අපි නැවත යා යුතු ගොවි යුගය


මේ වන විට පිළිවෙළින් ගල් යුගය හෙවත් ශිලා යුගය, දඩයම් යුගය, එඬේර යුගය, ගොවි යුගය සහ කාර්මික යුගය පසු කළ මිනිසා අභ්‍යවකාශ යුගයට පැමිණ සිටී. එහෙත් අද තරම් අසහනයෙන් පෙළෙන මිනිසෙකු මේ මිහි මත වෙනත් කිසිම දිනෙක ජීවත්ව නැත. උදේ පාන්දර හතරට පහට අවදි වන බොහෝ දෙනකු මැෂින් මෙන් පැයක්‌ දෙකක්‌ නිවසේ කටයුතු කොට, ඊළඟට දුවන්නේ දුම්රියට හෝ බස්‌ රියටය. පෞද්ගලික රිය හිමියෝ සිය වාහනයෙන් ගමන් පහසුව සලසා ගනිති.

සමහරු නිවස වසා දමා යති. සමහර සේවක සේවිකාවන් හෝ ඥාතියකු නවත්වා යති. දරුවන් සිටී නම් ඔවුන්ගේ තාවකාලික භාරකාරත්වය පැවැරෙන්නේ ද ඔවුන්ට ය. සමහර දෙමාපියෝ අවුරුද්දක්‌ දෙකක්‌ වයසැති දරුවන් පවා දිවා සුරැකුම් මධ්‍යස්‌ථානවලට ගෙන ගොස්‌ භාරදෙති. අවුරුදු තුන පමණ වූ විට පෙර පාසල්වලට යවති. අවුරුදු පහ සම්පූර්ණ වූ විට මහත් සටනක්‌ කොට පාසල්වලට යවති. බොහෝ දෙනකු ඒ සඳහා යොදා ගැනෙනුයේ පාසල් සේවයේ බස්‌ රථ හෝ වෑන් රථ ය. දරුවන්ට මව්පියන් දකින්නට ලැබෙන්නේ රාත්‍රී කාලයේ ය. පාර දෙපැත්තේ ඇති ගඩාගෙඩි කමින් විනෝදයෙන් එකමුතුව, විහිළු තහළු කරමින් පාසලට යැමේ හා ඒමේ වාසනාව ඔවුනට උරුම නැත. ඒ නිසාම පාසල් අධ්‍යාපනයෙන් පසු සමාජයට පා තබන බොහෝ දෙනා දඩබ්බරයන් වීම නොවැළැක්‌විය හැකි ය. වර්තමානයේ පවත්නා ශිෂ්‍ය අරගල ආදියට ද මූලික අඩිතාලම එය වන්නට ඇත.

උදේ පොලිතින් කොළයක ඔතාගෙන යන කෑම දවාලට කන්නේ කන්තෝරුවේදී හෝ වැඩපළේ දීය. රෑ බෝවන විට නැවත සටනක්‌ කොට වාහනයකට ගොඩ වී නිවසට පැමිණෙන්නේ බලවත් තෙහෙට්‌ටුවකට පත්වීමෙන් අනතුරුව ය. ඒ වන විට නිවසට පැමිණ සිටින දරුවෝ මාපිය සෙනෙහස අපේක්‍ෂා කරති. එහෙත් ඔවුන්ට ඇහුම්කන් දෙන්නට දෙමාපියන්ට ශක්‌තියක්‌ නැත. ඔවුන්ගේ ශ්‍රමය රාජකාරියට හා මහමඟට දියවී හමාරය.

මේ වර්තමාන සමාජයේ ජීවන පැවැත්ම පිළිබඳ දළ සටහනක්‌ පමණකි. මිනිසා දියුණුවේ හිනි පෙත්තට නැග ඇතැයි පැවසෙන වර්තමානයේ ඔහු කොතරම් දුකක්‌ විඳින්නේදැයි සිතෙන්නේ ගොවි යුගයේ මිනිසාගේ ජීවිතය හා සැසඳීමේදීය. ගොවියා වේලාසන නින්දට ගොස්‌ අලුයම අවදි වූයේ ය. කහට ටිකක්‌ බී ටික වේලාවකින් හීල් බත් වේලකින් පාතරාසය නිමවා, ඊළඟට ඔහු පිය නැඟූයේ කුඹුරට ය. නොඑසේ නම් හේනට ය.

පිනිබර උදෑසන කුඹුරේ රන්වන් කරල් හෝ හේනේ සරු බවභෝග හෝ දකින ඔහුගේ සිත ප්‍රීතියෙන් පිනා යයි. එය නහර වැල් තුළට කාවැදී මුළු සිරුර පුරා රුධිරය පිරිසිදු වෙයි. එමගින් ඔහුට යෝධ බල යෝධ ශක්‌තිය ලැබෙයි. පිරිසිදු වාතය ආඝ්‍රාණය කිරීම නිසා නිරෝගී සුවය ලැබෙයි.

දිවා ආහාරය සඳහා නිවසට පැමිණ කැකුළු හාලේ බත, කොස්‌ මැල්ලුම, කොරටුවෙන් කඩාගත් අලුත්ම එළවළුවලින් පිළියෙල කළ වෑංජන වෙලේ වළකින් අල්ලාගත් මිරිදිය මසුන් යොදා හැදූ හොද්ද, මුගුණුවැන්න හෝ වෙනත් පෝෂ්‍යදායක පලාවකින් සාදාගත් මැල්ලුම සමග බඩ පිරෙන්නට බත් කෑවේ ගෙදර පිල මත සිට හොඳට සුළගේ පහස විඳිමින් ය.

කිසිදු සූපශාස්‌ත්‍ර පන්තියකට නොගිය ද, බිරිඳ පරම්පරාවෙන් උරුම වූ දැනුම උපයෝගී කරගෙන සියලු රස නහර පිනා යන පරිද්දෙන් සකස්‌ කළ ඒ ආහාරවල සිරුරට අවශ්‍ය සියලු පෝෂණ ගුණාංගයන් අඩංගු ය. කෑමෙන් පසු ගෙවත්තෙන් කඩාගත් ගස්‌ලබු ගෙඩියක හෝ කෙසෙල් ගෙඩියක හෝ රස බැලීම අතුරුපසට කදිම ආදේශකයක්‌ විය.

ඔහුට කිසිදා දියවැඩියාව හැදුණේ නැ. අධිරුධිරපීඩනය නොවී ය. කොලෙස්‌ටරෝල් යනු කුමක්‌ ද කියා වත් දැන සිටියේ නැත. රෝහලක්‌ වෙත යැමට අවශ්‍ය වූයේ නැත. එසේ ම රෝහල් තිබුණේ ද බොහෝ දුරකින් ය. හදිසියේ උණක්‌ හෙම්බිරිස්‌සාවක්‌ හැදුණෙත් ඉඟුරු සහ කොත්තමල්ලි තම්බා බී එය සුව කරගත්තේය.

මේ වෙනස දෙස බලන විට වර්තමානයේ ජීවත්වන පුද්ගලයා කොතරම් පව්කාරයෙක්‌දැයි මොහොතකට සිතා බැලීම වැදගත් ය.

වර්තමානයේ ජීවත් වන බොහෝ දෙනකුට මයිල කාලක දුරක්‌ පයින් යා නොහැකි ය. ත්‍රීවිලරයක හෝ තමන්ගේ ම වාහනයක පිහිට අවශ්‍ය ය. එසේ නැතහොත් පාරට ආ හැටියේ වාහනයක නැඟê යා හැකි තරමට වාහන සුලබය. අවශ්‍ය කරනුයේ මුදල් පමණකි. නිවසේ කරාමයකට අත තැබූ පමණින් අවශ්‍ය ජලය ලැබේ. ස්‌ව්චයකට අත තැබූ විගස ආලෝකය ලැබේ. ආලින්දයේ සැප පුටුවකට වී දුරස්‌ථ පාලකය එල්ල කොට කැමති චැනලයක වැඩ සටහනක්‌ නැරඹිය හැකි ය. පසෙක ජංගම දුරකථනය තිබේ. අමතරව ගෘහස්‌ථ දුරකථනය ද ඇත. යහළුවන් හා නෑදෑයන් සමග වැඩි වශයෙන් සම්බන්ධකම් පවත්වන්නේ ද ඒවා හරහා ය. ඉස්‌සර මෙන් ලියුම් ගනුදෙනුවක්‌ ද නැත. එය එක්‌තරා අතකින් පාඩුවකි. පෙම්වතුන්ගේ ආදර හසුන් මගින් ගොඩනැඟුණු ශෘංගාරාත්මක සාහිත්‍යාංගය අපට අහිමි ය. ඒ වෙනුවට කෙරෙනුයේ කෙටි පණිවුඩ හා දුරකථන සාකච්ඡා ය. මෙය තැපැල් දෙපාර්තමේන්තුවට ද බල පා තිබේ. දැන් එය පවත්වාගෙන යන්නේ පාඩු සහිතව ය. එකල දවසකට එක බැගින් ලිපි තැපැල් කළ පෙම්වතුන් සිටියහ.

ගොවියා ජීවත් වූයේ ගමේ ය. පොල් අතු හෝ පිදුරු හෝ සෙවිලි කර, ගෙබිම ගොම මැටි හා වරිච්චියෙන් බිත්ති බැඳගත් ඔහුගේ නිවස වර්තමානයේ වායු සමීකරණය කරන ලද නවීන පන්නයේ නිවසකට ද වඩා සුවදායකය.

ගෙවත්තේ නෑමට හා බීමට වෙන් වූ ළිං දෙකක්‌ විය. ඒවා කාලයෙන් කාලයට ඉස පිරිසිදු කිරීම ද එක්‌තරා ව්‍යායාමයකි. ළිං ජලයේ සිරුරට අවශ්‍ය බීජ වර්ග බොහෝ විය. අද ලැබෙන ක්‌ලෝරීන් මිශ්‍ර ජලයෙන් තේ එකක්‌ පවා රසවත් ලෙස බීමට නුපුළුවන.

අවට පදිංචිව සිටියේ නෑසියන්ම ය. පෙළවහක්‌ කරගත්තේ ගමෙන් ම හෝ යාබද ගමකිනි. එබැවින් නෑ ගමන් යැමට අමතර වෙහෙසක්‌ හෝ වියදමක්‌ දැරීම අවශ්‍ය නොවී ය. මඟුල්තුලාවලදී සුළු වේලාවකින් කවුරුත් එකතු වූහ.

සියලු දෙනාම එකතුව සෑම දෙය ම කළහ. වැය කළ ශ්‍රමයට මිලක්‌ නියම නොවීය. බලපැවැත් වූ එකම දෙය අෙන්‍යාන්‍ය සහයෝගය හා සහජීවනයයි. යාබද නිවෙස්‌ අතර රසවත් කෑම බීම හුවමාරු විය. සියලු දෙනාම එකම යදමක පුරුක්‌ මෙන් එකට බැඳී සිටියහ, එබැවින් සතුරු බලපෑම් ද නොවී ය. කුඹුරේ හෝ හේනේ වැඩ කෙරුණේ කයි ක්‍රමයට ය. ඒ එකෙකුට එකෙකු උදව් වන න්‍යායෙනි.

වර්තමානයේ පවතින විවෘත ආර්ථිකය මිනිසා නොමිනිසා කෙළේ ය. සිය ලෙයින් උපන් දරුවා පවා විකුණා මුදල් ලබා ගැනීමට තරම් සාහසික තත්ත්වයකට ඔහු පත් කළේය. කොන්ත්‍රාත් ක්‍රමයට මිනීමැරීම් සිදුවන්නට විය. මංකොල්ලකෑම්, මත්කුඩු අලෙවිය, කප්පම් ගැනීම් වැනි සියලු දූෂණයන්ගේ ආරම්භයට හේතු වුයේ ඊනියා විවෘත ආර්ථිකයයි.

වසර හයකින් සම්පූර්ණ විය යුතු කුකුළා දින හතළිස්‌ පහෙන් වැඩුණු සතකු මෙන් කෑමට ගන්නේ හෝමෝන් එන්නත් කිරීමෙනි. ඒ මස්‌ කන අවුරුදු හතේ අටේ ගැහැනු ළමයි ද පරිණත නොවීම වැඩි වියට පත්වෙයි. එය නියම ස්‌වභාවය අතික්‍රමණය කිරීමකි.

හා මස්‌ යනුවෙන් හඳුන්වා බළල් මස්‌ විකුණනු ලැබේ. නරි මස්‌ හා බලු මස්‌ විකුණන්නේ එළු මස්‌ යයි පවසමිනි. මේ සියල්ල මෙසේ වීමට බලපා ඇත්තේ මිනිසාගේ කෑදර කමට ය. මේ විපරීත වැඩ නිසා ස්‌වභාව ධර්මයා ද කිපී ඇත. වෙන දා අසා නැති ලෙඩ රෝග බහුල ය. පොළොව වරින් වර කම්පිත වෙයි. කාලගුණය විෂම වෙයි.

හද්දා පිටිසර නිවෙසටත් ටැප් වතුරය. වත්තේ ළිඳෙන් බාල්දියකින් හෝ වෙනත් භාජනයකින් වතුර ටිකක්‌ ඇදගැනීමට තරම්වත් ශක්‌තියක්‌ වර්තමාන ගැමි ගැහැනියට පවා නැත. ළිඳට ගොස්‌ කළය උකුලට තබා දිය ගෙන ආ කාන්තාවන් අතීත සිහිවටනයක්‌ පමණකි. ළිඳ ළඟ සභාවේ ලීලල, කමලල, චම්පල, රේකල වැනි ලලනාවන් ගැන අල්විස්‌ පෙරේරා කිවිඳුන් වැනි ප්‍රතිභාපූර්ණ නිර්මාණකරුවන්ට කවි ලියන්නට සුන්දර දසුන් අද මැවෙන්නේ නැත. ඉනට පලා නෙළාගෙන, බරටම දර කඩාගෙන, විගස නිවස බලා එන අම්මලා යළි කවදාවත් දකින්නට ලැබෙන්නේ නැත. ඇකයේ දරුවා නිදිගැන්වූ ඒ මිහිරි නැළවිලි ගී දැන් හුදු සිහිනයක්‌ම පමණයි. කුඹුරේ සියලු කටයුතු "භූතයාට" භාර දී ඇත. මිනිස්‌සු පසෙකට වී අත පය හකුළාගෙන බලා සිටිති. ගොයම් කවි, නෙලුම් කවි, පැල් කවි යළි කවදාවත් ඇසෙන්නේ නැත.

බිම පුරා තාර හෝ කොන්ක්‍රීට්‌ ඇතිරූ පාරවල් ය. නිවෙස්‌ ඉදිරිපිට කොන්ක්‍රීට්‌ තාප්ප හා යකඩ ගේට්‌ටු ය. නගර හා නියම්ගම් වසාගත් කොන්ක්‍රීට්‌ වනාන්තරයන් ය. ඒවා නිරතුරුවම රත්වෙයි. ඒ බලපෑම මිනිස්‌ සිරුරට දැනෙයි. එවිට වායු සමීකරණයේ හෝ විදුලි පංකාවේ පිහිට අවශ්‍යම ය. ඒ කෘත්‍රිම වාතය මැද සිටින මිනිසා නොයෙක්‌ අසාත්මිකතාවන්ට ගොදුරු වේ. මේ සියල්ලේ ප්‍රතිවිපාක අපේ ඇස්‌ හමුවේ දකින්නට ලැබෙන්නේ රජයේ හෝ පෞද්ගලික රෝහලක්‌ වෙත ගිය විටදී ය. නැති බැරි අය රජයේ රෝහල්වල පෝලිම් ගැසී සිටිති. ඇති හැකි අය සිය දහස්‌ ගණන් ගෙවා පෞද්ගලික රෝහල්වල චැනල් පෝලිම්වල සිටිති. ආතරයිටිස්‌, ඩයබෙටිස්‌, හාට්‌ ඇටෑක්‌ ඈ අටඅනුවක්‌ රෝගයන්ගෙන් පෙළෙන අය ඒ අතර ය. ළමයි ද, තරුණයෝ ද, වැඩිහිටියෝ ද වයස්‌ භේදයකින් තොරව පොදුවේ රෝගීන් වශයෙන් සිටිති.

දහදුක්‌ විඳ උපයා සපයාගත් මුදල දොස්‌තරලාට, රෝහල්වලට, µdමසිවලට,පරීක්‍ෂණවලට පූජා කරද්දී නැති බැරි අයකු පිනට යමක්‌ ඉල්ලූ විට පන්නගන්නට තරම් සමහරු නරුම වී සිටිති. මෙසේ දියුණුව සොයා යන වර්තමාන මිනිසා ඔහු නොදැනුවත්වම දිනෙන් දින පරිහානිය කරා පිය නගමින් සිටී.

මහ මගදී හමුවන මිතුරකු හා කතාබහ කරන්නට පවා බොහෝ විට විවේකයක්‌ නැත. කළ හැක්‌කේ ඔහුට අත වනා ආචාර කිරීම පමණකි. මේ අද කාර්ය බහුල ජීවිතයේ සැබෑ තත්ත්වයයි. මෙය දියුණුව හඹා යන ගමනක්‌ ද?

පරම ආයු කාලය වසරින් වසර අඩුවේ. රට පුරා හඳුනා නොගත් රෝග කාරකයන් ය. මිනිසා දියුණුවේ හිනි පෙත්ත මත යයි සමහරුන්ගේ වාගාඩම්බරය හුදු නර්මාලාපයක්‌ පමණකි. මිනිසා නිරෝගී නොවේ නම්, සතුටෙන් ජීවත් නොවේ නම් තව දුරටත් මේ ජීවන රටාව පවත්වාගෙන යාමේ අර්ථයක්‌ තිබේද? එය ලෝකයාට මවා පෙන්වීමකි. ලක්‍ෂ ගණන් වැයකොට රටට ණය වී මඟුල් කති. මරණයක්‌ වූ විට දවස්‌ ගණන් මිනිය ප්‍රදර්ශනය කරමින්, අවට වායුව දූෂණය කරමින් තමන්ගේ පුහු මහන්තත්ත්වය පෙන්වති. මේ සියල්ල ලෝකෙට පරකාස ය. ගෙදරට මරගාත ය.

අපේ මුතුන්මිත්තන් නිරෝගීව හා සන්තෝෂයෙන් ජීවත් වූයේ, මේ කිසිදු විච්චූරණයකින් තොරව, ස්‌වභාව ධර්මයාට කීකරුව මහ පොළොවට බරක්‌ නොවී සිටීමෙනි. ඇඟපත වෙහෙසවා ගොවිතැනෙහි යෙදීමෙනි. එබැවින් අපි නැවතත් ගොවි යුගයක්‌ කරා යමු.

* බද්දේගම ඩී. අමරසේන

Post a Comment

0 Comments