ලෝකයේ ඕනෑම රටක ආධ්‍යාත්මික ජීවන රටාව සකස් කර ගැනීමට කවර හෝ ආගමක් පිටිවහල් වෙයි. ලොව පහළ වූ කිසිම ආගමකින් අපරාධ කිරීමට හෝ ඒ සඳහා අනුබල දීමට උපදෙස් හෝ දේශනා නොකරයි. හේතුව මිනිසා හික්‌මවන්නේ ආගමෙන් ය යන පොදු පිළිගැනීම ජන සමාජය තුළට කාන්දු වී තිබීමයි. මානව වර්ගයාගේ ආරම්භයේදීම ආගම් පහළ නොවුණත් විවිධ වාර්ගිකව ඔවුන් ඉදිරියට පැමිණි බව අපි දනිමු. ජීවත්වීම සඳහා විවිධ ශිල්පීය ක්‍රම භාවිතයෙන් හා නවීන විද්‍යාවේ බලමහිමයෙන් අද වන විට මිනිසා එහි උච්ඡතම අවස්‌ථාවට පියනගා ඇත.
මිනිසා ද සත්ත්ව වර්ගයකි. ඔහු තුළ අසංවර බව, කලහකාරී බව, රුස්‌නා බව, නුරුස්‌නා බව, නිහැඬියාව මේ සියල්ල කැටි වී ඇත. තිරිසන් සතුන් කෙරෙහි ද මේ සියලු ගති ලක්‍ෂණ සමානව ඇත. එහෙත් මානව වර්ගයා ඉදිරියට වර්ධනය වූයේ මනසේ ක්‍රියාකාරකම් වැඩිදියුණු කර ගැනීමෙනි. ලෝකයේ ආගම් පහළ වූයේ ද මේ න්‍යාය මුල් කරගෙනය. මේ ආකාරයට ජීවත් වුවොත් මේ ආකාරයේ සැප සම්පත් ලැබෙයි. මේ ආකාරයට ජීවත් වුවොත් මේ ආකාරයේ දුක් ගැහැට ඇතිවෙයි. මිනිස් වර්ගයාට ආගම්වලින් පෙන්නා දෙන එකම න්‍යාය මෙයයි. මේ න්‍යාය මත ලෝකයේ මානව චර්යාධර්ම ගොඩනැඟී ඇත.
ලෝක මිනිස් ඉතිහාසය දෙස හැරී බලන විට පෙනී යන එක් දෙයක් නම් අදහන ආගම්වලින් ම මිනිසා සම්පූර්ණ ලෙස සංවර වී නැති බවයි. මේ පෘථිවි තලයේ විවිධ සමාජවලට, වර්ගවලට, ගෝත්‍රවලට බෙදුණු ඔවුහු ඇතැම් අවස්‌ථාවක කෲර අපරාධවලට පෙළඹෙති. එහෙත් බහුතර පිරිස ආගමෙන් හික්‌මවා ඇති බව ද අමතක නොකළ යුතුය. සැප සම්පත්, ධන නිධාන පිරි ලෝකයේ කවර සමාජයක වුවද සමාජ සම්මතයට පටහැනි අපරාධ සිදුවීම නොවැළැක්‌විය හැකි දෙයකි. සමාජයේ සිදුකරන විවිධ අපරාධ දෙස බල බලා ඒ ඒ රටවල් විටින් විට විවිධ නීති රෙගුලාසි නීති සංග්‍රහයට අඩංගු කරති. නීති පොතේ නොතිබුණත් සමාජ සම්මතයට පටහැනි දෙයක් කරන ඕනෑම රටක ඕනෑම මිනිසෙක් එය අපරාධයක් බව වටහා ගනියි. මිනිසෙකු අපරාධයක් කොට එය සැඟවීමට වෙර දරන්නේ තම මනසින්ම එය අපරාධයකැයි නිශ්චය කරන නිසයි.
පෘථුවි ජන සමාජය දිනෙන් දිනම ප්‍රසාරණය වෙයි. ඒ ජන සමාජය සැප සම්පත් ධන නිධාන පසුපස හඹා යයි. සුඛෝපභෝගී ජීවිතයක උරුමක්‌කාරයකු වීමට එකිනෙකා පරයා වෙර දරති. මේ හඹා යැමේදී හමුවන ඇතැම් බාධක ඉවත් කිරීමට සිදුවෙයි. ඒ බාධක ලෙස බොහෝ විට ඇත්තේ වෙනත් කවරෙකුගේ හෝ ජීවිතයකි. අපට දිනපතා අසන්නට කියවන්නට ලැබෙන්නේ එවන් තොරතුරුය. මේවා රට පුරා බෙදී යන ජාලයත්, ඒ වෙනුවෙන් ජනතාවගේ ප්‍රතිචාරයත් විමසිල්ලට ලක් කළ යුතුය.
ජනගහනය වර්ධනය වීමත් සමඟÊජනයා නව ජනාවාස සොයා යැමට පෙළඹෙති. නාගරික ප්‍රදේශවල අස්‌සක් මුල්ලක් නෑර නව නිවාස ගොඩනගති. අධික මිලක් ගෙවා හෝ එම ඉඩම් කැබැල්ලක් මිලදී ගැනීමට බොහෝ අය පෙරුම් පුරති. ඈත එපිට ගම්බද පෙදෙසක හුදකලාව ජීවත් වූ නව පරපුරේ විශාල පිරිසක් ජීවිතය පිළිබඳ විවිධ අවශ්‍යතා මත අද නගර කරා ඇදී එති.
එපමණක් නොව මේ නව පරපුර, ලෝකයේ මිනිසා සඳහා නිෂ්පාදනය වන සෑම මෙවලකම් ම භාවිත කිරීමේ නොතිත් ආශාවෙන් පෙළෙති. ඒවා අතර විද්යුතයට මුල්තැන දුන් භාණ්‌ඩ ප්‍රමුඛ වේ. ගෙදර මුළුතැන්ගෙය, නාන කාමරය, සාලය දක්‌වා මේ විද්යුත් භාණ්‌ඩ අරක් ගෙන ඇත. ඒවා අතර ශ්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍ය මෙවලන් ප්‍රධාන වේ. ශ්‍රව්‍යමය නාලිකා රාශියක් තරංග මගින් මුළුÊදිවයින සිසාරා විහිදී යයි. ඒවා විසිහතර පැයේම ජනතාවගේ දෙසවන් අතර දොaලනය වෙයි. ඒ හැරෙන්නට දෘෂ්‍ය මාධ්‍යයේ රූපවාහිනි නාලිකා ද රාශියකි. සංනිවේදන මාධ්‍යයේ අග්‍ර ඵලය වූ ජංගම දුරකථනය ජනගහනය අභිබවා ව්‍යාප්තව ඇත.
අද මේ සියලු ශ්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍යවලින් නගරයේ පමණක් නොව ඈත එපිට හද්දා පිටිසර ගම්බද ජනතාව ද විශාල වින්දනයක් ලබති. ඒ හැරෙන්නට ලංකාවේ දිනපතා හා සති අග පළවෙන පුවත්පත් රාශියකි. පුවත්පත් කියවීමේ පුරුද්ද ද එදා හැත්තෑව - අසූව දශකවලට වඩා විශාල වේගයකින් වර්ධනය වී ඇත. පුවත්පත ද අද ඈත එපිට ගම් දනව් කරා එදිනෙදා පුවත් රැගෙන හිමිදිරියේම දිව යයි. මෙවන් විවිධ මාධ්‍ය ඔස්‌සේ මුළු දවස පුරා ම රටේත් ලෝකයේත් සිදුවන සිදුවීම් ඈත එපිට ගැමි පෙදෙස් ඇතුළු මුළු දිවයින පුරාම ක්‍ෂණයකින් දෙසවනටත් දැසටත් කාන්දු වෙයි.
මේ අතර රටේ අපරාධ රැල්ල මේ වන විට එන්ඩ එන්ඩම වැඩි වන බව බොහෝ දෙනා පවසන කරුණකි. මේ අපරාධ විවිධ මුහුණුවර ගන්නා අතර ඒවා පිළිබඳ කථාබස් කරන - සාකච්ඡා කරන පිරිස එදාට වඩා අද අතිශයින් වර්ධනය වී ඇත. සංඛ්‍යාලේඛන අනුව රජයේ පොලිස් දෙපාර්තමේන්තු ප්‍රකාශකයා පවසන්නේ මිනීමැරුම් වැනි අපරාධ ජනගහන වර්ධනයට සාපේක්‍ෂව වැඩිවර්ධනය වීමක් නොමැති බවයි. රට තුළ සිදුවන ඕනෑම ඝාතනයක් - මිනීමැරුමක් - බරපතළ සොරකමක් - වංචාවක් අනවාර්යයෙන් ම පොලිස් මූලස්‌ථානයට වාර්තා වෙයි. එය මේ රටේ කවර රජයක් යටතේ වුවත් සිදුවන සිදුවීමකි. එය ලෝකයේ සෑම රටකම සිදුවන ක්‍රියාවලියකි.
මෙහි මුලින් සඳහන් කළ ආකාරයට රටේ සන්නිවේදන ක්‍රම වැඩි වර්ධනය වීම නිසා එකම අපරාධයක් පිළිබඳ වරින්වර සතිය පුරාම මේ සන්නිවේදන ජාලයෙන් විවිධ තොරතුරු කෝටි සංඛ්‍යාත දෙසවන් තුළට රිංගයි. ඇතැම් ඝාතන සමහර මාධ්‍ය මගින් වෙළෙඳ දැන්වීම් ආකාරයට විසුරුවා හරියි. අප රටේ ඇති බොහෝ විද්යුත් දෘෂ්‍ය නාලිකා නොම්මර එකේ ඒවාය. දෙවැනි ගණයේ නාලිකාවක් ඇත්තේම නැත. ඒවායින් ද රටේ සිදුවන ඝාතන අපරාධ පිළිබඳව ජනතාවට නිතරම අපරාධය සිදු වූ ගෙදර දොර ජනෙල් ඇඳ ඇතිරිලි පවා පෙන්වා දෙයි.
මේ සංනිවේදන ක්‍රමයේ හැසිරීම නිසා ජනතාවගේ සිත් යොමු වී ඇත්තේ මේ රටේ අපරාධවලට වැඩි දෙයක් සිදු නොවන ආකාරයටය. එකම ඝාතනයක් පිළිබඳ කෝටි සංඛ්‍යාත ජනතාවක් සාකච්ඡා කරති. මඟ තොටේදී බස් රියේදී මිනිසුන් සාකච්ඡා කරන්නේ මේ සන්නිවේදන වල එන තොරතුරු ය. මේවා අසන බලන ජනතාව "මෙහෙමත් අපරාධ" යෑයි භීතියට විශ්මයට පත්වෙති. පිට පිටම ඝාතන සිදුවීමේදී ජනතාව විශ්මයට පත්වීම පුදුම දෙයක් නොවේ. මේ ඝාතනවලට පසුබිම් වන කරුණු කාරණා ගැන ද ජනතාව අවබෝධයක් ලබා ගත යුතුය. විවිධ වාද භේද ඉඩකඩම්, නඩුහබ අනුන් සතු දේපළක් බලෙන් ලබා ගැනීමට යැම, මත්ද්‍රව්‍ය මේ කවර හෝ දෙයක් මේ ඝාතනවලට පසුබිම් වෙයි. කාර්මික මෙවලම් නිෂ්පාදන දියුණුවේ හිනි පෙත්තට නැග ඇති වර්තමාන සමාජයේ ළමා, ළපැටි, තරුණ, මහලු බොහෝ දෙනෙක් අරමුණු කරනනේ සුව පහසු ජීවිතයකට මඟ පාදා ගැනීමයි. මේ අරමුණු කරා ළඟා වීමට සමාජයේ පිළිගත් ක්‍රමවේදයන්ට පටහැනිව හෝ තම බලාපොරොත්තු මුදුන්පත් කර ගැනීමට බොහෝ අය කල්පනා කරති. මේ සිදුවන අපරාධවල මූල බීජය හටගන්නේ එතනින් බව කිසිවෙක් කල්පනා නොකරති.
මේ හැරෙන්නට ආගම දහමට නැඹුරු වූ පිරිස් දෙස බලන විට සංඛ්‍යාත්මකව විශාල ලෙස වැඩි වී ඇති බව ද අප වටහා ගත යුතුය. ඒවා පොලිස් වාර්තාවලට නොයන නිසා ඒ ගැන කිසිවෙක් කථා නොකරති. සෑම ආගමකටම අයත් ජනතාව අතරේ තරුණ පිරිස් අද මේ සුබදායී ආකල්පවලට නැඹුරු වී සිටිති. දුරාචාරවලට මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ තරුණ පිරිස සියයට ගණනින් බැලූ විට ඉතා සුළුÊපිරිසකි. මේ අනුව බලන විට රටේ අපරාධ - මිනීමැරුම් - ඝාතන සාමාන්‍ය ලෙස සිදුවන අතර ඒවා පිළිබඳව රට තුළ සිදුවන ප්‍රචාරක සංවාදය දෙගුණ තෙගුණ වී ඇත. මෙවන් අපරාධ කවර රජයකින්වත් සංවිධානයකින්වත් සිදු කරන ඒවා නොව සමාජය විසින්ම පෝෂණය කර ගත් විවිධ චර්යාවන් මේවාට පාදක වී ඇත. අපරාධ සිදුවීමට වඩා ඒ පිළිබඳ සාකච්ඡා කිරීමට, සමාජය බිය ගැන්වීමට අද අප්‍රමාණ සන්නිවේදන ජාලයන් කලඑළි බැස තිබීම මේ අපරාධ ව්‍යාප්තිය යන සංකල්පයට හේතු පාදක වී ඇති බව අපගේ අදහසයි.
අරුණ ශාන්ත එරමිණිගම්මන
0 Comments