හොල්මන් අවතාර ගැන මේ දිනවල බොහෝ දෙනා කථාබහ කරති. එය ඇතැම් දෙනාගේ ජනප්‍රිය මාතෘකාවක් බවටද පත් වී තිබේ. මෙහි සත්‍ය අසත්‍යතාව පිළිබඳව පැවසීමට තරම් දැනුමක් මට නැත. නමුත් ඇතැම් සිද්ධීන් සම්පූර්ණයෙන් ම මිථ්‍යාව මත සහ අවබෝධයක් නැතිකම නිසා ඇති වූ සිද්ධීන් බව පැවසිය යුතුය. ඒ සම්බන්ධව මා ලැබූ අත්දැකීමකින් මෙවැනි අවබෝධයක් නැතිකම නිසා අද්භූත දෝෂ සහ බලපෑම් ලෙස විශ්වාස කළ හැකි සිද්ධියක් පවසමි.
මාගේ බිරිඳගේ පියා මීට වසර තුනකට පෙර විදේශ රටකදී හදිසි අනතුරකින් මිය ගියේය. ඔහුගේ දේහය ශ්‍රී ලංකාවට රැගෙන විත් අවසන් කටයුතු සිදු කරන තුරු තැන්පත් කර තැබුවේ මාගේ නිවසේය.
මගේ බිරිඳ පියාට දැඩි සෙනෙහසක් දැක්‌වූවාය. එනිසා ඇයට සිය පියාගේ හදිසි අභාවය දරා ගැනීමට නොහැකි තරම් දුකකි. එනිසා ඇය පියාගේ අභාවයෙන් පසු වසරක් පමණ යනතුරු දැඩි කම්පනයකින් යුක්‌තව ගත කළාය. ඇයට පියා නිතරම පෙනෙන බවත්, නිතර ඇයට කතා කරන බවත් පවසන්නට වූවාය. මේ නිසා ඇය ශාස්‌ත්‍ර කියන පුද්ගලයන් හමුවේ මතුව ඇති තත්ත්වය ගැන විමසා සිටියාය. ඒ සෑම තැනකදීම පවසා තිබුණේ පියාණන් අපගේ නිවසේ රැඳී සිටින බවකි.
මේ අතර ඉන්දියාවේ සිට පැමිණි ගුරුත්වාකර්ෂණ බලය උපයෝගි කරගෙන මෙවැනි සිද්ධීන් සම්බන්ධව සොයා බලන ෆිරෝස් ජිමිසජින් නමැති අධි මානසිකත්ව පුද්ගලයකු ද මට හමුවිය. ඔහු 'ධරා' නමැති යන්ත්‍රයක් මගින් නිවසෙහි ඇති විවිධ දෝෂ පරීක්‍ෂා කර බලා පවසයි. අපගේ නිවසට ද පැමිණි ඔහු බිරිඳගේ පියාගේ මෘත දේහය නිවසේ තැන්පත් කර තිබූ ස්‌ථානය, ඔහු පරිහරණය කළ භාණ්‌ඩ ආදිය පිළිබඳව 'ධරා' යන්ත්‍රය මගින් පරීක්‍ෂා කර ඉතා නිවැරැදිව පවසන ලදී.
පියාණන් අපට ඇති ආදරය නිසා අප අසලම රැඳී සිටින බවත් ගැටලුව වී ඇත්තේ ඔහු සමඟ තවත් නාඳුනන මළගිය ප්‍රාණකරුවන් පැමිණ සිටින බව ෆිරෝස් අපට දැනුම් දුන්නේය.
නාඳුනන මළගිය ප්‍රාණකරුවන්ගෙන් අපට බලපෑම් ඇතිවිය හැකි නිසා සියලු දෙනාටම නිවස තුළට ඇතුළු විය නොහැකි අයුරින් ඔහු අපගේ නිවසට ආරක්‍ෂාවක් ඇතිකර දුන්නේය. එම ආරක්‍ෂාවට හානි නොවන අයුරින් අපගේ ජීවන රටාව හදා ගන්නා අයුරු ද පවසන ලදී. මස් මාංශ, මත්පැන් ආදිය නිවස තුළ භාවිත නොකරන ලෙස පැවසුවත් නිවසේ පැවැති උත්සව අවස්‌ථාවලදී මා අතින් එම වත්පිළිවෙත් කඩවිය.
භූත දෝෂ සහ හොල්මන් පිළිබඳව මා තුළ එතරම් විශ්වාසයක් නැති නිසා බිරිඳ නිවසේ ආරක්‍ෂාව සම්බන්ධව සිදුකරන බොහෝ කටයුතු මා අතින් කඩ වේ. ඇත්තෙන්ම එය මා ඕනෑකමින් සිදු කරන්නක් නොව අමතකවීම සහ පවතින අවිශ්වාසය නිසා සිදුවේ.
මේ අතර පසුගිය මාස කිහිපයක සිට රාත්‍රි නින්දේදී හුස්‌ම ගැනීමට අපහසු වී කෑ ගසා අවදි වූවෙමි. මෙය සිදුවන්නේ අලුයම් කාලයේදීය. රාත්‍රි සේවය නිමකර මා නිවසට එන විට රාත්‍රි දොළහ පමණ පසු වේ. නළ ජලයෙන් ඇඟපත සෝදාගෙන විදුලි පංකාවෙන් ඇති කරන සීතල සුළං මැද මම නින්දට යමි. දරුවන් උදැසන පාසල් යන නිසා නැවත අලුයම 4.30 ට පමණ බිරිඳත් මමත් අවදි වන්නෙමු.
නින්ද අඩුකමත්, පවතින ගැස්‌ට්‍රයිටීස් රෝගී තත්ත්වයත් නිසා මෙය එම රෝගයෙහි අතුරු ප්‍රතිඵලයක් යෑයි සිතා මම සැනසුනෙමි. එහෙත් මේ සම්බන්ධව බිරිඳ තුළ පැවැතියේ කිසියම් අද්භූත බලපෑමක් මතුව ඇති බවකි.
නිතර මා හට මතුවන මෙම හුස්‌ම ගැනීමේ අපහසුතාව නිසා මා තුළ ද බිරිඳ පවසන දෙය පිළිබඳව යම් අවධානයක් යොමු විය. පිරිත් දේශනයකට පෙරත් දෙවියන්ට, මියගිය ඥාති හිතමිත්‍රාදීන්ට ආරාධනා කර ඔවුනටත් පිරිත් ස-Cධායනය බලයෙන් පිං පමුණුවන නිසා නිවසේ පවතින දොaෂ දුරු වී යැම සඳහා බහිරව පූජාවක් කළ යුතු බවට බිරිඳ නිතර කළ යෝජනාවට මම කැමැත්ත පළ කළෙමි.
මා රාත්‍රි කාලයේ හුස්‌ම ගැනීමට නොහැකිව කෑ ගසා අවදි වීමට හේතුව ලෙස බහිරව පූජාව පැවැත්වූ තැනැත්තිය පැවසුවේ මා බහිරව පූජාවන් පිළිබඳව විශ්වාස නොකරන නිසා මා තුළ ඒ සඳහා කැමැත්ත ඇති කර ගැනීමට කළ සංඥාවක් ලෙසය.
බුදුගුණ කියමින් දෙවියන්ට පුද පූජා පවත්වමින් බහිරව පූජාව පැවැත්වූ නිසා මා තුළ ද ඇති වූයේ පැහැදීමකි. පූජාව පැවැත්වූ තැනැත්තිය ආරූඪ බලයෙන් පැවසූ බොහෝ සිද්ධින් සත්‍යය. එනිසා මා තුළ ද විශ්වාසය ලියලන්නට විය. පූජාවෙන් පසු සියලු දෝෂ දුරුව යන බවත් ඒ සඳහා අප පිළිපැදිය යුතු වත් පිළිවෙත් ද ඇය අපට පැවසුවාය. මා තුළින් නම් ඇය පැවසූ වත්පිළිවෙත් නිසි ලෙස ඉටු වූයේ නැත. එය මාගේ දුර්වලතාවකි. දැන් පූජාව සිදුකර මාස දෙකක් පමණ ගත ව ඇත. නැවත වරක් මා අලුයම් කාලයේ හුස්‌ම ගැනීමට නොහැකිව කෑ ගසා අවදි වන්නට විය.
මා නිසි ලෙස වත් පිළිවෙත් ආරක්‍ෂා නොකරන නිසා නිවසට සිදුකළ සියලු ආරක්‍ෂාවන් විනාශ වී ඇතැයි කියා බිරිඳ මට දොස් පවරන්නට වූවාය. දරුවන් දෙදෙනකුත් සිටින නිසා තරුණ කාලයේ මෙන් අභියෝග භාර ගැනීමට ද නොහැකිය. ඒ නිසා මා හිතවත් විශේෂඥ වෛද්‍යවරයකුට මේ සම්බන්ධව පැවසුවෙමි. ශ්වසන රෝග සම්බන්ධව විශේෂඥ වෛද්‍යවරයකු වන ඔහු මා පූර්ණ පරීක්‍ෂාවකට ලක් කළේය. මාගේ තොරතුරු විමසුවේය. ජීවන රටාව ගැන ඇසුවේය. මා හට දූවිල්ල සහ ශීතල අසාත්මික බවක් පවතින බව වෛද්‍යවරයා මා පරීක්‍ෂා කිරීමෙන් පසු නිර්දේශ කළේය. ඒ අනුව මට අසාත්මිකතාව සඳහා ඖෂධ ලබා දුන්නේය. එම ඖෂධ ගන්නා මා දැන් අලුයම් කාලයේදී හුස්‌ම ගැනීමට නොහැකිව කෑ ගසා අවදි වන්නේ නැත.
මාගේ අසාත්මිකතාව උත්සන්න වන්නේ රාත්‍රි කාලයේදී විදුලි පංකා ක්‍රියාත්මක කර නිදා ගන්නා බැවිනි. නිදන කාමරයේ ඇති දූවිලි විදුලි පංකාව ක්‍රියාත්මක වීමෙන් ඇවිස්‌සීමට ලක්‌වේ. දූවිලි සහිත වාතය හුස්‌ම ගැනීමේදී පෙනහළු වෙත ඇතුළු වීමත් අලුයම් කාලයේ පවතින පරිසරයේ ශීතල කාලගුණයත් නිසා මාගේ අසාත්මිකතාව උත්සන්න වේ. එවිට හුස්‌ම ගැනීමට නොහැකිව මතුවන අපහසුතාවයෙන් මා කෑ ගසා අවදිවන බව වෛද්‍යවරයා මට කරුණු පැහැදිලි කළේය.
අද්භූත බලවේගත්, ශාරීරික රෝග තත්ත්වයනුත් වටහාගත නොහැකිව අපි බොහෝ දෙනා අවිද්‍යාව සමඟ ජීවත් වන්නෙමු.
මා අත්දුටු සිද්ධිය පැවසුවේ වර්තමානයේ අප බොහෝ දෙනා අවිද්‍යාව තුළ හිඳිමින් කරනු ලබන බොළඳ කටයුතු නිසාය.
බලි තොවිල් කිරීම යාග හෝම කිරීම යනු මනෝවිද්‍යාත්මක ප්‍රතිකාරයකි. එය කිසිසේත්ම අවමානයට ලක් කළ යුතු දෙයක් නොවේ. නමුත් වර්තමානයේ ඇතැම් දෙනා යකැදුරන් ලෙස නක්‍ෂත්‍රකරුවන් ලෙස පෙනී සිටිමින් කරන්නේ අවිද්‍යාව රජ කරවීමට උත්සාහ කිරීමකි.
විද්‍යාව නොදියුණු යුගයේ අධි රුධිර පීඩනය නිසා රුධිර නාලයක් පුපුරා මියගිය තැනැත්තන්ගේ සිරුර පරීක්‍ෂා කර මහසෝනා ගසා ඇතැයි පැවැසූහ. මන්දයත් රුධිර නාල පුපුරා යැම නිසා සිරුර නිල් පැහැ ගැන්වී තිබේ. කිසිදු ලෙඩක් දුකක් නැතිව මිය යැමට හේතුව අද්භූත දොaෂයක් බව අතීත සමාජයේ විසුවෝ සිතූහ. අධි රුධිර පීඩන ඇති අයකු අධික ලෙස වෙහෙසීම නොකළ යුතුය. අධික කම්පනය සුදුසු නැත. තම දියණිය ශිෂ්‍යත්ව විභාගයට හොඳින් පිළිතුරු ලියූ බව අසා සතුටට පත්ව හෘදයාබාධයකින් මියගිය පියකු සම්බන්ධ සිද්ධියක් පසුගියදා අපට අසන්නට ලැබිණි. අතීත සමාජයේදී නම් ඇතැම් විට මෙය යකා ගැසීමකි. එදා සමාජයේ ලෙඩ රෝග ලෙස සැලකුවේ උණ ගැනීම, ඇඟපත රුදාව, තවත් කෙනකුට රෝගය වැළඳීම කෑම අරුචිය වැනි රෝග ලක්‍ෂණ ඇති විටදීය. නමුත් දියවැඩියාව, අධි රුධිර පීඩනය, ගැස්‌ට්‍රයිටීස්, කොලෙස්‌ටරෝල් ඉහළ යැම වැනි රෝග බෝ නොවන රෝග ලෙස වර්තමානයේ පිළිගැනීමට ලක්‌ව ඇත. මෙම රෝග වලදී උණ ගන්නේ නැත. කෑම අරුචිය ඇති වන්නේ නැත. මෙම රෝග අද ඊයේ ඇති වූ ඒවා නොවේ. අතීතයේ සිට පැවතිනි. නමුත් අප ඒවා නිසි ලෙස හඳුනාගෙන නොතිබිණි. එනිසා විද්‍යාව දියුණු යුගයක අවිද්‍යාව පසුපස යැමට අප තවත් උත්සාහ ගන්නේ නම් එය මුළාවේ වැටීමකි.
උපාලි ද සේරම්
upalideseram@gmail.com
0 Comments