන්ට ඇවැසි අඩුවැඩියත් සපයමින් දිවි සරිකරගන්නා පිරිස්‌ අවුරුද්දේ වැඩිම මුදලක්‌ උපයා ගන්නේ මේ පෙරහර දිනයේය. දුගී වෙළෙන්දෝ ඒ සඳහා මාස ගණනක සිට ලක ලෑස්‌ති වූහ. පූජා භාණ්‌ඩ පේ කිරීමට පැමිණි උදවියත්, පෙරහර සමග එන විශාල ජන ගඟ පිළිගැනීමට සිටි වෙළෙඳ ප්‍රජාවත් උදෑසන සිට සබරගමු මහ සමන් දේවාල භූමියේ රැඳී සිටියහ.

පෙරහර එන වෙලාව පසුවිය. මේ පිළිබඳව සබරගමු මහ සමන් දේවාලයේ ප්‍රධාන කපු මහතා විමසන විට හේ කීවේ පෙරහර එන්නට නියමිත බවය. ඔහුත් වතාවත් සඳහා පේ වී මග බලාගෙන සිටියේය. බස්‌නායක නිලමේ තුමාත් පෙරහර මහ සමන් දේවාලයට පැමිණෙන තුරු බලාගෙන සිටියේය. ඔහුත් පවසා සිටියේ පෙරහැර සමන් දේවාලයට පැමිණීමට නියමිත බවය. එහෙත් මේ දෙපළවත් නොදැන දේවාභරණ පෙරහර සමන් දේවාලයට නොපැමිණ ශ්‍රී පාදස්‌ථානයට ගමන් කළේය. රත්නපුර මොරගහමුල හන්දියෙන් හැරෙන්නේ නැතිව දේව පෙරහර කෙළින්ම ගමන්කළ බව ආරංචි වන විට මහ සමන් දේවාලයේ පෙරහර වන්දනා කිරීම අපේක්‌ෂාවෙන් බලාසිටි පිරිස්‌ නොසන්සුන් වූහ. ඔවුන්ගේ ශ්‍රද්ධාව කෝපයකටත් අපේක්‌ෂා භංගත්වයකටත් පත්ව තිබිණි. ඉතිහාසයේ මුල්ම වරට සමන් දෙවි හාමුදුරුවන් වැඩ වාසය කරන ගෞරවනීය මහ සමන් දේවාල භූමිය උද්ඝෝෂණ සටන් පාඨ සහිත සටන් බිමක්‌ බවට පත්වූයේය. සටන් පාඨ එසවිනි. නිමිත්ත වූයේ සමන් දෙවියන් වැඩ වාසය කරනා මහ සමන් දේවාලයට උන්වහන්සේගේ ආභරණ රැගත් පෙරහර සංවිධානය කළවුන් විසින් වංචා කිරීමය. එසේ කිsරීමට ගත් අත්තනෝමතික තීන්දුව ගර්හාවට ලක්‌ කිරීමය.

උද්ඝෝෂණය ඇරඹිණි. සටන් පාඨ කියෑවිනි. මහ මග පොල් සිය ගණනක්‌ ගැසිනි. රතිඤ්Cදා සිය ගණනින් පත්තු විනි. උද්ඝෝෂකයෝ ප්‍රචණ්‌ඩ නොවූහ. පොලිසිය බලා සිටියේය. උද්ඝෝෂණය පැය දෙකක්‌ දෙකහමාරක්‌ පැවතුනේය. අවසානයේ උද්ඝෝෂකයෝ දේවාල භූමියට පැමිණ යළිත් මෙවැනි තත්වයක්‌ ඇතිවුවහොත් මීට වඩා වෙනස්‌ ක්‍රියා මාර්ගයක්‌ ගන්නා බව ශපථ කර විසිර ගියහ.

පෙරහර නොපැමිණීමට හේතු

හේතුව තවමත් මේ ලිපිය ලියන මැණික්‌රාළ වන අයට පැහැදිලි නැත. පැහැදිළි වන එකම කාරණාව තමන්ගේ නින්දගමක්‌ සම්බන්ධව තීන්දු ගන්නාක්‌ සේ රටේ අධ්‍යාත්මික උත්සවයක සැකැස්‌ම පිළිබඳව අත්තනෝමතික තීන්දුවක්‌ ගෙන ඇති උදවියගේ මුග්ධ කමය. සම්ප්‍රදායක්‌ ගොඩ නැගෙන්නේ සම්මුතියක්‌ කාලයක්‌ තිස්‌සේ ක්‍රියාත්මක වීමෙනි. එම සම්මුතිය සම්ප්‍රදායක්‌ වනවිට එය සංස්‌කෘතියේ අංගයක්‌ වන්නේය. එවැනි සම්ප්‍රදායන් නින්දෙන් ඇහැරුනාක්‌ මෙන් කඩන විට, තමන්ගේ හිත් නොහොඳ කළ උදවියට පාඩම් උගන්වන්නට බිඳ දමන විට සමාජය කැළඹෙන්නේය. අප්‍රසාදයක්‌ උපදින්නේය. අධ්‍යාත්මික සංහිඳියාවක්‌ ඇතිකරන උත්සව රාජ්‍ය විරෝධී කැරළි බවට පත්වන්නේය. මේවා යට ඇත්තේ ඉතා පුද්ගලිකවූ ද්වේෂ සහගත සිතිවිලි වන්නට ඕනෑතරම් ඉඩ ඇතිබව මේවා ලියන මැණික්‌රාළලා විශ්වාස කරන්නේය. 

මිනිසුන් කියනා කතා මැණික්‌aහාමිලාට ඇසෙන්නේය. ඔවුන්ට අනුව අලුත් බස්‌නායක නිලමේවරයා කෙළින් වැඩ කරන කෙනෙකි. ඔහුගෙන් ශ්‍රී පාද රක්‌ෂිතයේ මැණික්‌ ඉඩම් වල මැණික්‌ ගැරීමට අවසර ඉල්ලූ බවත් ඊට ඉඩ නොලැබුණ විට පිරිසක්‌ ඔහු හා උරණ වු වගත් මේ ඒ උරණවීම ප්‍රකාශ වූ ආකාරය බවත් කියනු ඇසෙන්නේය. මිනිස්‌සු කීවාට ඔය කතා ගැන මැණික්‌හාමිලා නම් දන්නේ නැත. 

අනෙක්‌ කතාව ඇසෙන්නේ මළගෙයක්‌ සම්බන්ධවය. දේව පෙරහර ගමන් නොකළේ මහ සමන් දේවාලය අසල මළගෙයක්‌ වූ නිසා යෑයි කතාවක්‌ පැතිරුනේය. මේ මළගෙදර ගැන හොයන්නට මැණික්‌හාමි කොතරම් උත්සාහ කළත් එවැනි මළගෙයක විත්තියක්‌ දැනගන්නට ලැබුණේ නැත. 

මොනවා උනත් මේ වනවිට අප දන්නේ නොදන්නා හේතුවක්‌ නිසා පෙරහර සබරගමු මහ සමන් දේවාලයට නොපැමිණි බව පමණය. හැබැයි මිනිස්‌සු කියන්නේ වැඩේ කුජීතයි කියාය.

මැණික්‌හාමි

Post a Comment

0 Comments