ආගම ජාතිය ජිවිතයට ආලෝකයකි


පිරිහීමේ දොරටු මොනවාදැයි පැහැදිළි කර දීම පිණිස තථාගතයාණන් වහන්සේ දේශනා කළ කරුණු පරාභව සූත්‍රයට ඇතුළත්ව තිබේ. ස්‌වදේශානුරාගය, ස්‌වාභිමානය, ජාත්‍යාලය ආදී මානව වර්ගයාගේ පැවැත්ම උදෙසා සිතේ උපදින උත්තරීතර සංකල්පනා ජාතියක දියුණුවට හා පැවැත්මට උපකාරී වේ. එහෙත් ජාතිවාදයෙන් උඩඟු වී අනෙකුත් ජන කොට්‌ඨාසයන් පහත් කොට සැලකීමේ මානය සිත තුළ ජනිත වීම පරිහානියේ ලක්‍ෂණයකි. තමන්ගේ ශ්‍රේෂ්ඨත්වය රැකගත හැක්‌කේ අනෙකා පහත්කොට සැලකීම මගින් නොවේ. මෙම උත්තරීතර පණිවිඩය ලෝකයට ලබා දුන් තථාගතයාණෝ ආදර්ශයෙන් ද ඒ බව පෙන්වා වදාළහ.

"කිඹුල්වත් නුවර පෙදෙසින් හමා එන සුළඟ පවා මට සැනසීමක්‌ ලබාදෙයි" යනුවෙන් බුදුන් වහන්සේ දේශනා කළේ ශාක්‍ය වංශික ඥතීන් කෙරෙහි පැවැති ලෙන්ගතු භාවය නිසාය. එහෙත් තමන් වහන්සේ ශාක්‍ය වංශිකයෙකු යෑයි සිතා ගෝත්‍ර වාදයෙන් උඩඟු නොවීය. සුනීත වැනි සැඬොල් කුලයේ ඉපිද දුක්‌ විඳි අසරණයන් වෙත පතළ මහා කරුණාවක්‌ දැක්‌වූහ. සුනීත පැවිදිකොට කුලවතුන් ලවා වැන්දවූහ. මෙයින් පැහැදිළි වන්නේ තථාගත ශාසනය තුළ ජාති වාදයට අවසරයක්‌ නොමැති බවයි.

එහෙත් මේ රටේ අන් කවර කොට්‌ඨාසයකටත් වඩා වර්තමානයේ ජාතිවාදී ගිනි පුළිඟු දල්වන්නේ බෞද්ධ සිංහල භික්‍ෂුන් වහන්සේය. විවිධ සංගම් හා සංවිධාන ලෙස පෙනී සිටිමින් ජාතිවාදී හැඟීම් දේශනා කරමින් සැරි සරන අපේ රටේ භික්‍ෂුන් වහන්සේ මෛත්‍රි සිසිලස යදින රටකට වෛරයේ ගිනි පුපුරු දල්වති. මේ රට නිවා නසාලිය යුතු රටක්‌ මිස අවුලුවා වැනසිය යුතු රටක්‌ නොවන බව මේ ධර්ම දූතයන් වහන්සේලාට නොවැටහෙන්නේ ඇයි?

ජාති ගෝත්‍ර නිසා උඩඟු නොවිය යුතු බව අවධාරණය කළ දහම අමතක කොට සිංහල ජාතියේ නමින් පෙනී සිට සෙසු සුළු ජාතීන් කෙරෙහි ප්‍රකෝපකාරී අදහස්‌ බෙදා හැරීම භික්‍ෂුත්වයට නිගාවකි. ජාතිය වෙනුවෙන් නැගී සිටි අතීත විරු තෙරවරුන් වහන්සේලා ගැන සිහිපත් කරද්දී මේ යුගයේ නැගී සිටින සියලු බොදු බලවේග අරමුණු අතින් අහසට පොළොව මෙනි.

වාරියපොල සුමංගල නාහිමිපාණෝ ඉංග්‍රීසීන්ගේ ධජය බිම දමා සිංහල කොඩිය ගුවනට එසවූයේ රට පාවාදීමේ ගිවිසුම අත්සන් කොට අවසන් කිරීමට පෙර සුද්දන් විසින් අපේ ධජය පහත දැමීමට විරෝධය පාමිනි. ප්‍රතිපත්තිමය හා යුක්‌තිගරුක යථාර්ථයක්‌ එතැන තිබුණි. රෑඩිකල්වාදී අසංවරකමක්‌ හෝ භික්‍ෂුත්වයට හානිකර හැසිරීමක්‌ එතැන නොතිබිණි.

ටිබෙට්‌ ජාතික එස්‌. මහින්ද හිමි, මිගෙට්‌ටුවත්තේ ගුණානන්ද හිමි, හික්‌කඩුවේ ශ්‍රී සුමංගල හිමි ආදී ජාත්‍යාලයෙන් සංවර වූ, දේශානුරාගයෙන් සමාධිගත වූ, සතුරා මැනවින් හඳුනාගෙන සිටි බුද්ධ පුත්‍රයන් වහන්සේලා හෙළ දැය පවතින තුරා සදානුස්‌මරණීය වෙති.

නූතන භික්‍ෂු පරපුර අතරින් නැගී සිටි බොහෝ භික්‍ෂුන් වහන්සේලාගේ අරමුණ පවා අපැහැදිළි තත්ත්වයක පවතී. හෙළ දැයේ පරිහානියට තුඩුදෙන එහෙත් පාලක පක්‍ෂයේ දැඩි අවධානය යොමු නොවන දහසක්‌ ගැටලු පැන නැගී ඇති අවදියක එම ප්‍රශ්න හා ගැටලු යටපත් කොට ජාත්‍යාලය වැනි ආකර්ශනීය උපාදානයක්‌ වෙත ජනතා නෙත් යොමු කිරීම මෙම සංවිධානවල මූලික අරමුණයි. වෙනත් ආකාරයට පවසතොත් රටේ ප්‍රධාන ප්‍රශ්න අමතක කළ හැකි ආවේගකාරී සංදර්ශන මඟින් ප්‍රවෘත්ති නිර්මාණය කරති. බුරුතු පිටින් තරුණ පරපුර මත්ද්‍රව්‍ය හා දුරාචාරවලට යොමු වී වැනසී යනු නොපෙනේද? ධනේශ්වර සල්ලාලයන් හා ව්‍යාපාරික දේශපාලනඥයන් සත්පුරුෂ සාධු සමාජය අති බිහිසුණු ලෙස අභියෝගයට ලක්‌කරමින් තම අරමුණු ඔස්‌සේ දුරාචාර ජාලය විකාශය වෙද්දී අප සිටිය යුතු තැන, අපට අමතක කරන්නේ මේ බල සේනාවන්ය. රටේ ඇති එකම ප්‍රශ්නය සුළු ජාතීන් සමඟ ගැටෙන්නට සිංහලයා පාරට නොපැමිණම බව මෙම නායකයන්ගේ වේගවත් ප්‍රකාශය තුළ ඇතුළත්ය.

විදුහල්පතිවරු ඇතුළු ඇතැම් ගුරුවරු පවා සිසු දරුවන්ගේ හිරිඔතප් බිඳ දමන රටක, පියා අතින් දියණිය විනාශ වන රටක. මෙම අපරාධ රැල්ල කනපිට පෙරලන්නට හෝ එවන අය වෙතම ආපසු හරවා යෑවීමට හෝ කිසිදු දිනයක සංවිධාන නොවන මෙම බුද්ධ පුත්‍ර බලසේනා එදා වේල කන්න නැතිව ඉන්න මිනිසුන්ට අඬගසන්නේ මේ රටේ නැගී සිටින ලාංකිකයන්ට උරුම කරගත් සහෝදර ජන කොට්‌ඨාස නිරුවත් කිරීමටයි. සියලු මැද පෙරදිග රටවල අපේ මවුවරු, පියවරු සහෝදර සහෝදරියන් ප්‍රාණ ඇපකරුවන් සේ සිටින යුගයක මුල මැද අග පටලවාගත් බුද්ධ පුත්‍ර සේනාවෙන් අපව තල්ලු කරන්නේ කිනම් ආගාධයකට ද.

දේශීය ආර්ථිකය බින්දුවටම බසිද්දී, නිදහස්‌ අධ්‍යාපනය අවුලෙන් අවුලට පත් වෙද්දී, නීතිය දේශපාලකයන් අතට පත් වෙද්දී, ජාතික ධනය සිතූ සිතූ පරිදි පාලකයන් අත පරිහරණය වෙද්දී මේ සියලු ව්‍යසනයන් ඉදිරියේ නෙත් පියාගෙන සුළු ජාතීන්ගේ නැඟී සිටීම අපේ පරිහානියට හේතුව බව කියන්නට ඇති සාධක මොනවාද?

උතුරු නැගෙනහිර අපේ සංස්‌කෘතික උරුමයන් විනාශ කරන්නේ ද බුදුපිළිම හා දාගැබ් බිඳ දමා නිධන් වස්‌තු කොල්ලකන්නේද, අධි තාක්‍ෂණික මෙවලම් යොදා නිධන් හාරා ධනය පැහැර ගන්නේද, වනයේ සැරිසරණ අසරණ අලි ඇතුන් මරා දළ කපා ගන්නේද. අලි පැටවුන් පන්සල්වල සඟවා සිට දේශපාලකයන්ට ව්‍යාපාරිකයන්ට හා මාන්නක්‌කාර මදයෙන් පෙළෙන ධනවතුන්ට විකුණන්නේ ද, මුස්‌ලිම්වරුන් නොව සිංහල බෞද්ධයෝමය.

අද බොදු බලය ගොඩනැඟිය යුත්තේ සිංහල බෞද්ධයා අන්‍ය ආගමිකයන්ට හා වෙනත් සුළු ජාතීන්ට එරෙහිව සටන් වදින නොදියුණු ගෝත්‍රයක්‌ ලෙස ලෝකයට ප්‍රදර්ශනය කිරීමෙන් නොවේ. සිංහල බෞද්ධයා පමණක්‌ නොව අන්‍ය ජාතික බෞද්ධයෝද තෙරුවන් සරණ යති. බොදු බලය ගොඩනැඟිය යුත්තේ ඒ සියල්ල සමඟය. අද මහ සඟරුවන පෙළ ගැසිය යුත්තේ බෞද්ධ සාරධර්ම, සිරිත් විරිත්, බොදු පිළිවෙත් හා බෞද්ධ ජීවන ප්‍රතිපදාවන්ගෙන් දුරස්‌ වී සිටින මේ රටේ බෞද්ධයන් නිවැරදි කිරීමටයි. ඔවුන්ගේ මළ ගෙදර, පිරිත, දානය මහ සඟරුවන සහභාගි කර ගන්නා ආගමික කටයුත්තක්‌ වුවද පිංකමට වඩා එය ප්‍රියසාදයක වෙස්‌ ගෙන ඇත. මඟුල අවමඟුල දෙකම වෙනසක්‌ නොමැත. සියල්ලට මුදල ප්‍රධාන වෙයි. මෙහිදී දුප්පත් බෞද්ධයෝ අන්ත අසරණය. කිසිම බල සේනාවක්‌ මේවා නිවැරදි කරනු නොපෙනේ. දුෂ්කර ප්‍රදේශයන්හි විහාරස්‌ථාන, භික්‍ෂුන් වහන්සේලා නොමැතිව වැසී යයි. එම ප්‍රදේශවල වාහනවලට කුළී ගෙවා භික්‍ෂුන් වහන්සේලා වැඩම කරවා ගනිති. බොදු සේනා ඇවැසිවන්නේ මේ ස්‌ථාන වලටයි.

නාගරික පහසුකම් සහිත විහාරස්‌ථානවල වැඩ සිටිමින් අධි සුඛෝපභෝගී ජීවන රටාවක්‌ ගත කරමින් විවිධ බලවතුන්ගේ ආරක්‍ෂාව හා ආධාර උපකාර වක්‍ර ලෙස ලබාගනිමින් රටට මෙතෙක්‌ දේශනා කළේ බුදුන් වහන්සේ ප්‍රතික්‍ෂේප කළ ජාතිවාදී ගෝත්‍රවාදී විෂබීජ පැතිරෙන ක්‌ලේශ ධර්මයෝ නම් අපගේ යුග මෙහෙවර මැනවින් ඉටු කළා යෑයි උන්වහන්සේලාට සතුටු විය හැකිද? සංවරශීලී පරමාදර්ශයක්‌ රටට ලබා දිය යුතු හා ලබාදිය හැකි අපේ රටේ උතුම්ම රත්නය සංඝ රත්නයයි. එයින් අපට ලැබෙන්නේ ආවේගශීලී ප්‍රකෝපකාරී නිල නොලත් පොලිස්‌ හමුදාවක ආදර්ශයක්‌ නම් බුදු සසුනේ අනාගතය කෙබඳු වේ දැයි නිගමනය කළ හැකිද?

ශාස්‌ත්‍රපති වික්‍රමසිංහ අතපත්තු

Post a Comment

0 Comments