ආදරය හා ප්‍රේමය යන වචන දෙකේ අරුත එක සමාන බවක් පෙනෙතත් එහි සියුම් වෙනසක් වෙයි. මාතෘ ප්‍රේමය, දේශප්‍රේමය වැනි යෙදුම් ගැන සිතෙන විට එය වැටහේ. ආදරය යන මතුපිටින් සුවඳවත් අරුතක් වනිත වෙතත් එය යටි අරුතට ලිංගිකත්වය වැඩි පුර මිශ්‍ර වී ඇත. ප්‍රේමය යන වචනය ඒ නිසා කිලිටි නැත. ආදරය බෝවන රෝගයක් මෙනි. ආදරය වූකලී තාරුණ්‍යය පසුපස ලුහුබඳින එක්‌තරා බලවේගයකි. ළමා වියෙන් තරුණ වියට පාතබත්ම පංෙච්න්ද්‍රියෝ ආදරයට නැඹුරු වෙති. මෙය ශක්‌තිමත් බැඳීමක් වුවොත් මාතෘ ප්‍රේමයටත්, පීතෘ ප්‍රේමයටත් පයින් ගසා ආදරයට ප්‍රමුඛ තැනක් දෙන තැන් බොහෝය. ආදරය නරක නැත. පමණ ඉක්‌මවා ගියොත් සුවපත් කළ නොහැකි අසාධ්‍ය රෝගයක් තරමට භයානකය. බෝවන රෝගයකට බෙහෙත් වෙතත් අසාධ්‍ය ආදරයට බෙහෙත් නැත.
ආදරය මෝරන විට ආලය තරමට ශක්‌තිමත් වෙයි. එය යළි කඩන්න අමාරුය. ආදරය පැරදුනොත් මරණය වැළඳගන්නා තරමට අසාධ්‍ය වෙයි. ඒ නිසා ආලය අන්ධ යෑයි කියති. එහි අරුත ආදරයට ආලයට ඇස් නැති බවය. ආදරයට අතීතයක් ඇත. රෝමියෝ - ජුලියට්, ලයිලා - මඡ්නු, සාලිය - අශෝකමාලා වැනි අය ඉතිහාසගත ආදරවන්තයෝය. අනුවේදනීය ප්‍රේම කතාන්තර වශයෙන් ඉතිහාසගත වූ එම ආදරයේ තවත් එකකි වැලන්ටයින් පුවත.
මේ සියලු ආදර කතාවලට වඩා අහිංසක ආදරයක් දිගහැරෙන්නේ කුස - පබා පුවත යෑයි මට සිතේ. කුස, අධිරාජ්‍ය බලයක් සහිත කෙනෙකි. සිය රාජ්‍ය බලය යොදා පබාගේ ආදරය උදුරා ගැනීමේ පුළුවන්කමක් තිබුණත් කුස රජ එසේ කළේ නැත. පබාගේ ආදරය දිනාගැනීමට හෙතෙම සැඟවී ඇය දෙස බලා සිsටියේය. නෙළුම් පොකුණට බැස නෙළුම් කොළයකින් මුහුණ වසාගෙන පබා පොකුණෙන් දිය දෝතක් ගනිද්දී ඇගේ අත ඇල්ලීමට තරම් අහිංසක වූයේය. ඉතිහාසගත සුරූපිය පබාය. ඉතිහාසගත විරූප තරුණයා කුසය. මේ සුරූපී - විරූපී ගැටුම නිසා කුස - පබා ආදරය දිග හැරුණේය. ආදරය ගැන කතා කරන විට කුස - පබා ගැන කතා නොකර බැරිය. කුස පබා වෘත්තාන්තයේ බැරෑරුම් අවස්‌ථාව මතුවන්නේ පබාගේ ආදරවන්තයා වීමට සත් රජවරුන් පැමිණි අවස්‌ථාවය. එතැනදී අහං කුසෝයි (මම කුස රජු වෙමිZයි) සිංහනාද නැගූ අවස්‌ථාවේ සෙසු සියලු ආදර අපේක්‍ෂකයන් පලාගිය පුවතින් විවරණය වේ.
ආදරයේ කණපිට වෛරයයි නැතොත් පළිගැනීමයි. හැබෑ ආදරයට කණපිටක් නැත. ඇත්තේ හොඳ පිට පමණි. ආදරයට ලිංගිකත්වය වැඩියෙන් දැවටුණොත් එම ආදරය පරාජිත වූ විට එකෙකු මරා දමන තරමට සැහැසි වූ අවස්‌ථා ද නැත්තේ නොවේ.
ආදරය ජයගන්නට බැරි වූ තැන දෙදෙනාම ගඟකට, මුහුදකට හෝ දුවන දුම්රියකට පැන සිය දිවිනසා ගත් පුවත් පුවත්පත්වල වාර්තා වේ. ආදරය ජයගත නොහැකි වූ පෙම්වතෙක් ආදරය ප්‍රතික්‍ෂේප කළ තරුණියට පිහියෙන් ඇන හෝ වෙඩි තබා මරා දැමූ පුවත් ද හිඟ නැත. පාසලේ ශිෂ්‍යයකු, සිය ආදරයට ෙද්‍රdaහි වූ සිසුවියක පාසල තුළදීම ඝාතනය කරන ලද පුවතක් ද අසන්නට ලැබිණි. එහෙත් ආදරය අහිමි වූ අවස්‌ථාවේදී එම අනුවේදනීය පුවතට නෑකම් ඇතුළු කොට කලාත්මක නිර්මාණ බිහි කළ අය ගැනත් ඉඳහිට වාර්තා වේ. රත්න ශ්‍රී විඡේසිංහ කවියා, එක්‌තරා සාහිත්‍ය දේශනයකදී එවන් පුවතක් අගේට විවරණය කළ අවස්‌ථාවක් මට මතක් වේ.
මහාචාර්ය සරච්චන්ද්‍ර මහතා වරක් ආදරයෙන් පැරැදී හුදකලා විය. එතැනදී එතුමා ආදරයෙන් පළිගන්න පිස්‌තෝලය අතට ගත්තේ නැත. සිය පුරුදු පෑන අතට ගෙන zමනමේZ පුවත නාටකයකට නැගුවේය. තවත් විටෙක එතුමාට දරු සෙනෙහස අහිමි වූ අවස්‌ථාවකදී ඔවුන්ට රිදවීමට කල්පනා කළේ නැත. ඒ සඳහා සිංහබාහු නාටකය නිර්මාණය කළේය. සිංහබාහු නාටකයට ගැබ්වූයේත් දරුවන්ගේ ආදරය අහිමි වූ කතා පුවතකි. ආදරයෙන් පරාජිත කවියෙක් රසබර - හරබර කවි පෙළක් ලියා පළකොට ඒ වේදනාව තුනී කර ගනී.
ශ්‍රී ලංකාවේ ප්‍රකට චිත්‍ර ශිල්පියකුගේ බිරිඳක් ඔහුට පිටුපා රහසේ වෙනත් ආදරවන්තයකු සමඟ රහසේ පලාගියාය. චිත්‍ර ශිල්පියා ආයුධයක් අතට ගත්තේ නැත. පින්සල අතට ගෙන භාව සිතුවමක් මගින් සිය ප්‍රේමවියෝව සංකේතවත් කර එය තම නිවස්‌නේ උළුවස්‌ස උඩින් කාටත් පෙනෙන සේ තැබුqවේය. ඒ වූකලී අහිංසක ආදරයයි.
වැලන්ටයින්ගේ දිනය හෙවත් ආදරවන්තයන්ගේ දිනය ගැන කතා කරන්නට පටන් ගෙන අතුරු මාවත් ඔස්‌සේ දුර ගියා වැඩිදැයි මට සිතේ. ආදරය ගැන අපේ අතින් ලිපි ලියෑවෙනවා අඩුය. නව කතාවකට - කෙටි කතාවකට - කවියකට වුවද ආදරය මුසුකරන්නේ අනුපාන ප්‍රමාණයටය. හොද්දට ලුණු වැඩි වුණොත් එය නීරස වන බව දන්නා හෙයිනි.
ආදරයක් නැත්නම් ලෝකයක් නැත. එහෙයින් ආදරය විය යුතුය. ආදරය කළ යුතුය. එහෙත් එය අවිචාර ආදරයක් නොවිය යුතුය. ඉවසීම, බුද්ධිය හා අනාගත දැක්‌ම යන තුනෙන් තොරව ගොඩනගා ගනු ලබන ආදරය ප්‍රශංසනීය නැත. අර්ථවත් නැත.
ආදරය වැරදි අයුරින් ගොඩනැගෙතොත් එය පිළිලයක්, පිළිකාවක් වැනිය. ගස මරා ගෙන පිළිලය වැඩෙන බැවින් ආදරය හුදකලා දිවි ගමනට අත්වැලක් වෙතොත් සුන්දරය. ශක්‌තිමත්ය. වැලන්ටයින් දිනය සිහිපත්වීම සඳහා එක්‌තරා ශාකයක් රෝපණය කෙරෙන ස්‌වභාවයක් වෙයි. එහෙත් එම ශාකය සමාජයට විනාශකාරී එකකැයි පරිසරවේදියෝ කියති. එහෙයින් එය වහා විනාශ කළ යුතු බවට හඬක් ද නැගේ.
අනුන්ගේ ආදරයකට එබිකම් කිරීම නොහොබිනා වැඩකි. එහෙයින් ආදරය ගැන නොලියා වෙනත් දෙයක් ගැන ලියන්නට සිත පෙලඹේ. එහෙත් තරුණ ළපටි ආදරයට වඩා අපේ පරිණත ආදරයට අරටු ඇති හෙයින් අපි ආදරය හොඳින් හඳුනමු.
ආදරය ඉගැන්විය යුතු දෙයක් නොවේ. අනුන්ගෙන් බෝවන අවශ්‍ය මිහිරි රෝගයකි. ආදරය වූ කලී සිරුරේ හටගත් දදයක් මෙනි. එය කසමින් සිටින විට එක්‌තරා වේදනාත්මක සතුටක් දැනෙන බව කියති.
ආදරය වූ කලී zගම්Z තැවරූ මුද්දරයක් මෙනි. එය අවලංගු මුද්දරයක් නොවේ නම් සුදුසු තැන බලා ඇලවිය යුතුය. නැතොත් තැබූ තැන ඇලවෙන, ඇලවුනොත් යළි ගැලවිය නොහැකි බව තේරුම් ගත යුතුය.
ආදරයේත් හතුරෝ වෙති. ආදරය විවාහයට නෑකම් කියන නිසා ආදරයට හරස් වෙතොත් ඒ වාහයයයි ආදරයයි විවාහයයි ගැටෙන්නේ ජන්ම කේන්ද්‍රයේ ග්‍රහ පිහිටීම මතයි.
විවාහය සඳහා ආදරය පෙරදැරි විය යුතුද නැතොත් විවාහ වී ආදරය මුල පිරිය යුතුද යන්න ප්‍රශ්නයකි. මේ දෙකම නරක නැත. පවතින සම්මත චාරිත්‍ර අනුව නම් ගැලපීම් සස¹ බලා ආදරයට මුල පිරීමය. එවිට ප්‍රශ්න පැනනගින්නේ නැත. මාපිය විරෝධතා මතුවන්නේ නැත. පැරණි සමාජය විවාහ ක්‍රම අටක් විය. ඒ බ්‍රහ්ම විවාහය, දේව විවාහය, සෘෂි විවාහය, ප්‍රජා විවාහය, අසුර විවාහය, ගාන්ධර්ව විවාහය, රාක්‍ෂ විවාහය, පෛශාච විවාහය යනුවෙනි.
මෙයින් පළමු තුන මෙකල සිදු නොවේ. එය බ්‍රාහ්මණයන් යෝගීන් විසින් පාවා දීමෙන් කෙරෙන විවාහ වේ. මා පිය වැඩිහිටියන්ගේ අනුදැනුමෙන් කෙරෙන විවාහය ප්‍රජාපත්‍ය විවාහයයි. ණයබරින් නිදහස් වීමට ගනුදෙනු පොරොන්දු ඉටුකිරීමට කෙරෙන විවාහය අසුර විවාහය වේ. ස්‌ත්‍රී පුරුෂයෝ මා පියන්ගේ අනුමැතියෙන් තොරව ගොඩනගා ගනු ලබන විවාහය ගාන්ධර්ව විවාහයයි. බලහත්කාරකමින් පැහැරගෙන ගොස් සිදුකෙරෙන විවාහය රාක්‍ෂ වේ. ගුරුකම් මගින් වශී කරනු ලැබ කරන විවාහය පෛශාච විවාහයයි. යෝජිත විවාහයත්, ගාන්ධර්ව විවාහයත් මෙකල ප්‍රකටය. මේ කුමන විවාහයක වුවද අඩිතාලම ආදරයයි. අඩිතාලම දුර්වල වුණොත් ආදර මාලිගය බිඳ වැටීම නොවැළැක්‌විය හැකිය.
ආචාර්ය පියසේන රතුවිතාන
0 Comments