සාමාන්‍ය ලිංගික චාර්යාවක් ලෙස මෙන්ම අසාමාන්‍ය ලිංගික චර්යාවක් ලෙසත් යමෙකු තුළ ලිංගිකත්වය ඇතිවෙන්න පුළුවන්. සමලිංගික තත්ත්වය හැඳින්වෙන්නේ අසාමාන්‍ය ලිංගික චර්යාවක් හැටියට. සමහර රටවල් මෙය අසාමාන්‍ය ලිංගික චර්යාවක් ලෙස පිළිගන්නේ නෑ. සමලිංගික විවාහවලට පවා ඇතැම් රටවල අනුමැතිය ලැබී තිබෙනවා. අපේ රටේ සමලිංගිකත්වය සම්මත ලිංගික චර්යාවක් ලෙස පිළිගන්නේ නෑ. ලිංගිකත්වය තුළ මේ අසම්මත තත්ත්වය වර්ධනය වීමට බලපාන මනෝ විද්‍යාත්මක හේතු සහ ජීවවිද්‍යාත්මක හේතු තිබෙනවා.
ළමා කාලයේදී දෙමාපියන්ගේ ආදරය අහිමිවන දරුවන් සමලිංගික සබඳතා වෙත වැඩි නැඹරුවක් දක්‌වන බව පිළිගත් මතයක්. පියාගේ ආදරය අහිමි වූ පිරිමි දරුවන් සමලිංගික සබඳතා කෙරෙහි වැඩි පෙළඹීමක් දක්‌වන බව මේ පිළිබඳ අප රටේ මා සිදුකළ අධ්‍යයන්හිදී පැහැදිළි වූ කරුණක්. අඹු සැමියන් අතර නිතර අඬදබර පැවතුණු පවුල්වල දරුවන්ද පසු කාලයේ සමලිංගික සබඳතා කෙරෙහි වැඩි වශයෙන් යොමුවීමේ ප්‍රවණතාවක් පවතිනවා. පියාගේ ආදරය අහිමිවන පිරිමි දරුවන් එම ආදරය ලබා ගැනීමට වෙනත් වැඩිහිටි පිරිමින් වෙතට නැඹුරුවීම ඇතැම් අවස්‌ථාවල එම දරුවන් සමලිංගිකත්වයේ ගොදුරු බවට පත්වීමට හේතු වෙනවා.
මානසික උපදේශනයට සහභාගි වීමට පැමිණි සමලිංගික සේවනයට ඇබ්බැහි වී සිටි තරුණයකු මා සමඟ පවසා සිටියේ කුඩා කාලයේ ඔහු ජීවත් වූ කටුක පරිසරයෙන් ඔහු මුදාගත් එම පුද්ගලයා දැන් ඔහුට අත්හළ නොහැකි බවයි. මව්පිය ආදරය අහිමිවීම, දුප්පත්කම වැනි විවිධ හේතුමත කුඩා කාලයේදීම නොයෙක් වැඩිහිටියන් සමඟ සමීප ඇසුරක් ඇතිකර ගන්නා කුඩා දරුවන් පසුව ලිංගිකව පරිණත තත්ත්වයට පත්වනවිට ඔවුන් ඇතැම් අවස්‌ථාවල එම වැඩිහිටියන්ගේ ලිංගික ගොදුරු බවට පත්වී අවසන්. ලිංගිකත්වය අසම්මත ස්‌වරූපයෙන් මේ තරුණ දරුවන් තුළ ක්‍රියාත්මක වන්නේ කුඩා කාලයේ දී ඇතිවුණු සමීප බැඳීමක් සමඟයි. මානසික උපදේශනයට පැමිණි මෙම තරුණයන් තම පියා පිළිබඳ කතා කළේ දැඩි අප්‍රසන්නතාවයකින්. ඔහු තම පියා හැඳින්වූයේ තම මවට දැඩිලෙස හිංසා කරන තමාට කිසිවිටෙක ආදරය නොකළ නරුමයෙකු ලෙසයි. නමුත් එම තරුණයා අද පියාගෙන් අහිමි වී සෙනෙහස අහිමි වූ පුද්ගලයාගේ ලිංගික ගොදුරක් බවට පත්ව සිටිනවා.
සමලිංගික චර්යාවන්ගෙන් මිදෙනු නොහැකිව මානසික උපදේශනයට යොමු වන තරුණයන් බොහෝ දෙනකුට ඉන් මිදීමට අවශ්‍යව ඇතත් ඊට හැකියාවක් නැති බව තමන්ට හැඟෙන බවයි පවසන්නේ. පාසල් වියේ සිටම එක් වැඩිහිටි පුද්ගලයකුගේ උදව් උපකාර ලැබ පසුව ඔහුගේ ලිංගික හැසිරීම්වලට අවනතව සමලිංගිකයකු බවට පත්වූ තරුණයෙක් පසුගියදා අපට හමුවුණා. තමා සමලිංගිකත්වයට පොළඹවා ගත් එම වැඩිහිටියා දැන් මියගොස් ඇති මුත් සමලිංගිකත්වයෙන් මිදීමට තමාට කිසිසේත් නොහැකි බවත් ඔහු පවසා සිටියා. ඔහු තරුණයන් කිහිපදෙනකු සමඟ සමලිංගික සබඳතා පවත්වන මුත් එයින් මිදිය යුතු බව තමාට හැඟෙන බව ඔහු පිළිගත්තා.
මානසික උපදේශනය තුළින් මෙබඳු පුද්ගලයන් සමලිංගික චර්යාවන්ගෙන් මුදවා ගන්න පුළුවන්. මෙබඳු පුද්ගලයන් විශාල පිරිසක් අපේ සමාජය තුළ සිටිනවා. මෙම තරුණයා අප සමඟ කළ කතාබහේ දී ඔහු බරපතළ මානසික ව්‍යාධියකට ගොදුරුවෙමින් සිටින බව පැහැදිළි වුණා. සමලිංගික චර්යාවන්ගෙන් මිදීමට "ඔහුට" අවශ්‍යව ඇතිමුත් ඔහුගේ "මනස" ඊට සූදානම් නොමැති වීමයි ඒ. සති කිහිපයක මනෝ ප්‍රතිකාර තුළින් මෙවැනි ඇබ්බැහිගත චාර්යාවන්ගෙන් පුද්ගලයන් මුදා ගන්න පුළුවන්. සමලිංගික චර්යාවන්ට බරපතළ ලෙස ඇබ්බැහි වී සිටින්නන් විරුද්ධ ලිංගිකයින් පිළිබඳ දරන්නේ සෘණ ආකල්පයි. විරුද්ධ ලිංගිකයන් පිළිබඳ සුබවාදී අදහස් ඔවුන් තුළ ඇතිකිරීමත් විරුද්ධ ලිංගිකයන් පිළිබඳ හැඟීම් ඇතිකරවීම තුළින් සම්මත ලිංගික චර්යාවන් වෙතට ඔවුන් යොමු කරවීමත් මානසික උපදේශනය තුලින් සිදුකළ හැකියි.
අද අපේ රටේ පුද්ගලයන් අතර මෙන්ම ස්‌ත්‍රී අතරත් සමලිංගික තත්ත්වය වර්ධනය වෙමින් තිබෙනවා. යොවුන් දියණියන් සිටින මව්වරු විදෙස් ගතවීම, දියණියන්ට මවගේ ආදරය අහිමිවීම වැනි හේතු එම තත්ත්වයට බලපා ඇති බව පැහැදිලියි. සමලිංගිකත්වයට වැඩිපුරම ගොදුරුවන්නේ වයස අවුරුදු 15-25 අතර කාන්තාවන්. අපේ රටේ මේ පිළිබඳ තවමත් නිවැරදිව සමීක්‍ෂණයක් සිදුකර නැහැ. අපේ රටේ බොහෝ කාන්තාවන් මේ පිළිබඳ කතාබහ කිරීමට දැඩි අකමැත්තක් දැක්‌වීම එයට එක හේතුවක්. ස්‌ත්‍රී සමලිංගිකත්වය අපේ රටේ එතරම් බරපතළ තත්ත්වයක් නොවේ යෑයි ඇතැමුන් පැවසුවද අපේ රටේ බාලිකා පාසල් රාශියක නේවාසිකාගාරවල මෙන්ම විශ්වවිද්‍යාල නේවාසිකාගාරවලත් මේ තත්ත්වය පවතිනවා.
සමලිංගික චර්යාවන් ස්‌ත්‍රීන් අතර ව්‍යාප්ත වීමට හේතු ගණනාවක් තිබෙනවා. පිරිමින් වෙත දක්‌වන බිය එක හේතුවක්. විවාහය සඳහා ඇති බියත් ස්‌ත්‍රීන් සමලිංගික චර්යාවන්ට පොළඹවන හේතුවක්. පිරිමින්ට බියක් දක්‌වන සහ විවාහයට බිය ස්‌ත්‍රීන් තමන් තුළ ඇතිවන ලිංගික හැඟීම් සන්තර්පණය කර ගැනීම සඳහා සමලිංගික චර්යාවන්ට යොමු වෙනවා. යොවුන් බාලිකාවන් අතර සමීප මිත්‍රත්වයන් ගොඩනැගීමත් පසු කාලයේ ඒවා සමලිංගික සබඳතා දක්‌වා වර්ධනය වීමටත් ඉඩ තිබෙනවා. පාසලේ තම හොඳම මිතුරිය සමඟ පසුකාලයේ සමලිංගික සබඳතාවලට යොමු වූ කාන්තාවන් අපේ රටේ සිටිනවා. මේ බොහෝ දෙනෙක් තම අත්දැකීම් හෝ සමලිංගික ජීවිතයේ පසුබිම හෙළිකරන්නේ නෑ. පාසල් වියේ සිට එකට කටයුතු කිරීම, හැසිරීම, ගමන්බිමන් යැම ආදිය සමඟ ගොඩනැගෙන සමීප ජීවිතය, බස් රථය හෝ වෑන් රියේ එක ළඟ සිටිමින් සමීපව ගමන් කිරීම, එකිනෙකාගේ ශරීර අඟ පසඟ දැකීම ඇතැම් අවස්‌ථාවල අත්පා ස්‌පර්ශ කිරීම් ආදිය තුළින් ඇතිවන ලිංගික පෙළඹවීම සමලිංගික බැඳීම් ඇතිවීමට හේතු වී ඇති බව එබඳු කාන්තාවන් පිළිබඳ අප කළ සමීක්‍ෂණවලදී හෙළි වුණා. අපේ රටේ මෙබඳු ලිංගික පෙළඹීම් මත සමලිංගික සබඳතා ඇතිවීමට ප්‍රධාන හේතුව වන්නේ අපේ රටේ ලිංගික අධ්‍යාපනයක් නැති වීමයි. ලිංගිකත්වය තුළ ඇති සාමාන්‍ය සහ අසාමාන්‍ය ලිංගික හැසිරීම් පිළිබඳ අපේ රටේ පාසල් සිසු සිසුවියන්ට අවබෝධයක් ලබාගැනීමට ක්‍රමයක් නැහැ. සමලිංගිකත්වය ආස්‌වාදනීය ලිංගික චර්යාවක් සේ සලකා තරුණ දරු දැරියන් ඒවාට යොමුවන්නේ ඒ නිසයි.
පාසල් දැරියන් අතර ගොඩනැගෙන මිත්‍රත්වයේ ස්‌වභාවය පසුකාලයේ ඔවුන් සමලිංගිකයන් වීමේ ඉඟි සපයන අවස්‌ථා තිබෙනවා. ඇතැම් මෙබඳු ගැහැණු දරුවන් තවත් ගැහැණු දරුවකුට ලිපි ලියන්නේ පෙම්වතියක් පෙම්වතෙකුට ලිපි ලියන අයුරෙනුයි. දෙදෙනාම මිතුරියන් වන නමුත් එක් අයෙක් මිතුරෙකු ලෙස පෙනී සිටිනව. ඇය කොණ්‌ඩය කොටට කපන්නට කැමැති, පිරිමි දරුවන් මෙන් වැඩ කිරීමට කැමැති කෙනෙක්. කුඩා කාලයේදීම ගැහැණු ළමයින් දෙදෙනකු අතර ඇතිවන මේ ගැහැණු පිරිමි රඟපෑම පසු කාලයක ඔවුන් දෙදෙනා අතර සමලිංගික සබඳතාවක් ගොඩනැගීමට පසුබිම් වීමට ඉඩ තිබෙනවා. අපේ රටේ පාසල් වල ලිංගික අධ්‍යාපනයක් නැතිවීමත් මෙබඳු මිත්‍රත්වයන් තුලින් සමලිංගික තත්ත්වයන් ඇතිවීමට හේතු වී තිබෙනවා. කාන්තා බන්ධනාගාර තුළ ව්‍යාප්තව ඇති සමලිංගිකත්වයට නූගත්කම ප්‍රධාන හේතුවක්. එසේම නිවෙස්‌වල ඇති කටුක පරිසරය සහ අසභ්‍ය චිත්‍රපට වැනි නොයෙක් සමාජ බලපෑම් හරහා ඇතිකරන පෙළඹවීම අපේ රටේ සමාජය තුළ සමලිංගිකත්වය ව්‍යාප්තවීමට හේතු වී තිබෙනවා.
අපේ රටේ සමලිංගිකයන් අතර සමලිංගිකයන් සමඟ චර්යාවන් පවත්වන අතරේ විරුද්ධ ලිංගිකයන් සමඟත් චර්යාවන් පවත්වන අය සිටිනවා. මේ දෙපිරිසම සමාජ විරෝධීන්. ඔවුන් යහ සමාජ පැවැත්මට බරපතළ හානියක් සිදුකරනවා. මේ පුද්ගලයන්ට යහපත් විවාහ ජීවිතයක් ගතකරන්න බැහැ. අසම්මත ලිංගික චර්යාවන් තුළින් විවාහ ජීවිතයේ හෝ ලිංගිකත්වයේ සැබෑ ආස්‌වාදය විඳින්නට බැහැ. අසම්මත ලිංගික චර්යාවන්ට පෙළඹුණු බොහෝ දෙනෙක් මේ බව අවබෝධ කරගන්නා නමුත් මානසික උපදේශනයකින් තොරව ඒ බොහෝ දෙනකුට යළි යහපත් විවාහ ජීවිතයක් ඇරඹීම දුෂ්කරයි. සමලිංගික ස්‌වාමිපුරුෂයකු හෝ බිරිඳක සිටින පවුලක සැකය. අඬදබර, මෙන්ම සමාජ රෝග වැළඳීමේ බරපතළ අනතුර නිරන්තරව පවතිනවා. ඔහුන්ගේ ලිංගික ජීවිතය මුළුමනින්ම පාහේ අසාර්ථක තත්ත්වයකයි පවතින්නේ. සමලිංගිකත්වය සම්මත විවාහ සංස්‌ථාව බරපතළ අනතුරකට ලක්‌විය හැකි තත්ත්වයක්.
මානසික සෞඛ්‍ය පදනමේ සභාපති
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දර්ශනය සහ
මනෝ විද්‍යාව පිළිබඳ මහාචාර්ය
ඥානදාස පෙරේරා
සාකච්ඡාවකින් සකස් කළේ
පාලිත සේනානායක
0 Comments