වැන්දඹු යෝග සහ පෙර පිං අනුව කීර්තිමත් වූ කාන්තාවෝ


ස්‌ත්‍රීන්ගේ ජන්ම කේන්ද්‍රයකින් ඇගේ සැමියා අකාලයේ මියයන වැන්දඹුයෝගය "වෛධව්‍ය" යෝගය නමින් හැඳින්වේ. විවාහවූවාට පසු ඇගේ සැමියා මහළු වයසට පත්වීමට පෙර තරුණ වියේදීම මියයැමෙන් පසු ඇය මෙලොව අසරණ තත්ත්වයට පත්වේ. එනිසා කාන්තාවන් විවාහ වීමට පෙර විශේෂයෙන්ම තම කේන්ද්‍රයේ වැන්දඹු යෝගය යෙදෙන ආකාරය දක්‍ෂ ජ්‍යෙතිෂ්‍යඥයෙකුගෙන් විමසා දතයුතුමයි. එනිසා ඔබේ කේන්ද්‍රයෙහි වැන්දඹු යෝගයක්‌ ඇත්දැයි මේ ලෙස බලා විවාහ වෙන්න.

ස්‌ත්‍රී කේන්ද්‍රයේ 7 වැන්නාධිපති 8 වැන්නාධිපති යන ග්‍රහයන් දෙදෙනා සංයෝගව එයට පාපි ග්‍රහයන් ගේ දෘෂ්ටිය එල්ල වී ඇත්නම් ඇය වැන්දඹු බවට පත්වේ.

ස්‌ත්‍රී කේන්ද්‍රයේ රාහු ග්‍රහයා 7 වැන්නේ තැන්පත්වී හත්වැන්න අධිපති ග්‍රහයා රවි සමඟ සංයෝගවීමත් එයටම 8 වැන්න අධිපති ග්‍රහයාගේ දෘෂ්ටිය හෝ සංයෝගයක්‌ ඇතිවීමද වැන්දඹු යෝගයක්‌ ලෙස සැළැකේ.

ස්‌ත්‍රී කේන්ද්‍රයේ 7 වැන්න අධිපති ග්‍රහයා ශනි සමඟ සංයෝගවී සිට ඒ සංයෝගය කුජට පෙනෙයි නම් ඇගේ සැමියා අකාලයේ මියයයි.

ස්‌ත්‍රී කේන්ද්‍රයක සඳු සහ රාහු 8 වැන්නේ පිහිටා ඇත්නම් එය වැන්දඹු යෝගයකි.

ස්‌ත්‍රී කේන්ද්‍රයේ 8 වැන්න අධිපති ග්‍රහයා සමඟ කුජ 8 වැන්නේම පිහිටීම කෙටි කාලයකින් ඇය වැන්දඹුවේ.

ස්‌ත්‍රී කේන්ද්‍රයේ කුජ, ශනි, රාහු යන ත්‍රී ග්‍රහ සංයෝගය 7 වැන්නේ හෝ 8 වැන්නේ නම් ඇගේ සැමියාට අකල් මරණයක්‌ ඇතිවේ. එයින් වැන්දඹුවේ.

ස්‌ත්‍රී කේන්ද්‍රයේ 7 වැන්න අධිපති ග්‍රහයා දුර්වලව යෙදී කුජ ශනි සංයෝගය 7 වැන්නේ හෝ 8 වැන්නේ සිටීමෙන් වැන්දඹු යෝගයක්‌ ඇති වේ.

ස්‌ත්‍රී කේන්ද්‍රයේ ලග්නාධිපති ග්‍රහයා සහ 8 වැන්නාධිපති ග්‍රහයා සංයෝගව 12 වැන්නේ යෙදීමත් 8 වැන්නට පාප දෘෂ්ටි එල්ල වීමෙන් වැන්දඹුවේ.

ස්‌ත්‍රී කේන්ද්‍රයක 1 වැන්න හෙවත් ලග්න භාවයේ රවි රාහු, කුජ යන ත්‍රී ග්‍රහ සංයෝගයක්‌ ලග්න ගතවීම වැන්දඹු යෝගයකි.

ස්‌ත්‍රී කේන්ද්‍රයක 7 වැන්නේ සිටින කුජට සතුරු ග්‍රහ දෘෂ්ටි එල්ල වී තිබේනම් ඇගේ සැමියා අකාලයේ මියගොස්‌ වැන්දඹු බවට පත්වේ.

එහෙත් මෙම ග්‍රහ දෘෂ්ටි එසේ බල පැවැත්වුවද තම සැමියා මියගිය පසු සමාජයේ සමහර මිනිසුන් අවඥසහගතව එම ස්‌ත්‍රිය ගැන කථා කළත් මෙම යෝගය ලැබූ ස්‌ත්‍රීන් සමහරු සමාජය තුළ කීර්ති නමත් ඇතිකරමින් ඉදිරියට ගිය කාන්තාවන් අතරින් ක්‍රි. වර්ෂ 1959.09.26 වැනි දින එවකට අප රටේ අගමැති ඇස්‌. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්‌ඩාරනායක මහතා සාහසිකයකුගේ වෙඩි පහරින් මියගිය පසු එතුමාගේ බිරිය වූ සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිනිය ලෝකයේ ප්‍රථම අග්‍රමාත්‍යවරිය බවට පත්විය.

1983.02.13 වැනි දින උපාලි විජයවර්ධන මහතා තම ගුවන් යානයත් සමඟ අතුරුදන්වී අද වෙනතෙක්‌ කිසිම හෝඩුවාවක්‌ දැනගන්නට නැතත්, එදා සිට සුදුවතක්‌ පොරවා කඳුළුබරින් සිටි ලක්‌මිණි විජයවර්ධන මහත්මිය තම සැමියාගේ ව්‍යාපාර කටයුතු ඉදිරියට ගෙනයැමට තරම් ශක්‌ති සම්පන්න විය. එමෙන්ම ජනමාධ්‍ය ආයතනයක සභාපතිත්වය දැරීම අන් ස්‌ත්‍රීන්ට නොහැකි තරම් වුවද ඇය එය කීර්තිමත්ව රැකගනිමින් කටයුතු කරන වාසනාවන්තියක්‌ වූවාය.

ජනප්‍රිය සිනමා ශිල්පියකු වූද ශ්‍රී ලංකා මහජන පක්‍ෂයේ නායකයාවූද විජය කුමාරතුංග මහතා නාඳුනන තුවක්‌කුකරුවකුගේ වෙඩි පහරින් බිළිවූයේ තම බිරිය වූ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට තනියම කටයුතු කිරීමේ ශක්‌තිය ලබාදෙමිනි. තම සැමියාගේ මිනිය ඉදිරියේ තම පක්‍ෂය ඉදිරියට ගෙනයැම සඳහා ප්‍රතිඥ දුන් ඇය පසුකල එම පක්‍ෂයෙන් ඉවත්ව ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයට පැමිණ දේශපාලන පොරපිටියේ ඉදිරියෙන්ම සිට මෙරට විධායක ජනාධිපතිවරිය වූවාය.

දේශපාලන පොරපිටියට පා නොතැබූ චිත්‍රාංගනී විඡේවීර මහත්මිය ජනතා විමුක්‌ති පෙරමුණේ නායක වූ රෝහණ විඡේවීර මහතා කැරැළි නායකයකු වශයෙන් කටයුතු කර එහි කැරැළි නායකයාවූ නිසා මරා දැමූ පසු ඔහුගේ දරු පවුල එදා හමුදා කඳවුරක ලැඟීමට තරම් කොටුවිය. එසේ විඡේවීරගේ සෙවනැල්ල මෙන් ජීවත්වුනු ඇයට නොසැළී ජීවත්වීමට පන්නරය ලැබුණේ ගැහැනියක්‌ තනිවීමෙන් පසු ලබන ආත්ම ශක්‌තිය විය යුතුය.

රට ගලවා ගැනීම සඳහා ද්‍රවිඩ කොටින් සමඟ උතුරේ යුද හමුදා මෙහෙයුම් භාරව කටයුතු කළ ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතා පීඩන බෝම්බයට හසුව මියගියේ ලලී කොබ්බෑකඩුව මහත්මිය තනිකරමින්ය. එහෙත් එදා ඇය රජය නිහඬව සිටියද ඇය එඩිතරව කටයුතුකර මරණය ගැන තොරතුරු සෙවීමට කොමිසමක්‌ පත්කළ යුතුයෑයි කියා සිටියේය.

මෙවන් වැන්දඹු කාන්තාවන් අප රටේ මෙන්ම ලොව පුරාම සිටිති. එහෙත් එඩිතර සිත් තුළින් තම සැමියා මියගිය පසු ඔවුන් පෙර අත්බවෙහි රැස්‌කරන ලද යම් ආකාරයක කුසලාකුසල කර්මයන්හි එහි ස්‌වභාවය හා ඵලය හෙවත් කර්ම විපාකය අනුව සැපසම්පත් මෙන්ම දුකටද පත්වෙයි. එය පෙර පිං අනුව සිදු වේ.

ප්‍රවීණ ජ්‍යෝතිෂ විද්‍යාජෝති
රඹුක්‌කන ජිනදාස එදිරිසිංහ

Post a Comment

0 Comments