මේ ලිපිය ලියන මා වෙසෙන්නේ කළුගඟත් මුහුදත් අතර බිම් තීරුවේ තැනූ අනගාරික ආශ්‍රමයේ බැවින් කළුඟගේ මහා ජලකඳ නිකරුණේ මුහුදට ඇදීයන ආකාරය මට නිතර දෙවේලේ පෙනෙයි. ඒ සමගම හැම වසරකම වයඹත් උතුරත් උතුරුමැදත් නියඟින් දැවෙන බව අසන්නට දකින්නට ලැබේ. ශ්‍රී ලංකාවේ ලොකුම ගඟ මහවැලි ගඟ වුවත් වාර්ෂිකව වැඩිම ජල කඳක් නිකරුණේ මුහුදට ගෙනයන්නේ කළුගඟයි. කළුගඟ ඇරඹෙන්නේ සමනොළ කන්දෙන් වුවත් කළුගඟ පෝෂණය කරන මහා ජලකඳ ලැබෙන්නේ සිංහරාජ අඩවියෙනි.
සිංහරාජ වනය කෘමිනාශක වල්නාශක හා දිලීර නාශක ආදී වසවිස නොයෙදෙන ස්‌වාභාවික පරිසරයක් බැවින් කළුගඟට සිංහරාජයෙන් එක්‌වන ජලය පානයට සුදුසු ඉතා පිරිසිදු ජලයකි. කළුගඟට බුලත්සිංහල හා අගලවත්ත ප්‍රදේශවලින් එක්‌වන මගුරුගඟේ, පැලැන් ගඟේ හා යටගම්පිටිගඟේ ජලයද බීමට සුදුසු වස විය නැති ජලයකි. කළුගඟේ රත්නපුර දිස්‌ත්‍රික්‌කයට සම්බන්ධ ප්‍රධාන ශාඛා වන වේගඟ, කුරුගඟ හා රත්ගඟ ද පෝෂණය වන්නේ වැසි වනාන්තර හා තේ, රබර් වගා බිම්වලට ලැබෙන වැසිපිනි වලිනි. තේ, රබර් වතුවලට පළිබෝධ නාශක වසවිස යෙදෙන්නේ ඉතාම සුළු වශයෙනි. තේ වතුවල වල් නාශක හෝ කෘමිනාශක යෙදෙන්නේ නැතිතරම්ය. ඉතා සුළු වශයෙන් හෝ යෙදෙන්නේ දිලීර නාශක පමණි. එයත් හානිකර දිලීරයන් පැතිරෙන තත්ත්වයක් උදාවුණොත් පමණකි. රබර් වතුවලටද පළිබෝධ නාශක වසවිස යෙදෙන්නේ ඉතාම කලාතුරකිනි. තේවතු වලත් රබර් වතුවලත් වල්පැළ ඉවත් කරන්නේ උදලු ගෑමෙන් හා කරඩි ගෑමෙනි. කළුගඟට සම්බන්ධ මුළු ප්‍රදේශයටම ඇත්තේ එකම මහ නගරයකි. ඒ රත්නපුරයයි. රත්නපුරයද කාර්මික නගරයක් නොවන හෙයින් කළුගඟට කාර්මික අපද්‍රව්‍ය එක්‌වීමක් නොවේ. එහෙයින් කළ යුත්තේ කළුගඟත් කළුගඟේ ප්‍රධානතම ශාඛාව වූ කුඩාගඟත් එක්‌වන දෙමෝදර ප්‍රදේශයේ පිහිටි රජයේ විශාල වත්තක් වන නිව්චැටල් වත්තේ පිහිටි කුඩා කඳු ගැට කීපයක් ඈඳා ඉඟිනියාගල සේනානායක සමුද්‍රය වැනි මහ ජලාශයන් ගොඩනගා නිකරුණේ මුහුදට ඇදීයන කළුඟං ජලකඳ එම ජලාශයේ එක්‌රැස් කරගෙන වයඹටත් උතුරුමැදටත් උතුරටත් බෙදාදීමයි.
උතුරේ කොටි ත්‍රස්‌තවාදය වර්ධනය වෙමින් පැවතියදී මීට දාසය වසරකට පෙර කළු, කැලණි ගංගා ජලය උතුරට ගෙනයැම මගින් දෙමළ ගොවි ජනතාව රට බෙදීමට විරුද්ධ බලවේගයක් බවට පත්කර ගන්නා ආකාරය ම විසින් ලියා පළ කරන ලද "ජලකඳින් ගිනි නිවමු" පොතින් පෙන්වා දී ඇත. එම පොත ලියා පළකරන්නටත් පෙර මම ඒ අදහස ඉදිරිදා දිවයින සංග්‍රහය මගින් ජනතාව හමුවේ තැබුවෙමි. තවත් වසර කීපයකට පසු මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපති වූවාටත් පසු වයඹත් උතුරුමැදත් උතුරත් නියඟින් බේරා ගන්නා ආකාරය විස්‌තර කරමින් ම විසින් ලියන ලද ජාත්‍යන්තර වාරිමාර්ග නිර්මාණ අත්දැකීම් සහිත ලිපිද එකතුකර "දියෙන් සනහා රකිමු ලංකා" යනුවෙන් පොතක් පළ කළ බව ඒ පිළිබඳ පුවත්පත් වාර්තා කියවූ ජනතාවට රහසක් නොවේ. එම පොත එළිදැක්‌වීමේ උත්සවයට සහභාගි වූ දිනේෂ් ගුණවර්ධන මහතාත්, උදය ගම්මන්පිල මහතාත් එම සභාවේදී "ජල කඳින් ගිනි නිවීමේ" හා "දියෙන් සනහා රකිමු ලංකා" පොත් වල එන අදහස් අගය කරමින් දේශන කළහ. මම ඒ පොත මගේ තවත් පොත් දෙකක් සමග ජනාධිපතිවරයාටද පිළිගැන්වූයෙමි. එම පොත් ජනාධිපතිවරයාට පිළිගැන්වීමේ අවස්‌ථාව සූදානම් කරන ලද්දේ ද දිනේෂ් ගුණවර්ධන ඇමැතිතුමා විසිනි. එසේ වුවත් ජනාධිපතිතුමා දකුණු අධිවේගී මාර්ගය ගැනත් යාපනය දක්‌වා හදන්නට යෝජනා කරන අධිවේගී මාර්ගය ගැනත් මහනුවර දක්‌වා හදන්නට යෝජිත අධිවේගී මාර්ගය ගැනත් දක්‌වන අන්දමේ හැඟීම් සහගත බවක් කළු, කැලණි ගංගාවල නිකරුණේ මුහුදට යන ජලකඳ නියඟින් දැවෙන වයඹ, උතුරු මැද හා උතුරට ගෙනයැම කෙරේ නොදැක්‌වීම ෙ€දජනකය. ජීවිතයම ජනතා සේවයට කැපවූ මා වැන්නෙකු විසින් ඉදිරිපත් කරන ජනහිතකාමී ජීවහිතවාදී දේශප්‍රේමී අදහසක් ක්‍රියාවට නැගීම සඳහා උත්සුකවීම මහින්ද චින්තනයට මදිකමක් නොවේ. රටක නායකයන් රට සංවර්ධනයේදී හා ජනවර්ග ප්‍රශ්න වැනි බරපතළ ජාතික ප්‍රශ්න විසඳීමේදී මුතුන්මිත්තන්ගේ අත්දැකීම්වලින් මෙන්ම වත්මන් පරපුරේ ජනතාවගෙන්ද ඉගෙන ගැනීමට පසුබට විය යුතු නොවේ. මෙයට අටමසකට පෙර මා විසින් ලියා පළකරන ලද ගෙවතු දසලක්‍ෂයේ වැඩපිළිවෙළ මම 2005 ජනාධිපතිවරණ වේදිකාවේදී මහින්ද රාජපක්‍ෂ මහතාටත් වේදිකාවේ සිටි සංධානයට අයත් සියලුම පක්‍ෂවල නායකයන්ටත් පිළිගැන්වූයෙමි. මා යෝජනා කළ ආකාරයට ගෙවතු සඳහා ඉඩම් නැති අයට ඉඩම් ලබාදීම හා ගෙවතු වගාව මෙහෙයවීම සඳහා රැකියා නැති උපාධිධාරීන් යෙදවීම හා වෙළෙඳපළ සංවිධාන කිරීමාදී අත්‍යවශ්‍ය අංග නැතිව අඩුපාඩු සහිතව වුවත් අවුරුදු හයකට පසුව හෝ ගෙවතු දසලක්‍ෂයේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට උත්සාහ දැරීම ගැන මම අවංකව සතුටු වෙමි. දැන් කළ යුත්තේ විසිවසක් තිස්‌සේ ම විසින් පුවත්පත්, සඟරා හා පොත්පත් මගින් නැවත නැවතත් කියා පෑ කළු, කැලණි ගංගා ජලය වයඹට, උතුරුමැදට හා උතුරට ගෙන යැමේ වැඩ පිළිවෙළ ක්‍රියාවට නැගීමයි.
පුංචි ශ්‍රී ලංකාවේ මුළු දිග සැතපුම් දෙසිය හැත්තෑ දෙකකි. චීන, රුසියා, ඉන්දියා, ඇමෙරිකාදී රටවල සැතපුම් දහස් ගණන් දිග වාරිමාර්ග තනා ඇති බව ලොවම දන්නා සත්‍යයකි. ලංකාවේ ඉතිහාසගත උතුම් මුතුන්මිත්තන් යන්ත්‍ර සූත්‍ර නැති යුගයක රටපුරා සකසන ලද යෝධ ඇළවල්, මධ්‍යම ඇළවල් හා හීන් ඇළවල් පාලි මහාවංශයේ කියෑවෙන අන්දමට මාතිකා, මහාමාතිකා හා ශුද්‍රමාතිකා සියල්ල එක්‌කළ විට ශ්‍රී ලංකාවේ දිග මෙන් සිය ගුණයකටත් වඩා දිගුවන ඇළ වේලි දසදහස් ගණනින් ගොඩනගා ඇත. යෝධ ඇළේ වංගු ක්‍රමය මගින් ජලය අඩි ගණනක් ඉහළටත් ගෙනයැමට සමත් වී ඇත. වත්මන් ජපානයේ දූපත් ඈඳමින් තැනෙන සැතපුම් විසිතිස් ගණන් දිග මහා පාලම් සමග කොන්ක්‍රීට් ඇළ මාර්ගද තැනේ. එංගලන්තයේ පොන්ට් කර්සල් ඇළ මාර්ගය ඇතැම් තැන්වලදී අඩි සියගණන් උඩින් අහසේ තැනෙන කොන්ක්‍රීට් ඇළමාර්ග බවට පත්වී ඇත. පොන්ට් කර්සල් ඇළ මාර්ගයේ බෝට්‌ටු පවා යන බව ලොවට රහසක් නොවේ. සොළොස් මහා වැව් හා කුඩා වැව් සියගණනක් කරවූ වසභ රජතුමා රට එකමුතු කළේ ජලයෙනි. අංගමැඩිල්ල වේල්ලෙන් අඹන්ගඟ හරවා මින්නේරි මහ වැවට ජලය ගෙන ගිය මහසෙන් රජතුමා ජනතා හදවත් තුළ දේවත්වයට පත්වී ඇත. කලා වැව් කරවා කලා වැවේ සිට තිසා වැව දක්‌වා යෝධ ඇළ (ජයගඟ) කරවූ ධාතුසේන රජගුමා ලොව විශිෂ්ටතම ඓතිහාසික වාරිමාර්ගය කරවූ බව යුනේස්‌කෝව පවා පිළිගෙන තිබේ. එතුමා තම පුතාගෙන් එල්ලවූ මරණ තර්ජනය හමුවේ තම වස්‌තුව ජලය බව ප්‍රකාශ කිරීම ලෝකයාගේම උපහාසයට හේතුවී ඇත. අහසින් එන ජලය බිඳක්‌වත් නිකරුණේ මුහුදට නොයවන්නැයි ප්‍රකාශ කරමින් රිදීබැඳි ඇළ වැනි මහා ඇළවල් හා පරාක්‍රම සමුද්‍රය වැනි මහා වැව් මෙන්ම කුඩා හා මධ්‍යම ප්‍රමාණ වැව් එක්‌දාස් හාරසිය හැත්තෑ අටක් කරවූයේ රට තුළත් ඉන්දියාවේත් බුරුමයේත් යුද්ධ වැලක පැටලී සිටියදීය. දෙවැනි අග්‍රබෝධි රජතුමා ඇලහැර ඇළ කන්තලේ මහවැව දක්‌වා ගෙනයැමේ ප්‍රතිඵලය වූයේ හැතැප්ම අනූහතරක් දිග්වූ එම ඇළ ලංකාවේ ගංගා බොහොමයකට වඩා දිගුවීමයි. එවන් වාරි කර්මාන්ත වීරයන් බිහිවූ රටක මේ යාන්ත්‍රික යුගයේ කළු, කැලණි ගංගාවල ජලකඳ නිකරුනේ මුහුදට යද්දී වයඹ, උතුරුමැද හා උතුරේ ජනතාව වාර්ෂිකව එන නියඟයෙන් සහ ජල හිඟයෙන් පීඩාවිඳීම ෙ€දවාචකයකි. සංවර්ධනයේදී අයථා අයෝජනයෙන් හා අයථා පරිභෝජනයෙන් වැළකී යථාවාදී ආයෝජනයේ හා යථාවාදී පරිභෝජනයේ යෙදිය යුතු බව පහදා දෙමින් අවුරුදු තිස්‌හයක් රට කරවූ බෝධිසත්ව අග්‍රබෝධි වැනි නර ශ්‍රේෂ්ඨයන් බිහිවූ රටක බෝසත් අග්‍රබෝධි පරපුරට පිටුපා අයථා ආයෝජනයේ හා අයථා පරිභෝජනයේ යෙදෙන සමාජයක් බිහිවීම මහා වියවුලකි. රට අවුල් ජාලයක පැටලීමකි. මේ අවුල් ජාලය ලිහන්නට බුදුන් වදාළ අන්දමට ජනතාව ශීලයෙහි පිහිටා තණ්‌හා ඕඝය දමනය කළ යුතුව තිබේ.
කළු, කැලණි ගංගාවල වැඩි ජලය වයඹට, උතුරුමැදට හා උතුරට ගෙනයැමේදී හමුවන පහත් බිම් පිළිබඳ ප්‍රශ්නය ජයගැනීම සඳහා එංගලන්තයේ පොන්ට් කර්සල් ඇළ මාර්ගය මෙන් අඩි සියගණන් උඩින් යන කොන්ක්‍රීට් ඇළවල් අවශ්‍ය නොවේ. දකුණු අධිවේගී මාර්ගය සඳහා වගුරුබිම් හා ජලමාර්ග තරණය කිරීමේ දී කොන්ක්‍රීට් පාලම් අසූගණනක් නිර්මාණය කරන්නට සිදුවූයේ එම මාර්ගය ශ්‍රී ලංකාවේ වැඩිම වගුරු හා ජල මාර්ග සහිත නිරිතදිග කලාපය ඔස්‌සේ සාදන්නට සිදුවූ නිසාය. එහෙත් කළුතර, කොළඹ හා ගම්පහ දිස්‌ත්‍රික්‌කත්, කුරුණෑගල දිස්‌ත්‍රික්‌කයත් අනුරාධපුර හා වව්නියා දිස්‌ත්‍රිකත් ඈඳෙන ඇළ මාර්ගයන් සඳහා දකුණු අධිවේගී මාර්ගයට යෙදූ තරම් කොන්ක්‍රීට් හෝ කළුගල් කුට්‌ටි හෝ රතුපස් අවශ්‍ය නොවේ. දකුණු අධිවේගී මාර්ගය ඉදිකරද්දී එම මාර්ගය තැනීම උපයෝගි කරගෙන කළුගඟේ සිට කොට්‌ටාව දක්‌වා ඇළ මාර්ගයක් ගෙනයන ආකාරය මම පෙන්වා දුන්නෙමි. දැන් මට යළිත් වරක් කියන්නට සිදුවී ඇත්තේ යාපනය දක්‌වා හදන්නට යෝජනා කරන අධිවේගී මාර්ගයට කලින් කළු, කැලණි ගංගාවල සිට යාපනය දක්‌වා බැරිනම් වව්නියාව දක්‌වා සැතපුම් එකසිය පනහක් තරම් වන ඇළ මාර්ගයක් ඉදිකරන ලෙසයි. අතීතයේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් ලංකාවේ මහා මාර්ග බොහෝමයක් තැනුවේ කැලණිගඟ, කළුගඟ, ගිංගඟ, මහඔය, නිල්වලාගඟ ආදී ගංගා උපයෝගි කර ගනිමින් එම ගං ඉවුරු දිගටය. ඒ අනුව අධිවේගී මාර්ගයට කලින් ඇළ මාර්ගය ඉදිකරන්නේ නම් එය අධිවේගී මග තැනීමටද ආධාරයක් වනු නිසැකය. යාපන අධිවේගී මාර්ගයට කලින් කළුතර වව්නියා ඇළමාර්ගය හදන්නට හිත හදා ගැනීම අමාරුම නම් අධිවේගී මාර්ගයත් සමගම හෝ ඇළ මාර්ගයත් තනන්නට මම යෝජනා කරමි.
ලිපිය අවසන් කරන්නට කලින් මා හැත්තෑඑකේ වර්ෂයේ යාපන අර්ධද්වීපයේ පුන්ගම් කුලම්හි රහසිගතව සිටි අවධියේ ලැබූ සුවිශේෂ අත්දැකීමක් සඳහන් කිරීම බෙදුම්වාදී අභියෝගයට මුහුණපා සිටින රටට ජනතාවට අතිශය වැඩදායක වන බව මම විශ්වාස කරමි. හැත්තෑඑකේ දී පොලිසියේ හා හමුදාවේ වැටලීම් වලින් බේරී මා මාස තුනක් පමණ කාලයක් යාපනේ රහසිගතව සිටියේ මගේ කිට්‌ටු දේශපාලන හිතවතෙකු වූ මහේන්ද්‍රරාජාගේ නැන්දාගේ නිවසේය. නැන්දාගේ දියණිය සමග විවාහ වී සිටි මහේන්ද්‍රරාජාගේ බාල සොහොයුරා වූ වර්ධරාජා සිටියේ ද එම නිවසේමය. වර්ධරාජාගේ බිරිඳත් බිරිඳගේ නැගණිය වූ චන්දිරා දේවිත් බාල මලණුවන් දෙදෙනා වූ තිල්ලනාදන් හා විශ්වනාදන්ද සිටියේ ඒ නිවසේය. ඔවුන් සිව් දෙනාගේ අම්මා වූයේ මහේන්ද්‍රරාජාගේ නැන්දා වූ මානික්‌කම්ය. එය සිංහල ක්‍රමයට මැණිකේ ලෙසින් කියවේ. ඒ මාණික්‌කම් නැන්දා කී කථාවක් මට කිසි දිනක අමතක නොවේ. යාපනේ සිටි මා බලන්නට ආ මගේ විප්ලවවාදී මිතුරෙක් ඔහුගේ මෝටර් රියේ මා සඳහා ගෙනා ප්‍රධාන දෙය වූයේ කළුගඟට කිට්‌ටු ළිඳකින් ගෙනා ගැලුම් හතරේ ප්ලාස්‌ටික් කෑන් දෙකක් පුරවා ගෙන ආ පානීය ජලයයි. මම ඒ පානීය ජලය සෙම්බුව බැගින් මහේන්ද්‍ර රාජාගේ ගෙදර සැමටම දුන්නෙමි. යාපනේ වෙල්ලාලගෙවල වතුර බොන්නට ගන්නේ සෙම්බුවටය. මා දුන් වතුර බිව් මාණික්‌කම් නැන්දා මගෙන් ඇසුවේ මේ වතුර ගෙනාවේ දිව්‍ය ලෝකයෙන් ද යන්නයි. මා ඇයට පිළිතුරු දුන්නේ, නෑ නැන්දේ (ඉල්ලේමාමී) මේවා කළුගඟ ළඟ ළිඳක වතුරයි කියාය. "එහෙනං ඇයි දෙයියනේ මේ වතුර අපටත් නොදෙන්නේ අපි ලංකාවෙ මිනිස්‌සු නොවෙයිද?" යි ඇසූ මාණික්‌කම් නැන්දාගේ කථාව සිංහලයට පරිවර්තනය කළේ මහේන්ද්‍රරාජාය. (ඒ කාලයේ බොතල් කළ පානීය ජල භාවිතයක් නොවීය.) මා යළිත් ඇයට පිළිතුරු දුන්නේ, අපේ විප්ලව ආණ්‌ඩුවක් ආපු දවසට අපි යාපනේටත් කළුගඟේ වතුර දෙන්නම් කියාය. ඇය මට නැවත පිළිතුරු දුන්නේ "විප්ලව නොකර මං කියන දේ බණ්‌ඩාරනායක අම්මාට කියන්නයි කියාය. "බණ්‌ඩාරනායක අම්මාට කියන්න මේක කිව්වෙ යාපනේ අම්ම කෙනෙක් කියල". මම අද ඇගේ ඒ කථාව ආඩම්බර තාත්තා කෙනෙක් වන මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාට කියමි. මා මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් කරුණාවෙන් ඉල්ලා සිටින්නේ කළු, කැලණි ගංගාවල සිට උතුරට වාරිමාර්ගයක් තැනීම කඩිනම් කළ නොහැකිනම් අඩුම වශයෙන් කළු ගඟේ සිට යාපනය දක්‌වා පානීය ජල නළ මාර්ගයක් නිර්මාණය කරන ලෙසය. එසේ වූවොත් තවත් ප්‍රභාකරන්ලා බිහි නොවේ.
අනගාරික ධර්මසේකරතුමා
0 Comments