මීට වසර දහයකට පමණ පෙර ඊජිප්තුවේ පැවැත්වෙන ජගත් පත්‍ර කලාවේදීන්ගේ සමුළුවකට සහභාගිවීමට මටද ආරාධනාවක් ලැබිණි. මේ ගමනට ශ්‍රී ලංකාවේ තවත් මාධ්‍යවේදීන් පිරිසකටද ආරාධනා ලැබී තිබුණු අතර සමුළුව ඇරඹීමට දින දෙකකට පෙර ඔවුහු එහි ගොස් සිටියහ. කුමක් හෝ කරුණක් නිසා මට ඒ ගමන තනිවම යැමට සිදුවූයේ හරියටම සමුළුව ඇරැඹි දිනයේදීමය. ඒ වනවිට ශ්‍රී ලංකාවෙන් එහි ගොස් සිටියේ ඩී. එෆ්. කාරියකරවන, ආරිය රූබසිංහ, දයා ලංකාපුර, මහාචාර්ය අනුර සිල්වා ඇතුළු පිරිසකි. ඊජිප්තුවේ අගනුවර වන කයිරෝ ගුවන් තොටුපළින් මා ගොඩ බසින විට රාත්‍රි කාලය යාන්තමින් උදාවෙමින් තිබිණි.
මගේ ගමන් මලුද එකතු කරගෙන මා ගුවන් තොටුපළින් එළියට එන දොරටුවේදී මගේ පාස්‌පෝට් එක පරීක්‍ෂා කළ ඊජිප්තු ගුවන් තොටුපළ නිලධාරියෙක් කීවේ පුදුම කතාවකි. මා උඩගොස් බිම වැටුණාක් මෙන් විය.
"මේක හොර පාස්‌පෝට් එකක්.. එළියට යන්න දෙන්න බැහැ..."
ඔහුගේ කීමට උත්තර බැඳීමට මට කිසිම ඉඩක් දුන්නේ නැත. එතැනින් ටිකක් එහාට වෙන්නට තිබූ පාළු කාමරයකට මා කැඳවාගෙන ගිය ඒ මිනිහා මා එහි දමා දොරවල්වල අගුල් තදකර යන්නට ගියේය. මම පණ ගැහෙමින් සිටියෙමි. පැය භාගයකට පසු ගුවන් තොටුපළ නිලධාරීහු තිදෙනෙක් එහි පැමිණියහ. දිගට හරහට ඔවුන් මගෙන් ඇසූ ප්‍රශ්නවලට මා දුන් උත්තර ඔවුන් පිළිගත්තේම නැත. ඔවුන් සැමගේ ඒකමතික තීරණය වූයේ මගේ පාස්‌පෝට් එක "හොර එකක්" බවය. කෙසේ හෝ පැය දෙකක පමණ කාලයකට පසු මා මුදාහැරිණි. බොරු චෝදනා වකට මා සිරකර තබා ගැනීම ගැන ඔවුන් නොවේ චුට්‌ටක්‌වත් කනගාටු වූයේ හෝ, "වෙරි සොරි" කියාවත් කීවේ.
ඊජිප්තුවේ පළමු දිනයේදීම එවැනි කටුක අත්දැකීමක් ලැබුවද ඉන්පසුව මට ඊජිප්තුවේ කයිරෝ නුවර එකම සුරපුරයක් විය.
ඉතින්, මේ හදිසියේ මේ පරණ කතාවක් මතක් වූයේ ඇයිදැයි මෙය කියවන කෙනෙකු සිතනු ඇත. ඊට එකම හේතුව වශයෙන් මට දැක්‌විය හැක්‌කේ එදා සුරපුරයක් බඳුවූ කයිරෝ නුවර, වර්තමානයේ මළවුන්ගේ නුවරක් වී තිබීම නිසාය.
බලයෙන් පහ කෙරුණු ජනාධිපති හොස්‌නි මුබාරක්‌ගේ මුස්‌ලිම් සහෝදරත්වය නම් පක්‍ෂයේ ආධාරකරුවන් සහ ඔහු බලයෙන් නෙරපා දැමීමට හමුදාවට මග පාදා දුන් විපක්‍ෂ දේශපාලන ක්‍රියාකාරීන් අතර මේ දිනවල පවතින්නාවූ ගැටුම්වලින් දැනට අති විශාල පිරිසක් මිය ගොස් ඇත.
මේ අතර එක්‌සත් ජාතීන්ගේ මහලේකම් බෑන් කී මූන් ඊජිප්තුවේ නව අන්තර්වාර රජයෙන් ඉල්ලා සිටින්නේ හමුදා අත්අඩංගුවේ පසුවන වත්මන් ජනාධිපති මෝර්සි වහා නිදහස් කරන ලෙසය.
එහි තවත් චෝදනාවක් වන්නේ, ජනාධිපති මෝර්සි බලයෙන් නෙරපීමේ කුමන්ත්‍රණය පිටුපස ඇමරිකාව සිටින බවයි. මේ නිසා දැන් කයිරෝ නුවරත් රටේ ප්‍රධාන නගරවලත් වෙසෙන ක්‍රිස්‌තියානි මිනිසුන් මරා දැමීමෙන් ඔවුන්ගේ නිවාස සහ දේපළ විනාශ කිරීමෙන් මහා ප්‍රචණ්‌ඩත්වයක් ඇරඹී ඇත.
කයිරෝ නුවර පවතින්නාවූ මෙවැනි බිහිසුණු තත්ත්වය නිසා අද ඊජිප්තුවට විදේශ සංචාරකයන් පැමිණෙන්නේම නැති තත්ත්වයක් උදාවී ඇත. ටැක්‌සි රියෑදුරන් සහ සංචාරක හෝටල් හිමිකරුවන් මේ තත්ත්වය යටතේ බලවත් පීඩනයකට පත්ව සිටින බවද ඊයේ පෙරේදා වාර්තා විය.
මේ වාර්තා කියවද්දීත් රූපවාහිනි නාලිකාවලින් ඊජිප්තුවේ වත්මන් තත්ත්වය දකිද්දීත් මගේ ඒ පැරණි මතකය අලුත් වූයේ නිරායාසයෙනි.
කයිරෝ නුවර අද විදේශ සංචාරකයකු දකින්නටවත් නැති නමුදු සාමාන්‍යයෙන් කයිරෝ නුවර යනු විදේශ සංචාරකයන්ගේ සුරපුරයකි. ඊට ප්‍රධාන හේතු වන්නේ එහි ඇති අහස උසට නැඟුණු පිරමීඩ් සහ වචනයෙන් වර්ණනා කළ නොහැකි සුන්දරත්වයක් ඇති මහ මුහුද මෙන් දිග සුන්දර නයිල් නදිය සහ නයිල් නිම්නයම වන්නේය.
කයිරෝ නුවර සිටි කාලයේ එක් දිනක් දහවල් කාලයේ මම පිරමිඩ් බැලීමට ගියෙමි. ඒ අවස්‌ථාවේ මා ළඟට පැමිණි සංචාරක මග පෙන්වන්නෙක් (ගයිඩ් කෙනෙක්) පිරමීඩ් බැලීමට පැමිණිය යුත්තේ සඳ ඇති රාත්‍රි කාලයකදී යෑයි කීවේය. මේ දිනවල රාත්‍රියට සඳ පායන බවද ඔහු කීවේය.
"එහෙනම් අද රෑ හම්බවෙමු". මම කීවෙමි. ඔහු මට පැමිණිය යුතු තැනත් වේලාවත් කීවේය. හරියටම ඒ වෙලාවට මම හෝටලයේ සිට ටැක්‌සියක නැගී ඔහු කී තැනට පැමිණියෙමි. ඒ අවස්‌ථාවේ ඔහු සිටියේ තනිවම නොවේ. අලියකුටත් වඩා උස ඔටුවකු ද සමඟය.
සඳ පායා තිබූ ඒ සුන්දර රාත්‍රියේ ඔටුවා පිට නැඟුණු මා පිරමීඩ් පුරය නරඹා අවසන් වනවිට එළිවෙන ජාමයට කිට්‌ටු විය, හරියටම ඒ රාත්‍රිය සුරපුරයට ගිය ගමනක් මෙන් යෑයි මට තවමත් සිතේ.
තවත් දිනක නයිල් නදියේ රාත්‍රි භෝජන සංග්‍රහයකට මම ගියෙමි.
අඩි 12 ක් පමණ පළල අඩි 100 ක් පමණ දිග එම බෝට්‌ටුවට වහළයක් නැත. වහළ ලෙස පෙනෙන්නේ අහස පමණි. බෝට්‌ටුවට ලයිට් ද නැත. සියලු කටයුතු කෙරෙන්නේ ඉටි පන්දම් එළියෙනි. බෝට්‌ටුවේ මුළුතැන් ගෙයි පමණක් ලයිට් කීපයක් දැල්වෙමින් තිබිණි. මිහිරි සංගීත රාවය දසත පැතිරෙමින් ගුවනට විහිද යමින් තිබියදී හෝටලයක් වැනි බෝට්‌ටුවේ රංචු ගැසී වාඩිවී සිට අපි මත්පැන් බොමින් රසමසවුළු කමින් ලැබූ විනෝදාස්‌වාදය ජීවිතයේ තවත් කවදාවත් ලැබිය හැකියෑයි මට සිතෙන්නේ නැත. එදිනද එළිවෙන ජාමය වෙනතුරු නයිල් නදියේ පාවෙමින් කා බී විනෝද වී ආපසු හෝටලයට යද්දීත් මට හිතුණේ "දිව්‍ය ලෝකෙට ටි්‍රප් එකක් ගියා" වැනි හැඟීමකි.
එවැනි සුන්දර කයිරෝ නුවර අද සරලම වචනයකින් කියතොත් "වේලෙමින්" තිබේ. කිසිම සංචාරකයකු නැත. අඩුම ගණනේ රට වැසියන්ටවත් විනෝදවීමට අවස්‌ථාවක් නැත. මේ පිළිබඳව පසුගියදා "වොෂින්ටන් පෝස්‌ට්" පුවත්පතේ පළවූ ලිපියකට සිරස්‌තලය යොදා තිබුණේ "නයිල් නදිය නිදා ගනී" කියාය. එය දුටු මට බලවත් දුකක් දැනුණු පසු මේ කෙටි සටහන ලියන්නට සිත් විය.
මෙරිල් පෙරේරා
0 Comments