රංගිරි දඹුල්ලෙන් බැලුනයක නැගී


ඇත්තටම මේක නම් හරිම අපූරු අත්දැකීමක්‌. අහසේ ඉගිල්ලිලා යන්න අපිට බැරිවුනත්, කුරුල්ලෙක්‌ වගේ නිදහසේ පාවෙලා ගිහිං හිටපු ගමන් ඉහළ අහසේ පියාසලා, ආයිමත් පොළොවට පහත්වෙලා මේ මිහිතලයේ අසිරිය විඳින්නට අපටත් අවස්‌ථාවක්‌ තිබෙනවා නම් මොනතරම් වාසනාවක්‌ද කියල අපට හිතුන වාර අනන්තයි. ඒත් ඉතින් පියාපත් නැති අපට කුරුල්ලන් විඳින නිදහස, ඒ සැහැල්ලු බව උන්ගේ දැකීම නැති එකනෙ ගැටළුව. ඒත්, පසුගිය දිනෙක කුරුල්ලෙක්‌ වගේ නිදහසේ පාවෙලා ගිහිං හිරු නැග එන අහසේ මෙන්ම ලක්‌දෙරණ තලයේ අසිරිය "කුරුලු නෙතකින්" බලන්නට අපට කදිම අවස්‌ථාවක්‌ උදා වුණා. ඒ නිසයි මේක නම් හරිම අපුරු අත්දැකීමක්‌ කියලා පළමුව සඳහන් කළේ.

මේ අත්දැකීම තමයි (උණුසුම්) වායු බැලූනයකින් (Air Hot Baloon) අහසින් ගමන් කිරීම. චාරිකාව සංවිධානය කළේ (Air magic) කියන ලංකාවේ දැනට සිටින ප්‍රමුඛතම වායු බැලූන ක්‍රියාත්මක කරන ශ්‍රී ලාංකික සමාගම. ත්‍රාසජනක ක්‍රීඩා සහ ක්‍රියාකාරකම් සඳහා නමක්‌ දිනාගෙන සිටින අප රටේ ප්‍රමුඛතම ආයතනයක්‌ වන "වයිල්ඩ් හොලිඩේස්‌" ආයතනයටම අයත් මේ (Air magic) බැලූන කණ්‌ඩායම අපට බැලූනයකින් ඉහළ අහසේ සැරි සරන්නට අවස්‌ථාව ලබාදුන්නේ "දුම්බර මිතුරෝ" පරිසර සංවිධානයේ (Ever Green) (සදාහරිත) පරිසර සාමාජිකයින්ට ඔවුන් ප්‍රදානය කළ බැලූන චාරිකාවකට සමගාමීව. මේ අනුව එම සාමාජිකයන් හය දෙනකු, විදෙස්‌ සංචාරක පිරිසක්‌ ඇතුලු 12 දෙනකුගෙන් පමණ සමන්විත පිරිසක්‌ මේ අපූරු සංචාරයට එකතු වුණා. බැලූන් නියමු කයිතාන් රිචර්ඩ් සන්දරසාගර පැද වූ මේ විශ්මිත යාත්‍රාව සඳහා අප කණ්‌ඩායමට අවස්‌ථාව උදාකර දුන්නේ ශ්‍රී ලංකාවේ සිටින තවත් ප්‍රකට හා ප්‍රවීණතම බැලූන් නියමුවකුද වන (Air magic) බැලූන් සමාගමේ මෙහෙයුම් ප්‍රධානී සහ සාමාන්‍යාධිකාරී චින්තක ජයසිංහ මහතා බවත් මෙහිදී කෘතවේදීව සිහිපත් කළ යුතුයි.

චින්තක ජයසිංහ මහතාගේ දැනුම්දීම පරිදි අපගේ මේ සෞන්දර්යය චාරිකාවට දින යේදී තිබුණේ පසුගිය අප්‍රේල් 26 වැනිදා. ස්‌ථානය දඹුල්ල ගම්උදා ක්‍රීඩාපිටිය. තවත් එක්‌ බැලූන චාරිකාවකින් පසු දඹුල්ල ප්‍රදේශයේ බැලූන් චාරිකා සමය අවසන් කිරීමට නියමිතව තිබූ අතර, මැයි මාසය ආරම්භයත් සමග මේ පාවෙන දැවැන්තයා දඹුල්ල (හබරණ) හැරදා යැමට සූදානමින් සිටියා. ඉතින් අපට ලැබුණු මේ දුර්ලබ අවස්‌ථාව මොනවාට ප්‍රයෝජනයට ගනිමින් අපි දඹුල්ල බලා කොළඹින් ගමන් ගත්තේ මහ රාත්‍රියේදී. ඒ, බැලූන් කණ්‌ඩායමේ ප්‍රධානී මේජර් නලින් විඡේරත්න මහතා අපට දැන් වූ පරිදි පෙරවරු 5 වන විට ගම්උදා භූමියේ සිටිය යුතු වූ නිසා. මා ඇතුළු, ජයන්ත විඡේසිංහ, නිමල්, ප්‍රදීප්, නෙවිල් මීවතුර, දසනායක යන අය බැලූන් කණ්‌ඩායම සමග එකතු වුණේ අඳුර බැසයක උදෑසන.

අපි එහි යන විටත් බැලූන් කණ්‌ඩායමේ තරුණ පිරිස එකාවන්ව බැලූනයේ මූලිකාංග සකස්‌ කරමින් ඊට වායුධාරා පුරවාලමින් සිටියා. මඳ වේලාවකින් පිටියේ අතුරා තිබූ යෝධ රෙදි කවරය ගෝලයක්‌ වගේ පිම්බෙන්න පටන් ගත්තා. ඔන්න එතකොට තමයි මේ යෝධ "කුරුල්ලගෙ" තරම වගේම නියම හැඩරුව අපි දැකගත්තේ. ක්‍රමයෙන් මේ "යෝධයා" සෘජුව නැඟී සිටිද්දී නියමු රිචර්ඩ් සන්දරසාගර ඒ තුළට විශේෂ වායු වර්ගයක්‌ (හීලියම්) පුරවන්න පටන් ගත්තා. මගීන් ගමන්ගන්නා විශේෂිත සැහැල්ලු කූඩයේ මැද සවිකර ඇති දහන 4 ක්‌ මගින් වරින් වර මුදාහරින මේ වායුධාරා මගින් දැන් යෝධ බැලූනය මිහිදුම් සේලය අතරින් ආකාශයේ නැඟී සිටියේ යෝධ බිම්මලක්‌ වගේ. බැලූන් පැදවී මේ ප්‍රවීණයකු වු කපිතාන් ගේ සීරුමාරු වායු පිරවීම අනුව ඉහළ නඟින්නට ඔන්න මෙන්න තිබූ බැලූනයට අපි වහ වහා නැඟ ගත්තේ හැකි තරමින් කැමරා ආම්පන්න අටවාගෙන.

මොහොතකින් ගම්උදා පිටියෙන් ඉපිලී ඉහළ නැඟි බැලූනය ඒ අවට ඇති වර්ණවත් සපුෂ්පිත වන වියනේ ගෑවී නොගෑවී ඉහළට ඇදුණේ බැලූනයේ සිටි සැවොම අමන්දානන්දයට පත් කරමිනි. අඩි සියයක්‌ - දෙසීයක්‌ ඉහළ නඟිත්ම අපට දකුණු පසින් ඈතින් දිස්‌වුණේ දඹුල්ල විහාරස්‌ථානයේ රන් බුදුපිළිම වහන්සේ. ඊට පසුපසින් දඹුලු ලෙන් වෙහෙරත්, හාත්පස කෙත්වතු යායත්, වක්‌ වී ගලායන මිරිස්‌ ගෝනියා ඔයත් වනරෝද හා කඳුවැටිත් පරිසරයට අපූරු චමත්කාරයක්‌ එක්‌කළාක්‌ මෙන්ම අපට ද නැවුම් ආශ්වාදයක්‌ ගෙන දුන්නා. දඹුල්ල නගරයට උතුරු දිශානුගතව ද විටෙක වයඹ දෙසට ද පාවී ගිය බැලූනය නියමුවා විසින් සංචාරකයන්ට විශ්මිත අත්දැකීම් ගෙන දෙමින් කෙත්වතුවල නියර ගෑවෙන නොගෑවෙන තරමට විටෙක පහළට ගෙනආවා. අප රටේ කෘෂිකාර්මික බව අත්විඳින්න විදෙස්‌ සංචාරකයන්ට මේ නිසා කදිම අවස්‌ථාවක්‌ උදා වූ අතර, රිචර්ඩ් එහි අපූර්වත්වය ද ඔවුන්ට කියා දුන්නා.

දඹුල්ල - අනුරාධපුරය ඒ - 9 මාර්ගයට සමාන්තරව ඉන්පසු ගමන්ගත් යෝධ බැලූන් කුරුල්ලා ඒ - 9 පාර දිගේ මෙන්ම ඉන් හරස්‌ අතට ඉගිල්ලී ගොස්‌ නැවතත් කෙත්වතු යායකට පහත් වුණේ ගොදුරක්‌ ඩැහැගැනීමට පහත් වුණු උකුසු රාජයෙක්‌ වගේ. ඒ - 9 මාර්ගය අවටින් ගමන් ගනිද්දී නිවාසවල දරු පැටව් මෙන්ම වැඩිහිටි පිරිස්‌ ද මේ අපූරු යානයේ හැඩ වැඩ බලන්නට නිවෙස්‌වලින් පිටතට පැමිණ අත වන වනා ලැබූ ආශ්වාදජනක දර්ශනත්, ඒ -9 මාර්ගයේදී රථවාහන මහමග නවතා මේ දුලබ යානය දෙස බලා සිටි දර්ශන අප දැකගත්තේ හරිම වින්දනාත්මකවයි. ඒ අතරින් බැලූනය හඹා එන පරිවාරක බැලූන් කණ්‌ඩායම් සාමාජිකයන් මෙය කොතැනකට පාත් වේ දැයි වික්‍ෂිප්තව සිටිනු ද පෙනුනා. ඒ අතර තිමිර පටලය අතරින් ඈතින් දිස්‌වන සීගිරි බලකොටුවත්, ඒ ආසන්නයේ ඇති පිදුරංගල වැනි සුන්දර දසුන් ද දකින කල සියලු දෙනා අමන්දානන්දයට පත්වූ බවයි දකින්නට ලැබුණේ.

දඹුල්ල නගරයේ සිට උතුරු දිශානුගතව කිලෝ මීටර් 6-7 ක්‌ පමණ ගමන්ගත් බැලූනය විටෙක අඩි 900 ක්‌ දක්‌වා ඉහළ ගිය බවත් සිහිපත් කළ යුතුයි. සුවිසල් කෙත්යායක්‌ මැදින් මෙන්ම වනරොද, තුරු වදුලු මතින් ගිය ගමනේදී හාවන්, මොණරුන් වැනි වන සතුන්ගේ ආශ්චර්යයද විඳගත් අපි, රත්ව ඉහළට විඳින වායු ධාරා අතරේ යම් චකිතයක්‌ ඇති නොකරගත්තා ද නොවේ. එහෙත්, පලපුරුදු නියමුවා අපූරුවට බැලූනය පාලනය කරමින් සංයමයකින් යුතුව බැලූනය පදවාගෙන යන අතරම සංචාරක නඩයේ චකිතය නැති කරන්නට සිනහ මුසු වදනින් විටෙක හාස්‍යජනක කතාවක්‌ කියන්නටද අමතක කළේ නැහැ.

ගුවන්ගත වී පැයක පමණ කාලයකදී අපගේ බැලූන් සවාරිය නිමාකරන්නට කාලය පැමිණ තිබූ අතර, මාර්ග පහසුකම් සහිත වෙල්යායක්‌ අද්දරට බැලූනය නිරුපද්‍රිතව ගොඩබෑමට නියමුවා සමත් වුණා. ඒ වන විටත් එහි පැමිණි සෙසු කාර්ය මණ්‌ඩලය සංචාරක පිරිස ආරක්‍ෂිතව ගොඩබස්‌වන ලද අතර, කණ්‌ඩායම් හැඟීම් මොනවාට පසක්‌ කරමින් පිරිස විශේෂිත වාහන ටේ්‍රලරය මතටම බැලූනයේ මගී රඳවනය පතිත කරවනු ලැබුවා. ඒ අනුව සංචාරය නිමා වූයේ ලොකු කුඩා ගම්වාසීන්ගේ ප්‍රබෝධය හා ප්‍රීතිමත් හඬ අතරින්.

සැබැවින්ම මෙය නම් හරිම අපූරු අත්දැකීමක්‌ වුණා. වෙනත් ගුවන් යානයක ගමන්කරන විට නැගෙන ගොරහැඬි එන්ජින් නාදය වෙනුවට මෙහි ඉඳහිට ඇසෙන්නේ වායුධාරා විදින හඬ පමණකී. ඉතිරි ගමනම නිස්‌කලංකය. පහළට එනවිට ඉබේම පාවී එයි. එබැවින් පරිසරයේ සුන්දරත්වය, අපූර්වත්වය විඳින්නට මෙය නම් කියාපු යානයකි.

චින්තක ජයසිංහ මහතා කියන පරිදි ඔවුන්ගේ බැලූන් 5 ක්‌ දැන් අප රටේ ක්‍රියාත්මකය. මීට පෙර විදෙස්‌ සමාගම් විසින් වරින්වර ශ්‍රී ලංකාවට පැමිණ බැලූන් සේවා ක්‍රියාත්මක කළ ද, දැන් සම්පූර්ණයෙන්ම ශ්‍රී ලාංකිකයන් එහි කටයුතුවල නිරතව සිටී. දකුණු පළාතේ මෙන්ම රජරට ද දැන් බැලූන් සේවා ක්‍රියාත්මකය. සංචාරක කර්මාන්තය තුළින් ආර්ථික ගමනක්‌ යැමට සැරසෙන ශ්‍රී ලංකාවට මෙවන් පරිසර හිතකාමී නව අත්දැකීම් එකතුවීම යහපතකි. එවන් විටෙක එහි අත්දැකීම ලද්දන් ලෙස අපිදු මෙම කර්මාන්තයට අපගේ සුබාශිංසන පුද කරන්නේ සතුටකිනි.

චාරිකා සටහන සහ පින්තූර 
ජගත් කණහැරආරච්චි

Post a Comment

0 Comments