සප්තකන්‍යා කඳු මුදුනකට ගිය ගමන


දෙසැම්බර් 4 ගෙවී ගියේ ඒ අයුරෙනි. එහෙත් පසුදා වනවිට තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස්‌ වීය. ඒ වනවිට මස්‌කෙළිය යන්න ලක්‍ෂපාන ලෙසට මාරුවී තිබිණි. එපමණක්‌ නොව ඒ සප්තකන්‍යා කඳු වැටිය බවද ප්‍රචාරය වීය. පෙර සූදානමක්‌ නොතිබූ නිසා මම රාජකාරියට ගියෙමි. එහෙත් මේ වනවිට ගුවන් විදුලිය දිගින් දිගටම ගුවන් අනතුර හා එහි විස්‌තර ප්‍රචාරය කරමින් තිබිණි. එසේ වුවද ගුවන් විදුලි යන්ත්‍ර ට්‍රාන්සිස්‌ටර් ක්‍රමයට එක්‌ව තිබුණද අද මෙන් අතේ ගෙනයා හැකි ඉතා කුඩා ප්‍රමාණයේ යන්ත්‍ර භාවිතයක්‌ රට තුළ නොවීය. මගේ මතකය නිවැරදි නම් අතේ ගෙනයා හැකි කුඩාම ගුවන් විදුලි යන්ත්‍රයක්‌ වර්ග අඩියක පමණ විශාල විය. මේ අතර පෙරමුණේම තිබුණේ උපාලි ආයතනයෙන් නිකුත් කල යුනික්‌ හෝටබල් රේඩියෝව විය යුතුය.

ඒ දෙසැම්බර් 5 බ්‍රහස්‌පතින්දාය. රාජකාරි නිමවී නිවසට එන මගදීත් රාජකාරි කල නගරයේදීත් අද දිනයේ ධාතු වන්දනාවේ යනු වැනි දිගු මිනිස්‌ කාණ්‌ඩ දුටිමි. ඒ සැවොම අඩුම වශයෙන් ගමෙන් සැතැපුම් 10-15 කට වඩා දුර සිට පැමිණිය වුන් මෙන්ම ඉතා ඈත පෙදෙස්‌වලින් ආ අනතුර නරඹන්නට පැමිණිය වුනටද වඩා සුද්ධෝදනලා විශේෂයකි. ගෙන යැමට පුළුවන් සොයා ගැනීමට ලබාගැනීමට පුළුවන් හැම දෙයක්‌ම ඔවුන් රැගෙන ගියේය. මෙතෙක්‌ තබා ගුවන් යානා ආසන කොටස්‌ ඉසෙන් හා කරෙන් ගෙන යනු පවා මම දුටිමි. ඒ වනාහි සිහිවටන එකතු කිරීමකට වඩා එහා ගිය එකතු කිරීමක්‌ බව නොකිවමනාය. ඒ වනවිට ගුවන් අනතුරේ විනාශයත් නැතිවූ මිනිස්‌ ජීවිත ප්‍රමාණයක්‌ අසා තිබූ මට මේ දසුන මහා කළකිරීමක්‌ එකතු කරන්නක්‌ විය. 1971 යුගය පසුකර තිබුණද එහි යම් යම් සිද්ධි ඇසින් දැකනොව සවනින් අසා තිබුණද මග තොටක බල්ලකු බළලකු මැරී සිටියත් අනේ අපොයි කියූ පරිසරයක, සමාජ වටපිටාවක සිටි මට මේ පිටින් ආ නාගරිකයන් කරමින් පවතින කොල්ලකෑම පිළිකුල් දනවන්නක්‌ පමණක්‌ම විය.

මේ අතර අතිශය සංවේදී මිනිසකු වන මට මගේ මිතුරකු ඔහු ගුවන් විදුලියෙන් ඇසුවා යෑයි කියූ කථාවක්‌ කීවේය. ඒ වනවිට පුවත්පත් මගින් පවා විස්‌තර කර තිබූ එක්‌ අතිශය සංවේදනීය ශෝකාන්තයක්‌ වූයේ අනතුරට පත් ගුවන් යානයේ කාර්ය මණ්‌ඩලයේ සේවය කළ එක්‌ ගුවන් සේවිකාවක්‌ ඒ වනවිට තම රටේම තරුණයකු සමඟ විවාහ ගිවිස ගෙන සිටි බවත් මේ ගුවන් ගමනින් පසු නිවාඩු ගෙන විවාහ මංගල්‍යය පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබූ බවය.

මේ වන විට ඒ තරුණයාගේ හෝ ගුවන් සේවිකාවගේ නම් මට අමතකව ගොස්‌ ඇතත් මිතුරා කී කථාව වූයේ මේ පිළිබඳ දීර්ඝ විස්‌තරයක්‌ ගුවන් විදුලි සේවයෙන් ප්‍රචාරය වූ බවත් ඒ විස්‌තරය අවසානයේ එවකට ගුවන් විදුලි ශ්‍රාවකයන් අතර අතිශය ජනප්‍රියත්වයට පත්ව තිබූ වික්‌ටර් රත්නායකයන් ගයන "සත් සමුදුර තරණය කොට දුරු රටකට ඇදෙන්නියේ" නම් ගීතයේ මුල් කොටස වාදනය කළ බවත්ය. (ඒ ගීතයේ ඊළඟ පදයෙන් කියෑවෙන්නේ, "මගේ හිතයි මගේ හදයි ඔබත් සමඟ රැගෙන යන්න ය.)

ඒ මොහොතේ මගේ හදවත කම්පනය වූ තරම දන්නේ මා පමණි. එදා සිට අද වනතුරු වසර 38 ක්‌ තුළ මේ ගීය ඇසෙන හැම මොහොතෙම මට නිරුතුරුවම සිහිපත් වන්නේ ජීවිතේ කිසිම දිනක ඡායාරූපයකින් හෝ දැක නොමැති ඒ ගුවන් සේවිකාවගේ හා ඇගේ ප්‍රේමවන්තයාගේ ආදර ශෝකාන්තයය. වාර්තා වූ අන්දමට ඒ ගුවන් සේවිකාව සිය අවසන් ගුවන් ගමන මෙන්ම ජීවිත චාරිකාවටද එක්‌වීමට ගුවන් යානයට පිවිසෙන්නට සුළු වේලාවකට පෙරත් මේ ගුවන් ගමනාවසානයත් සමඟ ස්‌වාමියා වන සිය ප්‍රේමවන්තයා හා අනාගත වැඩපිළිවෙළ ගැන කථා කර තිබිණි. සැබවින්ම ඒ අකලංක ප්‍රේමවන්තයාද සිය මනාලිය රැගත් ගුවන් යානය ඈත අහසේ පියාඹාගොස්‌ තිතක්‌ වනතුරු බලා හිටියේ හෙටින් පසු සදහටම ඇය තමා සතුවන අයුරු මනස්‌කුටියේ පුරවා ගනිමිනි. ඒකාන්තයෙන්ම එතැන් සිට ඔහු ගණන් කරන්න ඇත්තේ ගෙවීයන පැය ගණන නොව තත්පර ගණන විය හැක. එහෙත් දෛවය මොනතරම් කුරිරුද? මංගල්‍යයට සියල්ල සූදානම් කරගෙන බලාසිටිය ප්‍රේමවන්තයාට අසන්න ලැබුණේ කුමක්‌ද? මගීන් 191 දෙනකුගේ සිරුරු කැබලි කැබලි කරමින් විනාශ වී ගිය ගුවන් යානා අනතුරක තොරතුරු නොවේද ඒ අතර තම අනාගත සහකාරියද සිටියා යෑයි ඔහු විශ්වාස කරන්න ඇත්තේ කෙසේද?

"සත් සමුදුර තරණය කර දුරු රටකට ඇදෙන්නියේ මගේ හිතයි මගේ හදයි ඔබත් සමඟ රැගෙන යන්න....."

මේ සංවේදී පුවතත් සමඟ මම වහා තීරණයකට එළැඹුණෙමි. ඒ හෙට දිනයේ (6) මොනතරම් දුෂ්කර මගක්‌ ගෙවා වුවත් මේ ජුලියට්‌ව මේ ලයිලාව නොහොත් නොහඳුනන ප්‍රේමවන්තිය ඇතුළු දෙසීයකට ආසන්න වූ අවාසනාවන්තයන්ගේ අවසන් මොහොත දැකීමට යා යුතු බවය. යානයේ ගමන් ගත් කාන්තාවන් වූයේ ගුවන් සේවිකාවන් පමණක්‌ වූ නිසා දැකගත හැකි එක්‌ ගුවන් සේවිකාවකගේ හෝ කීපදෙනකුගේ සිරුරු අතරින් මේ "70 දශකයේ අතිශය අවාසනාවන්ත ප්‍රේමවන්තියගේ මුහුණ වෙන්කර හඳුනාගෙන පේමතී ජායතී සෝකෝ යන පරම සත්‍ය වූ සම්බුදු වදන දැසින් දැක මනසින් විග්‍රහ කරනා සත්‍යයක්‌ පසක්‌ කිරීමට මට හැකිවේ යෑයි මම තදින් විශ්වාස කළෙමි.

දෙසැම්බර් 06 දා මම මගේ ගමනට තවත් දෙදෙනකු (මුතු බණ්‌ඩා හා නන්දසේන) එකතු කර ගතිමි. දුෂ්කර කඳු තරණයකට අපේ මෙවලම් වූයේ පයලූ සෙරෙප්පු හැරුන විට වතුර ස්‌වල්පයකුත් පාන් එකහමාරක්‌ සහ පොල් සම්බෝල ටිකක්‌ පමණි. කෝකටත් තෛලය ලෙස අප පාවිච්චි කළේ අපේ සිත් තුළ තිබූ අධිෂ්ඨානයය.

මා පාසල් වියේ සිට මේ දක්‌වාම නොකඩවා දිනපොත් ලියූ අයෙක්‌මි. මේ මොහොතේ මම 1974 දෙසැම්බර් 6 වන සිකුරාදා මා ලියා ඇති දින සටහනින් පේළි කීපයක්‌ උපුටා දක්‌වමි. පිටුව පුරාම ඉතා කුඩා අකුරින් ලියා පුරවා ඇති ඒ විස්‌තරය අතර මෙවන් වාක්‍ය වේ. නිවාඩු දමා ලෝකයේ දෙවන මහා ගුවන් අනතුර බලන්නට ගියෙමි. එහෙම කඳු නැගීමක්‌. සැතැපුම් හයකට වඩා වැඩිදුරක්‌ නැංගෙමි. ගියා ගියා ගියා එහෙමත් යැමක්‌. වාර්තා වන ලෙසට එහි උස අඩි 5100 කට වැඩිය. නිශ්චිත ගමන් මාර්ගයක්‌ නොතිබූ කඳු මුදුනකට අන් බොහෝ අය මෙන් අපද පිවිසුණේ අප විසින්ම හදාගත් මාර්ගයක වනලැහැබ් කටු කොහොල් ඉවත් කරමිනි. අපේ අරමුණ වූයේ දුෂ්කර වුවද කෙටි මාර්ග ඔස්‌සේ කන්ද තරණය කිරීමය.

මම නැවත මතකයට එමි. පය ලිස්‌සා අප වැටුණ වාර අනන්තය. සමහර දුෂ්කර නැඟීම්වලදී එක්‌ අයෙකු අනෙක්‌ දෙදෙනා විසින් ඔසවා තබන ලදුව ඉහළට නැඟුණ අය විසින් ඉතිරි දෙදෙනාට අත ආධාරකයක්‌ ලෙස ගමන් කළෙමු. අනෙක්‌ දෙදෙනාට කෙසේ වෙතත් මට මේ ගමන හරි අපූරු අත්දැකීමක්‌ විය. මගේ සිත පුරා ඇඳී තිබුණේ කුඩා කල කියවූ රයිඩර් හැගාඩියන්ගේ කිං සොලමන්ස්‌ මයින්ස්‌ නම් වූ වීර චාරිකාවය.

ගමනට පැය හයක්‌ ගතවී තිබිණි. හමා එන අමුතුම මාදිලියේ දුර්ගන්ධයෙන් හා හොඳින් හිරුඑළිය පතිත වන ලෙසට ඇති අවකාශයන් දැකීමෙන් ඒ මහ වන මැද කඳු මුදුන ඉතාම නුදුරේ බව අපි පසක්‌ කළෙමු. පාන්දර 7 ට පමණ ඇරඹූ ගමන දහවල් එක පමණ වන විට නිමා කළ හැකි තරමක දුරක අපි සිටියෙමු. අපේ අත් දැඩි ලෙස අපවිත්‍ර වී තිබිණ. ඉවසිය නොහැකි කුසගින්නත් ආපසු ගමනේදීද පැය 6 ක්‌ 7 ක්‌ ගමන්කළ යුතු නිසාත් අනතුර දුටු පසු කෑම ගැනීම නොකළ හැකි බැවිනුත් අපි ගෙනගිය පාන් හා සම්බෝලය (මතක තියාගන්න. අද රු. 60/= ක්‌ වන පාන් රාත්තල එකල සත 28 කි. අද රු. 20/= සීනි බනිස්‌ ගෙඩිය ප්‍රමාණයෙන් විශාල වන අතර මිල සත 6 කි. ඩයි යෙදූ දූවිලි තේ කුඩු වෙනුවට කඳුකරයේ නැවුම් රසවත් සුවඳවත් ප්ලේන්ටියක්‌ සත 6 කි.) ඔතාගෙන ගිය පත්තර කැබලි උපයෝගී කර ගනිමින් අල්ලා කඩා ගනිමින් ගිල දැමුවෙමු.

මා නැවතත් දිනපොතට හැරෙමි "මම සමනොළ කන්ද අනන්තවාරයක්‌ නැඟ ඇත්තෙමි. ඒත් එයද මෙතරම් උස යෑයි මේ කඳු මුදුනේ සිට මම නොසිතමි. සමනොළ කන්දෙ උස මම දනිමි. ඊට අඩි 1000 කට වඩා අඩු මේ කන්ද උස යෑයි සිතෙන්නෙ සමනොළ තරණයේදී මෙන් නොව එක්‌ වරම කඳු පාමුල සිට සිරස්‌ අතට නැඟිය යුතු නිසා වෙන්නැති. දිනපොත තවදුරටත් මෙසේ කියයි. කඳු මුදුනට ආ මුල්වතාවේම මට මගේ ජීවිතය එපාවුණි. ජීවිතය ගැන කළකිරුණෙමි. විරාගය පහළ විය. තව දිනක්‌ පැමිණ මේ දර්ශනය දුටුවොත් ජීවිතේටම උපැවිදි නොවන කළකිරීමකින්ම මහණ විය හැක.

පරිසරය ගැන දිනපොත් කියන්නේ මෙවැන්නකි. සම්පූර්ණයෙන්ම පාහේ දාගිය කඳු මුදුන, දෙකට කැපී ගිනි රූස්‌ස ගස්‌ ඒ මහ කඳන් මතින් තාමත් පිටවන ගිණි රස්‌නය හා දුම්වළාවන්. බැලූ බැලූ අත මළ මිනිසුන්ගේ අත් පා කඳන් කැබලි, ගස්‌වල එල්ලෙන අතපය. හිස නැති මළ කඳන්, ඇඳුම් කැබලි, සියල්ලටම වඩා දරාගත නොහැකි ගන්ධය, මළමිනීවලින් එන දුර්ගන්ධය, තෙල් විසිරී පැතිරෙන දුර්ගන්ධය පිළිස්‌සී ගිය සුන් බුන්වලින් නැඟෙන දුර්ගන්ධය, මේ සියල්ල එකට කැලතී නැගෙන වචනවලට හැරවිය නොහැකි මහා දුඟඳ හිස තෝන්තුකරන සුළුය.

බෞද්ධයකු ලෙස නම් සැබැවින්ම ඒ ජීවිතයේ අනිත්‍යය සිහිපත් කරන්නට සුදුසුම ස්‌ථානයය. ගස්‌වල එල්ලී තිබෙන මළ කඳන් හා අතපය ගෙන ආවේ ජුගුප්සාවකි. පිළිකුලකි. කන්ද නැග යන අපට වරක්‌ අලි බෙටි දැකීමට හැකිවිය. නමුත් ඒවා අප නිතර දකින අලිබෙටිවලට වඩා ප්‍රමාණයෙන් කුඩා විය. කොටි ද ගැවසෙන බව බොහෝ අයගේ මතයය. මේ කොටියා යෑයි කියන්නේ දිවියාටය. බැලූ බැල්මට කොටියකුගේ හා දිවියකුගේ ශරීර ප්‍රමාණය, හැඩය වර්ණය හා රුදුරු බව එක සමානය. කඳු මුදුනේ යානය ගැටීමෙන් පොළොව සමතලා වී ඇත. පස හාරාගෙන මට්‌ටම් කරගෙන යානයේ මුහුණත පැමිණීමෙන්ම එහි වේගය සිතා ගත හැක. ඒ කුඩා බිම හැරුනු විට ඇත්තේ එක්‌වරම පහළට නෙරා ගිය මහා බෑවුමකි. සුළු අතපසුවීමකින් හිස හෝ අතපය සුන් මළසිරුර සොයාගත හැකි වනුයේ අඩි සිය ගණනක්‌ පහළ දෙබොක්‌කාවකිනි.

අපි තිදෙනාම හැකි තරම් ප්‍රවේශමෙන් ඇවිද්දෙමු. බොහෝ වේලාවක්‌ ගතකිරීමට නොහැකි ප්‍රධාන හේතු දෙකකි. එකක්‌ නාසය කඩාගෙන ගොස්‌ මොළය අකර්මන්‍ය කරන දුර්ගන්ධයය. අනෙක ආපසු කඳු පාමුලට යැමටත් අපට පැය 6 ක්‌ අවශ්‍ය වනු ඇත. හැරත් මහ වනයේ අඳුර මැද සෑම අතම විසිරී ඇත්තේ මුස්‌ලිම් ආගමේ කොටස්‌ රැගත් කුඩා ධර්ම ග්‍රන්ථය. ඒවා අරාබි බසින් මුද්‍රණය වී ඇත. අපට නම් අරාබි නොව අන්ඩර දෙමළය. බෑවුමේ තරමක පහළින් යානයේ ඇළුමිනියම් බඳක කොටස්‌ පෙනෙන්නට ඇත. ටයර් යුගලක්‌ ද වේ.

අප එහි යන විට ගතව ඇත්තේ අනතුරින් පසු දින දෙකකි. බොහෝ දෙනකු කම්පිත මුහුණින් යුතුව ඇවිදිති. ජනශූන්‍ය වෙමින් පවතී. හේතුව අපි කඳු මුදුනට පැමිණෙන අතරතුර කඳු මුදුන තහනම් කලාපයක්‌ බවට පත්කර තිබීමය. බොහෝ පුවත්පත් වාර්තාවල පසුව පළ කෙරුණේ යුද හමුදා භටයන් විසින් ආරක්‍ෂා කර ඇති බවකි. ඒත් සැබවින්ම එහි ආරක්‍ෂාවට යොදා සිටියේ නාවික හමුදා භටයන්ය. ඒ වන විට ඊට ආසන්නතම අරක්‍ෂක හමුදා රැඳී සිටියේ ලක්‍ෂපාන නාවික අනුකණ්‌ඩයේය.

අප කැලේ කඩාගෙන අලුත් පාරක්‌ සකසා ගනිමින් දුෂ්කර ගමනකින් පසු කඳු මුදුනට පැමිණිය ද එහිදී අපට දැනගන්නට ලැබුණේ ප්‍රසිද්ධ ගම්සභා පාරක්‌ තරමට (එකල ප්‍රාදේශීය සභා නොතිබිණ.) පාරක්‌ මේ අනතුර බලන්නට ආ ජනයාගේ දෙපයට පෑගීමෙන් සෑදී ඇති බවෙකි. ඒ පාරට කඳු තරණයට අප යොමු නොවී ඇත්තේ කඳු තරණයට අප බසයෙන් බැස්‌ස ස්‌ථානයට වඩා බොහෝ දුරක්‌ බසයේම යා යුතුව තිබුණ බැවිනි. කෙසේ වෙතත් අප ආපසු ආවේ මිනිසුන්ගේ දෙපයින් ඉබේ සැදුණු පාරෙනි.

කලකිරුණ සිතට වුවද මගෙ සිතට වරින්වර ගුවන් සේවිකාව ඇගේ පෙම්වතා ඊළඟ දින කීපය තුළ සිදුවීමට තිබූ විවාහය වගේම සත් සමුදුර තරණය කර ගීතය ද නින්නාද දුන්නේය. මා මළකඳන් අත්පා හිස්‌ කැබලි අතර ඇවිද්දේ ද ගුවන් සේවිකාවගේ මෘත කලේබරය දකිනු පිණිසමය. සැබවින්ම මට ගුවන් සේවිකා මළ සිරුරක්‌ හමු නොවීය. එහෙත් එක්‌ තැනෙක දෑතම සිඳී ගිය පාදයක්‌ අහිමි සුදු හමක්‌ තිබූ මළ සිරුරක්‌ මුණින් අතට තිබිණ. එහි හිස කොටස එහි නොවීය. ඒ ස්‌ථිරවම කාන්තා මළ සිරුරක කවන්ධයකි. නිරුවත් මළ සිරුර හැදිච්ච මනුෂ්‍යයකු විසින් මුණින් අත හරවන්න ඇතැයි මම සිතීමි. ඒ අර ප්‍රේමවන්තිය නොවේවායි මම පැතීමි. තැනෙකදී මම කාන්තාවකගේ අතක කොටසක්‌ දුටිමි. ඒ කාන්තාවකගේ යෑයි මා තීරණය කළේ ඒ අත් කොටස තද සුදු පැහැය ගැනීම, රෝමයන් නොතිබීම හා නිය ක්‍යqටෙක්‌ස්‌ මගින් රතු පැහැ ගන්වා තිබූ බැවිනි. ඒ අර ප්‍රේමවන්තිය නොවේවායි මම පැතීමි. 191 කගේ මළ සිරුරු අතර (එකදු සම්පූර්ණ මළ සිරුරක්‌ මම නොදුටිමි.) සිට ඇතිවන හැඟීම් විස්‌තර කිරීමට වඩා නොකිරීම යෙහෙකැයි මම සිතමි.

මෙතෙක්‌ පුවත්පතකින් හෙළි නොවූ යමක්‌ කිව යුතුව ඇත. එදා මම සමස්‌ත ලාංකික සමාජය ගැනම දැඩි සේ කළකිරුණෙමි. ඒ දිනවල මා මේ ලිපිය පුවත්පතකට යොමු කළා නම් මේ සිද්ධිය කීමට මම දැඩි සේ ලඡ්ජා වෙමි. එහෙත් අද එසේ ලඡ්ජා විය යුතු නැත්තේ ඊට වඩා හොඳ හොඳ දේවල් දිනපතා සිදුවෙමින් පවතින බැවිනි. දෙසැ. 4 දා සිදු වූ ෙ€දවාචකය බැලීමට එකල නුදුරේම පදිංචිව සිටි මා ගියේ 06 දාය. අප දුටුවේ කුමක්‌ද? 7 දා ගියා නම් ගුවන් අනතුරක සේයාවක්‌වත් ඉතිරි නොවන තරමට ශුද්ධ කළ භූමියකි. වසර 38 කට පසු මෙය කිව යුතුව ඇත. තැන තැන වැටී තිබුණ අත්වල මුදුගිල්ල කපා දමා තිබිණ. ඉතිරිය කිවයුතු නැත.

පහළ බෑවුමේ රැඳී තිබුණ ඇළුමිනියම් බඳ කොටස්‌ හැරුණු විට වටිනා කිසිම දෙයක්‌ ඒ බිමේ නොතිබිණ. අප ආපසු එන විට නාවික හමුදා සෙබළුන් විසින් බැරියර් එකක්‌ දමා තිබිණ. (කැලෑ කඩාගෙන හතර වටින් ගිය අයට නොවේ) ඒ 6 දාය. එහෙත් ඒ වන විට අස්‌සයා පැන ගොස්‌ හමාරය. මෙවන් සිද්ධියක්‌ දක්‌නට ගිය විටෙක සිහිවටනයක්‌ පමණක්‌ වන දෙයක්‌ ගෙන ඒම සිරිතක්‌ වුවද එසේ බිය නැතිව පෙන්න පෙන්නා වුව ගෙන ආ හැකි එකම දෙයක්‌ ලෙස මා නම් දුටුවේ හැම තැනම විසිරී තිබූ පෑගී අපද්‍රව්‍ය හා මිශ්‍ර වී තිබූ ගමන් ගත් ගුවන් මගීන්ගේ කුඩා දහම් පොත්ය. එහෙත් සිංහිවටනයක්‌ ලෙස හෝ බෞද්ධයකු ලෙස එදා ඒ පොත් කැබැල්ලක්‌ ගෙන ඒමට මගේ සිත හෝ අත නැවුණේ නැත.

මේ වසරේත් පළ වූ පුවත්පත්වල සටහන් වූයේ යානයේ කළු පෙට්‌ටිය මගින් අනතුරට හේතුව සොයාගත් බවකි. එහෙත් එදා අනතුරින් මාස ගණනක්‌ යනතුරු කළු පෙට්‌ටිය සොයාගත නොහැකි වූ බව ප්‍රසිද්ධව පැවැති බව මගේ මතකයය. වෙනකක්‌ තබා පරීක්‍ෂණ කණ්‌ඩායම් හා කම්කරුවන් පවා ලක්‍ෂපාන දියඇල්ල ආශ්‍රිතව ඒ කඳු පාමුල තිබෙන තේවතුවල පවා නැති වූ කළු පෙට්‌ටිය සෙව් බවත් කළු පෙට්‌ටිය වටා රසවත් කතා රාශියක්‌ නිර්මාණය වූ බවත් අවසන කළු පෙට්‌ටිය යන්න සරදම් වදනක්‌ තවත් කෝචොක්‌ එකක්‌ වූ බවත් මට මතකය.

ඉස්‌තාලය වසා දැමීම හෙවත් තහනම් ප්‍රදේශයක්‌ බවට ගුවන් අනතුර සිදු වූ ස්‌ථානය අවට පත්වුණේ අශ්වයා පැන ගොස්‌ තෙවන දිනයේ හෙවත් 06 දාය. එදිනත් බොහෝ අසීරුවෙන් දිවි පරදුවට තබා සොයා ගත් යම් වටිනා ද්‍රව්‍ය බොහෝ අය ගෙන ආවද ඒවා ආරක්‍ෂක කපොල්ල අසල තබා හිස්‌ අතින් යැම හැර වෙන විකල්පයක්‌ තිබුණා නම් ඒ අලුත් පාරවල් සොයාගෙන කන්දෙන් බැසීම හා දැරණියගල පැත්තට වන්නට සොයාගෙන අලුතින් නිර්මාණය කරගෙන යායුතු මාර්ගය යෑයි කියවිණි. එමෙන්ම එසේ කළ අය ද නොසිටියාම නොවේ යෑයි ද කියවිණි.

දින ගෙවීයත්ම ගුවන් අනතුරේ විශාලත්වයත් හානියත් විනාශයත් වඩ වඩා මිනිසුන්ගේ කතාබහට ලක්‌විය. තටු මවාගත් බොහෝ ආරංචි වේගයෙන් පියාසර කරන්නට විය. ගුවන් අනතුරින් ස්‌වල්ප වේලාවකට පසු ඒ බිහිසුණු ශබ්දය අනුසාර කොටගෙන ගමන් අරඹා ඒ කන්‍යා කඳු මුදුන සිය පා පහසින් කිළිටි කළේ කඳු පාමුලට ආසන්න ආගමික මධ්‍යස්‌ථානයක නායක කාරකාදීන් ඇතුළු පිරිස යෑයි ස්‌ථිර කළ මාර්ග දැනුම් දුන්නේ ඒ අලුයම් කාලේ ඒ සා මහත් දුරක්‌ ගෙවා දුෂ්කර ගමනක යෙදීම සැබෑ වීරත්වයක්‌ කොට විදහා පාමිනි. ඒ සමඟම පැතිර ගියේ නිධානයේ හොඳම කොටස හෙවත් මළකුණේ හෘදය කොටස ඒ පිරිස සතුකරගත් බවය.

පොදි බැඳගත් වස්‌තු මෙන්ම පිට බැඳගත් ගුවන් යානා ආසන කොටස්‌ සහිත පිරිස්‌ වීරයන් සේ යනු මම මගේ දෑසින්ම දුටිමි. දින කීපයක්‌ ඇවෑමෙන් ප්ලේන් ක්‌රෑෂ් එක්‌ එකේ යෑයි කියාගත් භාණ්‌ඩ එළිදැකීමට ආවේය. මාල මුදු ඔරලෝසු මෙන්ම වෛවර්ණ ඇඳුම් හා රෙදි පිළි ද ඒ අතර විය. සුප්‍රසිද්ධ නාඩාර් කෙනකු ගුවන් යානයේ ඇළුමිනියම් තහඩු ලොරි ගණනක්‌ ගෙන ගිය බව වාර්තා විය. මේ සමඟ නොහඳුනන මිනිසුන් වරින්වර ගමට පැමිණෙන්නට විය. සොයා බැලීමේදී දැනගන්නට හැකිවූයේ ඒ ගුවන් අනතුරින් සොයාගත් ඇමෙරිකානු ඩොලර් නෝට්‌ටු මිලදී ගැනීමට ආ කාක්‌කන් බවය. ඔවුනට ඩොලර් ළඟ ඇති අය හඳුනාගත හැකි පුදුම ඉවක්‌ තිබූ බව ද පෙනේ. මුලින් මුලින් කුණු කොල්ලයට ගත් ඩොලර් කොළ පසුව ඩොලරය රු. 5 සිට 06 දක්‌වා මිලකට ගත්තේලු. ඩොලරයක ඒ වන විට ලංකා වෙළෙඳ පොළේ වටිනාකම ද රුපියල් හයක්‌ තරම් විය.

පසුගිය දෙසැම්බර් 7 දින "දිවයින" පුවත්පතේ සප්තකන්‍යා ගුවන් අනතුර පිළිබඳ ලිපිය කියවූ මට නිතැතින්ම මතකයට නැගුණේ ගුවන් අනතුර පිළිබඳ එකල පැතිර ගිය යාංහෑලි කතා දෙකකි. දිවයින ලිපියෙන් අවධාරණය කර තිබුණේ ද එකල පැවැති අවිධිමත් මෙන්ම නොදියුණු සංඥ තාක්‍ෂණය පිළිබඳ හා ගුවන් නියමුවාගේ නිවැරැදි නොවූ වටහා ගැනීමක හා තීරණයක ප්‍රතිඵලය ලෙස ගුවන් අනතුර සිදු වූ බවය. පැතිර ගිය යාං හෑලි මේ කරුණු සමඟ කොයිතරම් නම් ගැළපේදැයි මම අදත් පුදුම වෙමි. මේ යාං හෑලි නිර්මාණය කළෝ ඒ අවට නිර්මාණශීලීන් මිස කොළඹ හෝ ඒ අවට අය නොවන බව මෙහිදී සටහන් කරන්නේ මොහොතක සතුටට හෝ ඒ නිර්මාණ කළ නිර්මාණකරුවන්ගේ සරල කුසලතාවයකට ගරු කිරීමක්‌ ලෙසය. මේවා කොළඹ හෝ ඒ අවටින් නිර්මාණය නොවුණු බව මා හො¹කාර දන්නේ බොහෝ කාලයක්‌ යනතුරු ඒ කතා නාගරිකයන් නොදැන සිටීමත් නොවරදවාම සෑම මසකම දින 5 ක්‌ හෝ 6 ක්‌ මා එකලත් කොළඹ හා ඒ අවට වාසය කළ බැවිනුත්ය.

මේ යාං හෑලි මා මෙහිදී දක්‌වන්නේ ඉතා සංස්‌ක්‍ෂිප්තව බව සඳහන් කළ යුතුමය. පුවත්පත් වාර්තාවලින් දැක්‌වුණේ ලක්‍ෂපාන පෙදෙස අවට විදුලි එළි දැකීම මහ නියමුවා ඒ කටුනායක ගුවන්තොටුපළ එළි යෑයි වරදවා වටහා ගත් බව තීරණය වූ බවකි. මගේ දැනුම මත නම් මෙය ඒ කාලයෙන් පවා සාවද්‍ය මතයකි. ලක්‍ෂපාන පෙදෙසේ aවිදුලි ආලෝකය තිබූ බව සැබෑවකි. එහෙත් ඒවා ඒ කාලයෙන් ප්‍රධාන නගරයක නොව උප නගරයක පවා රාත්‍රියට එළිය දෙන තරම්වත් ප්‍රබල නොවීය. මේ ප්‍රදේශයට සැතපුම් සිය ගානක්‌ මෙපිට ප්‍රදීපාගාරයක්‌ හෝ නොමැත. අහස පුරා එළිය විහිදුවන සර්වි ලයිට්‌ මේ පෙදෙසට එකලත් නොහඳුනන්නක්‌ම විය.

කෙසේ වෙතත් නිර්මාණකරුවාගේ උපකල්පනයත් ගුවන් නියමුවා ලක්‍ෂපාන පෙදෙසේ විදුලි එළි දැක මුලා වූ බවම බව පෙනේ. ගුවන් ගමන් මග වැටී ඇත්තේ ලක්‍ෂපාන පෙදෙසට ඉහළ අහසේ ආසන්නව බව සැබෑය. එකල ලක්‍ෂපාන පෙදෙසට ලක්‍ෂපාන යන වදනට වඩා ව්‍යවහාර වූයේ නිවාස පෙදෙස හා එහි ඉංග්‍රීසි වචනයය. එකල ලක්‍ෂපාන යනු ජල විදුලිබල මධ්‍යස්‌ථානය හැරුණු විට නිවාස සංකීර්ණයක්‌ පමණක්‌ විය. ඒ නිවාස ලං.වි.ම. සතු නිවාස වීය. ඊට අමතරව එහි විද්‍යාලයක්‌ උපතැපැල් හලක්‌ හැරුණු විට නගරයකට අවශ්‍ය අංග ද නොවීය. ලක්‍ෂපානේ සිට පොල්පිටිය බලස්‌ථානය නැතිනම් කොළඹ - හැටන් ප්‍රධාන මාවතට යන මාර්ගයේ ලක්‍ෂපාන සිට සැතපුම් දෙකක්‌ පමණ ගිය පසු හමුවන්නේ වග්ගම නම් ග්‍රාමයය.

මේ මොහොතේ මාටිනෙයාර් ඩී. සී. 8 ගුවන් යානය පියාසර කරමින් තිබුණේ ලක්‍ෂපානට ඉහළ අහසේය. හිමිදිරි පාන්දරට ආසන්න බැවින් මගීහු ගවන් යානා කවුළුවලින් අවට සිංරි නරඹමින් ගමන් ගත්හ. මීදුම අතරින් අනන්තයට බලන මගීන් එක්‌ වරම ඈත දිස්‌වන විදුලි එළි දැකීමෙන් ඒ ලක්‍ෂපාන බව හැඳිනගත්තෝය. එපමණක්‌ නොව නොදන්නා මගීන්ට ද ඇඟිලි දික්‌කර පෙන්වමින් ඒ ලක්‍ෂපාන බව වටහා දුන්නෝය. මේ අතර සිටි තීක්‍ෂණ දුර පෙනෙන දෑසක්‌ හිමි අයකු එක්‌වරම වග්ගම වග්ගම යෑයි කෑගැසුවේය. ඔහු කීවේ ඒ ලක්‍ෂපාන නිවාස පෙදෙසට සැතැපුම් දෙකක්‌ නුදුරින් පිහිටි වග්ගම ගැනය. ඒත් පාන්දර නිදිමතේ මෙන්ම සීතලේ යානය පැදවූ නියමුවාට වග්ගම යන වචනය ඇසුණේ මක්‌කම යනුවෙනි. ඔහු නැවතත් හඬට සවන් යොමු කළේය. මෙය අත්පොළසන් දෙමින් සතුටින් වග්ගම, වග්ගම කියනු ඔහුට ඇසුණි. කාගේ හෝ අවාසනාවට මෙවර ද නියමුවාට එය ඇසුණේ මක්‌කම, මක්‌කම යන හඬිනි. තවත් මොන කතා ද නිදිවරාගෙන මෙතරම් දුරක්‌ ආවේ මක්‌කමට නොවේද? දෙවරක්‌ නොසිතූ ඔහු යතුරු පුවරුවේ යානය පහතට ගන්නා උපකරණය ක්‍රියාකරවීය. එපමණකි, සිදුවූයේ කුමක්‌ද ඔබ හැම දනී.

ගුවන් අනතුර ගැන වාර්තාවක්‌ නොවන බැවින් මේ ලිපියේ එකල පැතිර ගිය එක්‌ යාං හෑල්ලක්‌ ලීවද දිගින් දිගට එවන් දේ ලිවිය යුතු නැතැයි සිතන බැවින් ඊළඟ කතාවෙන් කියවුණ ප්‍රධාන කරුණ ගැන පමණක්‌ ලියමි. පුදුමයකට මෙන් මේ කරුණ ද ඊට පසු කලෙක නිකුත් වූ වාර්තා හා මනාව සසැඳී යනු දැකිය හැකිය. ඒ කතාවට අනුව දෙසැම්බර් යනු තදින් සීත සුළඟ හමන කාලයකි. යානයට උපදෙස්‌ දෙමින් සිටියේ බෝතල්කාරයෙකි. ඒවාද මිලදී ගන්නා ඒවා නොව රේගුවේදී හොර බඩු ලෙස අසුවී යටිමඩ ගසගන්නා ලද ඒවාය.

කිසියම් කරුමයක්‌ පලදීමට තිබූ නිසාදෝ එදින වැහි සහිත කාලගුණයක්‌ ද විය. හිරිගඩු පිපෙන මේ පාන්දර යාමයේ බෝතල්කාරයා සිටියේ බඹර පදමෙනි. අබලන් චර බර ගාන ගුවන් විදුලි සංඥ මගින් ඔහුට ඇමතුමක්‌ ලැබිණි. යානයෙන් විමසුවේ තෙල් ලබාගැනීමට යානය බැස්‌සවීමට තොටුපළට තව කොතෙක්‌ දුරද යන්නය. නිදිමතේම ඔහු පිළිතුර දුන්නේය. පදම කොතෙක්‌ද යත් තෙල් ගැසීම කී විට ඔහු සිතුවේ නියමුවාටත් රත්වීමට තෙල් අවශ්‍ය බවකි. ඔහු දත්ත සැලකිල්ලට ගෙන උත්තර දුන්නේය. ෆෝටි මයිල්ස්‌ (සැ. 40 ක දුරිනි.) ඉංග්‍රීසි බසින් ෆෝටි යන්න 40 බවත් ෆෝටීන් යන්න 14 බවත් ඔබ දනී. වෙලාවේ හා පදමේ හැටියට අපේ මෑන්ගේ උච්චාරන ශෛලියට අනුව හෝ අබලන් දුර්වල තාක්‍ෂණික උපකරණවල විකාශ තත්ත්වය නිසා හෝ නියමුවාට ඇසුන හෝ තේරුම් ගත් ආකාරයට හෝ (40) ෆෝටි යන්න ඔහුට ඇසුණේ (14) ෆෝටීන් යනුවෙන් හල් නයන්නක්‌ (න්) වැඩිපුර එකතු වීමෙනි. අඩි 35000 ක්‌ ඉහළින් ගමන් ගත් යානය ගොඩබෑමට ඇත්තේ තවත් සැතැපුම් 14 ක්‌ නම් මේ යන වේගයට සැතැපුම් 14 යනු නිමේෂයක්‌ බව වටහාගත් නියමුවා යානය අඩි 2000 දක්‌වා පහතට ගන්නා උපකරණය ක්‍රියා කරවීය. එපමණකි සිදුවූයේ කුමක්‌දැයි ඔබ හොඳින් දනී.

මා මේ ලියුවේ වසර 38 කට පෙර යොවුන් වියට පා ඔසවමින් සිටි අයකු ලෙස දුටු, ඇසූ හා කියවූ දෙයින් සකසා ගත් සංක්‍ෂිප්ත සටහනකි. මගේ දෑසින් දුටු දේ ගැන මගේ මතකය මෙන්ම මගේ දිනපොත මට ප්‍රබල උපකාරයක්‌ විය. ගුවන් අනතුරින් සුළු වේලාවකට පසු ඒ රටේම ඒ වර්ගයේම එවන් වන්දනා පිරිසක්‌ රැගත් එවන් යානයක්‌ ඒ ගුවන් මාර්ගයේම ගමන් ගත් බව ද සත්‍යයකි.

මා ඒ පෙදෙසේ ගත කළ කාලයේ වසර කීපයක්‌ යනතුරුම ලක්‍ෂපාන දියඇල්ල සමීපයෙන් ගමන් ගන්නා විට ඈත පෙනෙන සප්තකන්‍යා කඳුවැටියේ එක්‌ කන්දක වූ මහා ගල් පර්වතය මතුපිට සඳහන්ව පෙනෙන ගුවන් යානා තටුවට කැපී මතු වී පෙනුණ සලකුණ දෙස නොපෙනී යනතුරුම බලාගෙන ගියෙමි. එය අතීත ආවර්ජනයකට මෙන්ම ධ්‍යානගතවීමකට ද මහඟු අත්වැලක්‌ විය. වසර 38 පසුත් එදා මෙන් මම අර ප්‍රේමවන්තයා සිතින් මවා ගනිමි. 

"සත් සමුදුර තරණය කර දුරු රටකට ඇදෙන්නියේ

මගේ සිතයි මගේ හදයි ඔබත් සමඟ රැගෙන යන්න"


සප්ත කන්‍යා අනතුරේ සන්නිවේදන පරහක්‌

ආර්. සී. වතුහේන

Post a Comment

0 Comments