කාලයේ තාලයට පච්චා කලාව


මීට වසර 25 කට පමණ පෙර තිබුණේ පච්චා යුගය ය අද ටැටූ යුගයය. මේ ඒ යුග දෙකේ කතාවයි. පච්චා පාර්ශ්වයෙන් කතාවට එක්‌වන්නේ කෙසෙල්වත්තේ වීදි කොනක සිට පච්චා කෙටීම වෘත්තීය කරගත්, වසර හතළිහක පමණ සිට දස දහසකගේ පමණ ඇඟේ පච්චා කොටා ඇති කේ. එම්. සිරිසේනය.

තාක්‍ෂණයෙන් හා ස්‌වරූපයෙන් ටැටූ කලාව, පච්ච කලාව අතහැර දුර ගමනක්‌ ගොස්‌ තිබේ. නමුත් සිරිසේන එදා සේම තවමත් ගුණසිංහපුර වීදි කොනක පච්ච කොටා, එදා වේල සරි කරගත් සිරිසේනමය. ඔහු කවදත් අනුගමනය කරන්නේ ඔහුගේ දෑතට හුරු, ඔහුගේ ඇඟට දැනෙන ඔහුගේ රටාවමය. සමාජය වෙනස්‌වී ඇති බව ඔහු නොදන්නවා නොවේ. එය කතාබහේදී අපට වැටහිණි. නමුත් තවමත් මේ වෙනස ඔහුට අභියෝගයක්‌ වී නොමැත. මන්ද තවමත් ඔහුගේ රටාවට, ඔහුගේ කලාවට ඇළුම් කරන පාරිභෝගිකයන් පිරිසක්‌ දෛනිකව ඔහු සොයා එන බැවිනි. 

මම දැන් මේ රස්‌සාව කරන්න අරගෙන අවුරුදු හතළිහකට වැඩියි. කොල්ල කාලෙදිම මට හිතුණ මේක රස්‌සාව කරගන්න ඕන කියලා. ඉතිං මම ඒක තෝරා ගත්තා. මම පුංචි එකා කාලේ ඉඳලම මේ රස්‌සාව කරන අයව දැක්‌කා. ඒ කාලේ මේ කොළඹ හිටියා ජෙරමිස්‌ කියලා ලංකාවේ පච්චවලට බොහොම ප්‍රසිද්ධ කෙනෙක්‌. මට මතකයි ගොඩක්‌ වෙලාවට සුද්දො එනව මිනිහගෙන් පච්ච ගහගන්න. කාලයක්‌ තිස්‌සේ බලා ඉඳලම මට මේ පච්ච කලාව හොඳට තේරුම් ගියා. මම දැනගත්තා මේ රස්‌සාව කරන්න පුළුවන් කියලා. මම තනිවම තමයි ටිකෙන් ටික මේ රැකියාව පුරුදු වුණේ. මුලදී මට මැෂිමක්‌ තිබුණේ නැහැ. කටු දෙක තුනක්‌ එකට ගැටගහලා තමයි මුලින්ම කොටන්න පටන් ගත්තේ. පස්‌සේ කාලෙක මම ම මැෂිමක්‌ හදාගත්තා.

කාලයක්‌ පච්ච කොටා ගැනීමට එන පිරිසෙහි අඩුවීමක්‌ තිබුණත් මෑතක සිට නැවතත් පාරිභෝගිකයන්ගේ වැඩිවීමක්‌ ඇතිවී ඇති බව අප ඇසූ පැනයකට පිළිතුරු දෙමින් සිරිසේන පැවසුවේය.

දැන් ආයෙත් මිනිස්‌සු පච්ච ගහන්න පටන් අරන්. පච්ච කොටන අයත් වැඩියි. කොටා ගන්න එන අයත් වැඩියි.

ඒ කාලෙයි අදයි අතර ලොකු වෙනසක්‌ තියෙනවාද?

එදා වගේ නෙමෙයි අද වෙනකොට ගොඩක්‌ වෙනස්‌කම් වෙලා තියෙනවා. අද ලක්‍ෂ ගණන් වටිනා මැෂින් ලංකාවේ ලොකු ලොකු තැන්වල තියෙනවා. රුපියල් දහස්‌ ගණන් වලින් තමයි ඒවායේ පච්ච කොටනවා කියන්නේ. ලෝකේ හැම රටකම අද මේක හොඳ රස්‌සාවක්‌ වෙලා. තරුණ ළමයි "අංකල් මෙහෙ එන්න" කියලා එයාලගේ ෆෝන්වලින් මට ඒ වගේ පිංතූර පෙන්වල තියෙනවා. එදා තත්ත්වයෙයි අද තත්ත්වයෙයි අතර ලොකු වෙනසක්‌ තිබුණත් ඒක තේරුම් කරල කියන්න තරම් මට දැනුම මදි. මට දැනෙන එකම දේ තමයි මම පච්ච කොටලම වයසට ගියා. ගොඩක්‌ දේවල් වෙනස්‌ වුණා. ඒත් මගේ හැකියාවවත් රැකියාවවත් වයසට ගියේ නැහැ. මම අදත් එදා වගේම පච්ච කොටනවා.

ඒ කාලේ පච්ච කොටන්න වැඩිපුරම ආවේ මොනවගේ අයද?

එක එක විදිහේ අය සිටියා. ඔය අතරේ සරං කාරයෝ, කලිසං කාරයෝ, ලොකු ලොකු රස්‌සාවල් කරන මහත්තුරු බජාර් එකේ කොල්ලෝ, චණ්‌ඩිකමට බර අය. ඒ රා කඩවලින් රා බීල මත්වෙච්ච අය, සුද්දො මේ කොයි ජාතියේ අයත් ආව ගියා. හැබැයි ගොඩක්‌ම එන්නේ අවුරුදු හතළිහට අඩු අය. ඊට වැඩි අය පච්ච ගහන්නේ කලාතුරකින්. 

ඇයි මේ අය පච්ච කොටාගන්නේ?

ගොඩක්‌ම ලස්‌සනට තමයි. සමහරු එනවා වාත අමාරුවලට හොඳ නිසා. මේ කොහොම කෙටුවත් ඒ ගොල්ලන්ගෙ කල්ක්‍රියාව අනුව තමයි මිනිස්‌සු ඒ අය දිහා බැලුවේ. පච්චයක්‌ කොටා ගත්ත එකෙක්‌ කාට හරි ගැහුවොත් ඌ චන්ඩියා. හැබැයි තමන්ගේ බලය පෙන්නන්න, අනිත් අයට වඩා තමන් උසස්‌ කියල පෙන්නන්න, හයිය හක්‌තිය තියෙනව කියල පේන්න පච්ච කොටපු අයත් ඉන්නවා. කොහොමත් ඉතිං පොඩි මිනිහෙක්‌ පච්චයක්‌ කෙටුවොත් ඒ මිනිහා චණ්‌ඩියා, රස්‌තියාදුකාරයා කියල තමයි ගොඩක්‌ අය බලන්නේ. අපි තාමත් පච්ච කොටන්නේ රුපියල් දාහට අඩුවෙන්. අපි ළඟට එන අය ළඟ සල්ලි භාගේ අඩුයිනේ.

මේ රස්‌සාව පටන් ගන්න කාලේ කීයක්‌ විතර ගත්තද පච්චයක්‌ කොටන්න?

ඒ කාලේ ගත්තෙ ලොකුම ගාන තමයි ශත පනහ.

මේව ගහන්න ගිහිල්ල වැරදිලා නැද්ද?

වැරදුණු තැන් තියෙනවා. හැබැයි එතකොට පොඩි වැඩ කෑල්ලක්‌ දාලා හදාගන්න ක්‍රමය අපි දන්නවා. ඒ වැඩේ හැමෝටම බැහැ. මේ කලාව ඇඟේ තියෙන අයට විතරයි පුළුවන්. ගොඩක්‌ අය කොටන්න කලින් අඳිනවා. අද නම් ස්‌ටිකර් තියෙනවා. ඒව උඩ තමයි කොටන්නේ. නමුත් මට දැන් කිව්වොත් ඩ්‍රැගන් කෙනෙක්‌ කොටන්න කියලා. මට පුළුවන් අදින්නේ නැතිව කොටන්න. ඒ හැකියාව මට තියෙනවා.

පච්ච මකන්න බැරිද?

පුළුවන්.. සමහර අය අපි ළඟට එනවා පච්ච මකා ගන්න. සමහර අය අපෙන්ම පච්ච ගහගත්ත අය. ඒවට අවශ්‍ය බෙහෙත් වර්ග අපි ළඟ තියෙනවා.

ඇයි මේ පච්ච මකා ගන්න එන්නේ?

සමහර අයට මේකේ සතුට තියෙන්නේ ටික දවසයි. හොඳ රස්‌සාවක්‌ ලැබුණම හරි, වෙන වෙන හේතු නිසාත් මේව මකාගන්න ඕනෙ වෙනවා. කසාද බඳින අයගේ නම් ගම් මාරු වෙනකොට, පොලිසියෙන් බේරෙන්න වගේ නොයෙක්‌ අවශ්‍යතා නිසා පච්ච එපා වෙන අය ඉන්නවා.

වැඩිපුරම ගහන්නේ මොනවගේ පච්චද?

ආගම්වලට සම්බන්ධ දේවල්, හාර්ට්‌, මකරු, ගෑනුන්ගේ මිනිස්‌සුන්ගේ නම්, මේ කොයිදේත් ගහනවා. අම්මා බුදුවේවා කියල ගහගන්න, ඊයේ කොල්ලෙක්‌ ආවා. මම කිව්වා එහෙම කිව්වට කවදාවත් අම්මා බුදු වෙන්නේ නැහැ" අම්මා කොතැනද මමත් එතැන" කියල කොටමු කියලා. මොකද එහෙම වුණහම අම්ම මලත් අපි එයත් එක්‌ක. මොකද අම්ම තාත්තට සලකන එවුන් අද අඩුයි. 

පච්චා කෙටීම රස්‌සාවට කරන කාන්තාවොත් ඉන්නවා නේද?

අපෝ ඔව්. දැන් රස්‌සාවට පච්ච කොටන ගෑනුන් වැඩියි. ලොකු ලොකු තැන්වලත් කොටනවා. මේ ගුණසිංහපුරත් කොටනවා. මේ අය වැඩේ ටිකක්‌ සවුත්තු කරල තියෙන්නේ.

ඇයි ඒ?

මේ ගොල්ල අවශ්‍ය තැනත් කොටනවා අනවශ්‍ය තැනත් කොටනවා. ඒ වගේම අනවශ්‍ය දේවලුත් කොටනවා. ගොඩක්‌ දේවල් කියන්න බැහැ. මේ ළඟදී තරුණ දෙමළ ගෑනු ළමයි දෙන්නෙක්‌ ඇවිත් ඒ අයගේ පපුවේ හාර්ට්‌ එකකුයි ඉංගී්‍රසි වාක්‍යයකුයි කියලා, කොටන්න කිව්වා. මම කෙටුවේ නැහැ. ඇඳල දුන්නා. වෙන කෙනෙක්‌ කෙටුවා. පස්‌සේ මම ඇහුවා රිදුනේ නැද්ද කියලා. මේව මොනවද අංකල් අපිට මීට වඩා රිදිල තියෙනවා කිව්වා. මම ඇහුවා ඇයි කියලා. බැලින්නම් ඒ අය එල්. ටී. ටී. ඊ. එකේ ඉඳල අහුවෙලා නිදහස්‌ වුණු ළමයි.

මම කවදාවත් ළාබාල ළමයි ආවොත් පච්ච ගහන්නේ නැහැ. ඒ අයට මම කියන්නේ දැන්ම මේව ගහන්න හදිස්‌සි වෙන්න එපා. ඒගොල්ලන්ට හොඳ රස්‌සාවක්‌ ලැබුණොත් පච්චා මකා ගන්න වෙනවා. අනිත් එක ඔය සමහර පිරිමි ළමයි, තමන්ගේ ගෑනු ළමයාගේ නම කොටා ගන්නවා. මෙන්න, ටික දවසකින් ඇවිල්ලා ඒක මකා ගන්න අහනවා. ඒවගේ වැඩ මට හුඟාක්‌ වෙලා තියෙනවා.

ඔහුගේ කටුව හා අත තවමත් කලාත්මකත්වයට බරය. වෘත්තිමය වශයෙන් ඔහුට එදා මෙන් නොවුණත් අදත් වැඩ තිබේ. නමුත් මොස්‌තරය වෙනස්‌ වී තිබේ.

පච්චා සිට ටැටූ දක්‌වා මෝස්‌තරය වෙනස්‌ වීම ගැන ටැටූ පාර්ශ්වයෙන් අපි දායක කරගත්තේ. මිස්‌ට පියර්ස්‌ ආයතනයයි. 

ශ්‍රී ලංකාව ටැටූ ක්‍රමය හඳුන්වා දුන් රොෂෙල් ඒකනායක මිස්‌ට පියර්ස්‌ ආයතනයේ හිමිකාරිත්වය දරයි. "මම මේ කලාව ඉගෙන ගත්තේ එංගලන්තයෙන්. 2002 තමයි මම ලංකාවට මේ ක්‍රමය හඳුන්වා දුන්නේ. ඊට ඉස්‌සෙල්ලා ඔය වේල් පොලවල්, කාර්නිවල්, මුහුද අයිනේ තමයි, ටැටූ කළේ, හැබැයි ඒවාට කිව්වේ පච්ච කියලා. ඒක ඉස්‌සර ඉඳන්ම තිබුණු දෙයක්‌. මයික්‌ පැටන් කියන බ්‍රිතාන්‍ය ජාතිකයායි, මමයි තමයි මේක හඳුන්වා දුන්නේ.

ටැටූ හා පච්ච ක්‍රමය අතර තිබෙන ප්‍රධාන වෙනස ගැන කතා කළොත්...

ටැටූ වර්ග තුනක්‌ ප්‍රධාන වශයෙන් තිබෙනවා. පර්මනන්ට්‌ ටැටූස්‌, ඒ කියන්නේ ස්‌ථිරවම පවතින ඒවා. තාවකාලිකව අවුරුදු තුනක්‌ හතරක්‌ 

විතර තියෙන ඒවා. එහෙම නැති නම් උත්සවයක්‌ වගේ අවස්‌ථාවකට දින කිහිපයකට අඳින ටැටූත් තියෙනවා. 

වන්ෂොට්‌ චිත්‍රපටයේ රන්ජන් රාමනායකට අපි භාවිතා කළේ ඒ වගේ දිනයකින් පමණ මැකෙන ටැටූය. මේකේ ප්‍රධාන වශයෙන් ඩිසයින්ස්‌ වෙනස්‌. එදා තිබ්බේ ඩිසයින්ස්‌ කිහිපයක්‌ පමණයි. ඒ වගේම ඒ ඔක්‌කොම ස්‌ථිර ඒවා. ඒ කාලේ ගොඩක්‌ වචන තමයි පච්චවලට කෙටුවේ. අදත් ටැටූවල වචන කොටනවා. මේ ළඟදී කැනඩා ජාතිකයෙක්‌ ඇවිල්ලා, සම්මා දිට්‌ඨි කියලා ටැටූ එකක්‌ ලියා ගත්තා. දැන් ගත්තොත් ගොඩක්‌ ඩිසයින්ස්‌ තියෙනවා. ඒ ඒ කාලෙට එන චිත්‍රපට වගේ දේවල්, රූප වගේ දේවල් ඉක්‌මනට ජනප්‍රිය වෙනවා.

ටැටූ සඳහා වැඩි වශයෙන් යොමු වන්නේ කොයි වගේ පිරිසක්‌ ද?

විදේශිකයෝ විශාල වශයෙන් අපෙන් ටැටූ කරගන්නවා. ඒ රටවල ටැටූ ගසන්න ලොකු මිලක්‌ දරන්න වෙනවා. ඒ නිසා ඒ අය මෙහෙදී ඒවා කරගන්නවා. අපේ රටේ නම් තරුණ පරපුර මේ ටැටූ ගැන විශාල උනන්දුවක්‌ තිබෙනවා. ඒ අය ලිංගික ආකර්ෂණය වැඩි කර ගන්නත් එක්‌කයි මේක කරන්නේ. තරුණයන් බොහෝ දෙනෙක්‌ අපි ගාවට එනවා හැබැයි අපි ප්‍රතිපත්තියක්‌ වශයෙන් වයස දහඅටට අඩු අයට ටැටූ ගහන්නේ, දෙමවුපියන් සමග පැමිණියොත් විතරයි. අනිත් එක අපි බුද්ධ රූප ගහන්නෙත් නැහැ.

අපේ කතාබහට රොෂෙල් ඒකනායකගේ ස්‌වාමිපුරුෂයා වන නිරෝෂන් ඒකනායක ද සම්බන්ධ විය. ඔහු ද මිස්‌ට පියර්ස්‌ ආයතනයේම කළමනාකාරිත්වය හොබවයි.

වැඩි වශයෙන්ම වැටූ භාවිත කරන්නේ ආකර්ෂණය හා ලස්‌සන සඳහා ඒ හැරුණු කොට ටැටූ ගහන අයත් ඉන්නවාද?

ඔව්. මේ ළඟදී අම්ම කෙනකුයි, දුවකුයි ආවා. ඒ අයට පියා බීගෙන ඇවිල්ලා හිරිහැර කරනවාලු. ඒ පියා මීයන්ට ගෙම්බන්ට එහෙම බයයි. බීලා දුවට පහර දෙන නිසා දුව ඇඟේ මීයෝ, ගෙම්බෝ ටැටූ ගහගත්තා. දැන් ඒ අයට පියාගෙන් කරදර නැහැල්ලු. ආදරවන්තයෝ ඇවිල්ලා එකම ටැටූ එක බාගෙ බාගෙ ගහනවා. සමහරු ඇවිල්ලා තම ප්‍රේමවන්තයාගේ, ප්‍රේමවන්තියගේ නම ගහගන්නවා. හැබැයි අපි අත්දැකීමෙන් දන්නවා එහෙම ගහපු අය ටික දවසකින් ඒ නම මකා ගන්න එනවා. ඒක හරියට ඔය පෙම්වතුන් ලේන්සු දීගත්තොත් ප්‍රේමය කැඩෙනවා කියනවා වගේ වැඩක්‌. ප්‍රේමවන්තයාගේ හෝ ප්‍රේමවන්තියගේ නම ටැටූ කර ගන්න ආවොත් අපි කියන්නේ, ඒක කර ගන්න එපා කියලමයි. ඒත් ඒ අය අහන්නේම නැහැ. හැබැයි අපි දන්නවා, ඒ අය දවස්‌ කිහිපයකින  ඒක මකා ගන්න එනවා කියලා. මේ ළඟදී ලංකාවේ ප්‍රසිද්ධ නිරූපිකාවක්‌. මුද්දක්‌ වගේ ඇඟිල්ල වටේ එයාගේ ප්‍රේමවන්තයාගේ නම ටැටූ කර ගත්තා. මම එපා කිව්වා. ටික දවසකින් ඒ නම මැකෙන්න වෙන ඩිසයින් එකක්‌ කරගෙන ගියා.

තව දවසක්‌ සීයයි, තාත්තයි, පුතයි තුන්දෙනාම එකට ඇවිල්ලා ටැටූ කරගෙන ගියා. සීයයි, තාත්තයි දෙන්නගේම ඇඟේ පච්ච තිබුණා. ඒ අය ඒවාට අලුත් ඩිසයින් එකතු කරගත්තා. මුණුබුරාට අලුත් ටැටූ එකක්‌ කර ගත්තා. 

ලසිත් මාලිංග ටැටූ කරගන්නේත් අපෙන්. ඔහු හොඳ වාර්තාගත දෙයක්‌ පිට්‌ටනියේදී කළොත් ඒක අතේ ටැටූ කර ගන්නවා. ඒ වගේම තමයි සිසේරියන් සැත්කමෙන් දරුවෝ හම්බු වුණ අය, ඒ කැළල වැහෙන්න ටැටූ කරගන්නවා. ඒ කැළල වටා ලස්‌නනට, කැළලක්‌ නෙවෙයි කියලා පෙනෙන්න ටැටූ කරනවා. අනතුරු වෙච්ච කැළල් තියෙන අයත් එහෙමයි.

ගැහැනු ළමයි ටැටූ ගැහැව්වාම සමාජයේ වෙනත් ආකාරයක ප්‍රතිරූපයක්‌ මැවෙනවා. එහෙම තිබියදීත් ඔවුන් ටැටූවලට ඇලුම් කරන්නේ ඇයි?

දැන් ඒ ගතිය අඩුයි. බොහෝ දෙනකු ටැටූ කරගන්නේ ඔෆිස්‌ ඇඳුමට වැහෙන්නත්, ගමන් බිමන් යන සැහැල්ලු ඇඳුම්වලට පෙනෙන විදිහටයි. හැබැයි අද ගොඩක්‌ ජනප්‍රිය වෙලා තියෙන්නේ. රහසිගත ස්‌ථානයේ කරන ටැටූ. ගොඩක්‌ ගැහැණු ළමයින්ගේ ටැටු දකින්නේ මහත්තයාත්. එම්බාම් කරන එක්‌කෙනත් විතරයි. 

එහෙම සමාජයේ ඉහළම තලයේ අයත් මේ ටැටූ කරගෙන යනවා. ඉහළ රාජ්‍ය නිලධාරීන් උගතුන් වගේ අයත් අපි ළඟට ටැටූ කරගන්න එනවා. එක දවසක්‌ දුවලා තුන්දෙනයි, බෑනලා තුන්දෙනයි එක්‌ක අම්මා ඇවිල්ලා ටැටූ ගහගත්තා. ඒ සියල්ලටම ගෙව්වෙත් අම්මයි. 

සාමාන්‍යයෙන් මාසයකට ටැටූ කරගන්න කී දෙනෙක්‌ විතර එනවාද? ගණන් හිලව් එහෙම කොහොමද?

මාසයකට පනහක්‌ හැටක්‌ විතර එනවා. පිටක සම්පූර්ණයෙන් ටැටූ එකක්‌ කරන්න, රුපියල් තිස්‌ දාහක්‌ විතර යනවා. පොඩි ටැටූ එකට රුපියල් පන්දාහක්‌ විතර යනවා. සමහරු ටැටූ කරගෙන කරාබුත් දානවා. බුරියට කරාබු දාලා ටැටූ කරගන්න වෙලාවලුත් තියෙනවා.

මේ විලාසිතාවන් කරන්නේ කොළඹ එක්‌තරා පන්තියක පිරිසක්‌ විතරද?

අපෝ එහෙම නැහැ. යාපනේ ඉඳලා ඇවිල්ලත් අපෙන් ටැටූ කරගෙන යනවා. ගම්වල අය ඕනෑ තරම් එනවා. සමහර රැකියා කරන අයට ටැටූ කරන්න දෙන්නේ නැහැ. සංචාරකයන්ගේ පැමිණීමත් සමග ටැටූ ජනප්‍රියවෙලා තියෙනවා. කොහොමද අපේ අය ටැටූ කරන්නේ ගානක්‌ මිම්මක්‌ ඇතිව. සමහර විදේශික අය මුළු ඇඟම ටැටූ කරගන්නවා. අපේ අය එහෙම කරගන්නේ නැහැ.

ටැටූ වලින් සෞඛ්‍යයට බලපෑමක්‌ තියෙනවාද? සමහර බෝවෙන රෝග එකම කටු පාවිච්චිය නිසාවෙන් බෝවෙන්න පුළුවන් නේද?

අපි ටැටූ කරන්නේ සම්පූර්ණ වගකීමක්‌ ඇතිවයි. අපි එක්‌කෙනකුට භාවිත කරපු කටුවක්‌ තවකෙනකුට භාවිතා කරන්නේ නෑ. අපි තීන්ත ගෙන්වන්නේ එංගලන්තයෙන්. ටැටූ එක කරලා ගාන ක්‍රීම් එක ඇමරිකාවේ නිපදවන එකක්‌. අපෙන් කවුරු හරි ටැටූ කරගත්තොත් ඒ කටු සෙට්‌ එක වසර දහයක්‌ විස්‌සක්‌ ගියත් අපි ගබඩා කරලා තියා ගන්නවා. කවුරු හරි අපිට චෝදනාවක්‌ කළොත් අපිට ඒක ඕනෑ වෙනවා. අනිත් එක, අපි ගහන හැම ටැටූ එකක්‌ම, ශරීරයේ කොතැන ගැහැව්වත් අපි ෙµdටෝ කරගන්නවා. ඒ පස්‌සේ වෙනස්‌ කරගෙන අපිට චෝදනාවක්‌ කළොත් අවශ්‍ය වෙන නිසා. කොහොමටත් දියවැඩියා රෝගීන්ට ටැටූ ගහන්නේ නැහැ. ටැටූ කරනකොට සිදුවන සියුම් තුවාලයක්‌ වගේ තත්ත්වය සනීප වෙන්න, ඒ අයට කල් යනවා.

අපි නීඩ්ල් ජාති කීපයක්‌ පාවිච්චි කරනවා. සමහර ටැටූ පාලර්වල එකම කටු ජාතියක්‌ තමයි පාවිච්චි කරන්නේ. ඒකෙන් නියම හැඩය එන්නේ නැහැ. සමහරු කටු ආයිත් ආයිත් පාවිච්චි කරනවා. ඒවායින් හෙපටයිටීස්‌ බී, එඩ්ස්‌ වගේ ලෙඩ රෝග බෝවෙන්න පුළුවන්.

මේ පාර්ශ්ව දෙකක කතාවය. කාලය විසින් වෙනස්‌ කරන ලද ඇඟේ චිත්‍ර ඇදීමේ කලා දෙකක භාවිතයය. කෙසෙල්වත්තේ සිරිසේන තවමත් වීදි කොනක සිට පච්චා කොටයි. බම්බලපිටියේ ගාලු පාරේ, මිස්‌ට පියස්‌ ආයතනයේ රොෂෙල් ඒකනායක අලුත් තාලයට ටැටූ අඳියි. මෝස්‌තරය යනු හුදු හැඩයත් විනෝදයත්ම නොවේ. එය සමාජයේ විවර කරන පැති කඩකි. එකම මෝස්‌තරයක යුග දෙකක්‌ කතා දෙකක්‌ මෙම කතා දෙක මතුපිට කතාවටත් වඩා තව ලොකු කතාවක්‌ තිබෙන වගද අවසාන වශයෙන් කියන සටහන් කොට තබමු.

රංග විදානේ, ඔසිත අත්තනායක

Post a Comment

0 Comments