ඇස්‌ කණ්‌ණාඩි බාවිතයේ එදා සහ අද


ඉතිහාසයත් හරිපුදුමාකාර දෙයක්‌. මොකද ඉතිහාසය කවදාවත් පැරණි වෙන්නේ නැහැ. ඒක වැරදි කතාවක්‌ ලෙස ඔබට හිතෙන්නත් පුළුවන්. ඒත් හිතල බලන්න හැමදාමත් ඉතිහාසයේ බොහෝ දේ සොයා ගන්නවා. ඉතිහාසයට නව අර්ථකතන හිමිවෙනවා. අලුත් අලුත් දේ ඊට එකතු වෙනවා. අන්න ඒ නිසා තමයි ඉතිහාසය කවදාවත් පරණ වෙන්නේ නැහැ කියල කිව්වේ. ඒ වගේම අපි නොහිතන ඇතැම් දේවල් වලට ඉතා දිගු අතීතයක්‌ තියෙනවා. ඒවා නිර්මාණය වෙලා තියෙන්නේ අපි නොහිතන කාලයක නොහිතන විදිහට. ටිකක්‌ හොයල බැලුවොත් එහෙම දේවල් ඕන තරම් අප අතර තියෙන්න පුළුවන්. ඔබ අප පළඳින ඇස්‌ කණ්‌ණාඩි වලටත් තියෙන්නේ ඒ වගේ දීර්ඝ ඉතිහාසයක්‌. එදා ඉඳන් අද වෙනකම් ටිකෙන් ටික මේ ඇස්‌ කණ්‌ණාඩි වෙනස්‌ වෙවී හැඩවෙමින් ආපු මෝස්‌තරේ බොහොම ලස්‌සන එකක්‌. ඒ නිසාම මෙවර මෝස්‌තරෙන් අපි සොයාබලන්නේ ඇස්‌ කණ්‌ණාඩි ගැන.

මේ ඇස්‌ කණ්‌ණාඩි වලට අපේ රටේ ලොකු සම්බන්ධයක්‌ තියෙනවා. ඒක බොහොම රසවත් ඉතිහාස කතාවක්‌.

දහතුන්වැනි සියවස තරම් ඈත අතීතයේදීත් අපේ රටේ ඇස්‌ කණ්‌ණාඩි හදල තියෙනව කිව්වොත් ඇතැම්විට ඔබ පුදුම වේවි. ඒ කාලේ රජකළ විජයබාහු රජුගේ කාලේ තමයි ලංකාවේ මුල්ම ඇස්‌ කණ්‌ණාඩිය හැදුවා කියල ඉතිහාස කතාවල සඳහන් වෙන්නේ. ඒක වෙලා තියෙන්නේ මෙහෙමයි. විජයබා රජුගේ කාලේ ඉදිවුණු ලංකාතිලක විහාරයේ වැඩකටයුතු පැවරිලා තිබුණේ ඔහුගේ සේනාධිලංකාර කියන සෙනෙවියාට. වැඩනිමවෙමින් පැවැති විහාරය නැරඹීමට පැමිණි රජුට එහි සියුම් කැටයම් හරිහැටි පෙනිල නැහැ. මේ ගැන රඡ්ජුරුවෝ ඉඳල තියෙන්නේ බොහෝම කනස්‌සල්ලෙන්. සේනාධිලංකාර සෙනෙවියා යටතේ වැඩකරපු "ස්‌ථාපතීයාර්" කියන කැටයම් ශිල්පියා මේ ගැටලුව විසඳන්න ඉදිරිපත් වෙලා තියෙනවා. දින කිහිපයක්‌ විහාර ඉදිකිරීමේ රාජකාරි කටයුතු වලින් විවේකගත් ඔහු ඒ කාලය ඇතුළත රජුට පෙනීම ලබාදීමට උපැස්‌ යුවළක්‌ නිර්මාණය කර තිබෙනවා. එහිදී මෙම කැටයම් ශිල්පියා රජුගේ වයසට සරිලන ලෙස දියතරිප්පු නම් පාෂාණ විශේෂයෙන් අක්‌ෂි කාච දෙකක්‌ නිර්මාණය කරල හරක්‌ අංවලින් හදපු පට්‌ටමකට මෙම කාච සවිකරල රජුට උපැස්‌ යුවළක්‌ නිර්මාණය කරල දීල තියෙනවා.

මේ පිළිබඳ මහත්සේ සතුටට පත්වුණු විජයබාහු රජු පිළිමතලව්වේ කිරිවව්ල කියන ප්‍රදේශය මෙම ශිල්පියාට ගම්වරයක්‌ ලෙස ප්‍රදානය කරල තියෙනවා. මේ විදිහට තමයි ලංකාවේ නිෂ්පාදනය වුන මුල්ම ඇස්‌ කණ්‌ණාඩිය පිළිබඳව ඉතිහාසයේ කියෑවෙන්නේ. අදටත් මහනුවර පිළිමතලාවේ කිරිවව්ල කියන ප්‍රදේශයේ දියතරිප්පු පාෂාණ භාවිත කරමින් ඇස්‌ කණ්‌ණාඩි හදන පාරම්පරික ශිල්පීන් සිටිනවා. මෙය සත්‍යයක්‌ නම් ලොව මුල්ම උපැස්‌ යුවළ නිර්මාණය වී තිබෙන්නේ ශ්‍රී ලංකාවේදී වීමට බොහෝ දුරට ඉඩ තිබෙනවා.

මෙලෙස මුල්ම කාලයේදී ඇස්‌ කණ්‌ණාඩි හදල තියෙන්නේ පාෂාණ වර්ග සියුම් ලෙස ඔප ගැන්වීමෙන්. මේ සඳහා බහුල ලෙස යොදාගෙන තියෙන්නේ දියතරිප්පු කියන පාෂාණ විශේෂය. ඊට අමතරව මෙරළුමිණි, තිරිවාන වැනි පාෂාණත් මේ සඳහා යොදාගෙන තිබෙනවා.

දහතුන්වැනි සියවයේදී හෝ ඊට ආසන්න කාලයෙහිදී යුරෝපයේද මෙවැනි ඇස්‌ කණ්‌ණාඩි තිබූ බවට ඉතිහාසයේ කියෑවෙනවා. පසුකාලීනව මෙහි අවශ්‍යතාවන් වැඩිවත්ම පාෂාණ වෙනුවට වීදුරු කාච භාවිතයට ඔවුන් හුරුවී තිබෙනවා. යුරෝපයේදී ආරම්භයේ සිටම මේ සඳහා ව්‍යාපාරිකයන් අතර ලොකු තරගයක්‌ද ඇතිවී තිබෙනවා. ඒ කාලේදී යුරෝපයේ ප්‍රසිද්ධම ඇස්‌ කණ්‌ණාඩි නිෂ්පාදනය වෙලා තියෙන්නේ ඉතාලියේ වැනීසිය හා ජර්මනියේ "නියුරෙම්බර්ග්" කියන නගර වල. මෙලෙස දියුණු ව්‍යාපාරයක්‌ බවට පත්වුණු ඇස්‌ කණ්‌ණාඩිය මෝස්‌තරයක්‌ ලෙස සමාජ ගත වෙන්න ඒතරම් කාලයක්‌ ගියේ නැහැ. මෙහි මූලික අවශ්‍යතාව ඇස්‌ පෙනීම සඳහා වූවත් පසුකාලීනව ඇස්‌වල ආරක්‍ෂාවට, අව් රශ්මියට මෙන්ම අලංකාරයට ඔබින ලෙස පළඳින්නත් මිනිස්‌සු පුරුදු වුණා. ඒ ඒ අවශ්‍යතා වෙනුවෙන් මේවා නිෂ්පාදනය වෙන්න පටන් ගත්තා.

මේ විදිහට බොහොම ප්‍රාථමික මට්‌ටමින් ආරම්භ වුණු ඇස්‌ කණ්‌ණාඩි 1887 දී ඉතා දිගු පියවරක්‌ තබනවා. එය තමයි ඇස්‌වලට පළඳින මුල්ම සිවිකාචය නිර්මාණයවීම. අද අප ඇසේ කළු ඉංගිරියාවට පමණක්‌ පලඳින සිවිකාචය සොයාගත් නිර්මාණකරුවන්නේ "ඇඩොල්ෆ් ෆ්Sක්‌" ඕනම නිෂ්පාදනයක්‌ කාලෙන් කාලෙට අලුත් වෙනවා කියන්නේ තාක්‍ෂණයෙන් ක්‍රියාකාරීත්වයෙන් මෙන්ම සරල සැහැල්ලු බවින්ද යුක්‌තවීමයි. සත්‍ය වශයෙන්ම පාෂාණ ඔප දැමීමෙන් නිර්මාණය කරගත් විශාල රාමුවකින් සැකසුණු ඇස්‌ කණ්‌ණාඩිය ඇසේ ප්‍රමාණයට පැළඳීමට තරම් සියුම් නිර්මාණයක්‌ වීම ඉතාමත් සුවිශේෂී වේගවත් ගමනක්‌ වුණා.

කොහොම නමුත් "ඇඩොල්ෆ් ෆ්Sක්‌" ගේ මෙම අලුත් මෝස්‌තරයේ සොයා ගැනීම ඉතා ඉක්‌මනින් ජනප්‍රිය වෙන්න ගත්තා.

ඔහුගේ මෙම නිර්මාණ අද ඔබ අප දකින සිවිකාචය තරම් සියුම් එකක්‌ නම් වුණේ නැහැ. එය ඇස මුළුමනින්ම ආවරණය වන තරමේ විශාල එකක්‌. නමුත් ඒ කාලෙදී මෙය නවතම නිර්මාණයක්‌. මෙම පැළඳ සිටීමේදී බාහිර තෙතමනය ඇසට නොලැබෙන නිසා ඇස වියළීමෙන් වළක්‌වා ගන්න වෙනමම සැකසූ දියරයක්‌ පාවිච්චි කරන්නත් සිදුවෙලා තියෙනවා.

අප අද දකින කළු ඉංගිරියාවට පමණක්‌ පළඳින අතිශය සියුම් සැහැල්ලු සිවිකාචය නිර්මාණය වන්නේ 1940 වර්ෂයේදීයි.. එය තවත් සංවර්ධනය වී 1988 පමණ වනවිට පාවිච්චි කර ඉවත දැමිය හැකි ඉතා සරලව පාවිච්චි කළහැකි මෙවලමක්‌ බවට පත්වෙනවා. මේ නිසා බොහෝ දෙනෙක්‌ අතර ඇස්‌ කණ්‌ණාඩි වලට වඩා සිවිකාච ජනප්‍රිය වෙනවා.

කල්ගතවත්ම නොයෙකුත් අවශ්‍යතාවය මත ඒවාට ගැලපෙන අයුරින් සැකසුණු උපැස්‌ යුවළ අද වනවිට බොහොම සංකීර්ණ මාතෘකාවක්‌ බවට පත්වෙලා තිබෙනවා. විශේෂ අවශ්‍යතාවන් මත වටිනා දියමන්ති මුතු මැණික්‌ රන් රිදියෙන් නිමවුණු ඇස්‌ කණ්‌ණාඩි හෝ අව් කණ්‌ණාඩි රුපියල් කෝටි ගණන් වලටත් ධන කුවේරයන් අතරේ හුවමාරු වෙනවා. මේ නිසා අද වනවිට ඇස්‌ කණ්‌ණාඩි තවදුරටත් පෙනීම ලබාගැනීම සඳහා පාවිච්චි කරන දෙයක්‌ නෙමෙයි. කෙටියෙන් කියනව නම් අද මෙය ජනප්‍රිය මෝස්‌තරයක්‌ රැල්ලක්‌ බවට පත්වෙලා.

මුහුණට නව පෙනුමක්‌ ලබාගැනීමට, පෞරුෂය වැඩිදියුණු කරගැනීමට සමාජයේ කැපී පෙනීමට බොහෝ දෙනෙක්‌ දැන් මෙය පාවිච්චි කරනවා. කලකට ඉහතදී අව් කණ්‌ණාඩියක්‌ පැළඳුවේ සමාජයේ එක්‌තරා පිරිසක්‌ පමණයි. සමාජ තත්ත්වය, මිල මුදල් යහමින් පැවතීම ඉංග්‍රීසි කතා කිරීම වැනි දේ මීට බලපෑවා. එහෙම නැති අය අව්කණ්‌ණාඩියක්‌ පැළඳීමට ආසාවෙන් හිටියත් සමාජයට තිබුණු බිය හෝ ලැඡ්ජාව නිසා බොහොම හොර රහසේ තමයි පාවිච්චි කළේ නමුත් අද ඒ සියල්ල උඩුයටිකුරු වෙලා.

වර්තමානයේදී අප පළඳින ඇස්‌ කණ්‌ණාඩි හෝ අව් කණ්‌ණාඩිවල මෝස්‌තර ස්‌වභාවය කරුණු කීපයක්‌ නිසා එකිනෙකට වෙනස්‌ වෙනවා. එනම් රාමුව, හැඩය, කාචය ඇතැම් විට නිර්මාණය වුණු ලෝහය හෝ කාචයේ වර්ණය මෙහිදී විශාල වටිනාකමක්‌ ඉල්ලුමක්‌ ඇති කරනවා.

සැහැල්ලු, සරල අව් කණ්‌ණාඩි වලට තමයි විලාසිතාවට කැමති තරුණ පරපුර වැඩිවශයෙන් ආකර්ෂණය වන්නේ. මෙහි රාමුවේ හැඩය මෙන්ම නිර්මාණය වී තිබෙන ලෝහයද වැදගත් වෙනවා. තඹ, ටින් මිශ්‍ර ලෝහ, ලෝකඩ, රිදී, ආදී ලෙස එක්‌ එක්‌ විදිහේ රාමු තිබෙනවා. ඒ අතරින් ටයිටේනියම් වැනි සරල, සැහැල්ලු, නම්‍යශීලි ලෝහ මිලෙන් වැඩි වුණත් ලොකු වෙළෙඳ පොලක්‌ ඇතිවී තිබෙනවා. ඒ වගේම නොයෙකුත් වර්ණයන් සඳහාද දැන් තිබෙන ඉල්ලුම වැඩියි.

රෝස, දුඹුරු, දම්, නිල්, කහ වර්ණයන් වැඩියෙන් භාවිත වෙනවා.

අද වනවිට වීදුරු කාචවලට වඩා වැඩි ඉල්ලුමක්‌ ඇතිවී තිබෙන්නේ ප්ලාස්‌ටික්‌ කාච වලට. ඊට හේතුව තමයි ප්ලාස්‌ටික්‌ කාච ආරක්‍ෂා කරගැනීම හා භාවිතයට පහසුවීම. ඇස්‌ කණ්‌ණාඩියේ හැඩයද කලින් කලට එක එක මෝස්‌තරයට එනවා. හතරැස්‌ හැඩයට, ඕවලාකාර, සෘජුකෝණාශ්‍රාකාර ආදී ලෙස කාලයේ තාලයට මේවා වෙනස්‌ වෙනවා. කොහොම නමුත් මේ හැම දෙයක්‌ම සාර්ථක වෙන්න නම් ගුණාත්මක භාවයෙන් මෙන්ම මුහුණට ගැලපෙන හැඩයෙන් වඩාත් හොඳම දෙය තෝරා ගැනීම තමයි අත්‍යවශ්‍යම දෙයවන්නේ. එහෙම නැතිවුණොත් ඇස්‌ කණ්‌ණාඩියක්‌ හෝ අව් කණ්‌ණාඩියක්‌ පැළඳීමෙන් ඔබ බලාපොරොත්තු වන කිසිම අරමුණක්‌ ඉටුවෙන්නේ නැහැ. ඒ නිසා ඔබට ගැලපෙන මෝස්‌තරේ පිළිබඳව පූර්ව දැනුවත් වීම ඉතා වැදගත් වෙනවා.

රංග විදානේ

Post a Comment

0 Comments