ගසක මහිම හෙවත් අරුම


පුතෙක්‌ සදන්න, පොතක්‌ ලියන්න, ගසක්‌ සිටුවන්න" යන්න ප්‍රකට චීන කියුමකි. මෙහිලා පැවසෙන අන්තිම විධානය පිළිබඳව එනම් ගස්‌ සිටුවීමේ සිරිත සම්බන්ධයෙන් සිත්ගන්නා සුළු කථාන්තර ගණනාවක්‌ම චීන ඉතිහාස පිටු අතර වෙයි. ඉන් නිරූපණය වන්නේ පුද්ගලයකුගේ හෝ සමුහයකගේ හෝ ජීවිතයේ සමහර අවස්‌ථාවලදී පැළයක්‌ හෝ පැළ කීපයක්‌ හෝ සිටුවීමය. ඒ සඳහා යොදාගන්නා ලද අවස්‌ථා කීපයක්‌ම චීන ඉතිහාසයට ඇතුළත්ය. 

ජයග්‍රහණයක්‌ සමරනු වස්‌ පැළයක්‌ රෝපණය කිරීම.

බටහිර ෂොව් රජ පෙළපත් සමයේ (ක්‍රි. පු 11 වන සියවසේ හා ක්‍රි. පූ. 770 අතර) "අපරාජිත " ෂා චිජුන් ජෙනරාල්වරයා තමන්ගේ සෙබළුන්ට අණ කරන ලද්දේ යුද බිමෙහි පැළයක්‌ බැගින් රෝපණය කරන ලෙසය. ඒ තම විජයග්‍රහණය සමරනුවස්‌ය.

රෝගයක සුවයෙන් පසු ඇප්‍රිකොට්‌ (රට කොට්‌ටන්) පැළයක්‌ රෝපණය කිරීම.

ත්‍රිත්ව රාජධානි සමයේ (ක්‍රි. ව. 220-280) වූ රාජධානියේ විසූ සුප්‍රසිද්ධ වෛද්‍යවරයකු වූ ඩොන් ෙµන් වෛද්‍ය කටයුතු පිළිබඳ මනා නිපුනත්වයෙන් යුත් පුද්ගලයකු වූවා පමණක්‌ නොව හැම විටම අන්‍යයන්ට උදව් පදව් කිරීමට සැදී පැහැදී සිටියෙකි. ඔහු කෙදිනකවත් තම ප්‍රතිකාර සඳහා ගෙවීමක්‌ කළ යුතු බවට කිසිවකුට පවසා නැත. එහෙත් නොවරදවාම තම සේවා දායකයාගෙන් කරන ඉල්ලීමක්‌ ඇත. ඒ සුළු අසනීපයක්‌ සුවපත් වී නම්, එක්‌ ඇප්‍රිකොට්‌ පැළයක්‌ ද දරුණු රෝගයක්‌ සුවපත් වී නම්, ඇප්‍රිකොට්‌ පැළ පහක්‌ද රෝපණය කරන ලෙස පොරොන්දු කරවා ගැනීමයි. නොබෝ කලකින්ම ඔහුගේ නිවස ඇප්‍රිකොට්‌ පැළ ලක්‍ෂයකටත් අධික සංඛ්‍යාවකින් වටවුනි. එය "ඩොන්ගේ අමරණීය ඇප්‍රිකොට්‌ වත්ත" නමින් හඳුන්වන්නටද යෙදුනි. එහි ඵල ඉදුන පසු ආහාර සඳහා ඒවා හුවමාරුකොට, ඒවා දිළින්දන්ට දුන්නේය. එවක්‌ පටන් ඇප්‍රිකොට්‌ පළතුරු වත්ත වෛද්‍ය විද්‍යාව හදාරන්නන්ගේ සංකේතය බවට පත්විය.

නිවෙස පිළිබඳ කාන්සාව (Hදපැ sසජනබැss) සමනය කිරීමට විලෝ ගසක්‌ සිටුවීම.

ටැන් රාජවංශයේ (ක්‍රි. ව. 618-907) කුමාරිකාවක්‌ වන වෙන්චෙන් ටිබැටය බලා ගියේ සොන්ට්‌සෑන් ගැම්බෝ රජු සමග විවාහ වීම සඳහාය. ඇය විසූ අගනගරය වූ චන්ගාන් (එදා සියැන්) හි නිවෙස්‌හි ගෙවත්තෙන් විලෝ පැළ කීපයක්‌ ඇය ඒ සමග ගෙන ගියාය. ඒවා ලාසා (ටිබෙට්‌ අගනුවර) හි පිහිටි සුග්ලාකාන් ලාමා විහාරභූමියේ රෝපණය කළේ තම නිවෙස වෙත බැඳුනාවූ ඇල්ම තුරන්කර දැමීමටය. මෙම ශාක "ටැන් විලෝගස්‌" හෙවත් "විලෝ කුමරියන්" ලෙස මේ දක්‌වා හඳුන්වන්නේ හැන් සහ ටිබෙට්‌ ජාතිකයන් අතර වූ මිත්‍රත්වයේ සංකේතයක්‌ ලෙසිනි. (හැන් යනු චීනයේ වසන ජාතීන් අතර වූ බහුතරයයි.)

දරු උපතකදී දේවදාර ගසක්‌ රෝපණය කිරීම 

දක්‍ෂිණ ගුයිෂෞ පළාතේ වසන ඩොන් ජාතිකයන් තම පවුලට පුතකු හෝ දුවක හෝ ඉපැදුන විට දේවදාර ගස්‌ සිටුවීමේ සිරිතක්‌ පවතී. සමහර විට රෝපණය ගස්‌ සංඛ්‍යාව සියයක්‌ පමණ විය හැකිය. ජනතාව ඒවා හඳුන්වන්නේ " දුහිතෘ දේවදාර" ගස්‌ ලෙසින්ය.

ළදරුවකු තම ජීවිත කාලය තුළ ගෙවන එක්‌ එක්‌ වසර වලදී ශාකයක්‌ රෝපණය කිරීම.

බටහිර හුනාන් පළාතේ මියෝ ජාතිකයන් තම පවුලට දරුවකු ලැබුණ විට ඔවුන්ගේ සිsරිතක්‌ වූයේ දිගු ආයු වෘක්‍ෂයක්‌" පිහිටුවා ලීමය. ගෙවී යන එක්‌ එක්‌ වසරකදී පැළයක්‌ බැගින් සිටුවන අතර දරුවා වැඩී විවාහ වූ විට, එම විවාහක යුවල තම දේපළක්‌ ලෙස එම ගස්‌ අයිතිකර ගනී. 

ගෞරවයක්‌ ලෙස සලකන වෘක්‍ෂයක්‌

යුනාන් පළාතේ හොන්හේ කෝරළයේ හැනි ජාතිකයෝ "මකර වෘක්‍ෂය" ලෙසින් මවකට මෙන් සලකනු ලබන වෘක්‍ෂයකට සැලකුම් කරති. සෑම වසන්තයකදීම එම වෘක්‌ෂයට ගෞරව කරනු පිණිස උත්සවයක්‌ද පවත්වති. එම පළාතේම දායි ජාතිකයන් පදිංචිය සඳහා නව නිවස්‌නයකට යන්නේ ළපටි පැළද රැගෙනය. ඒ පදිංචි වන නව නිවෙස්‌ වටා රෝපණය කිරීම සඳහාය.

මෙම පැරණි සම්ප්‍රදායට නව පණක්‌ දෙමින් යු පාං නමැත්තකුගේ නමින් ගවාංමිං රිබාඕ (ගුවාංමිං දිනපතා පුවත් පත) හි ලිපියක්‌ පළවිය. එහි දැක්‌ වූ කරුණු අතර දරුවකු උපන්විට, යුවලක්‌ විවාහ දිවියට පත්වන විට, හා කිසිවකු මියගිය විට ගසක්‌ සිටුවීමට යෝජනා කෙරුණි.

ඒ අනුව උපත සිහිවීම පිණිස දෙමාපියන් සිටුවන ගස " සමවියේ වෘක්‍ෂය" ලෙස නම් කෙරුණි. දරුවා වැඩෙන විට මව්පියන්ද ගසට සාත්තු කරමින් රැක බලාගන්නා බැවින් කුඩා වියේ සිටම දරුවා කෙරෙහිද ගස්‌වලට ආදරය දැක්‌වීමට පෙළඹවීමක්‌ ඇති කෙරේ.

විවාහයේදී සමගි සම්පන්න පවුල් දිවියක්‌ ප්‍රාර්ථනා කරමින් සිටුවන ගස "ආදර වෘක්‍ෂය" වන්නේය. එමගින් එම යුවල මෙන්ම ඔවුනගෙන් බිහිවන දරුවන්ද ගස්‌ වලට ආදරය කරනු ඇත.

යමකු මියගිය විට ඔහු හෝ ඇය සිහිපත් කරනුවස්‌ නෑදෑ හිතමිතුරන් විසින් සිටුවනු ලබන ගස "සදා හරිත වෘක්‍ෂයක්‌" වන්නේය. මියගිය තැනැත්තාගේ නම වුවද එම ගසට තැබිය හැකිය. එමගින් එම ගස සොහොනෙන් හා සොහොන් ගලකින් ඉටුවන කර්තව්‍යය සිදු කෙරෙනවා ඇත. 

ඒ යූ පාං ගේ ලිපියේ සාරාංශයයි

මෙසේ වෘක්‍ෂලතා කෙරෙහි ඇල්මක්‌, ආදරයක්‌ සියලු දෙනා විසින් ඇති කර ගත යුත්තේ ඇයි?

ලොකු සතුන්ගේ පටන් කුඩා සතුන්ටද ජීවිතය පවත්වා ගැනීමට අවශ්‍ය වන ආහාර සාදනු ලබන්නේ ශාකයන් විසිනි. එනම් ගස්‌ කොළන් විසිනි. පසෙන් ලබාගන්නා ජලයත් වායුගෝලයෙන් ලබා ගන්නා කාබන් ඩයොක්‌සයිඩ් වායුවත්, හිරු එළියේ ශක්‌තියත් උපයෝගී කර ගෙන ආහාර නිෂ්පාදනය කළ හැක්‌කේ ශාකයන්ට පමණි. සමහර සතුන් කෙළින්ම මෙම ශාක ආහාර ප්‍රයෝජනයට ගන්නා අතර තවත් සමහර සතුන් විසින් එම කාර්යය ඉටුකර ගන්නේ ශාක අහර කර ගන්නා සතුන් අනුභව කිරීමෙනි. මෙසේ සමස්‌ත ජීව ලෝකයාම යෑපෙන්නේ ශාක ආහාර මතිනි.

මනුෂ්‍යයාට නම් ගස්‌ කොළන් වලින් ලැබෙන ප්‍රයෝජනය ආහාර ලබා ගැනීමට පමණක්‌ සීමා නොවේ. දැව, ඖෂධ, විවිධ ශාක පත්‍ර, වැල්, පුෂ්ප යනාදියෙන්, ශාක මගින් ලැබ ගන්නා ප්‍රයෝජන සමහරකි. මීට අමතරව පැළයක්‌ සිටුවා එයට සාත්තුකොට එය හැදෙන වැඩෙන සැටි නිරීක්‍ෂණයෙන් ලද හැකි මානසික සතුටද අති මහත්ය.

ගස්‌වල වටිනාකම මනුෂ්‍යයා විසින් තක්‌සේරු කරනුයේ ඉන් ලැබෙන දැව, ගෙඩි, මල්, කොළ, පොතු යනාදිය සලකා ගෙනය. එහෙත් ගසක සැබෑ වටිනාකම ඊට වඩා බොහෝ සෙයින් ඉහළ අගයක්‌ ගනී. මේ පිළිබඳව සොයා බලා ඉතා වටිනා ප්‍රකාශයක්‌ කරන ලද්දේ කල්කටාවේ කෘෂිකර්ම විද්‍යාලයේ මහාචාර්ය ටී. එම්. දාස්‌ මහතා විසිනි. ඔහුගේ ප්‍රකාශයට ඇතුළත් වූ කරුණු සමහරක්‌ මෙසේය.

විද්‍යාඥයන් විසින් ගණන් බලා ඇති අන්දමට වසර 50 ක්‌ වයසැති ගසකින් ලැබෙන්නාවූ සේවයට සරිලන වටිනාකම ඉන්දීය රුපියල් පසලොස්‌ ලක්‍ෂ හැත්තෑ දහසක්‌ (1570000) පමණ වන්නේය. (මෙම ගණන් බැලීම සිදුකර ඇත්තේ 1980 වසරේදීය. ලංකා රුපියල් වලින් මීටත් වඩා වැඩි අගයකි. අද වටිනාකම අනුව ගණන් බැලුවොත් මීටත් වඩා වැඩි අගයක්‌ ගන්නා බව සැලකිය යුත්තේය.)

දාස්‌ මහතාගේ ප්‍රකාශනයට අනුව ශාකයෙන් ලැබෙන සේවාවල වටිනාකම බෙදී යන්නේ මෙසේය.

ගසෙන් පිටකරන ඔක්‌සිජන් වායුවේ වටිනාකම රුපියල් ලක්‍ෂ දෙක හමාරකි.

පරිසර වාතය පිරිසිදු කිරීම (වායු දූෂණය වැළකමද ඇතුළත්ය.) සඳහා රුපියල් ලක්‍ෂ පහකි.

පසේ සාරවත් බව ආරක්‍ෂා කිරීමත්, සෝදාපාලුව වැළකීමත් සඳහා රුපියල් ලක්‍ෂ දෙක හමාරකි.

වර්ෂාව ලබාදීම වෙනුවෙන් හා වාතයේ ආර්ද්‍රතාව (තෙතමනය) පාලනය සඳහා රුපියල් ලක්‍ෂ තුනකි.

පක්‍ෂීන් හා වෙනත් සතුන්ගේ රැකවරණය වෙනුවෙන් රුපියල් ලක්‍ෂ දෙක හමාරකි.

ප්‍රොaටීන් නිෂ්පාදනය සඳහා රුපියල් විසි දහසකි. එකතුව රුපියල් පසලොස්‌ ලක්‍ෂ හැත්තෑ දහසකි.

දැව, ගෙඩි, දර, මල් ආදිය සඳහා ලැබෙන ආදායම මීට අඩංගු කර නැත.

විශාල වෘක්‍ෂ සාමාන්‍යයෙන් අවුරුදු 100-200 අතර වූ කාලයක්‌ පවතින අතර, රෙඩ්වුඩ් ශාකයේ ආයුකාලය අවුරුදු 2000-3000 ක්‌ පමණ වෙයි. 

ඉහත පරීක්‍ෂණයට යොදාගෙන ඇති ශාකය සැලකිල්ලට ගෙන ඇත්තේ අවුරුදු 50 ක කාලය පමණය. ගසේ සාමාන්‍ය වටිනාකම (ජාවාරම්කරුවාගේ තක්‌සේරුව) මීට අයත් කොට නැත. ගස්‌ කොළන් නොමැත්තේ නම් අපට ආශ්වාස කිරීමට පවා හැකිවන්නේ නැත. ඒ ඔක්‌සිජන් වායුව වායුගෝලයට එක්‌වන ප්‍රධාන මාර්ගය ඇහිරී යන බැවිනි. (පොත් පත් සඟරා ඇසුරෙනි)

ආරියපාල මුදලිගෙ

Post a Comment

0 Comments