ශ්‍රේෂ්ඨ ඔක්‌තෝබර් විප්ලවය

අද වන විට ධනවාදී අර්ථ ක්‍රමය ලොව කෙතරම් ප්‍රබලව නැගී සිටියද, එය සමාජවාදය ප්‍රතික්‍ෂේප වීමක්‌ නොවන බැව් අප විසින් වටහා ගත යුතුය. ඒ අනුව ලෝකයේ සමාජවාදය අගයන සමස්‌ත ජනතාවට ඔක්‌තෝබර් මාසය අතිශයින් ම වැදගත් වනු ඇත.

මානව ඉතිහාසයේ කෝටි සංඛ්‍යාත ජනතාවකට විමුක්‌තිය ළඟා කළ සමාජවාදයට මූලික පදනම වැටුණේ කාල්මාක්‌ස්‌ගේ දර්ශනවාදය ඔස්‌සේය. මෙලොවදීම දෙව්ලොව සැප ලබා ගත හැකි බවත්, ජීවිතයේ දුක්‌ කම්කටොලුවලින් ගැලවීමට මරණය තෙක්‌ බලා නොසිටිය යුතු බවත් කාල්මාක්‌ස්‌ විශ්වාස කළේය. සැප පහසුකම් නොලත් අයටත්, වහල් බවේ සිටි අයටත්, කාල්මාක්‌ස්‌ පණිවුඩයක්‌ ගෙනාවේය. ඔහුගේ දර්ශනවාදය පිළිගත් ජනයාට ඔවුන් බැඳී සිටි දුක්‌ කරදරවලින් ගැලවීමට බලය තිබෙන බව අවබෝධ කිරීම සඳහා කාල්මාක්‌ස්‌ තර්කානුකූලව හේතු ගෙන හැර පෑවේය.

වසර 1847 කාල්මාක්‌ස්‌ හා එංගල්ස්‌ විසින් ලන්ඩනයේදී කොමියුනිස්‌ට්‌වරුන්ගේ මහ සම්මේලනයක්‌ පවත්වනු ලැබීය. එහිදී කොමියුනිස්‌ට්‌ මැනි පැස්‌ටෝ හෙවත් කොමියුනිස්‌ට්‌ ප්‍රතිපත්ති ප්‍රකාශ පත්‍රය නිකුත් විය. එහි භෞතික වාදයට මුල්තැන දෙමින් කාල්මාක්‌ස්‌ මෙසේ අදහස්‌ දක්‌වා තිබිණි. ආර්ථික තත්ත්වය දියුණු කිරීම නූතන සමාජයට අත්‍යවශ්‍ය වූ දෙයකි. අද ධනපති පක්‍ෂයේ ආර්ථික බලය ශක්‌තිමත් බව සැබෑය. එහෙත් ධනපතින්ගේ සංඛ්‍යාව එදාට වඩා අද අඩුය. ඔවුහු අසරණ කම්කරුවන්ගේ ඩහබිඳු මිලයට ගෙන එමගින් සිය ධනස්‌කන්ධය තරකර ගනිති. එහෙත් අසරණ කම්කරුවන්ට ඔවුන්ගෙන් සැලසෙන සෙතක්‌ නැත. දුප්පතුන්ගේ යහපත සඳහාත් දේශීය උන්නතිය සඳහාත් විධිමත් ආර්ථික සංවර්ධන ක්‍රමයක්‌ ඇති කිරීම අත්‍යවශ්‍ය වේ. නිෂ්පාදනය හා අලෙවිය ද වැඩි දියුණු කළ යුතුව ඇත. සෑම බිම් අඟලක්‌ ම රජය සතු විය යුතුය. සෑම දේපළකින්ම බදු හා ආදායම් බදු ද අය විය යුතුය. සින්නක්‌කර හෝ පරම්පරාගත ඉඩම් ක්‍රමය වෙනස්‌ විය යුතුය. විදේශිකයන් සතු දේපළ රාජසන්තක විය යුතුය. ගමනාගමනය රජය මගින් පාලනය විය යුතුය. රජය සතු කර්මාන්ත ශාලා සංඛ්‍යාව අධික විය යුතුය. ගොවිකම හා වාරිමාර්ග ක්‍රම දියුණු විය යුතුය. සෑම දරුවකුටම ඒකාකාර අධ්‍යාපනයක්‌ ලැබිය යුතුය. කර්මාන්ත ශාලාවන්හි සේවය කරන ළමයින් වහා ඒවායින් ඉවත් කළ යුතුය.

යථොක්‌ත ප්‍රකාශනයේ ප්‍රතිඵල වශයෙන් 1848 දී ඇති වූ බෙල්ජියම් කම්කරු විප්ලවය සඳහන් වේ. ඒ නිසාම කාල්මාක්‌ස්‌ට බෙල්ජියමෙන් පිටුවහල් වන්නට සිදුවිය. එහෙත් එදා බෙල්ජියමේ ඇති වූ කම්කරු විප්ලවයේ ආලෝකය යුරෝපය පුරා පැතිරෙන්නට විය. එකී විප්ලවීය ආලෝකයේ උච්චතම අවස්‌ථාව රුසියානු අධිරාජ්‍යයේ සාර් පාලනයට එරෙහිව ඇති වු ජනතා පිබිදීමයි. සාර් රුසියාව අධිරාජ්‍යයක්‌ මෙන් ම අඩ වශයෙන් යටත් විජිතයක්‌ ද විය. ඉංග්‍රීසි, ජර්මන්, ප්‍රංශ හා ඇමරිකානු ධන දෙටුවන්ටත්, පැරැණි රුසියාවේ ගල් අඟුරු, යකඩ හා රන් ආකරත්, කර්මාන්ත ශාලාත් බොහෝ ගණනක්‌ හිමි විය. රුසියානු පොළොවෙන් අක්‌කර දස දහස්‌ ගණනක්‌ ද ඔවුන් සතුවිය.

මෙම තත්ත්වය උද්ගත කළේ සාර් රජු ප්‍රධාන එකල රට පාලනයෙහිලා ක්‍රියා කළ ඔහුගේ ඇමැති පිරිස සහිත ඩුම් නමින් හැඳින්වූ මන්ත්‍රී මණ්‌ඩලයකි. මෙම දූෂිත පාලන ක්‍රමයට එරෙහිව 1917 ඔක්‌තොබර් 17 වැනි දින රුසියානු ජනතා නැගිටීම ආරම්භ විය. ඒ අනුව නොවැම්බර් 07 වැනි දින විප්ලවකාරී සන්නාහ සන්නද්ධ කාරක මණ්‌ඩලය විසින් තාවකාලිකව ආණ්‌ඩු ක්‍රමය අල්ලා ගෙන ඒ බලය සමස්‌ත රුසියානු සෝවියට්‌ සම්මේලනයට පවරන ලදී. මේ සම්මේලනය මගින් ලෙනින්ගේ නායකත්වයෙන් යුත් අලුත් ආණ්‌ඩුවක්‌ තෝරා පත්කර ගන්නා ලදී.

එසේ ආරම්භ වූ ඓතිහාසික ඔක්‌තෝබර් විප්ලවය එක්‌ අතකින් සාර් අධිරාජ්‍යයටත් තව අතකින් රුසියාවේ ධනපති හා රදල පංතිවලටත් තවත් අතකින් රුසියාව තුළ බල පෑ විදේශික අධිරාජ්‍යවාදයටත් එක විට එකට තබා ගැසූ මරු පහරක්‌ විය. සාර් අධිරාජ්‍යය සුනු විසුනුව ගිය නිසා සාර් රුසියාවේ යටත් විජිත බවට පත්ව තිබුණු සියලුම රටවල් නිදහස ලබා සමාජවාදී සෝවියට්‌ සංගමයේ සම සාමාජිකයන් බවට පත් විය. ධනපතියන්, රදලයන් වෙනුවට කම්කරුවන්, ගොවියන් බලයට පත් විය. මහ පොළොවෙන් එක්‌ පංගුවක්‌ අධිරාජ්‍යවාදී වළල්ලෙන් කැඩී වෙන් වී ජාතික නිදහසේත්, සමාජවාදයේත් සාමයේත් මඟට පිලිපන්නේය. ඒ අනුව යුකේ්‍රන්, බයිලෝ, රුසියා ට්‍රාන්ස්‌ කොතේසියා යන ප්‍රදේශයන්හි සමූහාණ්‌ඩු පිහිටුවා 1922 ඒ සියල්ල එක්‌සත් සෝවියට්‌ සමාජවාදී සමූහාණ්‌ඩුවක්‌ ලෙස ප්‍රතිෂ්ඨාපනය විය.

අතීතයේ ද සමාජයේ විප්ලව සිදුවිය. ඒ හැම එකකින්ම ලොවට නව යුගයක්‌ උදා වූ බවට සැකයක්‌ නැත. එහෙත් ඒ හැම විප්ලවයකින්ම සිදු වූයේ මිනිසා විසින් මිනිසා පෙළීමේ අයිතිය එක්‌ පංතියක්‌ අතින් තව පංතියක්‌ අතට උදුරා ගැනීමයි. තවත් විදියකින් කියතොත් සූරා කෑමේ අයිතිය අලුත් පංතියකට හිමි වීමයි. ඔක්‌තෝබර් විප්ලවය එසේ නොවන්නේය. ඔක්‌තෝබර් විප්ලවය මගින් ඉතිහාසයේ පළමු වරට සාර් රුසියාවේ දිළිඳු ගොවියන්ගේ හා සෙබළුන්ගේ ආධාර ඇතිව ලෙනින්ගේ හා මාක්‌ස්‌ගේ දර්ශනය අනුව කොමියුනිස්‌ට්‌ පක්‍ෂයේ නායකත්වය යටතේ කම්කරු පංතිය බලයට පත්වීමෙන් මිනිසා පෙළීමත්, පංතියක්‌ විසින් පංතියක්‌ සූරා කෑමත් සදහටම නැතිකර දැමූ සමානාත්මතා සමාජයක්‌ පංති භේදයකින් තොර සමාජයක්‌ බිහිවිය. එහෙත් වළාකුළු අතර මාළිගා තැනූවන් දුටු දහවල් සිහිනයක්‌ ලෙසින් ලොව සිතූ සමාජවාදය සාර්ථක විය.

රුසියානු විප්ලවය සිදු වූයේ කාල්මාක්‌ස්‌ කාලක්‍රියා කර විසිපස්‌ වසරක්‌ ඇවෑමෙනි. එනම් අදින් වසර 95 කට ඉහතදී ය. එකී ශ්‍රේෂ්ඨ ඔක්‌තෝබර් විප්ලවය ලොව ජනිත වූ කෝටි සංඛ්‍යාත ජනතාවකට විමුක්‌තියේ ඒකායන මාර්ගය හෙළි කර දුන්නා පමණක්‌ නොව එමගින් ලොව පවතින සමාජ අසාධාරණත්වයන් පිටු දැකීම සඳහා ජාතීන් වෙත අධිෂ්ඨානශීලී පණ පෙවීමක්‌ ද සිදු කරනු ලැබීය. එහෙත් පසු කාලීනව යෙල්සින් හා ගොර්බචොව් නමැති ෙද්‍රdaහීන් බෝ කළ සංශෝධනවාදී පෙරස්‌ත්‍රෙයිකා රෝගයෙන් ඔත්පල වී සෝවියට්‌ දේශය බිඳි යන විට එක්‌සත් ජනපදය ඇතුළු බටහිර බලවතුන් අමන්දානන්දයට පත් විය. නමුත් කිසිවකුත් බලාපොරොත්තු නොවූ පරිදි ඔත්පල වූ මුළු මහත් රුසියාව සමාජවාදයේ නාමයෙන් යුතුව වැලැඩ්මීර් පුටින්ගේ ජාතිකාභිමානය තුළ යළි නැගිටින විට ලොව ධනේශ්වර කඳවුරු තුෂ්ණිම්භූත වී ඇතිවා පමණක්‌ නොව මේ වන විට ඒ තුළින් බටහිරයන්ගේ නව යටත්විජිතවාදය ප්‍රබල තැතිගැන්මකට ලක්‌ව ඇති බවක්‌ පෙනෙන්නට ඇත. අද වන විට පුටින්ගේ අයෝමය පෞරුෂය තුළ ඓතිහාසික අභිමානය

රැක ගනිමින් රුසියාව යළිත් කෙළින් සිටීම ලොව විමුක්‌තිකාමීන් ලැබු අසීමිත ජයග්‍රහණයකි.

ඒ අනුව අප රට සම්බන්ධයෙන් බලන කල මාක්‌ස්‌ ලෙනින් වාදය යථාර්ථයක්‌ කරමින් ඒ තුළ ලෝකයේ ආර්ථික දැවැන්තයකු වී ඇති චීනයත්, ඓතිහාසික සමාජවාදී උරුමයේ නව ප්‍රවණතා මත යළි පිබිදී ඇති රුසියාවත්, කොටි බළල් අත්වලට අභියෝගයක්‌ වෙමින් එ.ජා. සංවිධානය ඉදිරියේ ශ්‍රී ලංකාවට පක්‍ෂ වීම ද ශ්‍රේෂ්ඨ ඔක්‌තෝබර් විප්ලවයේ අතුරු පලයක්‌ ලෙස අපි දකිමු.

තවද පංති රහිත සමාජයක්‌ වෙනුවෙන් මාක්‌ස්‌ ලෙනින්වාදය ක්‍රියාවට නගමින් ලෝකයේ දුක්‌ විඳින ජනතාවට විමුක්‌තියේ උත්තරීතර දායාදය හිමිකර දීමේ එකම ගමන් මඟ හෙළි කිරීමේ සුවිශේෂි සංධිස්‌ථානයක්‌ වූ ශ්‍රේෂ්ඨ ඔක්‌තෝබර් විප්ලවය සිහිකරන මාසය තුළම වර්තමාන රුසියානු නායක ව්ලැඩ්මීර් පුටින්ගේ උපන් දිනය යෙදී තිබීම ද දෛවයේ සරදමකි. අපිදු එයට සුබ පතමු.

වංශනාථ විජේසිංහ

Post a Comment

0 Comments