මුළු මහත් ජාතියට සෙවණ ලබාදෙන ශ්‍රී මහා බෝධීන්වහන්සේ


ධර්මාශෝක අධි රාජයාගේ ධර්මදූත ව්‍යාපාරයේ ප්‍රතිඵලයක්‌ වශයෙන් මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු දූත කණ්‌ඩායම බුදුදහම ලක්‌දිවට රැගෙන එන්නේ ක්‍රි. පූ. 3 වැනි සියවසේ දීය. බුද්ධ වර්ෂ නම් 236 වැන්නෙහිය. මිහිඳු මහරහතන් වහන්සේ වැඩම වීමෙන් පසු උන්වහන්සේ දෙසූ දහම් අසා බොහෝ පිරිස්‌ දහම කෙරෙහි පැහැදී සිටියහ. ඇතැමෙක්‌ මහණ දම් පිsරීමට උන්වහන්සේ වෙතින් පැවිද්ද ලබාගත්හ. මේ නිසා මෙරට භික්‍ෂු ශාසනයේ ආරම්භය පළමුව ඇති විය.

මේ ශාසනික සත්ක්‍රියාව දැක පැහැදුණු මහානාග යුවරජුගේ බිසව වූ අනුලාදේවිය ඇතුළු කාන්තාවන් 500 දෙනකුද පැවිදි වීමට මිහිඳු හිමියන්ගෙන් අවසර ඉල්ලා සිටියහ. මෙහිදී මිහිඳු හිමියන් දෙවන පෑතිස්‌ රජුට හා එම පිරිසට දුන් පිළිතුර මහා වංශයේ සඳහන් වී ඇත්තේ මෙසේය.

ස්‌ථවිර තෙම, මහරජාණෙනි, අපට ස්‌ත්‍රීන් පැවිදි කිරීමට කැප නැත්තේය. මාගේ නැඟණිය වූ සංඝමිත්තා නමින් ප්‍රසිද්ධ බහුශ්‍රැත මෙහෙණක්‌ පැළලුප්නුවර ඇත්තීය. නරේන්ද්‍ර ඕ තොමෝ ශ්‍රමණේන්ද්‍ර වූ සර්වඥයන් වහන්සේගේ මහාබෝධි වෘක්‍ෂ රාජයාගේ දක්‍ෂිණ ශාඛාවද එසේම උත්තම වූ භික්‍ෂුණීන්ද ගෙන වඩිනා සේක්‌වායි අප පිය මහරජු කරා හසුන් යවා ඒ ස්‌ථවිර තොමෝ මෙහි අවුත් මේ ස්‌ත්‍රීන් පැවිදි කරන්නී යෑයි රජුට වදාළ සේක යනුවෙනි.

මින් අනතුරුව දෙවනපෑතිස්‌ රජු තම බෑණනුවන් වූ අරිට්‌ඨ කුමරු ඇතුළු දූත පිරිස පිටත්කර යවන ලදී. තම පුතුණුවන්ගේ ඉල්ලීමට දම්සෝ රජු කැමැති විය. දම්සෝ රජු ශ්‍රී මහා බෝධීන් වහන්සේ වෙත ගොස්‌ අනේකවිධ පූජාවන් පවත්වා තෙළිතුඩකින් දකුණු ශාඛාවේ සලකුණක්‌ කළහ. එවිට තෙමේම සිඳී රංකටාරමෙහි පිහිටි යේය. මේ ප්‍රාතිහාර්යය දුටු දම්සෝ රජු අභිෂේක ජලය වත්කළහ. මේ රජුගේ රාජ්‍යයෙන් පළමු පිදුම විය. මින් අනතුරුව දක්‍ෂිණ ශාඛාව සංඝමිත්තා තෙරණියට භාරදී, පෙරහැරින් තාම්‍රලිප්ත නැව් තොට වෙත පැමිණියහ, සූදානම් කර තිබුණ නැවෙහි ශාඛාව වඩා හිඳුවා ශ්‍රේණි 18 ක පිරිසක්‌ සංඝමිත්තා තෙරණියත් දිවයිනට පිටත් කර එවූහ. මේ මොහොතේ රජුගේ දෑසට එක්‌වුණු කඳුළුවලින් සතුටත් සංවේගයත් පළ විය. මුහුදේ රළ නැති විය. පස්‌පියුම් හටගත්හ. දෙවියන් අහසේ සිට සාදුකාර දුන්හ.

මේ අයුරින් තාම්‍රලිප්තයෙන් පිටත්වුණ නැව අප දිවයිනේ දඹකොළපටුනට සේන්දු විය. මෙය පිහිටා තිබෙන්නේ නාගදීපයේ උතුරු වෙරළේය. එදා එය ප්‍රසිද්ධ නැව් තොටුපළකි. පාහියන් නම් චීන භික්‍ෂුවද දිවයිනට එදා පැමිණ ඇත්තේ මේ නැව් තොටුපළ දෙක හරහා බව කියෑවේ.

මිහිඳු මහරහතන් වහන්සේ හා දෙවන පෑතිස්‌ රජු, බෝධි ශාඛාව හා සංඝමිත්තා තෙරණිය පිළිගැනීමට එහි ගොස්‌ සිටියහ. රජතුමා කරවටක්‌ මුහුදට බැස බෝධීන් වහන්සේ පිළිගත්හ. විශේෂයෙන් ඉදිකරන ලද මණ්‌ඩපයක බෝධීන්වහන්සේ තැන්පත් කළහ. දින තුනක්‌ මෙහි රැඳී සිටි බව කියවේ.

පසුව සරසන ලද සුවිශේෂීතවූ රථයක වඩාහිඳුවා දර්ශනීය පෙරහැරකින් මෙතැන් සිට අනුරාධපුරය බලා ගමන් ආරම්භ කළහ. මේ අතරතුර තිවක්‌ක බමුණුගමේද නතර විය. පසුව මේ ස්‌ථානය තන්තිරිමලේ නමින් හැඳින්විණ. මේ ස්‌ථානයෙන් පිටත්වුණු පෙරහැර අනුරාධපුරයට ළඟා විය. බෝධීන් වහන්සේ රෝපණය කිරීමට තීරණය කර තිබුණේ මහමෙව්නා උයනේය. මේ තෝරා ගැනීම විශේෂ අවස්‌ථාවකි. කකුසඳ කෝණාගම, කාශ්‍යප, ගෞතම, යන සතර බුදුවරයන් වහන්සේලාත් උන්වහන්සේලාගේ බෝ ධීන් වහන්සේලාත් මෙහි පිහිටි බැවිනි. මහාවංශයේ මෙය සඳහන් වන්නේ චතු බුද්ධ නිවේසිතං යනුවෙනි.

බෝධි ශාඛාව මහමෙව්නාවේ රෝපණය කළේ සුබ මොහොතිනි. නැකතක්‌ අනුවය. එම නැකත වංශ කතාවල හඳුන්වන්නේ රෙහෙණ" නැකත ලෙසිනි. මේ අවස්‌ථාවේ ප්‍රාතිහාර්ය කීපයක්‌ම සිදු විය. වර්ෂාවක්‌ ඇතිවීම වලාකුළින් මීදුමෙන් බෝධීන් වහන්සේ වැසීයැම මින් අනතුරුව බෝධීන් වහන්සේගෙන් සවණක්‌ රැස්‌ විහිදීම ආදියයි.

මෙම රාජකීය උත්සවයට දිවයිනේ බොහෝ පිsරිස්‌ සහභාගිවී ඇත. මහාවංශයේ සඳහන් වන පරිදි කතරගම ක්‍ෂත්‍රිය වංශික අයත් චන්දන ග්‍රාමයේ ක්‍ෂත්‍රියනුත් තිවක්‌ක බමුණාත් සහභාගිවී ඇත.

මින් අනතුරුව තවත් ප්‍රාතිහාර්යක්‌ සිදු විය. බෝධීන් වහන්සේගෙන් හටගත් ගෙඩියක්‌ මිහිඳු හිමියන්ගේ ශ්‍රී හස්‌තයට වැටීමයි. එයින් පැළ අටක්‌ ඇති විය. එම පැළ අට කතරගම සඳුන්ගම, තිවක්‌කගම, දඹකොළ පටුන, ථූපාරාමය, මිහින්තලේ, සෑගිරිය, කසුන්ගිරිය, පළමුසෑ මළුව, යන ස්‌ථානවල රෝපණය කිරීමට කටයුතු කර ඇත. මේ අංකුර හඳුන්වන්නේ අෂ්ටඵලරුහ, බෝධි නමිනි.

තවත් ගෙඩි 4 කින් පැළ තිස්‌ දෙකක්‌ හටගෙන ඇත. එය හඳුන්වනු ලබන්නේ දෙතිස්‌ඵලරුහ බෝධි නමින්ය.

බොදු ජනතාව ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ ජීවමාන බුදුන් ලෙස සලකනු ලබයි. ඒ බුදුබව ලබා ගැනීම සඳහා සෙවණදීම අනිමිසලෝචන පූජාව පැවැත්වීම, සත්සති ගත කිරීම වැනි කරුණුවලින් බුදුහිමි බෝධීන්වහන්සේට සැලකූ නිසාවෙනි.

බුදුන් වහන්සේ බෞද්ධයකු විසින් දැකිය යුතු පිදිය යුතු ස්‌ථාන හතරක්‌ ගැන දේශනා කර ඇත. ලුම්බිණි චෛත්‍යය පිහිටි තැන, ජය ශ්‍රී මහාබෝධි මණ්‌ඩලය, ඉසිපතන චෛත්‍යය පිහිටි තැන කුසිනාරා චෛත්‍යය පිහිටි තැන, මේ පරම පූජනීය ස්‌ථාන හතරෙන් දෙවැනි තැන ගන්නේ ජය ශ්‍රී මහා බෝධි මණ්‌ඩලයයි.

දිගුකාලීන ඉතිහාසයකට නෑ කම් කියන අප දිවයිනට විවිධ සතුරුකරදර ඇතිsවිය. ස්‌වාභාවික විපත් ඇතිවිය. මේ නිසාම රාජධානි වෙනස්‌ විය. එහෙත් අනුරපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ මේ අභියෝග හමුවේ නොසැලී මුළුමහත් ජාතියට රැකවරණය හා ආශීර්වාදය ලබා දුනි. ඒ අප ලැබූ භාග්‍යයයි.

මේ පෝදා සිදුවූ අනිත් විශේෂ කරුණ නම් මෙරට භික්‍ෂුණී ශාසනයේ ආරම්භයයි. සංඝමිත්තා තෙරණිය කැටුව මෙහෙණිවරු දසදෙනකු මෙහි පැමිණ ඇති බව දීපවංසයේ සඳහන්ව ඇත. සංඝමිත්තා, උත්තරා, හේමා, මසාර, ගල්ලා අග්නිමිත්තා කප්පා පබ්බජින්නා, මල්ලා ධම්මදාසිකා, ඒ දසදෙනායි.

මේ පිරිස පැමිණෙන තෙක්‌ මගබලා සිටි අනුලාදේවිය ප්‍රධාන පන්සියයක්‌ කාන්තාවෝද තව පන්සියයක්‌ අන්තඃපුර කාන්තාවෝද දසසිල් සමාදන්ව කසාවත් හැඳ පැවිදිවීම සඳහා සූදානමින් සිටියහ. මේ පිරිස හිsටිය ආරාමය, උපාසිකාරාමය නමින් හැඳින්වේ. සංඝමිත්තා තෙරණිය මේ පිරිස පැවිදි කර වූහ. මින්පසු හෙළ දිව භික්‍ෂු ශාසනය මෙන්ම භික්‍ෂුණී ශාසනයද ආරම්භ විය. ගෘහ ජීවිතයේ අනේකවිධ කරදර කම්කටොලුවලට මැදිව සමාජයේ මුළුගැන්වී සිටි අපේ කාන්තාවන්ට මේ ලැබූ ජයග්‍රහණය පිපාසිතව සිටි කෙනෙකුට පිරිසිදු සීතල දිය දෝතක්‌ ලැබුණා මෙන් විය.

පින්සරු මෙවන් පුන් පෝදිනක සංඝමිත්තා රහත් මෙහෙණින් වහන්සේ විසින් මෙරටට සිදු කළ මේ අමිල සේවාවන් පරපුරෙන් පරපුරට නොසිඳී ගෙනයැම සඳහා වැඩිහිටියන් වශයෙන් අපි ක්‍රියා කළ යුතුව ඇත.

Post a Comment

0 Comments