හිඟන වෙසින් සිටියත් ගජ පෝසත්තු


මහමගදී හමුවන විවිධාකාර චරිත අතර ඒ යාචිකාවගේ රුව අදටත් මගේ මතකයේ තිබේ. හැමදාමත් කාර්යාලයට දුම්රිaයෙන් පැමිණීමට පුරුදුව සිටි මම ඇය බොහෝ විට දකිනුයේ දුම්රියේදීයි. ඇය මැදිවියේ කාන්තාවකි. උඩුකයේ කොටසක්‌ නිරාවරණය වන ලෙස හැඳ සිටින ඇයගේ පපු පෙදෙස ආවරණය වන සේ වෙලා ඇති වෙලුම් පටියකි. කිසිවිටෙක තමන් යාචිකාවක්‌ බව නොකියන ඇය වෙළුම් පටියකින් ඔතන ලද පෙදෙස පෙන්වා සංවේදී කතාවක්‌ කියන්නීය. ඒ ඉතා දිළිඳු පවුලක වෙසෙන තමන්ට පියයුරු පිළිකාවක්‌ හැදුනූ බවත් මහරගම රෝහලේදී කළ සැත්කමින් එක්‌ පියයුරක්‌ ඉවත් කිරීමෙන් පසු දැන් ඇයට දීර්ඝකාලීනව ඖෂධ ගැනීමට, වත්කමක්‌ නොමැති බව හඟවමින් දුටුවන්ගේ අනුකම්පාව දිනා ගන්නා ඇය එලෙස සිඟමන් යදින්නේ තුවාලයක්‌ සේ එම පපු පෙදෙස පෙන්වමිනි. ඇය දුටු පළමු දිනයේ සිටම කාලයක්‌ යනතුරු මාගේ මිත්‍රයෙක්‌ද මේ කාන්තාව අත කීයක්‌ හෝ තැබීමට පුරුදුව සිටියේ ඔහුට මිල මුදල් අතින් අඩුවක්‌ නැති නිසා නොවේ.

අපේ සමාජයේ බොහෝ දෙනකුට හුරු දිළින්දන්ට උපකාර කිරීමේ අගනා ගුණධර්මය ඔහු කුඩා කළ සිටම ප්‍රගුණ කර ඇතිවීම හේතුවෙනි. නමුත් ඉන් ටික කාලයකට පසු පුරුද්දක්‌ සේ කරගෙන පැමිණි එම යහපත් ක්‍රියාව මුළු ජීවිතයෙන්ම ඉවත් කළ බව පැවසූ ඔහු කිසිදිනක යාචකයන්ට උපකාර නොකරන බව පැවසුවේ මහත් කළකිරීමකිනි. ඔහුගේ ඒ කළකිරීමට හේතුවූයේ පෙර කී යාචිකාවගේ කිසිදා සුව නොවන තුවාලයයි. සැබවින්ම ඇය කර ඇත්තේ මවාපෑමක්‌ බව ඉන් දෙවසරකටත් පසු වෙනත් ප්‍රදේශයකදී එම තුවාලය පෙන්වා (වෙළුම් පටියක්‌ එතූ) සිඟමන් යදින ඇය ගැන කළ සොයාගැනීමේදී ඔහු වටහාගෙන තිබේ.

කෙසේ වෙතත් මෙරට යාචක යාචිකාවන්ගේ පොදු ස්‌වභාවයට වඩාත් කිට්‌ටු මේ කතාව හදිසියේ මතක්‌ වූයේ පසුගියදා දුටු එක්‌තරා පුවතක්‌ හේතුවෙනි. ශ්‍රී ලංකාවේ යාචකයකුගේ දෛනික ආදායම රුපියල් 5000 ත් 6000 ත් අතර වන බව සමාජ සේවා දෙපාර්තමේන්තුව කළ සමීක්‍ෂණයකින් හෙළිවී තිබෙන බව එම පුවතේ සඳහන් විණි. මේ සමාජයේ පවතින දනට පිනට දීමේ මිනිසුන්ගේ යහපත් පුරුද්ද උපයෝගී කරගෙන ජාවාරම්කරුවන් විසින් සංවිධානාත්මකව වැඩිහිටියන්ව යාචකකමේ යොදවන බව එමගින් කියෑවිණි. පසුව අප මේ පුවත ගැන සොයා බැලීමේදි එහි කාලීන බව පිළිබඳ දෝෂ තිබෙන බව අනාවරණය විණි. එය 2012 වසරේදී මහරගම සහ කොට්‌ටාව ප්‍රදේශයේදී වැඩිහිටි යාචකයන් කිහිප දෙනෙක්‌ පමණක්‌ යොදාගෙන කළ සොයාබැලීමකිනි. කරුණු එසේ නම් වසර දෙකකට පසු යාචකයකු ගේ දිනක ආදායම ඊට වඩා වැඩිවිය යුත්තකි. ඒ නොවුනද රුපියල් හයදහසක්‌ දිනකදී උපයන යාචකයකු දින 20 කදී උපයන ආදායම රුපියල් එක්‌ලක්‍ෂ විසිදහසකි. අසනීපයක්‌ අතුරු අන්තරාවක්‌ නොවුයේ නම් එම යාචකයා වසරකදී දාහතර ලක්‍ෂ හතලිස්‌ දහසක්‌ උපයයි. ඔහු එවැනි ආදායමක්‌ උපයාගන්නේ බොහෝ විට උදේටත් දවල්ටත් බත් මුල් දෙකක්‌ බැඳ පාන්දරින් නැගිට බස්‌රථවල කිටි කිටියේ සිරවී රුපියල් විසිදහසක තිස්‌ දහසක මාසික ආදායමක්‌ ලබාගැනීමට සිත කය වෙහෙසන මිනිසුන්ගෙනි. නමුත් එසේ උපයන යාචකයාගේ ජීවන මට්‌ටමද කිසිදාක යහපත් තත්ත්වයකට පත් නොවේ. ඔව්හු හැමදාමත් වැරහිලි ඇඳ එකම ස්‌ථානයක එකම වීදියක නොමැතිනම් බස්‌ රථයක දුම්රියක තවකකු ඉදිරියේ අතපාන යාචකයෝම වෙති. කරුණු එසේ නම් ඔවුන් දෛනිකව උපයන එම විශාල ආදායමට සිදුවන්නේ කුමක්‌ද? මේ ඒ පිළිබඳ නිගමනයකට එළඹිය හැකි සමාජ සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරිනියකගේ පෞද්ගලික අත්දැකිමකි.

මම රාගම, කැලනිය පන්සල පැත්තෙන් තමයි දිනපතාම රැකියාවට එන්නේ. ඒ එන පාරේ දිනපතාම දකින යාචක පිරිසක්‌ ඉන්නවා. ඒ දකින හැම කෙනාම එකම කට්‌ටිය. ඔවුන් යාචක කමේ යෙදෙන්නෙත් එකම ස්‌ථානයේ. මම දවස්‌ ගාණක්‌ නිරීක්‍ෂණය කළා මේ අය එන්නෙ කීයටද කියලා. පාන්දර 6.30 වෙනකොටත් මේ අය ඇවිත් ඉන්නවා. එක්‌ දවසක්‌ 5.45 වෙනකොට මේ අය ඇවිත් හිටියෙ නෑ. නමුත් තවත් දවසක්‌ එනකොට මේ අය පාන්දර හය වෙන කොට සියලු දෙනාම තමන්ගෙ ස්‌ථානවලට ඇවිත් හිsටියෙ හරියට උදේ හයට රතු ඉර වදින්න කළාන් ඇවිත් ඉන්න ඕන වගේ. ඊට දින කිහිපයකට පස්‌සෙ මම තවත් සහායකයකුගේ එක්‌ක බත් පැකට්‌ හයකුත් අරන් මේ අයගෙ එකිනෙකා ළඟට ගිහින් කතා කළා. මුලින්ම ගියේ වයසක අම්මා කෙනෙක්‌ ළඟට. ගිහින් බත් පැකට්‌ එක දීල මෙහෙම ඇහුවා.

ඇයි අම්මා මෙහෙම ඉන්නෙ.

කාත් කවුරුත් නෑනෙ.

කවුරුත්ම නැද්ද?

මහත්තයා හිටියා. මහත්තය මැරුණට පස්‌සේ කවුරුත් නැති නිසා මෙහෙට ආවා.

කොහෙද හිටියෙ.

මීගමුවෙ.

දැන් කොහොමද ඉන්නෙ?

මාව බලා ගන්නවා..... 

කොහේද?

එහෙම ඇහුවාම එයා අසවල් ස්‌ථානයේ කියල ගමක නමක්‌ කිව්වා. හැබැයි ඉන්න තැන කියන්නෙ නෑ. තව ටිකක්‌ එක එක ප්‍රශ්න පටලවා පටලවා අහන කොට ඒ ඉන්න තැනින් කන්න බොන්නත් ලැබෙනවා කියලත් කිව්වා.

මම අනිත් කෙනා ළඟට ගියා. එයාටත් බත් පැකට්‌ එකක්‌ දීලා අර විදියට කතා කළා. ඒ කෙනා ඇවිත් තියෙන්නෙත් කාත් කවුරුත් නැති නිසා. ටිකක්‌ වෙලා කතා කර කර ඉන්නෙ කොහෙද කියල ප්‍රශ්න පටලවා අහන කොට එයත් කියනවා අන්න අර ගමේම නම. ඔය අතරේ අසාමාන්‍ය විදියට මනුෂ්‍යයෙක්‌ ඇවිත් මෙයාට රුපියල් පනහක්‌ දෙනවා. ඒක අසාමාන්‍ය දෙයක්‌ කියල තේරුම් ගත්තේ ඊට පස්‌සෙ දෙවෙනි සහ තෙවෙනි යාචකයන් සමග කතා කරද්දිත් ඒ වගේ වෙනත් පුද්ගලයින් ඇවිත් රුපියල් පනහක්‌ දුන්න නිසා. ඒ අතර වුන තව දෙයක්‌ තමයි අපි මෙහෙම ඒ අයත් එක්‌ක වැඩිපුර කතා කර කර ඉන්න කොට මනුස්‌සයෙක්‌ බයිසිකලයක්‌ පැදගෙන අපිව නිරීක්‍ෂණය කරමින් එහාට මෙහාට යනවා. මගෙත් එක්‌ක හිටිය අනෙක්‌ සහායකයා ඒ ගැන අවධානයෙන් හිටියා. මම පස්‌වෙනි යාචකයා ළඟට ගිහින් ඔය ප්‍රශ්න ටිකම අහල ඔය පිළිතුරු ටික ලබා ගත්තට පස්‌සෙ එයාගෙන් ඇහුවා මම අම්මව වැඩිහිටි නිවාසයකට දාන්නද කියල. ඒ ඇහුව ගමන් එයා කිව්වෙ නෑ මට මෙහෙම හොඳයි කියල. මම කිහිප විටක්‌ම බල කළා. අන්තිමේදි එයා කේන්තියෙන් ඒ ඉල්ලීම ප්‍රතික්‍ෂේප කළා. හයවෙනියට හිටිය පිරිමි යාචකයා අපි ඇහුව ප්‍රශ්නවලට උත්තර දුන්නෙ නෑ. කොහොම හරි මේ ඉන්න හැමෝම යාචකකමේ යෙදෙන්න තමන්ටම අයිතිකරගත් තැනක්‌ තියෙනවා කියල අපි සොයාගත්තා. අපිට හිතාගන්න බෑ. කැලණි පන්සල ළඟ තියෙන හැම ලයිට්‌ කනුවකටම අයිතිකාර යාචකයෙක්‌ ඉන්නවා. කොහොම හරි මේ කටයුත්ත ඉවර කරල එනකොට අපිව µලෝ කරගෙන ආව ත්‍රීවීල් එකක්‌ අපි කොහෙටද යන්නෙ කියල නිරීක්‍ෂණය කළා. යාචකයින් සංවිධානාත්මකව සිඟමනේ යොදවනවා කියන එක අහල තිබුනත් එහි සත්‍ය අපි ඇස්‌ දෙකෙන්ම දැක්‌කෙ ඒ ඇද්දැකීමත් එක්‌ක.

ඒ බස්‌නාහිර පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂිකා චම්පිකා ශිරෝමාලිය. ඇය සඳහන් කරන්නේ වැඩිහිටියන් යාචක කමේ සංවිධානාත්මකව යෙදවීම දිනෙන් දින මහා සමාජ ප්‍රශ්නයක්‌ ලෙස වැඩෙන බවය. මේ ගැටලුව දැන් ලංකාව පුරා පවතින බව ඇය අවධාරණය කරන්නීය. වැඩිහිටි නිවාසවල සිදුවන අකටයුතු කම් ගැන හෙළිදරව්ව ඉදිරි ලිපියකින් කතා කරමු.

තිස්‌ස ගුණතිලක

Post a Comment

0 Comments