එදා කොටි අලිමංකඩ දැවැන්ත හමුදා කඳවුර අල්ලාගෙන කොටි ධජය එස වූ ආකාරයයි මේ
* යාපනය මුදාගැනීමේ රිවිරැස මෙහෙයුම නතර කිරීමට උත්සාහ කළේ කවුද?
* අලිමංකඩ සහ මුලතිව් දැවැන්ත හමුදා කඳවුරු අහිමිවූයේ හිටපු ජනාධිපතිනි සමයේ
* කොටි හිතවාදී වසන්ත රාජාට ද්විත්ව පුරවැසි වීම ලබාදීමට රුපියල් ලක්‍ෂ දෙකක් දුන්නේ රූපවාහිනියෙන්
* ප්‍රභාකරන් සතු කැනඩා දේපළවල භාරකරු රාඡේන්ද්‍රන් මියයයි
* ජනාධිපතිවරණයට තරග කරන දඩයක්‌කාරයා ඉවත් කරනු ශිවාජිලිංගම් පවසයි
"මිනිසුන් රැවටිය හැක්‌කේ එක් වතාවක් පමණි." - හිටපු ඇමරිකානු ජනාධිපති ඒබ්‍රහම් ලින්කන්
අතීතය වසන් කළ නොහැකිය. එහෙත් අතීතයේ සිදුවීම්වලට දැන් නව අර්ථකථන ලබාදීම සිදුවේ. ගම්පහ පැවැති මැතිවරණ රැස්‌වීමක් අමතමින් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මෙලෙස කියා සිටියාය. "මා මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිට රට භාර දෙන විට ප්‍රභාකරන් අල්ලා ගෙන සිටි භූමියෙන් සියයට 75 ක් නිදහස් කරගෙන තිබුණා. ජනාධිපතිට ඉතිරිව තිබුණේ ඉතිරි සියයට විසිපහ නිදහස් කරගැනීම පමණයි. එහෙත් යුද ජයග්‍රහණයේ අයිතිය තමාගේ තනි ජයග්‍රහණයක් බවට ඇඟවීමට දරන උත්සාහය බොල් එකක්"
හිටපු ජනාධිපතිනිය ජනතාව අමතමින් පෙන්නුම් කර ඇත්තේ ප්‍රභාකරන් පාලනය කළේ සියයට විසිපහක ප්‍රදේශයක් බවයි. එහෙත් සත්‍යය වසන් කළ හැකිද?
1995 දී හිටපු නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය අනුරුද්ධ රත්වත්තේ යාපනය අර්ධද්වීපය කොටි පාලනයෙන් මුදාගැනීම සඳහා රිවිරැස මෙහෙයුම දියත් කිරීමට සැලසුම් කළේය.
මේ සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීම සඳහා එදා අපි අනුරුද්ධ රත්වත්තේ මහතා හමු වූ අවස්‌ථාවේ ඔහුගේ දුරකථනයට ඇමතුමක් ලැබුණි. එකී ඇමතුම පිළිබඳව රත්වත්තේ පසුව අපට හෙළි කළේය.
යාපනය මුදා ගැනීමේ රිවිරැස මෙහෙයුම දියත් කිරීමට සූදානම් කළ අවස්‌ථාවේ ලන්ඩන් නුවර සිට රත්වත්තේ මහතාට දුරකථන ඇමතුමක් ලැබුණේ එදා සිටි ජනාධිපතිනිය වූ චන්ද්‍රිකා කුමාරතුංග ගෙනි.
ඇය එහිදී කියා සිටියේ රිවිරැස මෙහෙයුම අත්හිටුවන ලෙසයි. ද්‍රවිඩ ජනතාව විශාල ලෙස මිය යැමට ඉඩ ඇති නිසා රිවිරැස මෙහෙයුම නතර කළ යුතු බව ඇය තරයේ ප්‍රකාශ කර ඇත. මෙම මෙහෙයුම සැලසුම් කරලා ඉවරයි. එය නතර කරන්න බැහැ යෑයි රත්වත්තේ මහතා වේගවත් ලෙස ඇයට ප්‍රතිචාර දක්‌වනු ලැබීය.
ජනාධිපතිනියගේ මේ ප්‍රකාශය ගැන සැකසිතූ අනුරුද්ධ රත්වත්තේ විගස ලන්ඩන් නුවර ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ප්‍රධානියකු අමතා සත්‍ය තත්ත්වය දැන ගත්තේය.
චන්ද්‍රිකා කුමාරතුංග එදා අනුරුද්ධ රත්වත්තේව අමතා ඇත්තේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ සිටය. කොළඹ ව්‍යාපාරික ක්‍ෂේත්‍රයේ බලවත් කාන්තාවක් හා ලන්ඩනයේ ද්‍රවිඩයන් රැසක් ඇවිත් රිවිරැස මෙහෙයුම නතර කරන ලෙස හිටපු ජනාධිපතිනියට දැඩි බලපෑමක් කර තිබේ.
ලන්ඩන් නුවර ඊළම් ද්‍රවිඩයන් හිටපු ජනාධිපතිනිය වෙත පවසා ඇත්තේ රිවිරැස මෙහෙයුම නිසා ලක්‍ෂ ගණනක් ද්‍රවිඩයන් මෙන්ම ෙඓතිහාසික නල්ලූර් කෝවිලද විනාශ වන බවයි. එහෙත් හිටපු නියෝජ්‍ය ආරක්‍ෂක ඇමැති රත්වත්තේ ඇගේ ඉල්ලීම නොතකා රිවිරැස මෙහෙයුමින් යාපන අර්ධද්වීපය අල්ලා ගත්තේය.
මෙයට සමාන ප්‍රකාශයක් ප්ලොට් ජාත්‍යන්තර ඒකකයේ සම්බන්ධීකාරක රාජසිංහම් සිවරාජන් හෙළි කළේය. නෝර්වේහි පදිංචි ඔහු මේ සතියේ දිනෙක මෙරටට සම්ප්‍රාප්ත විය. කොටි සංවිධානය පරාජය කිරීමට ක්‍රියා කරන ලෙස 1994 දී අපි එදා සිටි ජනාධිපතිනියගෙන් ඉල්ලා සිටියා. එහෙත් ඇය අපේ ඉල්ලීමට සවන්දුන්නේ නැහැ යෑයි ඔහු කියා සිටියේය.
මේ පසුබිම මැද රටෙන් සියයට 75 ක් මුදාගෙන තිබූ බවට හිටපු ජනාධිපතිනිය කියන්නේ කෙසේද? ඇය පාලනය කරන සමයේ කොටි ත්‍රස්‌තවාදීහු මුලතිව් ආරක්‍ෂක හමුදා කඳවුර මුළුමනින්ම විනාශ කළහ. 1996 ජුලි 18 දා මුලතිව් හමුදා කඳවුර විනාශ කිරීමේදී මියගිය භට පිරිස 1173 කි.
ඉන්පසු කිලිනොච්චි හමුදා කඳවුරට ත්‍රස්‌ත ප්‍රහාර එල්ල විය. 1998 සැප්තැම්බර් 27 දා එල්ල වූ කොටි ප්‍රහාරයේදී සෙබළු 857 ක් දිවි පිදූහ.
2000 වසරේÊ අප්‍රේල් 23 වැනිදා අලිමංකඩ දැවැන්ත හමුදා කඳවුර සහමුලින්ම විනාශ විය. එහිදී හමුදා නිලධාරීන් සහ සෙබළු 708 ක් මරුමුවට පත්වූහ.
එසේම හිටපු ජනාධිපතිනියගේ පාලන සමයේ ඩොලර් අරමුදල් ලබන රාජ්‍ය නොවන සංවිධාන අතිශයින්ම බලවත්විය. ජාතික රූපවාහිනියේ ප්‍රධානියාව සිටි සුනිල් සරත් පෙරේරා ඉවත් කෙරුණි. ඒ වෙනුවට ලන්ඩනයේ සිටි කොටි හිතවාදියකු වූ වසන්ත රාජා පත් කෙරුණි. වසන්ත රාජාට ජාතික රූපවාහිනියේ අධ්‍යක්‍ෂක ජනරාල් තනතුර දෙන ලෙස නියෝග කළත් එවකට ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් කේ. එස්. ගුණසේකර පැවසුවේ වසන්ත රාජාට සුදුසු කම් නැති බවයි.
මේ කොටි හිතවාදියාව එම ධුරයට නිර්දේශ කළේ 1971 කැරැල්ලේ හිටපු කැරලි කරුවෙකි. වසන්ත රාජාට ජාතික රූපවාහිනියෙන් ලක්‍ෂ 2 ක් ගෙවා ද්විත්ව පුරවැසි බවද ලොන්ඩන් පෙදෙසේ කුලියට සුපිරි නිවසක්‌ද ඇය ලබා දුන්නාය.
1994 වසරේ ඇය බස්‌නාහිර මහ ඇමැතිනිය ලෙස කටයුතු කරද්දී මෙරටට පැමිණි වසන්ත රාජා තමා යාපනයට යන බව පවසා තිබේ. මෙහිදී හිටපු ජනාධිපතිනිය වසන්ත රාජා වෙත මෙලෙස පවසා ඇත.
"ජාතික බුද්ධි සේවාව මට අනතුරු අඟවමින් මා කොටි ඉලක්‌කයක් යෑයි කියා සිටියා. මෙය ඇත්තක් දැයි ඔබ කොටින්ගෙන් අසනවාද?"
යාපනයට ගිය වසන්ත රාජා චන්ද්‍රිකා මතුකළ ප්‍රශ්නය කොටි න්‍යායාචාර්යව සිටි ඇන්ටන් බාලසිංහම්ගෙන් විමසා තිබේ.
"ජාතික බුද්ධි සේවාව ගැන විශ්වාස කරන්න එපා යෑයි ඔබ ඇයට කියන්න ඇගේ මියගිය සැමියා වූ විජය කුමාරතුංගට අපේ ගෞරවය තිබෙනවා. එම ගෞරවය ඇයටත් හිමියි. එක්‌සත් ජාතික පක්‍ෂයේ කෙරේ විශ්වාසය තබන්න එපා යෑයි ඇයට කියන්න යෑයි" ඇන්ටන් බාලසිංහම් විසින් වසන්ත රාජාට ප්‍රකාශ කර ඇත.
කොටින්ගෙන් මරණ තර්ජනයක් එල්ල වී නැතැයි වසන්ත රාජා ඇයට දැනුම් දුන්නේය. එහෙත් වසර කීපයකට පසු ඇය කොළඹ පුරහල් භූමියේදී ඝාතන ප්‍රයත්නයකින් දිවි ගලවා ගත්තාය.
2003 වසරේදී චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනියව සිටියදී සිදු වූයේ කුමක්‌ද? එදා ඇයටත් හොරෙන් අති විශාල මුදලක් ගෙවා බ්‍රිතාන්‍යයේ එස්. ඒ. එස්. බළකායේ හිටපු ප්‍රධානියකු වූ ජනරාල් මයිකල් රෝස්‌ට මෙරට ජාතික ආරක්‍ෂාව සම්බන්ධව වාර්තාවක් සකස් කිරීමට බාරදුන්නේ එවකට සිටි රජයයි. ජනරාල් මයිකල් රොස් සිය වාර්තාවෙන් ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර පොලිස් ඒකකයක් ස්‌ථාපිත කිරීමට යෝජනා කළේය. මෙම ජාත්‍යන්තර පොලිස් ඒකකයේ කාර්යභාරය ද්‍රවිඩ පොලිස් බළකායක් පිහිටුවීමයි.
මේ හැර ඇමරිකානු සී. අයි. ඒ. බුද්ධි සේවා නියෝජිතයකු ද ඇගේ සමයේ ජාතික ආරක්‍ෂක මණ්‌ඩල රැස්‌වීමට සහභාගි විය. රටේ ජාතික ආරක්‍ෂාවට සම්බන්ධව වැදගත් තොරතුරු සාකච්ඡාවට ලක්‌වන තොරතුරු නිරීක්‍ෂණයට ලක්‌වන ආරක්‍ෂක මණ්‌ඩල රැස්‌වීමට සී. අයි. ඒ. ඒජන්තවරයකු සහභාගි වෙද්දී ජනාධිපතිනිය ලෙස ඇය ගත් පියවරක් නැත.
මේ පසුබිම යටතේ තමාගේ පාලනය යටතේ රටේ සියයට 75 ක් මුදාගෙන තිබූ බව හිටපු ජනාධිපතිනිය පැවසීම ජනතාව මුලාකිරීමක් නොවේද?
2006 ජුලි මස මාවිල්ආරු ප්‍රදේශයද සැප්තැම්බර් මසදී සාම්පූර් සහ වාකරේද 2007 ජුලි මස තොප්පිගලද 2007 සිලාවතුර ප්‍රදේශයද 2008 අප්‍රේල් මස මඩුපාර ප්‍රදේශයද මුදා ගනු ලැබීය. 2008 නොවැම්බර් මස මන්නාරම පුනරීන් ඒ 32 මාර්ගයද 2009 ජනවාරි මස මුලතිව් ප්‍රදේශයද අලිමංකඩ ප්‍රදේශයද කිලිනොච්චි කොටි කලාපයද වන්නි මෙහෙයුමෙන් මුදා ගෙන තිබුණි.
මේ පසුබිම යටතේ කොටි පරාජය වීමෙන් පසු කොටි සතුව ඩොලර් 34,426699 ක් වටිනා අවි ආයුධ තිබී සොයා ගනු ලැබීය.
එසේම ඉදිරියටත් බිහිසුණු ඝාතන සිදුකිරීමට කොටි සතුව තිබූ මරාගෙන මැරෙන බෝම්බ පටි 29 ක් සී. 4 පුපුරණ ද්‍රව්‍ය කිලෝ 6050 ක් සහ වෙනත් පුපුරණ ද්‍රව්‍ය කිලෝ 1012 ක් ද බෝම්බ පැකට් 293 ක්‌ද හමු විය.
මෙයට අමතරව ගුවන් යානා විනාශ කිරීම සඳහා සෑම් මිසයිල 16 ක්‌ද කොටි සතුව තිබී සොයාගනු ලැබීය.
මේ අතීතය වසන් කළ හැකිද?
එසේම 2003 මැයි මාසයේදී එදා පැවැති රජය උතුරේ ආරක්‍ෂක කේන්ද්‍රස්‌ථාන 152 න් 88 ක් අඩු කිරීමට තීරණය කළේය.
උතුරේ අධි ආරක්‍ෂිත කලාප ඉවත් කිරීම සඳහා වාර්තාවක් සකස් කිරීමට විශ්‍රාමික ඉන්දීය ජනරාල් සතිෂ් නම්බියාර්ද උතුරු නැගෙනහිර කොටින්ගේ යාත්‍රාවලට මුහුදේ යැමට ඉඩ දීමේ ඉල්ලීම ගැන විමර්ශනය කිරීමට හිටපු ඉන්දීය අද්මිරාල් පී. ඡේ. ඡේ කබ්ද මෙරටට ගෙන්වීමට එදා රජය ක්‍රියාකරද්දී ජනාධිපතිනිය ලෙස චන්ද්‍රිකා කුමාරතුංග ගත් පියවරක් නැත.
මේ අතර දෙසැම්බර් 16 දා ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී ශ්‍රීධරන්ගේ සොහොයුරා මෙහෙය වන යුරෝපා කොටි වෙබ් අඩවිය හිටපු ජනාධිපතිනිය සම්බන්ධව පුවතක් විකාශනය කළේය. එහි මෙලෙස සඳහන් විය.
රටේ නායකත්වය වෙනස් කිරීමට හිටපු ජනාධිපතිනිය මන්නාරම රදගුරු රායප්පු ජෝශප් සමග සාකච්ඡාවක් පවත්වනු ලැබීය. මන්නාරමේ අරිප්පුවේ ශාන්ත මරියා දෙව්මැඳුරේ පැවැති දේව මෙහෙය අමතමින් රදගුරුවරයා මේ බව හෙළි කළේය. මට චන්ද්‍රිකාව හමුවුණා. රටේ නායකත්වය වෙනස් කිරීමට අපි සියලු දෙනාම ඉදිරිපත් වී සිටිනවා.
කරුණා පාර්ලිමේන්තුවේ සිටිනවා ළමුන් දුක්‌විඳිනවා. නව පාලනයක් සඳහා ඉදිරියට පා තැබීමට වේලාව පැමිණ තිබෙනවා. එහෙත් චන්ද්‍රිකා සහ රායප්පු ජෝශප් අතර පැවැති සාකච්ඡාවේදී එකඟ වූ කරුණු ගැන ජනතාවට හෙළි කර නැත. මන්නාරම් රදගුරුගේ අතීතය පිළිබඳව විමර්ශනය කරන විට උතුරු නැගෙනහිරට ස්‌වයංපාලනය දිය යුතු බවටත් වන්නි මෙහෙයුම ක්‍රියාත්මක වන විට 141000 ක ජනතාවක් උතුරේ සිටි බවටත් පැවසූවේද ඔහුයි.
මන්නාරමේ රදගුරු එසේ මෙසේ තැනැත්තෙක් නොවෙයි. සංඝමිත්තා මෙහෙනින් වහන්සේ ගොඩබැස්‌ස උතුරේ චුල්ලිපුරම් ප්‍රදේශයේ දේවස්‌ථාන තුනක් ඔහු ඉදි කළා. මේ දෙව්මැඳුරු ඉදිකළේ වන්නි මෙහෙයුම අවසන් වීමෙන් පසුවයි. ඔහු චන්ද්‍රිකා සමග කතා කළ දේ මන්නාරමේ ද්‍රවිඩ ජනතාව දන්නවා. එහෙත් සිංහල ජනතාවට හෙළි කර නැහැ යෑයි ප්ලොට් ජාත්‍යන්තර සම්බන්ධීකාරක රාජසිංහම් සිවරාජන් හෙළි කළේය.
මේ තත්ත්වය මත භූමියෙන් සියයට 75 ක් මුදා ගත් බවට හඬ නගන හිටපු ජනාධිපතිනිය 2000 අප්‍රේල් මස සිට මැයි මස දක්‌වා ක්‍රියා කළ ආකාරය සිහිපත් කළ යුතුය. 2000 වසරේ අප්‍රේල් අවසාන සමයේ ප්‍රභාකරන් යාපනය දොරටුව නැමැති ස්‌ථානයට පැමිණ 40000 ක් හමුදා භටයන්ට සුදුකොඩි ඔසවා යටත් වන ලෙස නියෝග කරද්දී හිටපු ජනාධිපතිනිය දැඩි අසරණ තත්ත්වයට පත්ව සිටියාය. ඉන්දියාව පවා උතුරෙන් හමුදා භටපිරිස් ඉවත් කිරීමට සහයක් දැක් වූයේ නැත. මේ අසීරු අවස්‌ථාවේ උසස් හමුදා නිලධාරීහු පවා ත්‍රස්‌තයන් පලවා හැරීමට කුමක් කළ යුත්තේද යන්න ගැන හිටපු ජනාධිපතිනිය වෙත උපදෙස් දීමට ඉදිරිපත් වූයේ නැත.
එවකට උතුරේ සිටි ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියෙක් චාවාකච්ෙච්රි ප්‍රදේශයේ සිට පලාලි වෙත හමුදා ඉවත් කර ගැනීමේ කටයුතු ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇතැයි කොළඹට වාර්තා විය.
කොටි ත්‍රස්‌තයන් විනාශ කරලීමට වහාම මල්ටි බැරල් රොකට් යන්ත්‍ර සහ ග්‍රාඩ් රොකට් ගෙන්වන ලෙස මා එදා නියෝජ්‍ය ආරක්‍ෂක ඇමැති අනුරුද්ධ රත්වත්තේ වෙත කියා සිටියෙමි.
හිටපු නියෝජ්‍ය ආරක්‍ෂක ඇමැතිවරයා එදා පාකිස්‌තාන් ජනාධිපතිව සිටි පේවේස් මුශාරප්ගෙන් මල්ටි බැරල් රොකට් යන්ත්‍ර ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය. ඒ අනුව බී. එම්. 21 වර්ගයේ මල්ටි බැරල් රොකට් යන්ත්‍රයක් පාකිස්‌තාන් රජය මෙරටට එවනු ලැබීය. ඉන්පසු චෙක් රාජ්‍යයේ මයිකල් ස්‌මර්ස් නැමැති නිලධාරියා මැදිහත් වී ආර්. එම්. 70 මල්ටි බැරල් රොකට් යන්ත්‍ර සහ ග්‍රාඩ් රොකට් ශ්‍රී ලංකා හමුදාවට ලබා දුන්නේය.
මල්ටි බැරල් රොකට් ප්‍රහාරක යන්ත්‍රවලින් එල්ල කළ ග්‍රාඩ් රොකට් නිකුත් වූයේ පොළව කම්පනයට ලක් කරමිනි. මේ නිසා බියට පත් ප්‍රභාකරන් සහ ත්‍රස්‌ත කල්ලිය යාපනය අත්හැර වන්නියට පැන ගියේය.
කොටින්ට එරෙහිව ප්‍රහාර එල්ල කිරීම සඳහා ග්‍රාඩ් රොකට් සහ මල්ටි බැරල් මෙරටට ගෙන් විය යුතු යෑයි යෝජනා කළේ කව්දැයි එදා බ්‍රිගේඩියර්වරයකු වූ සනත් කරුණාරත්න දනී. යුද්ධය ජයගන්න උදව් කළේ අපි යෑයි ජනතාව හමුවේ ප්‍රකාශ කරන අතුරලියේ රතන හිමි එදා සිටියේ කොහේද? මෙම පසුබිම මැද මෙරට දේශපාලනයට වඩා වැදගත්ම කරුණ වන්නේ ජාතික ආරක්‍ෂාවයි. හිටපු ජනාධිපතිනිය සමග දැන් එක්‌ව කටයුතු කරන හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න 2003 මැයි 8 දා මෙලෙස ප්‍රකාශ කර තිබුණි.
එල්. ටී. ටී. ඊයේ යුද ශක්‌තිය අවතක්‌සේරු කිරීම කොතරම් මෝඩකමක්‌ද? එල්. ටී. ටී. ඊය මැර කල්ලියකට සමාන කිරීම වැරදියි. ඔවුන්ට සිදු වූ අසාධාරණකම් නිසයි අවි අතට ගත්තේ"
මේ අතර ප්‍රභාකරන්ගේ මස්‌සිනා වූ රාඡේන්ද්‍රම් නැමැත්තා කැනඩාවේදී මියගොස් ඇත. ඔහු ප්‍රභාකරන්ගේ සොහොයුරිය වූ විනෝදනීගේ සැමියායි. කැනඩා ආරංචි මාර්ග දක්‌වන අන්දමට ප්‍රභාකරන් සතු කැනඩාවේ ඇති දේපළවල භාරකාරයා ලෙස ක්‍රියා කළේද රාඡේන්ද්‍රන්ය. "බාබු" නැමැති දැවැන්ත අවන්හල් සංකීර්ණයද ප්‍රභාකරන්ගේ දේපළවලට අයත් යෑයි හෙළි වී තිබේ
මේ අතර ජර්මනියේ කොටි ක්‍රියාකාරීහු දස දෙනකුට බර්ලින් අධිකරණය දඬුවම් නියම කරන අවස්‌ථාවේ කොටි හමුවට ගොස් සංවේගය පළ කිරීමට විරාඡ් මෙන්ඩිස් නැමැත්තා ක්‍රියා කළේය. මේ අතර ප්‍රභාකරන්ගේ සමීපතම ඥාතියකු වූ උතුරු පළාත් සභා මන්ත්‍රී සිවාජිලිංගම් පසුගිය 15 දා යාපනයේ ද්‍රවිඩ මාධ්‍ය පාර්ශව අමතමින් දඩයක්‌කාරයා ජනාධිපතිධුරයට යළි තරග කරන බවත් අපට විශාල ලෙස පීඩාවක් අත්කළ පුද්ගලයා ඉවත් කළ යුතු බවත් පවසා ඇත.
මේ ප්‍රකාශයෙන් ද්‍රවිඩ සන්ධානයේ අරමුණ පැහැදිලි වේ.
කීර්ති වර්ණකුලසූරිය
0 Comments