ස්‌ත්‍රී පුරුෂ ඉරියව් අනුව ඔහු හෝ ඇය හඳුනා ගන්න


ලොව ජීවත්වන පුද්ගලයින් සියලුම දෙනා විවිධ ඉරියව්වලින් සිටීම දැකිය හැක. ඒවායින් ඇතැම් ඉරියව් උත්පත්තියෙන් ලද ඒවා සේම ඇතැම් ඉරියව් පසුකාලීනව පුරුදු වූ ඉරියව් වේ. සමාජයේ වෙසෙන පුද්ගලයන් එකිනෙකාට සෑම අතින්ම වෙනස්‌ වේ. එකසමාන පුද්ගලයන් දෙදෙනෙක්‌ සොයා ගත නොහැක. ඒනිසා ඔවුන් තුළින් පිළිබිඹු වන ඉරියව්ද එකිනෙකට වෙනස්‌ය. දේහ ලක්‌ෂණ විද්‍යාව හොඳින් ප්‍රගුණ කළ අයකුට යම් ස්‌ත්‍රියක්‌ හෝ පුරුෂයෙක්‌ දෙස බලා ඔහු හෝ ඇය සිටින ඉරියව්ව අධ්‍යයනය කර මනා අවබෝධයක්‌ ලබා ගත හැක.

ඔබත් මමත් මෙම ලිපිය කියවා මතකයේ තබාගෙන ඔබට ආශ්‍රය සඳහා ලැබෙන පුද්ගලයන්ගේ ඉරියව් අධ්‍යනය කර ඔහු හෝ ඇය කුමන ගතිගුණවලින් යුක්‌ත අයෙක්‌ දැයි තේරුම් ගන්න.

1. ශරීරය කෙලින් තබාගෙන හිස පහත් නොකර වටපිට නොබලා ගමන් කරන්නා.

මෙවැනි ඉරියව්වලින් යුතු පුද්ගලයා ස්‌ත්‍රියක්‌ වුවද පුරුෂයෙකු වුවද අභිමානයෙන් යුතුව ජීවත්වන ආඩම්බරකාර අයෙකි. මොවුන් තමන්ගේම අදහස්‌ අනුව ක්‍රියාකරයි. කිසිවකුට යටත් නොවේ. නායකත්ව කුසලතාවලින්ද හෙබි අයෙකි. 

2. හිස මඳක්‌ පහතට නැඹුරු කර කල්පනාකාරීව ගමන් කරන පුද්ගලයා කලබලකාරී නොවේ. උගත්කමෙන් හා සමාජීය දැනුමෙන් පොහොසත් අයෙකි. ගතිගුණද ඉතා යහපත්ය.

3. කෙනකු ඉදිරියේ කෙලින් සිටගෙන කථා කරන තැනැත්තා හෝ තැනැත්තිය ඉතා ධෛර්යවන්ත පුද්ගලයන් ලෙස සැලකිය හැක. කිසිදින පරාජය පිළිනොගනී. ජයග්‍රහණය කරාම පියනගයි.

4. ඇවිදින විට දෙපස බලමින් අවට සිටින අය සමඟ සිනහ වෙමින් හිස පහත් කරමින්, අත වනමින් ගමනේ යෙදෙන්නා.

මොහු ස්‌ත්‍රියක්‌ වුවද, පුරුෂයෙක්‌ වුවද ඉතා කපටියි. විශ්වාස කළ නොහැකි අයෙකි. නිතර බොරු කියා මිනිසුන් රවටයි. බොරු පොරොන්දු දීම දැකිය හැක. මෙවන් ඉරියව්වකින් හෙබි පුද්ගලයන් කිසිදා කියන දේ නොකරයි. කරන දේ නොකියයි.

5. එක කකුලක්‌ දනහිස ළඟින් නවාගෙන තනි කකුලට බරදී කථා කරන අය,

මොහු ස්‌ත්‍රියක්‌ වුවද, පුරුෂයෙක්‌ අරමුණකින් තොරව ජීවත්වේ. මොවුන් කරන වැඩ කිසි සැලකිල්ලක්‌ නොමැතිව සිදුකරයි. ආවාට ගියාට වැඩකරන, සැළසුමක්‌ නැති ජීවිතයක්‌ ගෙවන අයෙකි. ක්‍රමානුකූල ජීවිතයක්‌ කිසිදින ඇතිකර නොගනී.

6. ඉදිරිපිට සිටින අයගේ මුහුණ නොබලා මුහුන සඟවාගෙන කථා කරන්නා.

ඉතා වංක ගති ඇති අයෙකි. අනුන්ව රවටා තම අදහස්‌ ඉටුකර ගනී. අනුන්ව අමාරුවේ දමා සතුටු වන අයෙකි.

7. එසේ මහපට ඇඟිල්ලෙන් බිම හාරමින් කථා කරන්න්නා.

මොහු ස්‌ත්‍රියක්‌ වුවද, පුරුෂයකු වුවද සිත යට යමක්‌ සඟවාගෙන වෙන දෙයක්‌ කථා කරයි. මොවුන් නිතර බොරු කියයි. බොරුවෙන්ම ජීවත්වන මොවුන් ඇත්තක්‌ පවසන්නේ ඉතාම කලාතුරකින්ය.

8. දෑත් නවා පපුවට තබා බැඳ කථාකරන තැනැත්තා.

දැඩි ආත්මාර්ථකාමියෙකි. අනුන්ට කිසිදු උදව් උපකාරයක්‌ නොකරයි. තමා හා තම පවුල ගැනම සිතයි.

9. කථා කිරීමේදී දකුණු අතේ දබර ඇඟිල්ල ඉදිරියට දික්‌කර අනෙක්‌ ඇඟිලි නමාගෙන තර්ජනාත්මකව කථා කරන්නා. මොවුන් ඉතා කලහකාරීය. තම මතයම ගරු කරයි. එපමණක්‌ නොව තම අදහස්‌ අනුන්ට කාවැද්දීමට උත්සාහ කරයි. දැඩි පණ්‌ඩිත භාවයක්‌ උසුලයි.

10. තම අත්ල විදහා දක්‌වමින් ඉදිරිපිට සිටින අයට කථා කරන්නා මොවුන් විවෘත චරිත වේ. කිසිත් සඟවා තබා නොගනී. තම සිත තුළ ඇති සියල්ල නොසඟවා හෙළි කරයි. නමුත් මොවුන් කලහකාරීය. හිතුවක්‌කාරය. මුරණ්‌ඩුය. පණ්‌ඩිත ගති ද බොහෝ වේ.

11. තම අත්ල තම ශරීරය දෙසට හරවා අදහස්‌ ප්‍රකාශ කරන තැනැත්තා.

මොහු ස්‌ත්‍රියක්‌ වුවද, පුරුෂයකු වුවද ඉතා ගුප්ත චරිත වේ. රහස්‌ සඟවා ගනී. තමා ගැනම සිතන, තම සැප සම්පත් ගැනම සිතන ආත්මාර්ථකාමී අයෙකි. සියල්ල සිතේ සඟවාගෙන ජීවත් වේ.

12. දෑත් පිටුපසට බැඳගෙන කථා කරන්නා

මොවුන් ස්‌ත්‍රී පුරුෂ භේදයකින් තොරව භයානක පුද්ගලයන්ය. හොර රහසේ පළි ගනී. හොඳින් කථා කළ ද පළිගැනීමේ ෙච්තනාව සිතේ රජයයි. මොවුන් ආශ්‍රයට සුදුසු පුද්ගලයන් නොවේ.

13. අනුන්ට සවන් දෙමින්, අවශ්‍ය වූ විට පමණක්‌ කථා කරන්නා,

මොවුන් ඉතා බුද්ධිමත්ය. සමබර ජීවිතයකට හිමිකම් කියයි. වගකිවයුතු තනතුරු දරන අයෙකි. නමුත් මොවුන් කපටිය.


ජ්‍යෝතිෂවේදිනී,
මංජුලා පුෂ්පරාංගනී පල්ලෙබැද්ද
පානදුර

Post a Comment

0 Comments