1963 මැයි පළමු වන දින (මැයි දිනයක) මෙරට ග්‍රාම සේවක සේවය බිහි වූයේ දිගු කලක සිට පැවැති මහජන අපේක්ෂාවක් මල්පල ගන්වමිනි. ඊට පෙර සිටි ගම්මුලාදෑනිවරු "ගම්පති" කමක්ද ආරූඪ කර ගනිමින් ගම්වල සාමාන්‍ය ජනතාවගේ ප්රගතිගාමී පිබිදීම් වළක්වමින් අධිරාජ්‍ය ගැති නිලධරවාදී පාලක පිරිසක් ලෙසින් ගම් පීඩනයට ලක් කළ බැවින් මෙම අශෝභන තත්ත්වය යථා යෝග්‍ය පරිදි වෙනස් කිරීමේ අභිලාෂයක් සාමාන්‍ය ජනතාව තුළත් ප්රගතිශීලී පාලකයන් තුළත් ඇති වූහ.
එදා ගම්මුලාදෑනීන් පත් කිරීම සිදු කෙරුණේ ගම් භේද බින්න කෙරෙන අයුරිනි. එවකට ආණ්ඩුවේ ඒජන්තවරයා විසින් වසමක් සඳහා ගම්මුලාදෑනියකු පත්කිරීමේදී සියලු අපේක්ෂකයින් හා උනන්දුවක් දක්වන ගම්වාසීන් එක් මධ්‍යස්ථානයකට කැඳවා අදාළ අපේක්ෂකයන්ට පක්ෂව හා විපක්ෂව කරුණු දැක්වීමට ගම්වැසියන්ට අවස්ථාව සලසා දුන්නේය. මේ නිසා මුලදීම ගමේ බෙදීමක් ඇති විය.
මෙසේ තමන් පදිංචි ගම්වලටම ස්ථාන මාරු රහිත රාජකාරියකට පත්වන ගම්මුලාදෑනියාට අනිවාර්යයෙන්ම සිය වසමෙහි හතුරු මිතුරු දෙපක්ෂයක් මෙන්ම ඥාති පිරිසක්ද වූහ. ගම්මුලාදෑනිවරු බොහෝ සෙයින්ම රාජකාරි කළේ පොලිස් නිලධාරීන් සමග අෙන්‍යාaන්‍ය සහයෝගයෙනි. මෙම සහසම්බන්ධයෙන්ද ගමට සිදු වූයේ අවැඩක්මය. නව ආකල්ප සමග ප්‍රජා සමාජවාදී අදහස් දැරූ ගම්වල තරුණ පිරිසගේ එම අදහස් උදහස් රාජ්‍ය විරෝධී ඒවා ලෙස ගම්මුලාදෑනීන් විසින් ඉහළට වාර්තා කරන ලදී. ගම්වල තරුණයන්ගේ සහජ දක්ෂතාද යටපත් කිරීමට ක්‍රියා කෙරුණි.
මෙම යටත් විජිතවාදී, වැඩවසම්වාදී රාජ ඌෂ්ණයෙන් හිස උදුම්මාගත් එක්තරා දේශපාලන පක්ෂයකට ගැතිකම් දැක්වූ දරදඬු ග්‍රාම පාලක පිරිස වෙනුවට ජනහිතකාමී, සමාජශීලී තරුණ නිලධාරී පිරිසක් ඇති කිරීම කෙරෙහි 1956 ප්රගතිශීලී රාජ්‍ය පෙරළියෙන් පසු පාලකවරුන්ගේ අවධානය යොමු විය.
ඒ අනුව 1960 පත් වූ ප්රගතිශීලී රජය මේ සඳහා පියවර ගනිමින් ගම්වල සමාජ සේවා කටයුතුවල යෙදුණ දෙටුපෙළ සමත් තරුණයින් පිරිසක් ස්ථාන මාරු ද සහිත රාජ්‍ය සේවයක් සඳහා "ග්‍රාම සේවක" නමින් තනතුරක් ඇති කොට ඔවුන් පත් කිරීමේදී විවිධ ඇඟිලි ගැසීම්වලින් තොරව තෝරාගැනීම සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත පැවරීය. ඒ අනුව ලිත විභාගයකින් හා සම්මුඛ පරීක්ෂණයකින් දීප ව්‍යාප්තව තෝරා ගත් තුන්දහසක් පමණ වූ නිලධාරි පිරිසට 1963 මුල සිට ප්‍රාදේශීය ආදායම් නිලධාරී කොට්ඨාස මට්ටමින් හා දිසාපති දිස්ත්‍රික්ක මට්ටමින් තෙමසක විස්තීර්ණ පුහුණුවක් ලබා දෙන ලදී.
විශේෂයෙන් ගාලු දිස්ත්‍රික්කයේ මෙම පුහුණුව දිස්ත්‍රික්කයේම සියලු ග්‍රාම සේවකවරුන් ගාල්ලට නුදුරු එකම මධ්‍යස්ථානයකදී, කණ්ඩායම් කිහිපයකට බෙදා දිස්ත්‍රික් මට්ටමේ මෙන්ම ජාතික මට්ටමේ උසස් පරිපාලන නිලධාරීන් මගින් ලබා දුන් අතර, කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේදී සතියක නේවාසික පුහුණුවක් ලබා දීමට එවකට දිසාපතිව සිටි ඒ. එස්. නවරත්නරාජා මහත්මා සමත් වූයේ කලුතර දිස්ත්‍රික්කයේ ග්‍රාම සේවකවරුන්ට පවා නොලැබුණ විරල අවස්ථාවක් ගාලු දිස්ත්‍රික්කයේ ග්‍රාම සේවකවරුන්ට ලබාදෙමිනි. තවද සතියක නේවාසික ශ්‍රමදාන පුහුණුවක්ද හිනිදුම මහපාරක් කැපීමට දායකවීම වෙනුවෙන් ක්‍රියාත්මක විය.
මෙසේ තුන්මසක පුහුණුවෙන් පසු රට පුරා ග්‍රාම සේවකවරු 2500 ක් ජාත්‍යන්තර වැඩකරන ජනතා සැමරුම් දිනයක් වූ 1963 මැයි 01 දින මහජන ආශිර්වාදය මැද නියමිත වසම්වල චාරිත්‍රානුකූලව වැඩ භාරගත්හ.
කලින් ලබා සිටි සමාජ සේවා අත්දැකීම් මෙන්ම තෙමස් පුහුණුවෙන්ද සන්නද්ධ වු නව ග්‍රාම සේවකවරු සමාජ සේවයට මුල් තැනක් දෙමින් මහජන විශ්වාසය දිනාගනිමින් ගම්වල සැබෑ වෙනසක් ඇති කිරීමට අපක්ෂපාතීව රාජකාරි ඉටු කළ අතර සේවයේ අභිවෘද්ධිය සඳහා කටයුතු මෙහෙයවීමට නව සේවය සඳහා ප්‍රබල වෘත්තීය සංගමයක් බිහි කර ගැනීම සඳහා උත්සුක වූහ.
එක් මධ්‍යස්ථානයක පුහුණුව ලැබීමෙන් ඇති වූ සුහද සම්බන්ධතා මත මේ සඳහා ගාලු දිස්ත්‍රික්කයේ ග්‍රාම සේවකවරු පෙරමුණ ගත්හ.
මූලික සාකච්ඡා පවත්වා ප්‍රාදේශීය හා දිසා මට්ටමින් සංවිධාන ඇතිකර දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක නියෝජනය වන පරිදි සිංහල දෙමළ මුස්ලිම් නියෝජිතවරුන් 1967 අප්‍රේල් 26 වැනි දින කොළඹ 02 රජයේ ලිපිකරු සේවා සංගම් ශාලාවට කැඳවා ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම සේවක සංගමය පිහිටුවාගන්නා ලදී.
ග්‍රාම නිලධාරී තනතුර යනු තවත් රැකියාවක් නොවේ. එය ජාතික වගකීමකි. ගම්වාසීන්ට ආලෝකයක් වෙමින් මග පෙන්වන නායකත්වයකි. aඑබැවින් දැනට හෑල්ලු වී ඇති මෙම සේවය නව වටිනාකම් ලබා දෙමින් ශුභවාදීව ඉහළට නැංවීමට දැනට සේවයේ නියෑළි නිලධාරී පිරිස උනන්දු විය යුතු අතර එය පාලකයින් විසින් සිදු කරන තුරු බලා සිටිය යුතු නොවේ. තමන් කවර පදනමක් මත සේවයට පත් වූවද මුල්තැන දිය යුත්තේ මුළු මහත් රට හා ජාතිය වෙනුවෙන් මහජන මතයටය.
ග්‍රාම නිලධාරී යන නිල නාමයට දෙමළ පරිවර්තනයක් ඇත. එය රාම උත්තියෝගත්තර් වේ. එහෙත් නිල ඉංග්‍රීසි පරිවර්තනයක් නැත. විදේශකයින් ගැවසෙන ප්‍රදේශවල ග්‍රාම නිලධාරීන්ට මේ නිසා අපහසු තත්ත්වයකට මුහුණ පෑමට සිදුව ඇත. තවද ග්‍රාම නිලධාරී සහතික විදේශ රැකියා සඳහා යන විටත් පිටරට යාම සඳහා වීසා බලපත් ලබා ගැනීමේදීත් ඉංග්‍රීසියට පරිවර්තනය කිරීමේදී බලයලත් භාෂා පරිවර්තකයින්ට ගැටලුවක් මතුවේ. මේ ගැන අදාළ බලධාරීන්ගේ අවධානය යොමු වේවා.
සේවයට වසර 50 ක් පිරෙන ස්වර්ණ ජයන්තිය පැවැත්වෙන වර්තමානයේ බලයේ සිටිනුයේ ග්‍රාම සේවය ඇති කළ පාලකවරුන්ය. එහෙයින් මෙම සේවය රැක ගැනීමට අවශ්‍ය පියවර ගැනීම අතීත අඩුපාඩුකම් මගහරවාලමින් ක්‍රියා කොට සේවයට නිසි පිළිගැනීම ලබාදීම වත්මන් පාලකවරුන්ගේ බලවත් යුතුකමකි.
ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම සේවක සංගමය- ආරම්භක සභාපති
ප්‍රසන්න අභයවර්ධන
0 Comments