අප රටේ පමණක් නොව ඉන්දියාවේ ද දේවාල කෝවිල් වෙත පැමිණෙන බැතිමතුන්ට ආශිර්වාද කර ලබාදෙනු ලබන (තිලකය) තින්නෝරු ස්‌වාභාවිකව ලබාගැනීමට ඇති එකම ස්‌ථානය වන්නේ කතරගම පමණි. කතරගම දේවාලයේ ඇසළ මංගල්‍යයට කප් සිටුවීමත් සමග මෙම තින්නෝරු පතල් කැපීම ජනයා ආරම්භ කරනු ලබති.
තින්නෝරු හෙවත් දේවාලයෙන් ලැබෙන විභුති (සුදු පිටිවැනි ද්‍රව්‍ය) සඳහා පරහද යන නමින් ද ඇතැමුන් හඳුන්වන අතර කතරගම පැමිණෙන හින්දු, බෞද්ධ බැතිමතුන් ඉතා භක්‌තියකින් මෙම තින්නෝරු ගා ගැනීම සිදු කරති. මෙයට අමතරව දෙවියන් ඉදිරියේ සිදු කරන කටු ගැසීම් තුළ දී සිදුවන ලේ ගැලීම්වලදී මෙම තින්නෝරු ආලේප කර එම ලේ ගැලීම නවත්වා දමනු ලබයි.
සෑම වසරකදීම ජුලි මාසයේදී හටගන්නා මෙම තින්නෝරු පිහිටා ඇත්තේ කතරගම හුණුකැට වළ නම් ප්‍රදේශයේ අක්‌කර 50 ක් තරම් භූමි භාගයකයි. වැඩසිටි කන්දට ඊසාන දිගින් ද ප්‍රකාශ කන්දට උතුරෙන් ද මහා දේවාලයට ගිනිකොන දිසාවෙන් ද පිහිටි කන්ද (තිරුනෝරුමල) විභුති කන්ද යනුවෙන් හැඳින්වේ.
මෙම විභුති ලබාගන්නා ජනයා මාස තුනකට පෙර සිට මස් මාංශයෙන් තොරව පිරිසිදු වී දෙවියන්ට පඬුරු ගැට ගසා කැණීම් සිදු කරති. පොළවේ සිට අඩි 3 ක් පමණ හාරා පිටි වශයෙන් ඇති මෙම පාෂාණය ලබාගෙන එහි ඇති පස් වැලි ඉවත් කර දේවාලයට ලබාදීමට කටයුතු කරති.
මෙම කර්මාන්තයේ වසර 25 ක් නිරතවන ඒ මුරුගයියා මහතා පැවසුවේ, මම මේ තින්නෝරු කර්මාන්තයේ සෑම වසරකදීම නිරත වෙනවා. මගේ තාත්තාත් මේ කර්මාන්තයේ නිරත වුණා. අපි මේ තින්නෝරු කඩන්න කලින් මාසයක් තිස්‌සේ පේවෙනවා. මස් මාංශවලින් වළකිනවා පමණක් නොවෙයි බ්‍රහ්මචාරී ජීවිතයක් ගෙවනවා. සුබ නැකතක් අනුව අපි මේ තින්නෝරු පතල් කැපීම ආරම්භ කරනවා. අඩි 4 ක් පමණ යටට හාරන කොට මේ තින්නෝරු හම්බ වෙනවා. ඒවා අව්වේ වේලලා මුල් කොටස දේවාලයට දෙනවා. අනිත් ඒවා විකුණනවා. පෙරහැරට එන අය මේවා දිව්‍ය ඖෂධ ලෙස සිතාගෙන අරන් යනවා"යෑයි මුරුගයියා මහතා පැවසීය.
මේ වන විට මෙම තින්නෝරු ඇති බිම් විවිධ පුද්ගලයින් විසින් අල්ලාගෙන ඇති අතර අක්‌කර 50 වැනි පුංචි බිම් තීරුවක් බස්‌නායක නිලමේ ශෂීන්ද්‍ර රාජපක්‍ෂ මහතා විසින් මෙම තින්නෝරු කර්මාන්තයේ නිරත පුද්ගලයින් සඳහා ලබාදී ආරක්‍ෂා කර තිබේ. කතරගම දේවාලයේ පැවැත්වෙන සියලුම පූජාවන් අවසානයේදී මෙම තින්නෝරු බැතිමතුන්ට ලබාදී ආශිර්වාදය සිදු කරනු ලබයි. මෙම විභුති ගනු ලබන්නේ වසරකට එක් වරක් පමණි. ගිය වසරේ විභුති ගත් තැන යළිත් සම්පූර්ණ වී නැවත ගැනීමට හැකි ලෙස සැදී පවතින්නේ දේව හාස්‌කමකින් බව කතරගම ජනයා විශ්වාස කරති.
කතරගම ප්‍රදේශයේ සමහර ළිං ආදිය හාරන විට දී මෙම හුණුවලට සමාන පාෂාණය හමුවේ. මෙම ද්‍රව්‍ය ශුද්ධ වූ ද්‍රව්‍යයක් ලෙස කතරගම ජනයා ද කතරගමට පැමිණෙන බැතිමතුන් ද විශ්වාස කරනු ලබයි.
ශෛවාගමිකයන් අතර ද වැඩි දෙනකු භෂ්මධාරණය කරන්නේ ආගමික චාරිත්‍රයක් වශයෙනි. මොවුන් අතරින් ටික දෙනකු පවසන්නේ විභුති දැරීමෙන් දේව ශක්‌තියක් ලැබෙන බවත් භක්‌තිය දැක්‌වීමක් වශයෙන් කරන්නක් බවයි. කතරගමට පමණක් සීමා වූ මෙම තින්නෝරු පිළිබඳව අපූරු කතාවක් පවතී. ස්‌කන්ධ කුමාරයා යුද්ධයට අධිපති දෙවියකු ලෙස ඉතා ජනප්‍රිය දෙවියෙකි. සුර අසුර යුද්ධයෙන් සුරයන් දිනවීම පිණිස කතරගම ස්‌කන්ද කුමරා ඊශ්වරයා විසින් බිහි කළ බව ජනප්‍රවාදයේ කියෑවේ. ස්‌කන්ධ කුමාරයා අතින් යුදවන් සුරපත් මාසුරයා ගේ සියලු සේනාවන් මරුමුවට පත් විය. යන්තමින් පණ බේරාගෙන සැඟවී පලාගිය සුරපත් මාසුරයා මහත් සිත්තැවුලෙන් හා තමාට අත්විඳීමට තිබෙන අන්තිම ඉරණම ගැන සිත්තැවුලෙන් පසුවිය. තම මැණියන් වන මායා වෙත ගොස් තමන්ට ඉදිරියේදී ස්‌කන්ධ කුමරුන්ගෙන් පීඩා විඳ මරුමුවට පත්වීමට සිදුවන බව පැවසීය. මායා මව අසුරයාට පැවසුවේ පුත තුන් ලොව එක පැහැර නතු කිරීමේ වික්‍රමයක් ඇති තොපට ඊශ්වර මුර්ති ස්‌වරූප ස්‌කන්ධයන් සමග කිසි කලක යුද්ධ කර ජය ගැනීමට නොහැකිය.
මේ වන විට තාරක සහ සිංහමුඛ යන සහෝදරයන් ඇතුළු සේනාව ස්‌කන්ධ කුමරු අතින් විනාශයට පත්විය. එබැවින් සටන වහා නවතා ජීවිතය බේරාගන්නා ලෙස මායා නම් තම මෑණියන් අසුරයාට අවවාද කරනු ලැබීය.
එහෙත් අන්තිම සටන දක්‌වා සටන් කර මියයන බව තම මෑණියන්ට සුරමාපයන් පැවසීම නිසා මායා සුරමාපයන් අමතා පැවසුවේ පුත මෘත සංජීව නම් ඖෂධයක් ගැවසී ගත් පර්වතයක් හිමාලයේ ඇත. එය ගෙනවිත් මෙහි තබාගනු. එවිට එම ඖෂධ කන්දෙන් හමන සුළඟ හමා තොපගේ ශරීරයට වැදී කැපී ලේ ගලන තුවාල සුව වනු ඇත. තොපට නව ජීවයක් මෙම ඖෂධ කන්ද උඩ සිට ස්‌කන්ධ කුමරු සමග සටන් කරන විට ලැබේ යෑයි මායා සිය සුරමාපයන් වෙත පැවසීය.
ඒ අනුව හිමාලයේ තිබූ මෙම ඖෂධ උයන සුරමාපයන් ඔසවා ගෙන විත් අද කතරගම තින්නෝරු භූමියේ තිබූ බව ජනප්‍රවාදයේ කියවේ. එක්‌වරම මෙම අපූරු කන්ද දුටු ස්‌කන්ධ කුමරුන් පුදුම සහගතව තැතිගෙන මෙම පර්වතය පිළිබඳව පරීක්‍ෂණයක් සිදු කරනු ලැබීය. එහිදී කඳ කුමරුන්ට අනාවරණය වූයේ මෙම පර්වතය සුණු විසුණු නොකර යුද්ධයෙන් අසුරයන් පරාජය කළ නොහැකි බවයි. එම කන්ද දෙස රවා බලා තේජෝ ශක්‌තියෙන් මෘත සංජීව පර්වතය අළු වී විනාශ විය. එම පර්වතය අළු බවට පත්වූ හෙයින් එම අළු අද තින්නෝරු බවට පත්ව ඇතැයි සඳහන් වේ.
කතරගම කේ. ඩී. දේවප්‍රිය
0 Comments