වර්තමාන සමාජය තුළ කාන්තා හිංසනය සහ කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්‌ඩත්වය ශීග්‍රයෙන් වැඩිවෙමින් තිබෙන බව පෙනෙන්නට තිබෙනවා. මේ තත්ත්වයට පසුබිම් වී ඇති සමාජීය හේතු මොනවාද?
සමාජයේ කුඩාම ඒකකය පවුල. සමාජයේ ප්‍රගමනය සඳහා පවුල විශාල කාර්යභාරයක් ඉටුකරනවා. පවුලක් රැකබලා ගන්න මූලික කේන්ද්‍රීය සාධකය වන්නේ කාන්තාවයි. ලාංකික සමාජය තුළ තිබෙන්නේ පුරුෂ ආධිපත්‍යය සහිත සමාජ ක්‍රමයක්. පුරුෂ ආධිපත්‍යයක් තිබුණත් තම පවුලේ කටයුතු කරගෙන යැමේදී කිසියම් ස්‌වාධිපත්‍යයක් කාන්තාවට හිමිවුණා.
පවුල් තුළ කාන්තාවට හිමි වුණු මේ ස්‌වාධිපත්‍යය යටත් විජිත වික්‌ටෝරියානු සම්ප්‍රදායන් නිසා වේගයෙන් වෙනස් වීමට ලක්‌වුණා. අපේ රටේ කාන්තාව යම් ආකාරයක පාලනයකට නතු කළ යුතු නැත්තියක් යන අදහස මතුවෙන්නෙ මේ අනුවයි. මේ අදහස අතීතයේ විවිධ ආකාරයට සමාජගත වුණා. කාන්තාවන්ට වෙනම පාසල්, වෙනම වෘත්තීන් ආදී වශයෙන් බ්‍රිතාන්‍ය යටත් විජිත කාලවකවානුව තුළ අපේ රටේ කාන්තාව නැවත නිර්වචනය කිරීමක් දකින්නට ලැබුණා. මා හිතන්නෙ අදත් මේ වෙනත් ආකාරයකින් සමාජය තුළ දකින්නට ලැබෙන්නෙ ඒ නිර්වචනයේ තවත් මුqහුණුවරක්. කාන්තාව පුරුෂයාගේ ආධිපත්‍යයට යටත් වූ කෙනෙක්. ඇය එසේ නොවනවා නම් ඇය පාලනය කිරීමේ සහ යටත් කිරීමේ හැකියාවක් පුරුෂයාට තිබෙන බව අද සමාජයේ වැඩි දෙනෙක් කල්පනා කරන බව පෙනෙනවා. කාන්තාවක් යනු තවත් භාණ්‌ඩයක් ලෙස සැලකීම තරම් මේ අදහස අද සමාජය තුළ ව්‍යාප්ත වෙමින් තිබෙනවා. වර්තමාන සමාජය තුළ කාන්තා හිංසනය සහ කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්‌ඩත්වය අප වටහා ගත යුත්තේ මේ තත්ත්වය තුළයි.
අද කාන්තාවන් සහ ගැහැණු දරුවන් වැඩිපුරම හිංසනයට ලක්‌වන්නෙ තම පවුල තුළදී සහ සමීප ඥතීන් අතින් බවයි වාර්තා වී තිබෙන්නේ. මෙය සුවිශේෂි තත්ත්වයක් නේද?
සමාජයක් තුළ තිබිය යුතු වටිනාකම් හා මානව සබඳතාවන්හි අද ඇතිවී ඇති බිඳවැටීමයි මෙයින් පෙනෙන්නේ. ස්‌වාමිපුරුෂයා බිරිඳ අතර ඇති සම්බන්ධය, දෙමාපියන් දරුවන් අතර ඇති සම්බන්ධය, ඥතීන් අතර පවතින සම්බන්ධය ආදී වශයෙන් අපේ සමාජය තුළ මානව සබඳතා ජාලයක් දකින්නට ලැබුණා. නව ආර්ථික ක්‍රමවලට මිනිස්‌සු හුරුපුරුදු වන විට මේ මානව සබඳතා ජාලය විකෘති වෙන්න පටන් ගත්තා. ඒ තුළ කාන්තාව අලුතින් නිර්වචනය වුණා. ගෘහස්‌ථය තුළ ඇයට හිමි තත්ත්වයන් ඉක්‌මවාගොස් විවිධ රැකියාවන්හි නියුතු පුද්ගලයෙක් බවට පත්වුණා. වර්තමාන සමාජය තුළ මේ සිදුවන සියලුම කාන්තා හිංසනවලට ප්‍රධාන හේතුවක් වන්නේ අපේ සමාජයේ පැවැති මානව සබඳතා ජාලය බිඳවැටීමයි. මේ නිසා අද සමාජයේ කුඩා දැරියන්ට තරුණියන්ට වගේම විවිධ වයස් කාණ්‌ඩවල කාන්තාවන්ට ලිංගික අතවරවලට මුහුණපෑමට සිදුවී තිබෙනවා. පවුල අතරත් ඉන් එහා ගිය ඥතීන් අතර පැවැති සබඳතාත් අද බිඳවැටිලා.
වර්තමාන සමාජය තුළ මානව සබඳතා ගොඩනැගෙන්නේ එදා සමාජයේ තිබුණු වටිනාකම් පද්ධතීන්ට අනුව නෙමෙයි. මානව වටිනාකම් වෙනුවට මානව අගතීන් වලටයි අද මුල්තැන ලැබිල තියෙන්නේ. නව ලිබරල් ආර්ථික ක්‍රමය යටතේ සමාජ වටිනාකම් සහ සියලු මානව සබඳතා දියකර හැරල අද සමාජය සියලු දේ දකින්නෙ "තවත් භාණ්‌ඩයක්" යන අර්ථයෙන්. කාන්තාවන්ට සහ ළමයින්ට අද එල්ල වෙන ලිංගික ප්‍රචණ්‌ඩත්වය එහි එක ප්‍රතිඵලයක්. අද සමාජය තුළ බහුල වී තිබෙන ළමා වෙළ¹මත් තව ප්‍රතිඵලයක්.
අද සමාජය තුළ ලිංගිකත්වයට වැඩි වටිනාකමක් ලැබීම සහ වැඩි ඉඩක් ලැබීම මේ තත්ත්වයන් ඇතිවීමට කිසියම් දායකත්වයක් ලැබී තිබෙනවාද?
අද අපේ රටේ තිබෙන මේ සමාජ ක්‍රමය සමාජ විද්‍යාඥයන් හඳුන්වන්නේ පරිභෝජනවාදී සමාජ ක්‍රමයක් විදිහටයි. සමහරු මෙයට පශ්චාත් නූතන සමාජ කියලත් කියනවා. මේ සමාජ ක්‍රමයේ ප්‍රධානම කාර්යය වන්නේ පරිභෝජනයයි. කෑම බීම, යාන වාහන වගේ දේවල් පමණක් නොවෙයි. මේ තත්ත්වය තුළ කාන්තාවනුත් වෙළෙඳ භාණ්‌ඩයක් බවට පත්වෙලයි තිබෙන්නේ. කාන්තාව මේ සමාජය තුල භාණ්‌ඩයක් ලෙස ඉස්‌මතු කිරීම අපේ රටේ පමණක් නෙවෙයි. මුළු ලෝකයේම අද මතුවී ඇති ප්‍රවණතාවක්. මේ නිසා අද කාන්තාව දෙස වැඩි දෙනෙක් බලන්නෙ තම ලිංගික ආසාවන් සන්තර්පනය කර ගැනීමට ඇති භාණ්‌ඩයක් විදිහටයි. මේ අරුතින් සමාජ සබඳතා ගොඩනඟාගැනීමට උපකාරි වන ක්‍රම අද සමාජය තුළ ඕනතරම් තිබෙනවා. ඉන්ටර්නෙට්, ෙµaස්‌බුක්, මොබයිල් ෙµdaන් වැනි මාර්ග ඔස්‌සේ අද මේ සබඳතා ගොඩනැගෙනවා. අනියම් ලිංගික සබඳතා අද විශාල සමාජ ප්‍රශ්නයක් බවට පත්වී තිබෙනවා. බිඳවැටෙන අනියම් ලිංගික සබඳතා අද තිබෙන සමාජ ප්‍රචණ්‌ඩත්වයට ප්‍රධාන හේතුවක්. අද සිදුවන බොහෝ ප්‍රචණ්‌ඩ ක්‍රියා සහ ඝාතන පිටුපස ඇති සමාජ විද්‍යාත්මක හේතු සොයා බැලීමේදී ලිංගික කටයුතු සමග බැඳුණු ක්‍රියාදාමයක් තිබෙනවා. මෙය ලිංගිකත්වය වෙළෙඳ භාණ්‌ඩයක් බවට පත් වීමේ ප්‍රතිඵලයක්. අපේ සමාජය තුළ අද ලිංගිකත්වයට වැඩි ඉඩක් ලබාදී තිබෙනවා. ලිංගික සේවා සපයන ආයතන තිබෙනවා. සමාජය තුළ ලිංගිකත්වය උද්දීපනය කරන ක්‍රමවේද ඇතැම් මාධ්‍ය හරහාත් දියත් වෙමින් තිබෙනවා. මේ නිසා අද කාන්තාවන්ට හිමිවිය යුතු ගරුත්වය වේගයෙන් බිඳවැටෙමින් තිබෙනවා.
ලිංගිකත්වය සමාජය තුළ වෙළෙඳ භාණ්‌ඩයක් බවට පත්වීම අර්බුද ගණනාවකට හේතුවක්. විවාහයට පෙර ලිංගික සබඳතා පැවැත්වීම අද සාමාන්‍ය දෙයක් බවට පත්වෙලා. විවාහයෙන් පසු අනියම් සබඳතාවල වැඩි වර්ධනයක් ඇති වී තිබෙනවා. අඩු වයසින් කරන විවාහ වැඩිවෙලා තිබෙනව. මෙයට අමතරව සමාජය තුළ මව හෝ පියා පමණක් සිටින පවුල් සංඛ්‍යාවත් වැඩිවෙලා තිබෙනවා. අද සමාජය තුළ ලිංගිකත්වය හානිදායක ලෙස ඉස්‌මතුවීමට මේ සියලු දේ බලපා තිබෙනවා. මෙය සමාජ හර පද්ධතිය බරපතළ සෝදාපාළුවකට ලක්‌වීමට හේතුවක්. පියා, දියණිය දූෂණය කිරීම, සීයා මිණිබිරිය දූෂණය කිරීම, බෑණා නැන්දම්මා ඝාතනය කිරීම, සමූහ ස්‌ත්‍රී දූෂණ ආදිය තුළින් පෙනෙන්නේ වර්තමාන සමාජය රෝගී ස්‌වභාවයට පත් වෙමින් තිබෙන බවයි.
අද සමාජය තුළ කාන්තාව සහ ගැහැනු දරුවා පත්ව ඇති මේ තත්ත්වයෙන් ඔවුන් මුදවා ගන්නෙ කොහොමද
අද අපේ සමාජය රෝගී සමාජයක් ය කියන කාරණය මුලින්ම කවුරුත් අවබෝධ කරගන්න ඕන. විසඳුම් මාර්ගය පටන් ගන්නෙ එතනින්. අද අපේ සමාජයේ මේ සිදුවන බොහෝ අසාමාන්‍ය දේවල් හුඟදෙනෙක් හිතන්නෙ සාමාන්‍ය දේවල් විදිහට. එය සමාජය රෝගීව ඇති බවට ලකුණක්. රෝගී කෙනෙක් නිරෝගී වීමට නම් තමුන් රෝගී බව මුලින් අවබෝධ කරගත යුතු වගේම සමාජයත් නිරෝගී කර ගත හැක්‌කේ එහි රෝගීභාවය අවබෝධ කර ගැනීමෙනුයි.
කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අංශයේ
මහාචාර්ය නියෝජ්‍ය උප කුලපති ප්‍රේමකුමාර ද සිල්වා මහතා
* සාකච්ඡා කළේ
පාලිත සේනානායක
0 Comments