බුදුසමයෙන් ඔපවත්වූ කාන්තාව


බුදුසමය පහළ වූ භාරතීය සමාජයේ මුල් අවධියෙහි කාන්තාවට හිමිවී තිබූ තැනත්, බුදුසමය ලොව පහළ වනවිට ඇයගේ තත්ත්වයත්, බුදුසමය පහළ වූ පසු කාන්තාව සමාජය තුළ ලබාගත් නිදහස හා ජයග්‍රහණය පිළිබඳව සලකා බලන විටත් පෙනී යන පැහැදිලි යථාර්ථය නම් බුදුදහම තරම් කාන්තාවගේ විමුක්‌තිය සලකා දුන් කවර ආගමක්‌ හෝ දර්ශනයක්‌ නොතිබුණු බවයි.

දූ දරුවන් හදා වඩාගෙන නිවසේ කටයුතුවලට සීමාවී පුරුෂාධිපත්‍යය යටතේ වහල් ජීවිතයක්‌ ගත කළ භාරතීය කාන්තාව නිදහස්‌ අදහස්‌වලින් තොරව යටහත් පහත් කොටසක්‌ බවට පත්වී සිටියේය. මීට හේතු වශයෙන් දැක්‌විය හැක්‌කේ බ්‍රාහ්මණ සමාජයේ අසාධාරණ ඉගැන්වීමය. බුදුසමයේ එන ඉගැන්වීම්වල ස්‌ත්‍රිය කෙරෙහි දක්‌වා ඇත්තේ සානුකම්පිත ආකල්පයකි. බුදුසමය නිසා අසීමිත ලෙස නිදහස ලැබූ කාන්තාව සමාජයේ සෑම අංශයකින්ම ජයග්‍රහණයන් අත්පත්කර ගත් බව ථෙරිගාථා සංයුක්‌ත නිකාය, භික්‌ෂුණි සංයුක්‌ත ආදියෙන් දක්‌නට ලැබේ.

සෘග් වේදයට අනුව නම් කාන්තාවට හිමිවිය යුත්තේ පුරුෂයාට හිමි ස්‌ථානයමයි. ඇයටද සැලකිය යුත්තේ සම තත්ත්වයකිනි. යාග හෝම පවත්වන විට ස්‌ත්‍රියද පුරුෂයාට සමාන තත්ත්වයක සිට ඒවාට සහභාගි වූ බව සෘග් වේදය කියයි. පුරුෂයාට අයත් යාගය ඔහු නොමැති විට ස්‌ත්‍රියට බාර දී ගිය බව ඇතැම් අවස්‌ථාවල පෙනේ. ආගමික වශයෙන් හා සමාජීය වශයෙන් දෙපක්‌ෂයටම සමාන අයිතිවාසිකමක්‌ මේ අවධියේ පැවතිණි. යම්කිසි කාලයක යාගහෝම ආදී පුද පූජා බ්‍රාහ්මණ පූජකයන් අතට පත්වූයේද එදා සිට ගෙදර දොරේ ගෘහපතියන් අතින් පවා එහෙත් සුළු වශයෙන් සිදුවූ පුද පූජා පවා බ්‍රාහ්මණය අතටම පත්විය. බ්‍රාහ්මණයා, පූජකයකු බවට පත්වූ පසු ස්‌ත්‍රිය යාග හෝමවලින් බැහැර කළේය. ස්‌ත්‍රියට යාගහෝම සිදුකිරීමට ඇති සුදුසුකම් ඔවුන් විවේචනයට ලක්‌ කළේය. ඇගේ අඩුපාඩු ලෝකයට හුවාදක්‌වමින් අනාර්යවූ කාන්තාව ආර්යයන් පහත වැටුණායි ප්‍රකාශ කළහ. මෙයින් පෙනී යන්නේ කාන්තාවට මුලින් තිබුණ අයිතිවාසිකම් බැහැර කිරීමට බ්‍රාහ්මණ සමාජය උත්සාහ කළ බවයි. බුද්ධ කාලය වන විටත් මේ තත්ත්වය සමාජයේ මුල් බැසගෙස තිබිණි. බෞද්ධ සාහිත්‍යයේ ඇතැම් තැන්වල මේ තත්ත්වය දක්‌නට ලැබේ.

දිනක්‌ කොසොල් රජතුමා තම බිසවට දියණියක්‌ ලැබුණු බව අසා මහත් කම්පාවට හා දුකට පත්ව බුදුන්වහන්සේ දක්‌නට ගිය විට උන්වහන්සේ දේශනා කළේ, රජතුමනි, ඇතැම්විට ස්‌ත්‍රියද, ශ්‍රේෂ්ඨය, එහෙයින් පෝෂණය කරනු මැනව. නුවණැති සිල්වත් නැදි මයිලන් දෙව්කොට වෙසෙන පතිවත රක්‌නා ස්‌ත්‍රියක්‌ වේද දිසාවන්ට අධිපති රජතුමනිෘ ඇයට යම් පුතෙක්‌ උපදීද දක්‌ෂයෙක්‌ වෙයි. එබඳු යහපත් තැනැත්තියගේ පුත්‍ර තෙමේ රාජ්‍ය අනුශාසනාද කෙරෙහි" යනුවෙනි.

බොහෝ කාලයක සිට කාන්තාව ගැන පැවැති වැරැදි මතවාද මෙවැනි දේශනාවන් මගින් දුරුකර ගැනීමට හැකියාව ලැබිණි. බුදුසමයේ කාන්තාවට ලැබුණු මෙම නිදහස්‌ චින්තනය ඔස්‌සේ ගමන් කළ එදා භාරතීය වනිතාව බොහෝ වරප්‍රසාදයන් දිනාගත්තේය. විශාඛා, මල්ලිකා, පදුමා, උප්පලවණ්‌ණා වැනි කාන්තාවන් වනිතා ලොව පරමාදර්ශී චරිත බවට පත්විය. කාන්තාව පිළිබඳ බ්‍රාහ්මණයන් විසින් ගොඩනගන ලද පුහු මතවාදයන් දෙදරා ගියේ බෞද්ධ ඉගැන්වීම් අනුව ආකල්ප ගොඩනගාගත් කාන්තාව නිසාය.

සෝමා භික්‌ෂුණිය දිවා විහරණය පිණිස අන්ධ වනයට ගිය අවස්‌ථාවක මාරයා ඇයට මෙසේ සරදම් කරයි.

'යංතං ඉසීහි පත්තබ්බං 

ඨානංදුරභි සම්භවං

නතං ද්වංගුල පඤ්ඤා 

සක්‌කා පප්පෝතු මිත්ථියා'

ඉසිවරුන් විසින් ලැබිය යුතු දුබලවූ යම් ඒ පදවියක්‌ වේද? එය දෑඟුල් නුවණ ඇති ස්‌ත්‍රිය විසින් නොලැබිය හැක්‌ක.

ස්‌ත්‍රිය පිළිබඳව සමාජගතව පැවැති ආකල්පය මෙයයි. ඇය දෑඟුල් පමණ නුවණක්‌ ඇති දුබල තැනැත්තියකි. ෙමැනි ආකල්පයක්‌ ඇති සමාජයක සෝමා භික්‌ෂුණින් වහන්සේ මාරයාට පිළිතුරු දුන්නේ නිර්භීතවය.

ඉත්ථි භාවො නො කිං කයිරා 

චිත්තම්හි සුසමාහිතේ

සදානම්හි වත්තමානම්හී 

සම්මා ධම්මං විපස්‌සතෝ'

සං.නි. භික්‌ඛුණි සං.

සිත මැනවින් සමාධිගත වූ විට නුවණ පවත්නා කල්හි මනාකොට දහම දහම දක්‌නහුට ස්‌ත්‍රි බව කුමක්‌ කරන්නේද? කාන්තාවගේ ඵලාධිගමයට කිසිම බාධාවක්‌ නොමැත'

මහා ප්‍රජාපතී වැනි භික්‌ෂුණින් වහන්සේලාට බුද්ධ ශාසනයේ විශේෂ තැනක්‌ හිමිවිය. භික්‌ෂුණි ශාසනය ඇති වීමට ඇය උත්සාහය ඉතා උපකාර විය. මේ වන විට ස්‌ත්‍රිය ගැන සමාජයේ පැවැති දුර්මත බැහැර කිරීමට අපහසු තරමට මුල් බැසගෙන තිබිණි. වනිතාවන් ශාසනයට ඇතුළත් කර ගැනීමට පවා බුදුන්වහන්සේ මැලිබවක්‌ දැක්‌වූයේ ඒ නිසා විය යුතුය. ප්‍රජාපතී ගෝතමිය පැවිද්ද ඉල්ලූ විට ප්‍රතික්‌ෂේප කළ බුදුන්වහන්සේ පසුව එකඟතාවකට එළැඹියේ ආනන්ද හිමියන්ගේ මැදිහත්වීම නිසයි. එහෙත් ඔවුන්ගෙන් අධිගමයන් පිළිබඳව බුදුරජාණන් වහන්සේ තුළ සැකයක්‌ නොවීය.

එදා සමාජයේ පැවැති අදහස වූයේ කාන්තාවට කිසිම දෙයක්‌ නොහැකි බවයි. සෘද්ධි ප්‍රාතිහාර්ය පවා ඔවුන්ට කළ නොහැකි යෑයි මතයක්‌ පැවැති බැවින් ඒ අදහස්‌ බිඳ දැමීම සඳහා සෘද්ධි ප්‍රාතිහාර්ය පෑමේ අවසරය ප්‍රජාපතී ගෝතමියට බුදුන්වහන්සේ අනුදැන වදාරා තිබේ.

අෂ්ටගරු ධර්ම පිළිගැනීමෙන් පසුව ස්‌ත්‍රීන්ට සසුන්ගතවීමට ඉඩ දීමෙන් පෙනී යන්නේ ඇය යම්කිසි කොන්දේසියකට යටත් කළ බවයි. එසේ කරන්නට ඇත්තේද සමාජය ඇය කෙරෙහි දැක්‌වූ ආකල්පය නිසා විය යුතුය. කාන්තාව කායික හා මානසික වශයෙන් පිරිමින්ට වඩා දුර්වල බවක්‌ හා දෙවැනි බවක්‌ බුදුරජාණන් වහන්සේ පවා පිළිගෙන තිබිණි. එකල සමාජයේ වෙනත් ආගමික ආයතන දෙස බලන විට කාන්තාව සසුන්ගත වීම ප්‍රායෝගික ගැටලු රැසක්‌ ඇති කරවන්නක්‌ ලෙස බුදුන්වහන්සේ සිතන්නට ඇත.

කෙසේ වෙතත් බුදු සමයෙන් පිබිදුනු එදා කාන්තාව සමාජයේ අන් කොටස්‌ සේම සෑම අංශයකින්ම දියුණුවට පත්වූ බව පැහැදිලි කරුණකි. කථිකත්වයෙන් අගතැන්පත් කාන්තාවන් භික්‌ෂුණින් වහන්සේලා එදා භාරතීය සමාජයේ සිටි බව පෙනේ. ධම්මදින්නා, භද්ද්‍රා, කුණ්‌ඩලකේසි වැනි ථෙරින්ගේ චරිතවලින් ඒ බව පැහැදිලි වෙයි.

නයිදං අත්ත කතං බිම්බං - නයිදං පරකතං අඝං

හේතුං පටිච්ච සම්භූතං - හේතු භංගා නිරුඡ්Cඩතී'

ස.නි. භික්‌ඛුණි සංයුත්ත

"මේ ආත්මභාවය තමා විසින් කරන ලද්දක්‌ නොවේ. මේ දුකට පිහිට වූ අත්බව මෙරමා විසින් කරන ලද්දක්‌ නොවේ. හේතුව නිසා හටගත්තේය. හේතුවක්‌ බිඳීමෙන් නිරුද්ධ වේ"'

ඉහත දැක්‌වූයේ සේලා නමැති භික්‌ෂුණින් වහන්සේ නමකගේ ප්‍රකාශයකි. හේතු ප්‍රත්‍ය ධර්මයන් පිළිබඳ අවබෝධය බෞද්ධ දර්ශනයයි. එදා කාන්තාවට ඒ පිළිබඳව පැවැති දැනුම හා අවබෝධයට මෙය කදිම නිදසනකි.

බුදු සසුනේ පැවැදි බව ලැබීමෙන් ඔවුන් ලැබූ සැනසුම අරමුණු කොට සිය ජීවන අත්දැකීම් කවියට නගා ගායනා කළ බව ථෙරිගාථා පාලියෙන් පැහැදිලි වේ. තමා යටත් කර ගැනීමට පැමිණි මාරයාටත් විවිධ පුරුෂයන්ටත් තැනට සුදුසු නුවණ යොදවා මනා ලෙස පිළිතුරු දී පරාජයට පත් කළ බුද්ධිමත් ථෙරණින් වහන්සේලා පසක්‌ කළ සත්‍යය වූයේ බෞද්ධ දර්ශනයේ මහිමයයි.

සිය පිය මහරජතුමාගේ ධර්මදූත සේවාවෙහි අග්‍ර වූ නියමුවාණන් කෙනකු ලෙස ශ්‍රී මහාබෝධි දක්‌ෂිණ ශාඛාව ශ්‍රී ලංකාවට වැඩවමින් මෙහි වැඩි සංඝමිත්තා රහත් මෙහෙණින් වහන්සේ බෞද්ධ සමය තුළ කාන්තාව ලත් නිදහසේ අග්‍ර ඵලයයි. ධර්ම ඥනයෙන් අග තැන්පත් සංඝමිත්තාවෝ ශ්‍රී ලාංකික කාන්තා පරපුරේ පරමාදර්ශයයි. අත්තනෝමතික ලෙස බමුණු මතවාදයේ සම් බුදු දහමේ, සිසිල් පවනැල්ලේ තව තවත් පැතිරී ගිය බව සත්‍යයක්‌ නොවේද? මහාමායා, මහා ප්‍රජාපතී, යසෝදරා වැනි උදාර මාතාවන්ගේ පරිත්‍යාගශීලී ප්‍රේමණීය මතකයන් තුන්සිත නිවාලු බණ පද බවට පෙරළුණේද ඒ අසිරිමත් පෙළහර නිසාමය.

ශාස්‌ත්‍රපති - වික්‍රමසිංහ අතපත්තු

Post a Comment

0 Comments