අපේ මහින්ද මහත්තයා


ශ්‍රී ලංකාවට අලුත් උපතක්‌ අලුත් ගමනක්‌ අලුත් ඇරඹුමක්‌, අලුත් හැරවුමක්‌ යුගයේ අවශ්‍යතාවට යුග පුරුෂයන් බිහිවීම ලෝක ධර්මයේ නියත නියමයකි. ජාතියට සැබෑ නායකයෙක්‌ අවශ්‍ය විය. එය ඉටු කිරීමට සුදුස්‌සා පැමිණ ඇති බව පසක්‌ විය.

මෙසේ පහළ වන්නා වූ තැනැත්තා කලින් කලට යුගයෙන් යුගයට සරිලන ආකාරයේ නමකින් ඉතිහාසයට එක්‌ වන්නේය. රාජෝත්තම, භූපති, නරපති, ජනපති ආදී වූ ඒ නම් ගොත් අතර පවතින්නේය. ඉටු කරන්නා වූ ඓතිහාසික මෙහෙවරේදී මේ නාමයන්ට ගැළපෙන ආකාරයට අති උත්තම අතිගරු ආදී වූ විශේෂ කොට විශේෂ වූ සැරසිලි වන්නේය.

ඩී. එම්. රාජපක්‍ෂයන් ද ඩී. ඒ. රාජපක්‍ෂයන් ද දුටුගැමුණු තිස්‌ස සමපාත වන ඓතිහාසික නිර්මාණයන්ය. ලක්‍ෂ්මන් රාජපක්‍ෂයන් හා ජෝර්ඡ් රාජපක්‍ෂයන් එවැනිම වන්නේය. ජෝර්ඡ් උගත්කමින් ද විචක්‍ෂණශීලී බවින් ද යුක්‌ත වන්නේය. චමල් රාජපක්‍ෂයන් හා මහින්ද රාජපක්‍ෂයන් ද දුටුගැමුණු හා තිස්‌ස පරපුරරේ ගති ලක්‍ෂණ සහිත වන්නේය.

ඊටත් එහා ගිය ඉහත සියල්ලන්ගේම ගති ලක්‍ෂණ එක්‌කොට මහින්ද රාජපක්‍ෂයන් නිර්මාණය වී ඇත්තා සේය. දැඩි බව, එඩිතර බව, සෘජු බව, නිවැරදි තීන්දු තීරණ යුගයට ගැළපෙන සේ ගැනීම, චාම් බව, අල්පේච්ඡ බව, සමඟ මනුස්‌සකම, සෙනෙහස, ආදරය, කරුණාව, ළෙන්ගතුකම ආදී ගුණාංගයන් ද පාරමිතා කොට ඇත්තා සේය. ඒ අතර සමාව දීමේ ගුණය රජෙකුට නොගැළපෙන තරමේ ඉහළින් දරා සිටී. එයින් මෙයින් මතුවට තමාට හානි සිදු විය හැකි වුවත් එය අත් නොහරී. අතීතය අමතක නොකිරීමේ ගුණයත් සමඟ කළගුණ සැලකීමේ බෝසත් ගුණයත් ප්‍රකට කරයි. මහින්ද රාජපක්‍ෂ යනු කිසිවෙකුට නොදෙවැනි අසම සම නිර්මාණයක්‌ වන්නේ ඒ නිසාය.

ආහාර නොගෙන අත පය හකුළුවා ගුලිවී නිදියන දුටුගැමුණු ළමා කුමරුවා විමසූ මවු විහාර මහා දේවියට පුතුගෙන් දැනගත හැකි වූයේ උතුරෙන් හැඩි දෙමළුත් දකුණෙන් ගොළු මුහුදත් නිසා අත්පා දික්‌කර නිදහසේ සිටිය නොහැකි බවයි.

1960 මාර්තු මස මහ මැතිවරණයට මහජන එක්‌සත් පෙරමුණෙන් තරග කිරීමට තම පියා ඩී. ඒ. රාජපක්‍ෂයන් තීරණය කළ විට එය පරදින තීරණයක්‌ බව පවසමින් විරෝධය පා කෑමත් නොගෙන අතපය ගුලිකර නිදිගත් හැටි මවු ඩී. ඒ. රාජපක්‍ෂ මැතිනිය පහළොස්‌ හැවිරිදි මහින්ද පුතු ගැන පවසා ඇත. ජානමය උරුමයෙන් ජනිත කළ සංසිද්ධීන්ගෙන් ආරම්භය සනිටුහන් කර ඇත්තේ එසේය.

යුතුකම් ඉටු කරමින් අනාගතයට සුදුසු ආකාරයට ගැළපෙන හිතවතුන් සහිත, බුද්ධි හමුදාවක්‌, ශ්‍රම බළකා හමුදාවක්‌, ධනයෙන් බලයෙන් පොහොසත් බළකායක්‌ තමා වටා ගොඩනඟා ගැනීමට එතුමා සමත් වී ඇත. එමෙන්ම දෙව්දත්තලා ද ජන්මාන්තර හතුරෝද, ප්‍රයෝගකාරයෝද, පෙනෙන නොපෙනෙන පරම හතුරෝ ද සුළු පිරිසක්‌ මේ ගමනේදී මේ උත්සාහයේ අනියම් ප්‍රතිඵල ලෙස බිහිවී ඇත. රාජ්‍ය මර්දනයෙන් ද රාජ්‍ය භීෂණයෙන් ද නිල නොනිල ආයුධ සන්නද්ධ මැරයන්ගෙන් ද තුන්බිය වන් විශාලා මහනුවරක්‌ බිහි වූ යුගයේ එයින් බය භිරාන්තව පීඩා විඳි ජනතාව බේරා ගැනීමට අභීතව දිවි පරදුවට තබා මහින්ද මානව හිතවාදියා ඉදිරිපත් විය.

මානව හිමිකම් සඳහා කාල්ටන් මධ්‍යස්‌ථානය පිහිටුවා අන්තර්ජාතිකවත් සාමකාමී විමුක්‌ති අරගලයක්‌ ඇරඹීය. තමන්ගෙන් පිහිට පතා පැමිණි අය අතර තම තරුණ දූදරුවන් අහිමි අසරණ මවුවරුන් අතිවිශාල සංඛ්‍යාවක්‌ වූහ.

එංගලන්තයෙන් කිසියම් අධ්‍යාපනයක්‌ ලබා පැමිණ සිටින තමන් දන්නා දේශපාලන පවුලක තරුණයෙක්‌ ගැන මහින්ද රාජපක්‍ෂ නීතිඥ මානව හිතවාදියාට ආරංචි විය. මේ ලියුම්කරු වන අප ද සමඟ ගොස්‌ එතුමා ඔහු හමු වී අනාගත දේශපාලනයට සුදුසු යෑයි මහින්ද නීතිඥ මවු පෙරමුණ පිළිබඳ අදහස ඉදිරිපත් කළේය. එම තරුණයා කීවේ තමා දිගටම මෙහි සිටීමට අදහසක්‌ නැති බවත් තමාගේ අම්මා සමඟ කතා කොට ඇය එයට සම්බන්ධ කර ගන්නා ලෙසත්ය. කොට කලිසමකින් හා ටීෂර්ට්‌ එකකින් ඇඟ වසා සිටි ඔහු ඇල්මැරුණු අදහසක්‌ දැරීය. කෙසේ හෝ ඔහුගේ මවගේ ද පෙරැත්ත ලබාගෙන බොහොම අමාරුවෙන් ඔහු කැමැතිකරවාගෙන වැඩේට බැස්‌සේය. අති දැවැන්ත විරෝධතාවක්‌ සහිතව නුගේගොඩ මංසන්ධියේ මහජන රැලියක්‌ මහින්ද රාජපක්‍ෂ නායකත්වයෙන් සංවිධානය කළේය. අති සාර්ථක උද්ඝෝෂණ ව්‍යාපාරයක්‌ තුළ මවු පෙරමුණ ප්‍රකාශයට පත් කළේය. එහි නායකයා වූ එම තරුණයා ජාතික දේශපාලනයට අත් පොත් තැබීය. එදා ඒ බලෙන් කරලියට ඇදගෙන ඇවිත් දේශපාලනයේ අභිෂේක ලබා දුන් තරුණයා මාතර මංගල සමරවීර නම් වූ දේශපාලනඥයා වන්නේය.

සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිනිය ඉදිරියට ගෙන ගොස්‌ හඳුන්වාදීමේදී එතුමිය විමසා සිටියේ දැළි රැවුලත් හරිහැටි නැති මේ කෝමල තරුණයා මේ අර්බුදකාරී පරිසරයේ දේශපාලනයට සූදානම් කරන්නේ කෙසේද කියාය. කෙසේ වුවත් මහින්ද රාජපක්‍ෂ යනු අත ගැසූ වැඩක්‌ මගදී අත්හරින චරිතයක්‌ නොවන බව පසක්‌ කරමින් එදා ජයග්‍රහණය කළේ අනාගත දුෂ්ට දේශපාලන හතුරෙකු හදා ගැනීමේ මාවතයි. එහෙත් එය එතුමාගේ වරදක්‌ නොවේ. මැතිනියට එදා තිබූ පරිණත දේශපාලන දැක්‌ම හා ඉව තේරුම් ගන්නට තරම් අද මෙන් දේශපාලන තෙම්පරාදු වීමක්‌ මහින්ද රාජපක්‍ෂයන්ට එදා නොවීය.

රාජ්‍ය භීෂණයට, මර්දනයට පීඩනයට එරෙහි මෑත ඉතිහාසයේ ඓතිහාසික මහා ජන සහභාගිත්ව දීර්ඝ පා ගමන සංවිධානය කර මෙහෙයවූයේ මහින්ද රාජපක්‍ෂ ජන නායකයාණන්ය. ඉතිහාසය වෙනස්‌ කිරීමේ මහා මංගල කාහල නාදයත් වෙඩි මුරයත් එය විය.

1992 මාර්තු 16 පෙරවරු 10.12 ට සුබ මොහොතින් කොළඹ විහාරමහා දේවි උද්‍යානයෙන් ආරම්භ කළ පා ගමන වූ පාද යාත්‍රාව දින 18 ක්‌ ගෙවා 1992 අප්‍රේල් කතරගමට ළඟා විය. මේ පාද යාත්‍රාව ගැන සිරිමා මැතිනිය දැනුවත් කිරීමේ දී එතුමිය මෙහි අවධානම ගැන සිත් යොමා පානදුරෙන් එහාට යැමට රජය ඉඩ නොදෙනවා ඇතැයි පැවැසීය. ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය ප්‍රමුඛ සියලුම වාමාංශික පක්‍ෂ, වෘත්තීය සමිති, සිවිල් සංවිධාන ක්‍රියාකාරීන්, ගොවීන්, ධීවරයන් ආදී වූ පොදු ජන බලවේග සියල්ල එකම පෙරමුණකට එක්‌ කළ ජයග්‍රාහී පාද යාත්‍රාවක්‌ විය.

1993 එළඹි දකුණු පළාත් සභා ඡන්දය ද එකම භීෂණයක්‌ විය. දැඩි දුෂ්කරතා මැද නීතිඥ අමරසිරි දොඩංගොඩ ප්‍රධාන ඇමැති කරවමින් පළාත් සභා ඡන්දය ජයග්‍රහණය කර වීමට නායකත්වය සැපයීමට මහින්ද රාජපක්‍ෂ ගොඩනැඟූ දිරිමත් කළ බලවේග සමත් විය. එක්‌සත් ජාතික පක්‍ෂයේ 17 අවුරුද්දක ශාපලත් පාලනය ඉවත් කිරීමේ මංගල වෙඩි මුරය මෙසේ පත්තු කරවීය.

අන්තර් ජාතික දේශපාලනයට පිවිසෙමින් අමෙරිකන් ඊශ්‍රායල් සියොත්වාදී ග්‍රහණයෙන් පලස්‌තීනය මුදාගැනීම සඳහා වූ අරගලයට සහයෝගය දෙමින් මුස්‌ලිම් ලෝකයේ ප්‍රසාදය හා කීර්තිය දිනා ගනිමින් පලස්‌තීන සහයෝගීතා සංවිධානය බිහි කළේය. ජනාධිපති ධුරය දරන තුරුම එහි ආරම්භයේ සිටම සභාපති වූයේ මහින්ද රාජපක්‍ෂ මහතාය. එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ දී රටට එරෙහි වූ කුමන්ත්‍රණය පරාජය කිරීමට ගත් උත්සාහයේදී විශාල සහයෝගයක්‌ අරාබි ලෝකයෙන් ලබා ගැනීමට හේතු පාදක වූ ප්‍රධාන සාධකය ද මෙය විය.

1988-89 භීෂණ සමයේ අන්ත අසරණ දුගී දුප්පත් තම හිතවත් අනුගාමිකයන් ගේ සැපදුක සොයාගිය අන්තරායක ගමනේදී මරණ බයින් දරු මුණුපුරන් වල් වැදීමේ හේතුවෙන් තනිව සිටි වයෝවෘද්ධ මෑණි කෙනෙකුගේ ගෙපැළේ මුල්ලක ළිප මත තැම්බී තිබුණ කොස්‌ ඇට ටිකක්‌ පොල්කටුවකට දමාගෙන මිදුලේ කොනක තිබූ කොච්චි මිරිස්‌ ගසෙන් කඩා ගත් මිරිස්‌ කරල් සමඟ ගෙයින් ලැබුණු පොල් කෑලිත් එක්‌ක ගොම මැටි ගෑ කොට්‌ට පිලේ පැදුරු කඩමාල්ලක වාඩි වී තම සගයන් ද සමඟ ආහාරයට ගන්න එදා හැකි වූවා සේම අද ද එම හැකියාව එතුමාට ඇත.

කොටි ත්‍රස්‌තවාදය උත්සන්නව කොළඹ ප්‍රදේශය ද බියෙන් ඇළලී සිටියදී මානුෂික මෙහෙයුමට ජන මතය සූදානම් වෙද්දී රටට ජනතාවට ජනපතිතුමාට සෙත් පතා බෝධි පූජා පිරිත් පිංකම් දානමාන දිවයින පුරා ව්‍යාප්ත විය. එවැනි මහා පිරිත් පිංකමක්‌ බොරලැස්‌ගමුව මංසන්ධියේ දී පැවැත්වුණු දිනයේදී අනාරාධිතවම ජනාධිපතිතුමා එම ස්‌ථානයට ළඟාවිය. පිරිත් පිංකම සමීපයේ ටික දුරක්‌ තුළ කුලී රථ රියෑදුරන් ද සමඟ පිරිසක්‌ පාර අයිනේ විය. මෝටර් රථයේ ගමන් කරමින් සිටි ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා දුටු පිරිසේ කීපදෙනෙකුම අන්න මහින්ද මහත්තයා යෑයි ශබ්ද නඟනු එතුමාට ඇසුණි. අන්න අර අය බෙලිඅත්තේ හරි කොහේහරි අපේ ගම් පැත්තේ කොල්ලෝ ටිකක්‌ ගිහින් එන්න කියන්න යෑයි තමා සමඟ සිටි ආරක්‍ෂකයෙකුට එතුමා පැවැසීය. ඒ අනුව කැඳවීම ලැබූ අය සමඟම පිරිත් මණ්‌ඩපය අසලට යන විට ඒ මොහොත දේවාරාධනාව කෙරෙන මොහොතයි. ඔන්න දෙයියන්ට ආරාධනා කරන කොටම අපේ දෙයියො වැඩලා යෑයි අසල සිටි පිරිසකගෙන් පිට විය. ඒ පිරිස සමඟ සිටි වැඩි පිරිසක්‌ ගම් ප්‍රදේශයේ අය විය. අපේ ජනාධිපතිතුමා අපට දැනෙන්නේ එසේය. අපිට හැමදාමත් එතුමා එදා සේම ආදරණීය අපේ මහින්ද මහත්තයාම වන්නේය.

මං ඉන්නකම් මේක මගේ ගෙදර. යන එන අයට සැළකීම මැදමුලන ගෙදර පවතින ක්‍රමයට සිදු විය යුතුයි. එතුමාගේ නියෝගය විය. කෑම බීම සැපයීම ජනාධිපතිතුමාගේත් පවුලේ සාමාජිකයන්ගේත් යන එන්නන්ගේත් එකක්‌ බවට පත් විය. දරුවන්ගේ ආහාර නිර්මාංශ ආහාරවලින් වන අතර ඒ අය තම කැමැත්තෙන්ම තෝරා ගත්තෝය. අරලිය ගහ මැඳුරේ මහජන භෝජන සංග්‍රහ රජයේ වියදමින් නොව හිතවතුන්ගේ ස්‌වෙච්ඡා පරිත්‍යාගයෙනි.

පදවි ප්‍රාප්තියත් එතුමාගේ උපන් දිනත් එකටම යෙදෙන්නා සේ ජාතියේ පිබිදීම ද අපේ ජීවය උපන් දිනය ද එකසේ දැනෙන තරමට එතුමා ජනතාවට සමීපය. ප්‍රදේශවාසීන්ගේ, අපේ මහින්ද මහත්තයා මුළු රටේම ජනතාවගේ ආදරණීය ජනාධිපති අපේ මහින්ද මහත්තයා වී හමාරය.

අමරසිංහ කුඩගල්ආර

Post a Comment

0 Comments