1848 මාතලේ කැරැල්ල


මානව ඉතිහාසය, මිනිසුන් විසින් සකලවිධ පීඩනයන්ට මර්දනයන්ට එරෙහිව ගැසූ කැරළි කෝළහල, අරගල වලින් පොහොසත්ය. එම කැරළි, අරගල, බොහොමයක්‌ අසාර්ථකවීම්, පරාජයවීම් වලින් කෙළවර වූවද පසුකාලීන සමාජයට බොහෝ සාධනීය අත්දැකීම් ඉන් එකතු කර දුන්නේය. එම අරගලවලදී ලේ, ක`දුළු, දහදිය හෙළුE, අරගලයට දායක වූ, ජීවිතය දුන් මිනිසුන් ඒ දේ කළේ හුදෙක්‌ තමන් වෙනුවෙන් නොව අනුන් වෙනුවෙනි. අරගලවලදී දිවි දුන් මිනිසුන් ශ්‍රේෂ්ඨයින් වන්නේ ඒ නිසාය.

අප එවැනි මිනිසුන් සිහිපත් කිරීම ස`දහා කළ යුත්තේ කුමක්‌ ද? පිළිම නෙළීමද? ස්‌ථාන නාමකරණය කිරීමද? සැබවින්ම නැත. ඔවුන් අරගල කළ හේතුව, අරගල කළ ආකාරය, පරාජයේ අත්දැකීම් පිළිබ`ද ඉතිහාසය නැවත කියෑවීමය. හැදැරීමය. ඉන් පාඩම් ඉගෙන අනාගතයට මුහුණදීමය. අනාගත පරම්පරාවලටද ඒ ස`දහා ඉඩකඩ සැලසීමය. ඔවුන් සජීවි වන්නේ එවිටය. යාවජීව වන්නේ එවිටය. ඒ ස`දහා ඓතිහාසික මුලාශ්‍ර පමණක්‌ නොව ඔවුන් භාවිත කළ උපකරණ ස්‌ථාන, ඔවුන්ගේ ජීවිත ද අධ්‍යයනය කළ යුතුය. ඒවා සංරක්‍ෂණය කර පවත්වාගත යුතුය. ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගන්නා බොහෝ ජාතීන් එසේ කරති. ඉන් අප ඉන්නේ කොතැනද? 

පසුගිය ජුලී 28 වෙනිදාට මාතලේ කැරැල්ල සිදුවී වසර 165 ක්‌ පිරුණේය. ඒ මාතලේ කැරැල්ලේ සලකුණු මැකීයන අන්දම-මකාලූ අන්දම බලන විට අප කෙතරම් නිහින ජාතියක්‌දැයි සිතේ. 1848 මාතලේ කැරැල්ල සුවිශේෂි වන්නේ එය ඉන් පෙර 1818, 1834, 1842 ඇති වූ කැරළි කුමන්ත්‍රණ වලට වඩා වෙනස්‌ ස්‌වරූපයක්‌ ගත් නිසාය. එම ආණ්‌ඩු විරෝධී කුමන්ත්‍රණ වළි අරමුණ සිංහල රාජවංශය යලි ඇති කිරීම වුවත්, 1848 මාතලේ කැරැල්ල ඉංගී්‍රසි පාලනයේ දැඩි පීඩනයට මර්දනයට එරෙහිව රට පුරාම ව්‍යාප්ත වී ගිය මහජන නැගිටීමක්‌ විය. මහජන පිබිදීමක්‌ විය. එකද රදළයකු හෝ කැරළි ගැසීමේ වරදට හසු නොවූ අතර රාජ්‍ය ප්‍රතිරූපකයා ද සාමාන්‍ය වැසියකු විය. 

එවකට ආණ්‌ඩුකාරවරයා වූ ටොරිංටන් සාමී විසින් පනවන ලද, තුවක්‌කු, බලු, ස්‌තෝප්පු, අස්‌රිය, කරත්ත, පාර බද්ද වැනි ජනතාවට වඩාත් සංවේදී වූ බදු දහහතරකට එරෙහිව රට පුරාම පැතිර ගිය මහජන විරෝධය, 1848 ජුලි 06 වෙනිදා හාරදහසකට අධික පිරිසක්‌ මහනුවර කච්ෙච්රියට පැමිණ බදු අස්‌කරගන්නා ලෙස ඒජන්තතුමාට බලකිරීමෙන් ආරම්භ විය. ජුලි 26 ආණ්‌ඩුවට එරෙහිව බොරැල්ලේ පවත්වන ලද මහ සභාවක්‌ මගින් ආණ්‌ඩුකාරයාට සන්දේශයක්‌ යෑවිනි. ජුලි 27 බදුල්ලේ කච්ෙච්රියට රැස්‌වූ සෙන`ග ඒජන්තවරයා ඉදිරිපිට බද්දෙන් නිදහස්‌ වීමට තුවක්‌තු කඩා බිද දැමූහ. බදු පිළිබ`දව කරුණු පැහැදිලි කිරීමට පැමිණි යටත් විජිත ලේකම්වරයා ගාල්ලේ වැසියන් විසින් පලවා හරින ලදි. මේ අන්දමින් රට පුරා පැවති මහජන විරෝධය 1848 ජුලි 28 මාතලේ ප්‍රදේශයෙන් පුපුරා ගියේ පුරං අප්පු. ගොන්ගාලේගොඩ බංඩා, ඩිංගිරාළ ප්‍රධාන පිරිස ආයුධ සන්නද්ධව ඉංග්‍රීසින්ට එරෙහිව නැගී සිටීමත් සම`ගය. එම අරගලය විදේශීය පාලනයට එරෙහිව ජාතියේ විමුක්‌තිය උදෙසා කළ අවසන් සටනද විය. 1948 නිදහස ප්‍රදානය කරන තුරුම ඉංග්‍රීසින්ට එරෙහිව නැගීසිටිමට සිංහලයාට එඩිතර කමක්‌ නොවීය. 

ඒ යුගය වනවිට මාතලේ ලෙස හැදින් වූ ප්‍රදේශය සැතපුම් 3/4 පමණ දිග ත්‍රිකුණාමල වීදිය දෙපස පොල් අතුයෙන් හා පිදුරු සෙවිලි කරන ලද කුඩා ගෙවලින් හා කඩමණ්‌ඩියකින් සමන්විත වූවක්‌ විය. මුළු නගරයටම වූවේ උළු සෙවිලි කරන ලද ස්‌ථාන 05 කි. ඒ පහම ආණ්‌ඩුවේ ගොඩනැගිලි විය. මේ ප්‍රදේශය වත්මන් මහනගර සභා බල ප්‍රදේශයට අයත් වේ. 

1848 ජුලි මස 28 මාතලේ කැරැල්ල ආරම්භ වූ දිනයයි. ජුලි 29 වීර පුරං අප්පු දහසක පමණ සේනාවක්‌ ගෙන මාතලේ නගරයට ඇතුළු විය. රජයේ ස්‌ථාන වැටලීම ඔවුන්ගේ ඉලක්‌කය විය. එදින උදේ 10 වන විට කිසිදු සුදු ජාතිකයෙක්‌ මාතලේ නොසිටි බව වාර්තා වේ. මාතලේ තානායම, සිවිල් බේත් ගබඩාව, මහෙස්‌ත්‍රාත් ලේඛනාගාරය රට බීම ගබඩාව ඔවුහු ආක්‍රමණය කළහ. මේවායේ තිබුණ ලිපි ලේඛන බේත්-හේත් මාතලේ නගරය පුරා විසුරුවා හලමුත් සිංහල හේවායින් එම ගොඩනැගිලි වලට කිසිදු හානියක්‌ කළේ නැත. ඔවුන්ගේ ඉලක්‌කය පොදු දේපල නොවීය. 

පුරං අප්පු ප්‍රමුඛ සිංහල හේවායින් එදා නොකළ දේ පසුගිය වසර 50 ක කාලය තුළ අපේ ඇත්තෝ කළහ. ඒ පෞරාණික ගොඩනැගිලි වලින් කිහිපයක්‌ සලකුණක්‌ වත් නොතබා විනාශ කළ අතර, අනෙක්‌වා ප්‍රතිසංස්‌කරණයන්ට ලක්‌කර විවිධ අවශ්‍යතා ස`දහා යොදා ගත්හ. එම ගොඩනැගිලි වල ඡායාරූපයක්‌වත් අද සොයාගත නොහැක.

සලකුණක්‌වත් නොතබා විනාශ කළ ගොඩනැගිලි අතර වත්මන් මහ නගර සභාව අසල තිබූ එදා මාතලේ උසාවිය ඇසින් දුටුවෝ අදත් සිටිති. දැවැන්ත දෙමහල් ගොඩනැගිල්ලක්‌ වූ එහි රෙද්දකින් පවන් ගසන අවානක්‌ ද විය. එවන් අවානක්‌ මහනුවර දළදා මාලිගාවේ අදත් දක්‌නට ලැබේ.

මාතලේ තානායම එදා පැවති ගොඩනැගිල්ලේ අද ක`දුරට සංවර්ධන බැංකුව පවත්වාගෙන යයි. තවමත් පෞරාණික සලකුණු නොමැකී පැවතියද එය බැංකුවකට උචිත ආකාරයකට සකස්‌ කර තිබේ.

එමෙන්ම ඉංග්‍රිසීන්ගේ 'ක්‌ලබ් එක' (එදා රටබීම ගබඩාව ලෙස සිතිය හැක.) පැවති වික්‌ටෝරියානු සම්ප්‍රදායට අයත් දැවැන්ත ගොඩනැගිල්ල අද ක්‍රිස්‌තුදේව විද්‍යාලයට අයත්ය. එහි ඇතුළත පාසලකට උචිත ලෙස සකස්‌ කර පංති කාමර සහ කාර්යාලය පවත්වාගෙන යනු ලැබේ. ඒ ඉදිරිපිට තිබූ දර්ශනීය තණනිල්ලේ අද විද්‍යාලයීය ගොඩනැගිලි ඉදිකර තිබේ. 

අලුවිහාරය ක්‍රීඩාංගනය අසළ තිබූ බොරන් ශාලාව කඩා බිඳ දමා එතන නගර සභාවේ ළමා සායන මධ්‍යස්‌ථානය හා ළදරු පාසල් පවත්වාගෙන යයි. එය 70 දශකයේ ද තිබුණි.

එම යුගයට අයත් ගොඩනැගිලි අතරින් අද ඉතිරිව ඇත්තේ වත්මන් සංස්‌කෘතික මධ්‍යස්‌ථානය පවත්වාගෙන යනු ලබන බ්‍රිතාන්‍ය පරිපාලන නිලධාරින්ගේ නිල නිවාසය වූ දැවැන්ත ගොඩනැගිල්ල පමණි. 2007 දී එය සංස්‌කෘතික හා ජාතික උරුමයක්‌ පිළිබ`ද අමාත්‍යාංශයට පවරා ගන්නා ලදුව එහි පෞරාණික වාස්‌තු විද්‍යාත්මක ලක්‍ෂණ සලකා පුරාවිද්‍යා ස්‌මාරකයන් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ. වාස්‌තු විද්‍යාව හදාරන ශිෂ්‍යයන්ට එය මහ`ගු අධ්‍යනාගාරයක්‌ බව විද්වතුන්ගේ මතයයි.

මෙම ගොඩනැගිල්ල තුළ සංචාරක හෝටලයක්‌ දැමීමට වලිකන බලවතුන්ට එය තවමත් කරගත නොහැකි වී තිබෙන්නේ පුරා විද්‍යා ස්‌මාරකයක්‌ ලෙස ප්‍රකාශයට පත්කර තිබීමයි. නමුqත්, තවම උත්සහය අත්හැරි බවක්‌ නම් නොපෙනේ.

මෙලෙස ඉංග්‍රීසින් විසින් කැරැල්ල පැවති සමාජයේ භාවිත කළ ගොඩනැගිලි විනාශ කිරීම සුද්දන්ගේ දේවල් විනාශ කිරීමක්‌ ලෙස සලකා ඇතමුන් සාධාරණිකරණය කළත් කැරැල්ලේ පරාජයත් සම`ගම අගෝස්‌තු 06 වෙනිදා වාරියපොළට පැමිණි පුරං අප්පු එහි ගල්ලෙනක රාත්‍රිය ගතකර තිබේ. අගෝස්‌තු 07 වෙනිදා ඔහු අල්ලා ගනු ලබන්නේ එතැනදීය. එම ගල්ලෙනත් අද ජරාජීර්ණව ගොස්‌ තිබේ. එහි ගල් පහත් වී දොරටුව වැසියාමට ආසන්නව තිබේ.

එමෙන්ම පුරං අප්පුගේ සිංහල හේවායින් හා ඉංගී්‍රසි හමුදාව ගැටුන වාරියපොළ ස්‌ථාපිත කර ඇති සිහිවටන ගල ඒ නවය මාර්ගයේ පැති කාණුවක මායිම බවට පත් කර ඇත. සිංහල හේවායින් දෙසීයකට ආසන්න සංඛ්‍යාවක්‌ එතැනදී ඝාතනය වූ බව ඓතිහාසික මූලාශ්‍ර වල ස`දහන් වේ. යුද්ධාධිකරණයේ තීන්දුව මත 08 දෙනෙකු පිප්ප මත නංවා වෙඩිතබා ඝාතනය කළ රුක්‌අත්තන ගස්‌ යට පිහිටුවා ඇති ස්‌මාරක කුලුන පමණක්‌ මාතලේ කුඹියන්ගොඩ මාර්ගයේ හුදකලාව නැගී සිටී.

1803 දී රාජසිංහ රජු විසින් සාදන ලදයි සැලකෙන මැක්‌ඩොවල් බලකොටුව අද ගල් ගැලවී යමින් විනාශ වෙමින් පවතී. එහි නාඳුනන පුද්ගලයන් සයදෙනෙකුගේ සොහොන් කොත් ඇති අතර ඒවා 1848 කැරළි නායකයින්ගේ යෑයි අදහසක්‌ පවතී. සුද්දන්ගේ බලකොටුවක්‌ තුළ කැරළිනායකයින් ගෞරවාන්විත ලෙස මිහිදන් කළා යෑයි සැලකිය නොහැකිය. ඒ පිළිබ`දව පුරා විද්‍යා ගවේෂණයක්‌ මෙතෙක්‌ සිදුවී නැත.

එසේ වුවද 1848 කැරැල්ල බිහිවීමට මූලික කරුණු කාරණා එනම් හිංසාකාරි බදු පැනවූ එමෙන්ම කැරැල්ල අති බිහිසුණු ලෙස කෲර ලෙස මර්දනය කළ, ජනතාවගේ ගොවිබිම් හරකාබාන පමණක්‌ නොව පන්සල් පවා කොල්ලකෑ, කඩහපොළ උන්නාන්සේ (කුඩාපොළ හාමුදුරුවෝ) 1848 අගෝස්‌තු 26 සිවුර පිටින්ම වෙඩි තබා ඝතනය කිරීමට යුද්ධාධිකරණය ගත් තීන්දුව කිසිලෙසකින්වත් වෙනස්‌ කිරීමට අකමැති ප්‍රධාන පුද්ගලයා වූ ටොරිංටන් ආණ්‌ඩුකාරයා නමින් පිහිටවු, කොළඹ ටොරිංටන් චතුරස්‍රය අදත් නිරුපද්‍රිතය. සශ්‍රීක මාතලේ නිසරු මුඩු බිමක්‌ කළ ටොරිංටන් ආණ්‌ඩුකාරයා පිළිබ`ද මෙන්ම තමන් බිහිවූ පයගසා ජීවත් වන මේ බිම අසාධාරණයට අයුක්‌තියට විරුද්ධව අධිරාජ්‍යයක්‌ හා සටන් වැදීමට තරම් නිර්භීත කමක්‌ තිබූ පිට කොන්දක්‌ තිබූ සිය මුතුන් මිත්තන්ගේ රුධිරයෙන් තෙත් වූ ඔහුන්ගේ ඇටකටු වලින් පෝෂණය වූ බිමක්‌ බව මාතලේ නූතන පරම්පරාවන් දන්නේ නැත. මාතලේ දරුවෝ වාර්ෂික අධ්‍යාපන චාරිකා වලට කටුගෙය නරඹා, ඉතිහාසයද නරඹා, ටොරිංටන් චතුරස්‍රයට විත් නිදහස්‌ සුව වි`ද එති. එය ඔහුන්ගේ වරද නොවේ.

ඓතිහාසික මාතලේ කැරැල්ලට වසර 165 ක්‌ සපිරෙන මේ මොහොතේ ඒ ජාතියේ අභිමානවත් නැගීසිටීම පිළිබ`දව අනාගත පරම්පරාවන්ට සාක්‍ෂි සාධක සහිතව කියෑවීමට හැදෑරීමට ඉඩකඩ ලබාදීමට කටයුතු සලසා දීම සංස්‌කෘතික, ජාතික උරුමයන් මෙන්ම අධ්‍යාපන අමාත්‍යාංශයටත් තවමත් අවස්‌ථාව ඇත. ඒ අවස්‌ථාව පැහැර නොහරිනු ඇතැයි අපි විශ්වාස කරමු. 

එසේම මාතලේ කැරැල්ල නැවත කියවීමේ දී වීරයන් මෙන්ම ෙද්‍රdaහියන් ද එකලෙස හමුවේ. ෙද්‍රdaහියන්ගේ පාවාදීම් මත පුරං අප්පු, ගොංගාලේ ගොඩ බංඩා, කඩහපොළ උන්නාන්සේ වැනි අය මෙන්ම බොහෝමයක්‌ විරුවන් ජීවිතයෙන් වන්දි ගෙව්වහ. එම විරුවන් සැරසූ අපේ ඉතිහාසය වළලා දැමුවොත් අපද ෙද්‍රdaහීන් ගොඩටම එක්‌ වීම නොවැලැක්‌විය හැකිය.

සුජාතා අලහකෝන්
මාතලේ හිටපු දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රිනී

Post a Comment

0 Comments