ආදරය දෙන දෙයක්‌ද? ලබාගන්න දෙයක්‌ද?


මේ ලෝකයේ මිනිසුන් අතර වැඩියෙන්ම කථා කරන වචනය වැඩියෙන්ම භාවිත කරන වචනය, වැඩියෙන්ම ක්‍රියාත්මක කරවන වචනය ආදරයයි. ලෝකයේ තිබෙන වචන අතර ලස්‌සනම වචනයත් ආදරයයි. මේ වචනය නැතිව මේ වචනයේ අදහස්‌ ප්‍රකාශ කරන්නේ නැතිව අපට ජීවත්වෙන්න බැහැ. ලෝකය පවතින්නේ ආදරය පවතින තුරු පමණයි. ආදරය නැති විට ලෝකය විනාශ වෙන්නත් පුළුවන්. ලෝකය විනාශ වෙන විට මෘගසං වර්ෂාවක්‌ වැහැලා එකෙකුට එකෙක්‌ පෙනෙන්න බැරිව ගිහිල්ලා ඇනකොටාගෙන මැරෙනවා කියන්නෙත් ආදරය නැති නිසයි. ආදරය, සෙනෙහස, ළබැඳියාව, දයාව, ආලය මේ ඔක්‌කොම එක හා සමාන වචන. නමුත් ප්‍රේමය කියන වචනය රාග මිශ්‍රිත වචනයක්‌ කියලා අපට කියන්න පුළුවන්. "පේමතී ජායතී සෝකෝ" කියලා කියන්නේ ඒ නිසයි. නමුත් ආදරය ඊට වඩා උත්තරීතරයි. සත්ව ලෝකයෙත්a මේ ආදරය පවතිනවා. මනුෂ්‍යයන්ගේ ආදරය උපමා කරන්න ගියාම හරියට කුරුල්ලයි කිරිල්ලියි වගේ කියලා අපි කියන්න පුරුදුවෙලා තියෙන්නේ අන්න ඒ නිසයි. සෑම මනුස්‌සයෙක්‌ම සත්වයන්ට ආදරය කරනවා නම් සියලු සත්වයාත් මනුස්‌සයන්ට ආදරය කරනවා. නමුත් එහෙම වෙන්නේ නැහැ. අපේ සමහර මිනිස්‌සු හරි කෲරයි. සතුන්ට හිංසා පීඩා කරනවා. ඒ නිසා ඔවුන්ගේ ආරක්‍ෂාවට ඔවුන් ද නපුරු වී තිබෙනවා. මනුස්‌සයන්ගේ නියම ආදරය සතුන්ට ලැබෙනවා නම් ඔවුන්ගේ ආදරය දිනා ගන්න එක ඒතරම් අපහසු නැහැ.

ආදරය මුල්කරගෙන කොයි තරම් සාහිත්‍ය කෘතීන් බිහි වෙනවාද? කවියෝ කොයි තරම් කවි ලියනවාද? කොයිතරම් සිංදු ලියනවාද? කොයිතරම් නවකතා ලියනවාද? කොයි තරම් කෙටිකතා ලියනවාද? කොයිතරම් නාට්‍ය හදනවද? ටෙලිනාට්‍ය හදනවද? මෙය අද විතරක්‌ නෙමේ පැරණි සාහිත්‍ය දෙස බැලුවත් අපට ඕනෑ තරම් උදාහරණ පෙන්වන්න පුළුවන්. සංදේශ සාහිත්‍යයේ සකුන්තලා, මේඝධූතය වැනි සංස්‌කෘත කෘතීන් අරන් බලන්න. මේ ඔක්‌කොම ආදරය මුල්කරගෙන බිහිවුණ නිර්මාණ, පෙරදිග පමණක්‌ නොව බටහිර සාහිත්‍ය දෙස බැලුවත් ආදරය මුල්කරගෙන ලෝක ප්‍රකට ඉංග්‍රීසි සාහිත්‍ය කෘතීන් බිහිවී තිබෙනවා. ඉන්දියාවේ ටඡ්මහලය වැනි ආදර සිහිවටන පවා හැදිලා තිබෙනවා.

බුදුරජාණන්වහන්සේ වැඩ සිටි කාලයේ රජ කළ කොසොල් රජතුමා ගැන අප නොයෙකුත් කතා අසා තිබෙනවා. දවසක්‌ මේ රජතුමා රටේ චාරිකාවේ යෙදෙන අවස්‌ථාවක මල් කඩමින් සිටි සුරූපී යුවතියක්‌ දැකලා ඒ යුවතිය තමන්ගේ අගබිසව කරගන්න තිබෙනවා නම් කොයිතරම් හොඳද කියලා හිතලා රජතුමා රජ දූතයෝ පිටත් කරලා යවලා එම යුවතියගේ දෙමව්පියන්ට දන්වලා මේ මල්ලිකා කියන එම යුවතියව රජ මාලිගාවට ගෙන්වාගෙන රඡ්ජුරුවන්ගේ අගබිසෝ කරගත්තා. දවසක්‌ මේ රජතුමා මේ මල්ලිකා කියන ඒ අගබිසෝ සමඟ ආදර වදන් කිය කියා ඉන්න අවස්‌ථාවක රඡ්ජුරුවෝ මල්ලිකාගෙන් ඇහුවා ඔයා මේ ලෝකේ වැඩියෙන්ම ආදරේ කාටද කියලා කියන්න කියලා. මේ වගේ ප්‍රශ්නයක්‌ ඇසුවේ වැඩියෙන්ම ආදරේ රඡ්ජුරුවන්ට කියලා මල්ලිකා කියාවි කියලා බලාපොරොත්තුවෙන්. නමුත් මල්ලිකා ඒ විදිහේ පිළිතුරක්‌ රජතුමාට දුන්නේ නැහැ. ඇය කිව්වේ මේ ලෝකේ ඉන්න ඔක්‌කොටම වැඩිම තමන් තමන්ට ආදරය කරන බවයි දැන් මේ පිළිතුර අහලා රජතුමාගේ සිත රිදිලා කල්පනා කළා. මේ තැනැත්තියව අගබිසෝ කරගෙන මා මේ තරම් සැලකුවේ ඔය ටික අහගන්නට ද කියලා. එහෙම හිතලා බුදුරජාණන්වහන්සේ ළඟට ගියා මේ ප්‍රශ්නය කියලා විසඳුමක්‌ ලබාගන්න.

බුදුරජාණන්වහන්සේ කිව්වා මල්ලිකාගේ ඒ කීම ඇත්ත. මේ ලෝකයේ සෑම කෙනෙක්‌ම අනිත් ඔක්‌කොටම වඩා තමන්ට ආදරය කරනවායි කියන එක ඇත්තක්‌ය කියලා. සත්‍යය නම් මම වැඩියෙන්ම ආදරේ මට කියන එක තමා හරියි කියලා. රඡ්ජුරුවෝ උන්වහන්සේගේ ඒ කීම පිsළිගත්තා.

පවුල් ජීවිතය ගතකරන අඹුසැමියන් දෙන්නෙක්‌ දෙන්නට දෙන්නා බැඳිලා ජීවත්වෙන්න තමයි උත්සාහ කරන්නේ. මේ ආදරය වැඩිවෙන්න වැඩිවෙන්න ස්‌වභාවයෙන් මොකද වෙන්නේ? දෙන්නට දෙන්නා ආත්මාර්ථකාමීත්වයෙන් බැඳෙනවා. නොදැනුවත්වම වාගේ ඊර්ෂ්‍යාවක්‌ දෙන්aනා අතරේම හටගන්නවා. තමන්ගේ ස්‌වාමියා වෙන ගැහැනියක්‌ දිහා බලනවාටවත් බිරිඳ සතුටු නැහැ. ඒ වගේම තම බිරිඳ වෙන සැමියෙක්‌ දිහා බලනවාටත් ස්‌වාමියා සතුටු නැහැ. මේවා තමයි ඇත්ත. නමුත් බුදුන්වහන්සේ දේශනා කර තිබෙන්නේ මොකක්‌ද? කිසිම කෙනෙක්‌ කිසිම දෙයක්‌ ගැන කිසිම කෙනෙක්‌ ගැන බලාපොරොත්තු අපේක්‍ෂා තියාගන්න එපා කියලයි. තමන් හිතන විදිහේ ආදරයක්‌ තමන්ගේ බිරිඳගෙන් තමන්ට ලබාගන්නා බැරිවා සේම තමන්ගේ සැමියාගෙන් තමන්ට ලබාගන්න සිතන ආදරයක්‌ කවදාවත් තමාට ලබාගන්නා බැරි බවත් උන්වහන්සේ පෙන්වා දී තිබෙනවා. මේ සාමිස සතුට තේරුම් ගෙන නිරාමිස සතුට ලබාගැනීමට උත්සාහ කළ යුතු බව බුදුරජාණන්වහන්සේ පෙන්වා දී තිබෙනවා.

ආදරයට විද්‍යාත්මක පදනමක්‌ 

තිබෙනවාද?

හදවත ආශ්‍රයෙන් තමයි කොහොමටත් ආදරය ගැන කතා කරන්න වෙන්නේ. ඒ මොකද ආදරය කියන එක සංවේදයක්‌ කියලා කියන්න පුළුවන්. ඒ මොකද ඒක අපට දැනෙන දෙයක්‌. ආදරය කියන්නේ මොකක්‌ද කියලා ඇහැව්වොත් එක්‌ එක්‌ අය තේරුම් අරන් ඉන්න විදිහට විවිධාකාර උත්තර දෙන්න පුළුවන් ආදරය කියන එක දන්නේ කොහොමද කියලා ඇහැව්වොත් අන්තිමේදී ඔය කවුරුත් කියන්නේ ඒක අපට දැනෙන දෙයක්‌ පමණයි කියලයි.

එතකොට විශ්වාසය කියන්නේ මොකක්‌ද? අවබෝධයක්‌ සහිතව එන පැහැදිලි බවට. යථා ස්‌වරූපය අවබෝධ වූ විට ඇතිවන පැහැදිලි බවට තමා විශ්වාසය කියා කියන්නේ. බැඳීම පවතිනවා. විශ්වාසය පවතිනවා. මේ විශ්වාසය වැඩිවෙන විට ඇතිවන තව තත්ත්ව දෙකක්‌ තිබෙනවා. එකක්‌ තමයි පිළිගැනීමේ ස්‌වරූපය වැඩිවීම, අනික තමයි පිළිගැනීමේ ස්‌වරූපය අඩුවීම. පිළිගැනීමේ ස්‌වරූපය අඩු නම් කියන දේ පිළි නොගෙන ඊට විරුද්ධ වන ගතියක්‌ ඇතිවෙනවා. පිළිගැනීම වැඩි නම්, කියන දේ පිළිගෙන ප්‍රතිවිරුද්ධ අදහස්‌ දැක්‌වීම අඩුවන බවක්‌ ඇතිවෙනවා. එහෙම ස්‌වරූපයක්‌ මිනිසා තුළ ඇතිවෙනවා. එවන් අවස්‌ථාවේදී මට දැන් තිබෙන්නේ බැඳීමක්‌ද එසේ නැතිනම් ආදරයක්‌ද කියලා විමසන්න පුළුවන් තත්ත්වයට පැමිණෙනවා. අන්න ඒ තත්ත්වයට යම්කිසිවකුට පැමිණෙන්න පුළුවන් නම් මුළාවේ නොවැටී ආදරය ගැන සොයා බලන්න තේරුම් ගන්න ඔහුට පුළුවන් වෙනවා.

ආදරය සහ විශ්වාසය සමාජයේ පැවැත්මට කොයිතරම් දුරට බලපා තිබෙනවාද?

අපට සතුටක්‌ දැනෙන්නේ ආදරය කිරීමෙන්ද ආදරය ලැබීමෙන්ද? මේකත් සිතා බැලිය යුතු ප්‍රශ්නයක්‌. ආදරය කරන්න ගිහින් යමෙකුට පොඩ්ඩක්‌ හරි සැකයක්‌ ඇතිවුණොත් එදාට ලොකු හිත් වේදනාවක්‌ ඇතිවෙනවා. ඇයි මෙහෙම වෙන්නේ? අපි ආදරය කරලා තිබෙන්නේ මොකක්‌ හරි බලාපොරොත්තුවෙන්. අපි ආදරය කරන්න ගියත් යම් යම් සංකල්ප හිතේ මවාගන්නවා. ඒ සංකල්ප හරි නොගියහම අපට හිතට වේදනා ඇතිවෙනවා. කිසිම සංකල්පයක්‌ ඇතිකරගන්නේ නැතිව කිසිම බලාපොරොත්තුවක්‌ නැතිව අපට කෙනකුට ආදරය කරන්න පුළුවන් නම් ඒ ආදරය පළුදු වුණත් ඒ ආදරය නොලැබී ගියත් කිසිම වේදනාවක්‌ ඇතිවෙන්නේ නැහැ. ප්‍රීsතිය කියන එක සංකාරයක්‌. සංකාර කියන ඒවා අප ලබාගන්නේ සංකල්ප හැටියට. ඒවා හිතේ මවාගත්ත ඒවා. වඩා සමීපව කෙනෙකුට උදව් කිරීමට අපි ආදරය කරනවා කියලා කියනවා. රාගය කියන්නේ ඒක නෙමේ. රාගය කියන්නේ ඇලීම, ලබාගැනීම මොනවා හරි ලබාගන්න අපි උත්සාහ කරනවා නම් මොකක්‌ හරි සම්බන්ධයක්‌ ඇතිකර ගැනීමට අප උත්සාහ කරනවා නම් ඒකට අපි රාගය කියලා කියනවා. එහෙම බලාපොරොත්තුවක්‌ නැතිව අනුන්ට උදව් උපකාර කිරීමේ ආකල්පයකින් අපි යමක්‌ කළොත් ඒකට අපිට ආදරය කියලා කියන්න පුළුවන්. එම නිසා මේ රාගයත් ආදරයත් අතර පැහැදිලි වෙනසක්‌ දක්‌නට ලැබෙනවා. අප පුරුදුවෙලා ඉන්නේ නිතරම සාමිස සතුට, ප්‍රීතිය ලබාගන්න. ඒක ලබාගැනීමට අපට කවුරුවත් කියා දෙන්න ඕනෑ නැහැ. අපි ඉගෙන ගත යුත්තේ නිරාමිස සතුට ලබාගන්නා ක්‍රමයයි. නිරාමිස සතුට උත්සාහයෙන් අමාරුවෙන් ලබාගැනීමට පුරුදු විය යුතු එකක්‌. ඒක ලබාගත් කෙනකුට සමීප වෙන්න දුක්‌ වෙන්න අවශ්‍ය නැහැ. සතුටක්‌ නිරාමිස වූවාම එම සතුට ලැබුණත් නොලැබුණත් දෙකම එක හා සමානයි. කිසිම දුක්‌වීමක්‌, කම්පාවීමක්‌ ඇතිවෙන්නේ නැහැ.

ආදරයේ විවිධත්වයක්‌ අපට දක්‌නට ලැබෙනවා. පොඩි දරුවන් අතර තිබෙන ආදරය, තරුණ තරුණියන් අතර තිබෙන ආදරය, විවාහ වුණාට පස්‌සේ තිබෙන ආදරය, දූ දරුවන් ලැබුණාට පස්‌සේ තිබෙන ආදරය ආදී වශයෙන් ජීවිතේ විවිධ අවස්‌ථාවල දක්‌වන ආදරයේ විවිධත්වයක්‌ අපට පෙනෙන්නට තිබෙනවා. මේ ලෝකයේ තිබෙන ගැටුම් සියල්ලකටම පාහේ හේතුව වී ඇත්තේ මිනිස්‌සු මිනිස්‌සුන්ට ආදරය නොකිරීමයි. ජාතිය කුමක්‌ වුවත් කුලය කුමක්‌ වුවත් පක්‍ෂය කුමක්‌ වුවත් රට කුමක්‌ වුවත් මතක තියාගත යුතුයි අප මිනිස්‌සු කියලා. අපි මිනිස්‌සුන්ට ආදරය කරන්න ඕනෑයි කියන එක. මගේ ජාතිය විතරයි තිබෙන්න ඕනෑ. මගේ පක්‍ෂය විතරයි තිබෙන්න ඕනෑ. මේ ආකාරයට ආත්මාර්ථකාමීව වැඩ කරන්න හොඳ නැහැ.

ආදරය කිරීම ගැටුම් නැතිවෙන්න හරිම අවශ්‍යයි. ආදරය කියන එක විශ්වාසයෙන් ගැටගසන්න ඕනෑ. ආදරයෙන් බැඳෙන දෙන්නෙක්‌ දැඩි විශ්වාසයෙන් යුතුව තමයි බැඳෙන්න ඕනෑ. ඒ බැඳිලා යන මේ ගමන නොවෙනස්‌ව දිගටම ගෙනියන්න ඕනෑ. එසේම බිරිඳක්‌ හැබෑ නම් ස්‌වාමි භක්‌තිය තිබෙන්න ඕනෑ. ස්‌වාමියාට සලකන්න ඕනෑ. ස්‌වාමියාව වර්ණනා කරන්න ඕනෑ. ස්‌වාමියාගේ ඕනෑ එපාකම් මොනවාද කියලා හොයලා බලන්න ඕනෑ. එසේම හොඳ සැමියෙක්‌ නම් බිරිඳගේ ඕනෑ එපාකම් හොඳින් තේරුම් ගෙන කටයුතු කරන්න ඕනෑ. බිරිඳව වර්ණනා කරන්න ඕනෑ. බිරිඳට කිසිම සැකයක්‌ ඇති නොවෙන්න ජීවත්වෙන්න ඕනෑ. බැඳපු අලුත් පිට පමණක්‌ නොවේ සැමදාම දෙන්නට දෙන්න ආදරයෙන් බැඳී ජීවිතය ගෙනයන්න ඕනෑ. නමුත් අපේ බොහොමයක්‌ මිනිස්‌සු ඔය කියන විදිහට ජීවත්වෙන්නේ නැහැ. බැඳලා අවුරුද්දක්‌ දෙකක්‌ ගියාට පස්‌සේ දරුමල්ලො ලැබුණට පස්‌සේ සැලකීම අඩු කරන මිනිස්‌සු අප අතර කොයිතරම් සිටිනවාද? අවුරුද්දකට සැරයක්‌වත් එක නූල්පටක්‌වත් ගෙනත් නොදෙන සැමියො ඉන්නවද, ඒ වගේම දරුවො ගැනම නැඟෙනවා මිසක්‌ තම ස්‌වාමියා ගැන කිසිම සෙවීමක්‌ බැලීමක්‌ නැතිව ජීවත්වෙන බිරින්දෑවරු කොපමණ සිටිනවාද? දෙන්න දික්‌කසාද වුණ දෙන්නෙක්‌ වගේ ජීවත්වෙන පවුල් කොයි තරම් තිබෙනවාද? ඉතින් කොහොමද ආදරය හා විශ්වාසය දෙන්නා අතර ඇතිවෙන්නේ? නකුල මාතා නකුල පිතා වගේ අඹුසැමියන් සොයාගැනීම අද රටේ බොහොම දුෂ්කරයි. නකුල මාතා නකුල පිතා වගේ ජීවත්වෙන්න නම් සමසද්දා - සම ශීල - සම චාග - සම ප්‍රඥ යන කරුණු හතරෙන් යුතුව ජීවත්වන්න ඕනෑ.

1. සම සද්දා - දෙන්නට දෙන්නා විශ්වාසයෙන් බැඳීමක්‌ ඇතිව ජීවත් වෙන්න ඕනෑ. එක සමාන බැඳීමක්‌ ඇතිවෙන්න ඕනෑ.

2. සම ශීල - දැඩි හික්‌මීමක්‌, පාලනයක්‌ ඇතිකරන්න ඕනෑ.

3. සම චාග - ආදරයෙන් බැඳෙන කොට බිරිඳකට සැමියා වෙනුවෙන් කරන්න බැරි පරිත්‍යාගයක්‌ නැහැ. මේකට හොඳ ප්‍රේම කතාවක්‌ තමයි යශෝධරා දේවියගේ කතාව. සිද්ධාර්ථ බෝධිසත්ත්වයන් වහන්සේ වෙනුවෙන් ඇය කොයිතරම් පරිත්‍යාගශීලී උනාද? සිද්ධාර්ථ බෝධිසත්වයෝ දුෂ්කරක්‍රියා කරන කාලේ සිද්ධාර්ථ බෝධි සත්ත්වයන් වහන්සේ ජීවිතය ගතකරන සැටි ආරංචිවෙලා ඒ ආකාරයටම ජීවිතය ගෙනයන්න ඇය උත්සාහ ගත්තා. ඇගේ ලස්‌සන කෙස්‌ ටික කපා දැම්මා. හිස මුඩු කරගත්තා. ගුරු රෙදි පොරවා ගත්තා. රජ බොජුන් ගැනීමෙන් වැළකී කෑම ගැනීම අඩු කළා. එපමණක්‌ ද නොව තම සැමියා වෙනුවෙන් මුළු තරුණ ජීවිතයම පරිත්‍යාග කරමින් ප්‍රාර්ථනාවක්‌ ද මෙසේ සිදුකළා.

බලන්න මේ ප්‍රාර්ථනාව

අව්වේ තිබෙන රැස්‌ මාලා අඩුවේවා

ගව්වෙන් ගව්ව දිව මාලිග සෑදේවා

ඊට අමතරව ඇගේ අදහස්‌ ද මෙසේ ප්‍රකාශ කළා

මම හිමිසඳුනි ගිය අවුරුදු හය තිස්‌සේ

මේ පඩිපෙළෙන් තව නැහැ පහළට බැස්‌සේ

ආදරයෙන් බැඳුනට පස්‌සේ කරන්න බැරි පරිත්‍යාගයක්‌ නැහැ කියන එකට හොඳ උදාහරණයක්‌ නෙමෙයිද මේ යශෝධරා ප්‍රේම කතාව

4. සම ප්‍රඥ(- මේ ගමන යන්න නම් හොඳ ප්‍රඥාවෙන් යන්න ඕනෑ. කල්පනාවෙන් යන්න ඕනෑ. මෙහිදී වැඩිදුරටත් කිව්වා දෙමව්පියන් දූ දරුවන්ට දැක්‌විය යුතු ආදරයද කෙසේද කියලා. ස්‌වාමියා සේවකයාට දක්‌වන ආදරය කෙසේද කියලා. ඒවා හොඳින් තේරුම් ගත යුතු දේවල්

ආදරය කියන එක ජීවිතයට අවශ්‍යයි. ඒක නැතිව ජීවත්වෙන්න බැහැ. සෞන්දර්ය විඳින්න. ආශ්වාදය ලබන්න ආදරය අවශ්‍යයි. ආදරය කියන එක සොයා යන්න බැහැ. අපි සොයාගෙන යන්නේ බැඳීමක්‌. ඇලීමක්‌ තමයි සොයාගෙන යන්නේ. ඊට පස්‌සේ තමයි ආදරය කරන්න පටන් ගන්නේ. ඇත්ත වශයෙන් ආදරය කියන එක ලබන දෙයකට වඩා දෙන දෙයක්‌ බව කිව යුතුයි. පෙරලා යමක්‌ බලාපොරොත්තු නොවී දෙන ආදරය තමයි ශ්‍රේෂ්ඨ. එය නිරාමිස ආදරයක්‌ විය යුතුයි. දීම සහ ගැනීම අතර සමතුලිතතාවක්‌ තිබේ නම් එවැන්නක්‌ රටකට අවශ්‍යයි.

හාම්පුත්තු හා සේවකයන් අතර ද ආදරයක්‌ තිබෙන්න ඕනෑ. නැතිනම් ව්‍යාපාර සාර්ථකව ගෙනයන්න බැරි වෙනවා. එසේම රටවැසියෝ මාගේ දරුවෝය යන සංකල්පය ද රටේ පාලකයාගේ ද තිබිය යුතුයි. මේ සබඳතා ඇති කරන්නේ ආදරය නිසයි. නැතිනම් රටක්‌ නිසියාකාර සංවර්ධනය වෙන්නේ නැහැ. සංවර්ධනය කරන්න අපහසු වෙනවා.

මිනිස්‌සු මිනිස්‌සුන්ට විතරක්‌ ආදරය කළාට මදි. මිනිස්‌සු සතුන්ටත් ආදරය කරන්න ඕනෑ. ස්‌වභාවධර්මයට ආදරය කරන්න ඕනෑ. පරිසරයට ආදරය කරන්න ඕනෑ. ආදරය අපි හුවමාරු කරන්න ඕනෑ. බලන්න සත්තු අපට මොන තරම් දේවල් දෙනවාද කියා. මීමැස්‌සා පරාග පෝෂණය කරලා ගස්‌වල ගෙඩි හදලා දෙන්නේ නැද්ද? ඒ වගේ අනිත් සත්තුන්ගෙන් කුරුල්ලන්ගෙන් අපට කොයි තරම් ප්‍රයෝජන තිබෙනවාද? මේවා එකක්‌ එකක්‌ පාසා සඳහන් නොකළාට ඔබේ මනසට මේ විස්‌තර කියවන විට මතක්‌ වෙන්න ඕනෑ.

සතුන්ට සිවුපාවුන්ට පමණක්‌ නොව අපේ මව්බිමට අප කොයිතරම් ආදරය කරන්න ඕනෑද? ඒ අතින් බලන විට අපට සෑහීමකට පත්වෙන්න පුළුවන්ද? පරිසර දූෂණය, පරිසර නාස්‌තිය අපි අතින් කොයිතරම් සිදුවෙනවාද? ගස්‌කොලන් කපා දැමීම, ඇළ දොළ ගංගා විනාශ කිරීම, පරිසරය දූෂණය කිරීම අපි අතින් සිදුවන්නේ ආදරය නිසාද? නැහැ. රටට මව්බිමට ආදරය නැති නිසයි එවැනි වැඩ මිනිසුන් කරන්නේ. දුරදිග නොබලා පටු සංකල්ප ඔස්‌සේ ජීවත්වෙන්න ගිහිල්ලයි මේ විනාශවීම් කරන්නේ. දියුණු වූ සංකල්ප තුළින් අප වැඩ කරනවා නම් අපට මේවා බොහෝදුරට වළක්‌වා ගන්න පුළුවන්.

එච්. සරණපාල

Post a Comment

0 Comments