කරවිල වගාව


විශේෂයෙන්ම දියවැඩියාවට දිව ඔසුවක්‌වන් කරවිල ශ්‍රී ලංකාවේ ඕනෑම දේශගුණයකට ඔරොත්තු දෙන එළවළුවකි. එසේම වසර පුරාම මෙහි අස්‌වැන්න ලබාගත හැකිවාක්‌ මෙන්ම එහි මිල ද සමබරතාවයකින් පවත්වාගත හැකිව ඇත.

බටු කරවිල, සාමාන්‍ය කරිවිල වශයෙන් වර්ග දෙකකි. බටු කරවිල වියළි කාලගුණයකින් යුතු ප්‍රදේශවල වැටවල්වල නිරන්තරයෙන්ම හටගනී. එහි ගෙඩි කුඩාය. ඉදුණු විට අනෙකුත් කරවිල මෙන්ම කහපාටය. අස්‌වැන්න ඉදුණු විට ගෙඩිය පුපුරා යයි.

අප නිතරම ආහාරයට ගන්නා කරවිල තද කොළ පාට සහ කහ පැහැයට හුරු එළවළුවකි. නමුත් පාරිභෝගිකයා නිතරම ඉල්ලා සිටින්නේ ඖෂධීය ගුණයෙන් යුතු තද කොළ පැහැති කරවිලය. ඉදුණු පසු කරවිල සියල්ලම කහ පැහැගැන්වී ඵලදාව පුපුරා ඇට පෙනෙන්නට තිබේ.

මෙහි බීජ සිටුවීමට පෙර වළවල් සකස්‌ කර මූලික පොහොර යෙදීම අත්‍යාවශ්‍ය වේ. කාබනික පොහොර සමඟ රසායනික පොහොර සකස්‌ කළ මිශ්‍රණ හෝ අමිශ්‍ර පොහොර වශයෙන් ලබාගත හැකිය.

කාබනික පොහොර සහ රසායනික පොහොර එක විට යෙදූ විට එම පොහොර පෝෂ්‍ය පදාර්ථ වැඩි කාලයක්‌ ර¹ පවතී.

සාමාන්‍ය වශයෙන් වර්ග මීටර් 10 ක බිම් ප්‍රමාණයකට යූරිය ග්‍රෑම් 100 ක්‌, ත්‍රිත්ව සුපර් පොස්‌පේට්‌ ග්‍රෑම් 250 ක්‌, මියුරියට්‌ ඔෆ් පොටෑෂ් ග්‍රෑම් 100 ක්‌ යොදා මූලික කටයුතු ආරම්භ කළ හැකිය.

පසුව මතුපිට පොහොර ලෙස යූරියා ග්‍රෑම් 100 ක්‌ මියුරියට්‌ ඔෆ් පොටෑෂ් ග්‍රෑම් 75 ක්‌ ද වශයෙන් සති දෙකක්‌, සති පහක්‌ අතර වගාවට යෙදිය යුතුය.

දල වශයෙන් කරවිල ග්‍රෑමයක අඩංගු බීජ ගණන 3-5 අතර වේ.

මෙය කෙලින්ම බීජ වළ තුළ තැන්පත් කළ යුතුය. පේළි අතර පරතරය සෙ.මී. 150 ක්‌ බැගින්ද පේළිය තුළ පරතරය සෙ.මී. 100 ක්‌ වශයෙන් ද තිබිය යුතුව ඇත. එක වළක බීජ එකක්‌ හෝ දෙකක්‌ තිබීම අහිතකර නොවේ. ඊට වඩා වැඩිපුර බීජ ඇත්නම් එය ගලවා ඉවත් කර වෙනම පාත්ති සාදා සිටුවිය හැකිය.

දින 75 කින් පමණ අස්‌වැන්න දැකීමට හැකි කරවිල කුඩා පැළයේ කාලයේදී වැල තුළ පණුවන් වර්ධනය විය හැකි බැවින් පැළ වූ විගස පැළයේ මුලට පස්‌ කිට්‌ටු කළ යුතුව ඇත. එසේම දිනපතා උදෑසන පින්න සමඟ යාවත්වීම පිණිස ලිප අලු යෙදිය යුතුව ඇත. එසේම කරවිල ශාකයට පණුවන්ගේ ඇදගැනීම වැඩි බැවින් නිතර නිතර සෝදිසියෙන් සිට සබන් වතුර යොදා එය මර්දනය කර ආරක්‍ෂා කරගත යුතුව ඇත. එසේම තමාගේ අත්දැකීම් අනුව සෑම වළකටම අවශ්‍ය පරිදි ජලය යෙදිය යුතුය. කෙසේ වුවත් කරවිල වැල පොළොව මත ඇදී යැමට ඉඩ නොතබා ඉපලකට හෝ ඉනි සිටුවා වැල් ඇද ඒ මත ඇදීමට ඉඩ කඩ සපයා දිය යුතුව ද ඇත.

එසේම කරවිල දලු ආහාරයට ගන්න. කුඩා පණුවන් පැළයේa දක්‌නට පුළුවනි. එවැනි අවස්‌ථාවලදී එම පත්‍රය පිටින්ම කඩා විනාශ කළ යුතුය. නරක්‌ වූ ඵලදාව මෙන්ම පණුවන් සහිත පත්‍ර ද වගාව අසල නොතබා වෙනත් තැනකට දැමීම හෝ ඒවා වළ දමා විනාශ කිරීමෙන් ඉතිරි වගාවට විශාල ශක්‌තියක්‌ ඇති වේ.

මෙහි මල් කහපාටින් බිහිවන අවස්‌ථාවලදී ජලය මනාව සැපයිය යුතුය. මල් හටගැනීමේදී පළමුව හටගන්නේ කහපාට බොරු මල්ය. එයට පසු කුඩා කරල් සහිත මල් හටගනී. එසේම එම කරල් හැදෙන අවස්‌ථාවේදී පණුවන්ගෙන් හානි සිදුවිය හැකිව ඇති බැවින් කරවිල මල් පරාගනය වීමෙන් පසු කරලට පොලිතින් ආවරණයක්‌ යෙදීමෙන් එය කෘමීන්ගෙන් ද ආරක්‍ෂා කරගත හැකිය.

වසරේ ඕනෑම අවස්‌ථාවක ඵලදාව ලබාගත හැකි කරවිල සිටුවන ලද කාලය අනුව දින 75 කින් පමණ නිසි ඵලදාව ලබාගත හැකිය.

ආහාර වර්ගවල පෝෂක ප්‍රතිශතය අනුව කරවිල ග්‍රෑම් 100 ක තෙතමනය ග්‍රෑම් 92.4 කි. ශක්‌තිය කැලරි 25 ක්‌ වන අතර ප්‍රොaටීන් ග්‍රෑම් 1.6 ක්‌ ද මේදය ග්‍රෑම් 0.2 ක්‌, කැල්සියම් මි.ග්‍රෑම් 20 ක්‌ ද, පොස්‌පරස්‌ මි.ග්‍රෑ. 70 ක්‌ද, යකඩ මි.ග්‍රෑම් 1.8 ක්‌ ද විටමින් සී මි.ග්‍රෑම් 88 ක්‌ වන බව ද පෝෂණවේදීන්ගේ සංඛ්‍යා ලේඛන අනුව පෙනී යයි.

වගාකරුවන් බොහෝ විට මීටර් 50-75 වනසේ කරවිල මැසි සංවර්ධනය කරගෙන සිටිති. එවිට එහි අස්‌වැන්න විශාල වශයෙන් නෙළාගැනීමට හැකියාව ඇත. අමු කරවිල සියුම්ව ලියා ලුණු වතුරෙන් කවලම් කර අමු මිරිස්‌, ලුණු සහ දෙහි මිශ්‍ර කර ඉතා රසවත් මෙන්ම ගුණයෙන් යුතු ව්‍යංජනයක්‌ ද සාදාගත හැක. දානයට වඩිනා ස්‌වාමීන් වහන්සේලා ද මෙය ඉතා ප්‍රියමනාපයෙන් වළඳන එළවළුවක්‌ ද වේ.

ඖෂධීය ගුණයෙන් යුතු කරවිල දියවැඩියාව, අධික රුධිර පීඩනය, හන්දිපත් ඉදිමීම, හන්දිපත් රුදාව ආදී රෝග රැසකට ගුණදායක තරමක්‌ තිත්ත එළවළුවකි.

තලල්ල ගොවිජන කේන්ද්‍රයේ කෘෂිකර්ම අංශයේ අනුග්‍රහයෙන් සකස්‌ කළේ

ලුණුගම්වෙහෙර තලල්ලේ ප්‍රඥාරත්න විදානගමාච්චි

Post a Comment

0 Comments