පියාගේ ආත්මය දියණියට ආරූඪ වී ඝාතනයේ රහස්‌ හෙළි කරයි


හරියටම මෙයට වසරකට පෙර සිදු වූ පියාගේ අභිරහස්‌ මරණය සියදිවි හානිකර ගැනීමක්‌ නොව මිනීමැරුමක්‌ බව ආරූඪයෙන් මෙන් කියන දියණියකගේ පුවතක්‌ මුල් වරට 'දිවයින' මගින් ඉකුත් සතියේ අනාවරණය කළෙමු. මියගිය පුද්ගලයාගේ වයස අවුරුදු නවයක පමණ වන බාලම දියණිය පියාගේ අභිරහස්‌ මරණය සිදු වූ ආකාරය මෙසේ අනාවරණය කරන්නට වූයේ පියාගේ ආත්මය ඇගේ ඇඟට ආවේශ වීමෙනි. බටහිර විද්‍යාවට අනුව මෙවැනි කතා විශ්වාස කළ නොහැකි මිථ්‍යා මත ලෙස සැලකුවත් බටහිර විද්‍යාවේ පරීක්‍ෂණ, නිරීක්‍ෂණ, නිගමනවලට හසු නොවන එයින් ඔප්පු කළ නොහැකි බොහෝ සංසිද්ධි මේ ලෝකයේ තිබේ. අභිරහස්‌ ලෙස මියගොස්‌ සිටි සමන්සිරි පීරිස්‌ගේ (පාලිත-42) මරණය සම්බන්ධයෙන් ඔහුගේම ආත්මය සිය දියණියටත් ඉන් පසුව බිරිඳටත් ආවේශ වී හෙළි කළ මතු දැක්‌වෙන තොරතුරු ද එසේ අසත්‍යම යෑයි කියා බැහැර කළ නොහැකි යෑයි අපට සිතෙන්නේ එකිනෙකට හේතුඵලවාදීව බැඳෙන සිද්ධි මාලාවක්‌ සියුම් ව මේ කතාව පුරා බැඳී පවතින බැවිනි. එබැවින් ඒ කතාව අපි මුල සිටම මෙසේ පෙළ ගස්‌වන්නෙමු.

අපි මියගිය සමන්සිරිගේ පවුලේ උදවිය සොයා කිසියම් ප්‍රදේශයකට ගියෙමු. ඔවුන් අපෙන් කළ මුල්ම ඉල්ලීම වූයේ තමන් සිටින ප්‍රදේශය හෝ ඔවුන්ගේ ඡායාරූප පළ නොකරන ලෙසය. සමන්සිරිගේ මිනීමරුවන්ගෙන් කොයි මොහොතක හෝ ජීවිත අනතුරක්‌ වෙතැයි ලද තොරතුරු මත ඔවුන් සිටින්නේ භිතියෙන් සැඟවීගෙනය. ඒ එකඟතාව මත සියල්ල නොසඟවා හෙළි කිරීමටත් ඔවුන් ඉදිරිපත් විය. මියගිය සමන්සිරිගේ බිරිඳ රතුකාත් (රංජනී) මුලින්ම පියාගේ ආත්මය (සමන්සිරිගෙ) ආවේශ වූ බාලම දියණියත් වැඩිමහල් දියණියත් දෙදෙනාත් ඒ අතර විය. අප ඔවුන් හමු වූ දිනය වන විට සමන්සිරිගේ ආත්මය දියණියගේ ශරීරයෙන් ඉවත්ව බිරිඳගේ ශරීරයට ආවේශ වන බව ඔවුන් කීවේය. එසේ වීමට හේතුව ලෙස සමන්සිරිගේ ආත්මය කියා ඇත්තේ දින පහක්‌ තමන් දියණියගේ ශරීරයට ඇතුළු වී සිටින විට ඇය නිරාහාරව සිට දුර්වල වීමත්, කුඩා දියණියක කියන තොරතුරු වැඩිහිටියන් තැකීමක්‌ නොකිරීමත් යන කාරණාය. මේ වන විට දියණියට ආරූඪයෙන් කියූ කිසිවක්‌ මතකයේ නැත. සියල්ල අප දැන ගත්තේ සමන්සිරිගේ බිරිඳ රතුකාගෙනි.

මහත්තයා (සමන්සිරි) මියගොස්‌ කොච්චර කල්ද?

ලබන මාසේ 25 වැනිදාට අවුරුද්දක්‌ වෙනවා.

මහත්තයා මැරෙනකොට ඔයාලා පදිංචි වෙලා හිටියෙ?

පානදුර කෙසෙල්වත්තේ. නොම්බර 30 ලිපිනයේ. ඒක මහත්තයලගෙ මහ ගෙදර. අපි බැන්දට පස්‌සේ ඉඳන්ම හිටියෙ එහෙ.

මහත්තයා කරපු රස්‌සාව මොකක්‌ද?

එයා පොහොර හදලා විකුණුව. අපිට නැතිබැරිකම් ගොඩක්‌ තිබුණා. ඒත් වැරදි වැඩක්‌ නොකර මහන්සියෙන් ඒ වගේ රස්‌සාවක්‌ කරල ජීවත් වෙනකොට ගොඩාක්‌ මිනිස්‌සු අපට උදව් කළා. මහත්තයා පොහොර විකුණුවෙ යමක්‌ කමක්‌ තියෙන ගෙවල් වලට. ඒ අය අපි ජීවත්වන දිහා බලල උදව් කළා.

මහත්තයා මැරෙනකොටත් ඔයාල හිටියෙ පානදුරේමද?

නෑ. එතකොට අපි මගෙ මහ ගෙදර බෙන්තර ඇවිත් හිටියෙ.

ඇයි ඒ?

ඒ වෙනකොට අපිට පානදුරේ මහ ගෙදර ඉන්න බැරි තත්ත්වයක්‌ තිබුණෙ. උන් අපට නොසෑහෙන්න කරදර කළා. ඒක ගමේ මිනිස්‌සු හැමෝම දන්නවා. කීප වතාවක්‌ම අපිව ගෙදරින් පන්න ගන්න තොවිල් කළා. එක වතාවක්‌ පාලිතට (සමන්සිරිට) මාව එපාවෙන්න දේවාල ගානේ ගිහින් එක එක දේවල් කරල තියෙනවා. ඒක හරි ගියේ නැති තැන මාව විනාශ කරන්න ගෙදර තොවිලයක්‌ කළා.

කාගෙ ගෙදරද?

මහත්තයගෙ මහ ගෙදරම අනෙක්‌ කෑල්ලෙ. ඒ ගෙදර අපෙත් එක්‌ක මහත්තයාගෙ තාත්තගෙ අනෙක්‌ කසාදෙ බාල පුතාගෙ පවුලත් පදිංචි වෙලා හිටියා. අපි හිටියෙ ගෙදර එක පැත්තක. එයාල ඒ ගෙදරම තවත් පැත්තක ජීවත් වුණා. පාලිතගෙ තාත්තට කසාද දෙකකින් ළමයි 11 ක්‌ හිටියා. ඒ හැමෝගෙන්ම බාලයා තමයි මගේ මහත්තයා 'පාලිත'. ගෙදර අනෙක්‌ පැත්තෙ හිටියෙ කරුණාසිරි පීරිස්‌. තොවිලෙ කළේ එහේ.

ඒ වගේ දෙයක්‌ කරන්න හේතුව?

කීප වතාවක්‌ම අපෙන් ගේ ඉල්ලල කරදර කළා. ගෙදරින් අයින් වෙන්න කීවා. රංඩු වුණා. ඒත් මහත්තයටත් අයිතියක්‌ තිබෙන නිසා අපි ගෙදරින් ගියේ නෑ. අනික ඒ ගෙදරට ලයිට්‌, වතුර ගත්තෙත් අපි. අපිට වෙන ගෙයක්‌ හදන්න පුළුවන් කමක්‌ තිබුණෙත් නෑ.

තොවිලෙ කළාම ඔයාලට ප්‍රශ්නයක්‌ ඇති වුණාද?

පළ වැනි තොවිලෙ අතරමඟදී කඩාකප්පල් වුණා. ඊට පස්‌සෙ දෙවැනි වතාවට ලොකු තොවිලයක්‌ කරනවා කියලා මට කලින්ම ආරංචි වුණා. එදා මගෙ නම කිය කිය කපුවා දෙස්‌ දෙවොල් තිබ්බා. අපි හැමෝටම ඇහුණා. ඒත් මම කාටවත් වරදක්‌ කරල නෑ කියන විශ්වාසය මගේ හිතේ තිබුණා. අපි සූනියම් දෙයිහාමුදුරුවන්ට පහන් තියනවා. කට්‌ටඬියා මගේ නම කියල දෙස්‌ කියද්දී මම එළියට ගිහින් සූනියම් දෙයිහාමුදුරුවන්ට පහන් තියල අපට කරන අසාධාරණය දෙවියන්ට කිව්වා. හරියටම මම වැඳගෙන ගාථාව කියන කොට කට්‌ටඬියට නවත්තගන්න බැරි කැස්‌සක්‌ ඇවිත් ඒ තොවිලෙත් එතැනින්ම ඉවර වුණා.

මහත්තයගෙ තාත්තාට කියල ඉඩම් ප්‍රශ්නෙ විසඳගන්න හිතුවෙ නැද්ද?

තාත්තා ජීවතුන් අතර නෑ. මුලදි අම්මා අපෙත් එක්‌ක හොඳින් හිටියා. ඒත් තුන්වෙනි දරුවා හම්බවුණාට පස්‌සෙ වෙනස්‌ වුණා. කරුණාගෙ පවුලෙ සහෝදරයො වැඩි නිසා මුළු ගේම එයාලට දීලා අපිට අයින් වෙන්න කියලයි එයත් කිව්වෙ.

ඒකද පානදුරෙන් බෙන්තර ගෙදරට යන්නෙ?

තුන්වෙනි වතාවටත් ලොකු තොවිලයක්‌ කරනවා කියලා අපට ආරංචි වුණා. මගේ ප්‍රාණයට ප්‍රාණයක්‌ බන්ධනය කරල තොවිලය කරනවා කියල ගමේ අය කීවා. ටික දවසකට හරි ගෙදරින් ඈත් වෙලා ඉන්න කියල ගමේ ගොඩක්‌ අය කීවා. අපි අන්තයට අසරණ වෙලා හිටියෙ... මමයි පාලිතයි දරුවො තුන් දෙනා අරන් බෙන්තර ආවා. 

එසේ කියා ඇය ඔළුවෙ අත තියා ඉඳගෙන සිටි පුටුවට තවත් බරවී දිගු සුසුමක්‌ පිට කළාය.

ඇය ඒ සියල්ල හෙළිකරන්නේ මහත් ආයාසයෙනි. සැමියාගෙ මතකය මෙන්ම විඳි වේදනාවල මතකය ඇගේ සිහියටවිත් රූරා වැටෙන කඳුළු මතින් පිටවෙනු අපි බලා සිටියෙමු. සැබවින්ම අපි කිසිවක්‌ නොඅසා ඇයට හඬන්නට ඉඩදී බලා සිටියෙමු. ඒ වේදනාව පිටවෙන්නට හැර බලා සිටියෙමු. ඇගේ දියණියන්ට මේ වේදනා නුහුරුවක්‌ සේ නොපෙනෙයි. එහෙත් මව හඬන විට බාල දියණිය අරමුණකින් තොරව බලාගෙන මවගේ හිස පිරිමැද්දාය. යළිත් ඇය නැවතු තැනින් කතාව පටන් ගත්තාය.

අපි බෙන්තර ඉන්නකොට පාලිත එදා රෑ පානදුර ගෙදරට වෙලා හොරෙන් තොවිලෙ කරන හැටි බලා හිටියා. එයාට සැකයක්‌ තිබුණා අපි ගෙදරට ඇතුළු වෙනතැන කට්‌ටඬියා මොනවා හරි වළලයි කියලා. ඒකයි එහෙම කළේ.

බෙන්තර ආවාම ළමයි ඉස්‌කෝලේ ගියේ නැද්ද?

ඉස්‌කෝලේ ගුරුවරු අපිට වෙන කරදර ගැන දැනන් හිටියා. මේ දරුවන්ගෙ යාළුවන්ගෙ අම්මලා ගුරුවරුන්ට අපිට වෙන කරදර ගැන කියල තිබුණා. ටික දවසකට ළමයි ඉස්‌කෝලේ එවන්නෙ නෑ කියලයි අපි බෙන්තර ආවේ.

බෙන්තර හිටිය නම් මහත්තයාගෙ මරණය පානදුරේ සිද්ධ වෙන්නෙ?

ටික දවසක්‌ බෙන්තර ඉඳල රස්‌සාවක්‌ නැතිව ජීවත් වෙන්න බැරි නිසා එයා අපිව බෙන්තර තියල පානදුරේ ගෙදර ආවා. ඒ ආව වෙලාවක දවසක්‌ ත්‍රිවිල් එකක ආව හතර දෙනෙක්‌ එයාව හප්පලා. ඒකත් කරලා තියෙන්නෙ එයාව මරන්න. ඒත් වම් කකුල කැඩිල පානදුර ඉස්‌පිරිතාලෙ ඉන්නවා කියලා මට ආරංචි වුණා. මම එයාව බලන්න ගියාම එයා මට බැන්නෙ තනියම ආවේ ඇයි කියලා. මට අනතුරක්‌ කරයි කියල එයා බයෙන් හිටියෙ. පස්‌සෙ මට මොනවහරි වෙයි කියල බයට ටිකට්‌ කපන්නෙවත් නැතිව මාව බස්‌ එකට දාන්න ඇවිත් එහෙමම මාත් එක්‌ක ගෙදර ආවා.

එහෙම ටික දවසක්‌ ඉඳල 2011 නොවැම්බර් 21 එයා ආයෙත් පානදුරේ ගියා. ගෙදර ටිකක්‌ අස්‌පස්‌ කරල අපිව ගෙන්න ගන්නවා කියලා එදා රෑත් කීප වතාවක්‌ම අපිට කෝල් කරා. ඒත් පහුවෙනිදා ඉඳන් අපිට කිසිම ආරංචියක්‌ ලැබුණේ නෑ. කොහෙද ඉන්නෙ කියල කෝල් කරාට ෆෝන් එක වැඩකරේ නෑ. ඊට පස්‌සෙ හිතවත් කෙනෙක්‌ කෝල් කරල කිව්වා මෙහෙම කෙනෙක්‌ මැරිලා ඉන්නවා රතුකා... ඔයාගෙ මහත්තයාද දන්නෙ නෑ. ඇවිත් බලන්න කියලා. දෙයියනෙ කාටවත් වරදක්‌ නොකළ එයා හරක්‌ මඩුවෙ සුදු රෙද්දකින් වහලා තිබුණා.

ඇය එසේ කියන විට කිහිප වරක්‌ම හැඬුවාය. ඉන්පසු තිර අදිටනින් ඇය මෙසේ කීවාය.

එයාගෙ මූණ බලන්න බැරි විදියට ඇස්‌ දෙක යටයි නලලයි එකම විදියට පුච්චල තිබුණෙ මහත්තයො.... පොඩි නූලකින් එයාව හරක්‌ මඩුවෙ එල්ලලා මරල තියෙන්නෙ.

පොලිසියට ගියේ නැද්ද?

පොලිසිය කිව්වෙ මහත්තයා හාමුදුරු නමකගෙ ෆෝන් එකක්‌ හොරෙන් අරන් ඒකෙ ලැඡ්ජාවට එල්ලිලා මැරිලා කියලා. ඒත් මම පොලිසියෙදි කෑ ගහල කිව්වා මහත්තයට ෆෝන් එකක්‌ හොරකන් කරන්න ඕන නෑ වැඩියෙනුත් ගෙදර ෆෝන් එකක්‌ තියනවා කියලා.

ඒ ෆෝන් එක අයිතියි කියන හාමුදුරුවො පොලිසියට ඇවිත් හිටියද?

නෑ. කවුරුත් ඇවිත් හිටියෙ නෑ. ඒත් අපරාධ අංශයෙ ස්‌ථානාධිපති (.......) මේ... මහත්තයා හොරකම් කරපු ෆෝන් එක ඔයා ගන්න කියලා මට බල කරා. ඒ වෙලාවෙ පොලිසියෙ හිටපු පාලිතගෙ (සැමියා) එකබඩවැල කඩාගෙන ආව සහෝදරයො සමච්චලේට හිනා වුණා.

මරණ පරීක්‍ෂණයට පස්‌සෙ සැකයක්‌ තිබුණා නම් කියන්න තිබුණනේ?

මට අතේ සතේ තිබුණෙ නෑ. මරණයෙ වැඩ කරන්නෙ කොහොමද කියල මම අවසිහියෙන් හිටියෙ. (ඇය යළිත් හඬා වැළපෙයි). අනික ඒ වෙලාවෙ මගේ ළඟ හිටිය පාලිතගෙ සහෝදරයෙක්‌ කිව්වා අක්‌කා මරණය සැකයි කියන්න එපා කියලා එහෙම වුණොත් බොඩි එක ගන්න හම්බවෙන්නෙ නෑ කියලා. එහෙම කිව්වොත් තනියම මරණයෙ වැඩ කටයුතු කරන්ඩ කියල එයාල බලපෑම් කළා. 

ඒත් මහත්තයා උන් ලෑස්‌ති වුණෙ ගෙදරට මිනිය ගන්නෙවත් නැතිව මල්ශාලාවෙම තියල වලලන්න. ගමේ මිනිස්‌සුන්ගෙ උදවු නිසයි මිනිය ගෙදරට ගන්න පුළුවන් වුණේ.

මුළින්ම පාලිතගෙ ආත්මය බාල දියණියට ආරූඪ වෙනව කියල දැනගත්තෙ?

ළඟදී දවසක දුවගෙ හැසිරීම හරි අමුතු වුණා. මට අම්මා කියන්නෙ නැතිව රතුකා කියල කතා කළා. මම චූටි දුව කියල කතා කළාම මම චූටි දුවක්‌ නෙවෙයි මම පාලිත කියල එයා (පාලිත) ඇඳපු ඇඳුම්, එයා ගෙනත් දුන්න සෙල්ලම් බඩු අතපත ගාන්න ගත්තා. එයාගෙ අම්මා ගෙනත් දුන්න සෙල්ලම් බඩුවක්‌ ඒ අතරෙ තියනවා දැකල ඒක කඩල විසික්‌ කළා. ඒ දවස්‌ පහම දුව මොනවත් හරියට කෑවෙ නෑ. පුළුවන් තරම් වතුර නම් බිව්වා. දුවගෙ ඇඟෙන් එයා අයින් වෙනකම්ම දවස්‌ පහක්‌ තිස්‌සෙ හැසිරුණෙ මහත්තයා විදියට. වෙන ඇඳුමක්‌ ඇඟට දාන්න බෑ. දවස්‌ පහම ඇඳන් හිටියෙ පාලිත ඇඳපු සරමයි කමිසයයි.

ඊට කලින් දුව මේ වගේ හැසිරීමක්‌ පෙන්නල නැද්ද?

නෑ. කොහොමත් මේ කතා කරන්නෙ පාලිතමයි කියල විශ්වාස කරන්න පුළුවන් තවත් දෙයක්‌ එයා කිව්වා. ඒ අපි මේ මරණයෙන් මාස තුනකට විතර පස්‌සෙ ඉඳුරුවෙ දේවාලයකට ගියා. ගේ ගැන බලන්ඩ ගියේ. එතන මළවුන් ගෙන්නනවා කිව්වාම, මම නිකමට බුලත් අතක්‌ තියල වාඩි වුණා. ටික වෙලාවක්‌ යනකොට කපු මහත්තයා පාලිත වගේ නොන්ඩි ගගහා ඇවිත් මම මැරුණෙ නෑ. මම මැරුණ හැටි දැන්ම එළිකරන්න බෑ. කවදා හරි මම ඒක එළිකරන්නම්. දැන් මම ඉන්නෙ අඳුරක. මට එතනින් එන්න පිට කරන්න කිව්වා. එයා කිව්වෙ එයා වෙනුවෙන් දානයක්‌ දෙන්න කියල.

ඇයි ඒ වෙනකොට තුන් මාසෙ දානෙ දීලා තිබුණෙ නැද්ද?

කලින් දුන්න දානවල පිං ලැබුන් නෑ කිව්වා. දානෙ දීලා ඒවාට ගිය වියදම ගැන එක එක්‌කෙනා කියවගෙන පසු තැවුණ නිසා පිං ලැබුන් නෑ කිව්වා.

ඉතින් පාලිත කිව්ව විදියට දානෙ දුන්නද?

ඔව්. ඒකට මගේ අතේ සල්ලි නෑ කිව්වාම දේවාලෙ කපු මහත්තයයි අනිත් අයයි මම ගැන අනුකම්පා කරල සල්ලි දුන්නා. ඒ දානෙ පිං අරගත්තට පස්‌සෙ එයා නයි ආත්මෙක ඉපදිලා.

ඒක කොහොමද දැනගත්තෙ?

දුවට ආරූඪ වුණ වෙලාවෙ පාලිත කෑ ගහල කිව්වා අනේ රතුකා උන් මාව දෙවැනි වතාවටත් මැරුවා කියලා. මම මොකක්‌ද කියල අහනකොට එයා කිව්වා දානෙ පිං ලැබුණාම නයි ආත්මයක්‌ හම්බ වුණාලු. ඊට පස්‌සෙ එයා කෙළින්ම (නයි පැටියා) ගිහින් තියෙන්නෙ මිනීමරුවෙක්‌ගෙ ගෙදර. ඒ ගෙදරට ගිය පාරත් කිව්වා. චූටි දුව තියා අපි කව්රුත් එහෙ ගිහින් නෑ. යන පාර දන්නෙත් නෑ. නයි පැටියා ඒ ගෙදරට ගිහින් මනුස්‌සයා එනකන් දවස්‌ එකහමාරක්‌ ඇඳ යටට වෙලා ඉඳලා තියෙනවා. ඒත් එදා මනුස්‌සයා ඇවිත් නෑ. පස්‌සෙ ගෙදර අයට අහුවෙලා නයි පැටියා මරලා තියෙනවා. ඒ කතාව මම හොඳටම විශ්වාස කරන්නේ මේ සිද්ධිය වුණ දවසෙ ගමේ කෙනෙක්‌ මට කෝල් කරල කිව්වා "රතුකා ඒ ගෙදරට නයෙක්‌ ඇවිත් තව ටිකෙන් මනුස්‌සයාට නයා ගහනවා කියලා". ඒකයි එයාව දෙවෙනි වතාවටත් මැරුවා කියලා කිව්වෙ.

දුව ආරූඪයෙන් එදා සිද්ධිය ගැන (මරණය) මොනවද කිව්වෙ?

බෙන්තරින් ගිය පහුවදා ගෙදර බඩු ගෙනත් දාලා පොහොර එකතු කරන්න මම හරක්‌ මඩුවට ගියා. හොඳටම වැස්‌ස. මම මැස්‌ස උඩ නිදන් හිටියා. එතනට ආව උන් හතර දෙනෙක්‌ මට ගේ ඉල්ලලා හොඳටම ගැහුවා. මගේ වම් අතත් කැඩුවා. රතුකා වුන් මගේ ඇස්‌ දෙක පුච්චන්න හැදුවා. මම හයියෙන් කෑ ගහනකොට මගෙ මූණ පිච්චුවා. දුව ආරූඪයෙන් අඬ අඬා දේවාලෙදි මේවා කියනකොට එතන හිටිය පිරිමි අය පවා ඇඬුවා.

මට හොඳටම ගහල ගහල උන් අරක්‌කු බෝතලයක්‌ ගෙනැල්ලා මගේ ඇඟේ හැලුවා. එහෙම කරේ මම බීලා එල්ලුණා කියල පෙන්නන්න. මාව මඩුවෙ එල්ලන වෙලේ මට දරුවො මතක්‌ වුණා. අන්තිමේ මම රතුකා කියල හයියෙන් කෑ ගැහුවා. ඒත් කවුරුත් මාව බේරගන්න අවෙ නෑ.

මේ තොරතුරු හෙළිකරගෙන යන අතරතුරේ කිහිප අවස්‌ථාවකදීම ඇය කුමක්‌දෝ මහත් අපහසුතාවයකින් පෙළෙන්නට වූවාය. එය තවත් මොහොතකින් දරුණු අතට හැරෙමින් ඇගේ මුළු සිරුරම දරදඬු වී යනු අපිදු බලා සිටියෙමු. ඒ සමගින් ඇය තමන්ගෙ ඔළුව, කොන්ද සහ දෙපා රිදුම්දෙන බව කියමින් වේදනාවෙන් හඬා වැලපුණාය. අපි සිදුවන දෙයින් වික්‍ෂිප්ත වී සිටියෙමු. ඇගේ දියණිය දෙහි ගෙඩි දෙකක්‌ මවගේ (රතුකාගේ) දෙඅතේ තබා පහන ළඟ තිබූ තෙල් බෝතලයක්‌ ගෙන "උදරේ නාග බන්දාමි නීsලොත්තුරඟ වාහනම්.... (මගේ මතකයේ ඇත්තේ මේ පද පමණි) යනුවෙන් මතුරමින් සූනියම් දේවතාවා වඳින ගාථාව කියා මවගේ ශරීරය පිරිමැද්දාය.

ඇයි මෙහෙම අමාරු වෙන්නෙ පාලිත ආරූඪ වෙලාද? අපි සිදුවන දේ ගැන දියණියගෙන් ඇසුවෙමු.

නෑ. තාත්තා ආරූඪ වෙලා නෙවෙයි. ඒ අය (පියාගේ මිනීමරුවන්) මේ වෙලාවෙත් අම්මව හිර කරල බන්දනයක්‌ කරනවා.

කොහොමද ඔයාල ඒක දන්නෙ?

ඊයෙ රෑ තාත්තා අම්මට ආරූඪ වුණාම ඒ අය අම්මවත් නැති කරන්න මෙහෙම දෙයක්‌ කරනවා, අපට පරිසම් වෙන්න කියලා කිව්වා. එයාලා ඒක කරන්නෙ දකුණු පැත්තෙ දිවුල් ගස්‌වලින් වටවුණු තැනක ඉඳන් කියලත් කිව්වා.

මේවගෙන් ආරක්‍ෂා වෙන්න ඔයාල මොනවත් කළාද?

අපේ කපු මහත්තයට පිං සිද්ධ වෙන්න තමයි මෙහෙම හරි ආරක්‍ෂා වෙලා ඉන්නෙ. මේවගෙන් හරියට බේරෙන්න අපිට මුන්නේෂ්වරම් යන්න ඕන. ඒත් එහෙට යන්නවත් අපට සල්ලි නෑ.

පාලිsතගේ ආත්මය මේ විදියට ඔයාලගෙ ශරීරයට ඇවිත් මොනවද බලාපොරොත්තු වෙන්නෙ?

මිනීමරුවන්ට දඬුවම් දෙන්ඩ. එයාට ඕන එයා වරදක්‌ කළේ නෑ, සියදිවි හානිකර ගත්තෙත් නෑ, එයා මැරුවා කියල ලෝකයටම කියන්න. ඒත් එයා කිව්වා නීතියෙන් නම් මේකට සාධාරණයක්‌ වෙන්නෙ නෑ කියලා. උන් කරන බන්ධනවලින් අපි හතර දෙනාගෙන් එක්‌කෙනෙක්‌ට මොනව හරි වෙන්න පුළුවන් ආරක්‍ෂා වෙන්න කියලයි එයා කියන්නේ.

එතැනින් අපි ඔවුන්ට සමුදී මේ කතාවට විරාමයක්‌ තැබුවෙමු. එහෙත් අපට කියන්නට දෙයක්‌ තිබේ. ජීවත්වෙන කෙටි කාලයේදී මිනිසුන් මෙතරම් සැහැසි ලෙස හැසිරෙතැයි සිහිනෙන්වත් සිතන්නට නොහැකිය. මේ සියල්ල සිදුව ඇත්තේ මහා වස්‌තුවක්‌ ලබාගැනීමට නොව පුංචි නිවසක්‌ සහ පර්චස්‌ අටක ඉඩම් කැබැල්ලක්‌ ලබාගැනීමේ අරමුණින් වීමද කනගාටුවට කරුණකි. එවැනි මිනිසුන්ගේ සුළඟවත් නොවදින ලෙස සිතමින් අපි ඒ දරුවන්ගෙන් සමුගත්තේ ඔවුන්ට කිනම් හෝ උපකාරයක්‌ කිරීමේ ෙච්තනාවෙනි. එයට ඔබත් එකඟ වේ නම් එස්‌. ඒ. ශීලා රංජනී නමින් අළුත්ගම ලංකා බැංකු ශාඛාවේ ඇති අංක 9053071 ගිණුමට යම් මුදලක්‌ බැර කරන ලෙසද අපි ඔබෙන් ඉල්ලමු.

තිස්‌ස ගුණතිලක

Post a Comment

0 Comments