වැඩිපුර කෑවත් නරකයි වැඩිපුර බිව්වත් නරකයි


සාමාන්‍ය සරල සමාජයේදී අප ආහාරයට ගන්නා බොහෝ ආහාර බෝග හා පෝෂ්‍ය සංඝටක ගැන අපි පසුගිය දිනවල දිගින් දිගටම කතාබහ කළෙමු. ඒ අනුව යමින් අද අපි කතාබහ කරන්නට මුල පුරන්නේ තරමක්‌ සංවාදයට බඳුන් විය හැකි තවත් විවාදාත්මක ආහාරයක්‌ ගැනය.

කතා කරලත් බැරි නොකරත් බැරි මේ ආහාරය (මාතෘකාව) අන් කවරක්‌ වත් නොව, ඇල්කොහොල්ය. එහෙමත් නැත්නම් මධ්‍යසාරය...

මෙම කතාබහ ආරම්භ කිරීමේදී මම ආචාර්ය ආනන්ද චන්ද්‍රසේකරගෙන් මුලින්ම ඇසුවේ මධ්‍යසාරයත් (ඇල්කොහොල්) ආහාරයක්‌ ද කියාය. ඊට උත්තර දෙමින්ම ආචාර්ය චන්ද්‍රසේකර සිය විග්‍රහය ඉදිරිපත් කළේය.

ඇත්තම කියනවා නම් පිටරටවල දියුණු රටවල ආහාර හා පෝෂණවේදය ගැන කතා කරනකොට මේ ඇල්කොහොල් එහෙම නැත්නම් මධ්‍යසාර කියන කොටස ගන්නේම ආහාරයක්‌ හැටියට. අපේ රටේදී අපේ ආගමික ජාතික සංස්‌කෘතියට අනුව සමහරු මෙය විවාදයට ගත යුතු කරුණක්‌ ලෙස දකීවි. නමුත් මෙය ආහාරයක්‌ය කියමින් අපි මේ කරගන්න හදන්නේ මධ්‍යසාර ගන්න කියල කියන්න නම් නොවෙයි කියන එක මුලින්ම මතක තබාගන්න ඕන.

පිටරටවල පෝෂණය ගැන කතා කරනකොට අනිකුත් ආහාර වර්ග ගැන වගේම ඇල්කොහොල් ගැනත් කතා කරනවා. මෙය මොකක්‌ද, පෝෂණය රැකගන්න නම් අපි ගත යුත්තේ කොපමණ ප්‍රමාණවලින් ද කියන එක කියා දෙනවා. හරියට අර ලිංගික අධ්‍යාපනය කියන එක ගැන වගේ. අපි අද ඒක ගැනත් හංගගෙනනේ කතා කරන්න පුරුදු වී ඉන්නේ.

නමුත් මම හිතනවා ඇල්කොහොල් ගැන අපි දැනගෙන ඉඳීම ජීවිතයට ඉතාමත්ම වැදගත් කියලා. ඇයි මම එහෙම කියන්නේ?

මම එහෙම කියන්නේ කවුරු මොනවා කිව්වත් අපේ රටේ තවමත් ජනතාවගෙන් විශාල ප්‍රමාණයක්‌ මධ්‍යසාර පාවිච්චි කරනවා. ඒ වගේම එය හරියට පාවිච්චි කරන්න, එහි ආදීනව, හොඳ නරක ගැන හරියට දන්නේ නැති නිසා විශාල ප්‍රමාණයක්‌ අකාලයේ නිරපරාදේ ලෙඩ හදාගෙන මියයනවා. අන්න ඒකයි සුවෙන් සිටින්න නම් ඒ ගැනත් හරියට දැනගත යුතුයි කියල මම යෝජනා කරන්නේ.

අද අපි ආගමික හා සංස්‌කෘතික හැටියට බලනවිට මධ්‍යසාර (ඇල්කොහොල්) පිළිකෙව් කළාට අපේ රටේත් මේ සංස්‌කෘතිය ආරම්භයේ පටන්ම මධ්‍යසාරයන් තිබිල තියන බවට සාක්‍ෂි තියනවා. මම කතා කරන්නේ මෙහි හොඳ නරක ගැන නොවෙයි. මෙය මනුෂ්‍ය ශරීරයට කොහොමද බලපෑම් කරන්නේ කියන එක ගැනයි.

අපි පෝෂණවේදීන් හැටියට ලොව තිබෙන සියලු ඇල්කොහොල් වර්ග (Alchohol) කොටස්‌ 3 කින් වෙන්කර හඳුනා ගන්නවා. 1. බියර් හා රා වර්ග (පැසෙමින් පවතින), 2. වයින් වර්ග (පැසෙමින් පවතින), 3. ස්‌ප්‍රීතු වර්ග (පෙරන ලද ස්‌ප්‍රීතු) මධ්‍යසාර හෙවත් ඇල්කොහොල් වර්ග සකස්‌ කරන මූලධර්මය තමයි සීනි දිය කරන ලද ද්‍රාවණයකට ක්‍ෂුද්‍ර ජීවීන් එකතු කර පැසෙන්නට හැරීම. බොහෝ ද්‍රාවණයන්ට මේ අයුරින් යොදා ගන්නේ ඊස්‌ට්‌. පැසෙන ලද එම ද්‍රාවණය එක්‌ එක්‌ තත්ත්වයන්ගෙන් ගැනීමෙන් තමයි මධ්‍යසාරය සකස්‌ වෙන්නේ. අවසානයේ පැස්‌සවන ලද ද්‍රාවණය යම් ඉන්ධනයක්‌ යොදාගෙන රත් කර පෙරීම තුළින් නිකුත් වෙන ස්‌ප්‍රීතුව මේ ක්‍රියාවලියේ සැර වැඩිම මධ්‍යසාරය ලෙස සලකන්න පුළුවන්.

මෙන්න මේ විදියට සාදා ගන්නා ඇල්කොහොල්වල තිබෙන මූලිකම රසායනික සංඝටකය තමයි එතනෝල් (Ethanol). එතනෝල්වල තිබෙන ඇල්කොහොල් වර්ගය අපි ඊතයිල් ඇල්කොහොල් කියලා හඳුන්වනවා.

ඊතයිල්වලට අමතරව මධ්‍යසාර වල වෙනත් ඇල්කොහොල් වර්ගත් සුළු වශයෙන් තියනවා. ඇසිටෝන්, ඇල්ගිහයිඩ් හා මේ වෙනත් ඇල්කොහොල් වර්ග නිසා තමයි මධ්‍යසාරවල ගඳ සුවඳ සැර ආදිය තීරණය වෙන්නේ. යොදා ගන්නා අමුද්‍රව්‍ය අනුව ආවේනික සුවඳවල්, වටිනාකම්, ආවේනික සැරවල් මේ මධ්‍යසාරවල වෙන වෙනම පවතිනවා.

දැන් පිළිගත් නිශ්චිත ක්‍රම අනුව හදන සහ පෙරාගන්න මධ්‍යසාර වර්ගනේ ඕවා. ඒ වගේම පිළිනොගත් නීති විරෝධී ක්‍රම අනුව පෙරන මධ්‍යසාරත් තියනවානේ කසිප්පු වැනි. සමහරවිට යොදන අමුද්‍රව්‍ය මොනවද කියා හිතාගන්න බෑ. මේ ආකාරයේ නොයෙකුත් දේවල් යොදලා හදන මධ්‍යසාරවල විෂ ද්‍රව්‍ය හැදෙන්නත් පුළුවන්. මේ විදියට හැදෙන විෂ සහිත ප්‍රධාන ඇල්කොහොලයක්‌ තමයි මෙතනෝල් (Methanol) කියල කියන්නේ. එහි තියනවා මීතයිල් කියන විෂ කාරක ද්‍රව්‍යය. මෙය ශරීරගත වුණ කෙනෙක්‌ගේ ඇස්‌ පෙනීම එකවරම මොහොතකින් නැතිවී යා හැකියි. ඒකයි ඔය කසිප්පු බොන්න එපා කියල මිනිස්‌සුන්ට කවුරුත් කියන්නේ. හදන ක්‍රමය නීති විරෝධී නිසාම නොවෙයි. විෂ වර්ග තිබෙන නිසයි. මෙතනෝල් අතුරු පලයක්‌ විදියට හැදෙන භයානක විෂක්‌.

මෙතනෝල් නිසා ලංකාවේ විශාල ප්‍රමාණයක්‌ මියගිහින් තියනවා. විශාල ප්‍රමාණයකගේ ඇස්‌ අන්ධවෙලා තියනවා. විශාල ප්‍රමාණයක්‌ පිළිකාවලට ගොදුරු වෙලා තියනවා.

ඊළඟට අපි මධ්‍යසාර සම්බන්ධයෙන් දැනගෙන සිටිය යුතු වැදගත්ම දේ තමයි මධ්‍යසාර වර්ග මැනීමට ලෝකයම භාවිත කරන මිම්ම මොකක්‌ද කියන එක. මේක ලොවම පිළිගත් ඒකකයක්‌.

මෙය මනින්නේ තනිකරම යම් මත්පැන් වර්ගයක ඇති සංශුද්ධ මධ්‍යසාර ප්‍රමාණය අනුවයි. අපි ශුද්ධ මධ්‍යසාරය කියල කියමු. අපි ශුද්ධ මධ්‍යසාර මිලිලීටර් 10 ක්‌ එක යුනිට්‌ එකක්‌ කියලා අර ගන්නවා. සාමාන්‍යයෙන් අපි ගන්නා ඇල්කොහොල් වර්ගවල මේවා කොතරම් තියනවාද බලමුකෝ.

බියර්වල බෝතලයක තියනවා මිලිලීටර් 633 ක්‌. මෙහි ප්‍රතිශතය 4.5% විතර තියනවා. මෙය අපේ ඒකකයට අනුව බලන විට යුනිට්‌ 2.5 ක්‌ පමණ තියනවා.

වයින්වල ඇල්කොහොල් 12% ක්‌ තියනවා. යුනිට්‌ තියනවා 9 ක්‌ විතර.

ලංකාවේ පාවිච්චි කරන අරක්‌කු බෝතලයක මිලිලීටර් 750 ක්‌ තියනවානේ. එහි තියනවා සැර 33% ත් 40% ත් අතර ප්‍රමාණයක්‌. එහි යුනිට්‌ තියනවා 26 ත් 30 ත් අතර ප්‍රමාණයක්‌.

ඔන්න දැන් පුළුවන් හිතාගන්න මත්පැන් බොන කෙනෙක්‌ දිනකට මත්පැන් යුනිට්‌ කීයක්‌ තමන්ගේ ශරීරයට ඇතුළු කරගන්නවා ද කියන එක.

මම කිව්වානේ ඇල්කොහොල් ආහාරයක්‌ කියලා. අපි එහෙම කියන්නේ හැම ඇල්කොහොල් වර්ගයකින්ම ශරීරයට යම් කැලරි ප්‍රමාණයක්‌ එකතු වන නිසයි. ශුද්ධ ඇල්කොහොල් ග්‍රෑම් එකක තියනවා කැලරි 7 ක්‌. අපි ඇල්කොහොල් යම් ප්‍රමාණයක්‌ බොනවා නම් ඒ අදාළ ප්‍රමාණයට අනුව අපේ ශරීරයට කැලරිත් ලැබෙන බව අමතක කරන්න නරකයි. වයින් ගත්තාම එහි ඇල්කොහොල්වලට අමතරව තවත් දේවල් තියනවානේ. ඒවායිනුත් ශක්‌තිය ලබාදෙනවා. සීනි තියනවා. කාබෝහයිඩ්රේට්‌ස්‌ තියනවා. ඒ ගන්න ප්‍රමාණය අනුව අපට කැලරිත් බර ගණනක්‌ එන බව අමතක කරන්න නරකයි.

ඊළඟට අපි බලමු ඇල්කොහොල් ශරීරයට අවශ්‍යමද කියලා. 

නැහැ. මධ්‍යසාරවලින් ලබාගන්නා ඇල්කොහොල් ශරීරයට අත්‍යවශ්‍යම නැහැ. නොබී ඉන්න පුළුවන් නම් ඉතාම හොඳයි. ඒක උපදේශයක්‌. නමුත් අපේ මිනිස්‌සු බොනවානේ. එහෙම බොන කෙනකුට ආරක්‍ෂා සහිතව බොන්නත් ඒකකයක්‌ තියනවා. එය ඒ ඒ දේශගුණයන් වලදී පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්‌ විය හැකියි. 

කෙනෙක්‌ මධ්‍යසාර ගත්තාම ඒවා ක්‍ෂණිකව ඒ කෙනාගේ රුධිරයට එකතු වෙනවා. එකතු වන්නේ සීනි වශයෙන්. අක්‌මාව තුළින් තමයි එම සීනි කොටස්‌ පරිවෘත්තීය ක්‍රියාවලියට ලක්‌ කරලා ශක්‌තිය නිපදවලා හෝ වෙනත් දෙයක්‌ කරලා ඉක්‌මණින් රුධිරයෙන් ඉවත් කරන්නේ. සමහරුන්ගේ අක්‌මාව ඉතා වේගයෙන් ඉතා හොඳින් මේ ක්‍රියාවලිය කරනවා. සමහරුන්ගේ අක්‌මාව මෙය කිරීමේ වේගය ඉතා අඩුයි.

රුධිරයේ වැඩි වෙලාවක්‌ ඇල්කොහොල් තිබුණොත් එයාට වෙරි වැඩියි. අක්‌මාව දුර්වල කෙනා චුට්‌ටක්‌ බිව්ව ගමන් වෙරි වෙන්නේ ඒකයි. අක්‌මාව ශක්‌තිමත් නිරෝගී කෙනාගේ රුධිරයේ සීනි අක්‌මාව විසින් ඉවත් කරන නිසා ඔහුට වෙරි ගතිය වැඩිවෙලා පවතින්නේ නැහැ. ඔහු ඔන්න තව තව බොන්න පටන් ගන්නවා.

ගැහැනු අයගේ පරිවෘත්තීය ක්‍රියාවලියේ වේගය අඩුයි. පිරිමින්ගේ වේගය ඉතා වැඩියි.

ඊට අමතරව පුද්ගලයා අනුව වෙනස්‌. සමහර ශීත රටවල මෙය වෙනස්‌. ආසියාතික අයගේ අක්‌මාව තුළ මේ හැකියාව අඩු බව කියනවා. ආසියාතික රටවල මිනිස්‌සු චුට්‌ටක්‌ බිව්වත් වෙරි වෙන්නේ ඒකයි. ඒක ජානමය ශක්‌තියෙන් එන දෙයක්‌. 

මෙන්න මේ හැම දෙයක්‌ම බලලා ලොව සාමාන්‍ය මිනිස්‌සුන්ට සාමාන්‍යයෙන් දිනකට ගත හැකි, ගත්තාට වරදක්‌ නැති මධ්‍යසාර ඒකකයක්‌ නම් කරලා තියනවා. එය පිරිමියකුට දිනකට යුනිට්‌ 3-4 ක්‌ පමණ වෙනවා. (තුනත් හතරත් අතර) එතකොට අපි දන්නවා අරක්‌කු බෝතලයක තිබෙනවා යුනිට්‌ 30 ක්‌ පමණ. ඉන් දහයෙන් එක්‌ කොටසක්‌ තමයි මිනිසකුට දවසට ගත හැක්‌කේ. කාන්තාවකට නම් මෙය යුනිට්‌ 2 ත් 3 ත් අතර වෙනවා.

ඔන්න ඕකයි මධ්‍යසාරයේ කතාන්දරය. ඒත් ඉතින් අරක්‌කු බෝතලයකින් 1/10 ක්‌ බීල මොන මිනිහද බොන එක අත අරින්නේ. කියාවි 'කැලණි පාලමෙන් පහළට ගඟදිගේ පොල් ලෙල්ලක්‌ ගියා වගෙයි' කියලා.

බීම හොඳ නැහැ කියලා මම කලින් කිව්වා. ඇයි අපි බීම හොඳ නැහැ කියන්නේ. ඒක දැනගෙන ඉන්න එපායෑ.

මම අර කියපු ඒකකයට වඩා දිනකට මධ්‍යසාර අරන් එය දිගින් දිගටම පවත්වාගෙන යනවා නම් නිසැකවම ඔහු පළමුව ශාරීරික, දෙවනුව මානසික, තෙවනුව සාමාජික, හතරවෙනුව ආර්ථික ප්‍රශ්න රාශියකට බලා සිටියදී ගොදුරු වනවා සත්තයි.

විශේෂයෙන්ම මධ්‍යසාරය නිසා අක්‌මාව ආබාධවලට ලක්‌වන බව අපි දන්නවා. ඊළඟට පිළිකා ඇති වෙනවා. උගුරේ කටේ හා බඩවැලේ පිළිකා ඇති වෙනවා. කාන්තාවන්ගේ නම් පියයුරු පිළිකා ඇති වෙනවා. 

රුධිර පීඩනය, ස්‌ට්‍රොaක්‌ එහෙම නැත්නම් ආඝාතය වැනි තත්ත්ව මේ නිසා ඇති වෙනවා. ඒ වගේම ස්‌නායු ප්‍රශ්නත් ඇති වෙනවා. 

වැඩිපුරම අපි දකින දේ තමයි ඇල්කොහොල්වලට ඇබ්බැහිවීම. ඒක භයානක තත්ත්වයක්‌.

ඒ වගේම මෙයට ඇබ්බැහි වුණාම නිවැරදි ආහාර නොගැනීම නිසා මන්දපෝෂණය එනවා.

ඇල්කොහොල් නිතර ගන්න කෙනකුට මානසික අවපාතය එනවා. ඒ කිව්වේ ඇල්කොහොල් ගත්තාම ආත්මශක්‌තිය වැඩි වෙනවා. ඇල්කොහොල් නැති වුණාම උදාසීන වෙනවා. එවිට නැවත අර ආත්ම ශක්‌තිය වර්ධනය කරගන්න ඇල්කොහොල් ගන්නවා. මෙය මානසික අවපාතය ලෙස හඳුන්වනවා.

ඊළඟට බරපතළ විදියට තිබෙන ලෙඩේ අමතකවීම. මානසික ඒකාබද්ධතාව අඩුවීම. 

මේ නිසායි අපි කියන්නේ පුළුවන් නම් නොබී ඉන්න. බැරි නම් අර ඒකකය අනුගමනය කරන්න කියලා.

එහෙම නොකළොත් අපි මුහුණ දෙන බරපතළම තත්ත්වය තමයි අක්‌මා රෝගය. අක්‌මාව කියන්නේ කෙනකුගේ පෝෂණයට සම්බන්ධව තිබෙන ශරීරයේ වැදගත්ම අවයවය. කොටස. මධ්‍යසාර දිගු කලක්‌ වැඩිපුර ගැනීම නිසා ඉක්‌මණින්ම අබලන් වෙන්නේ අක්‌මාව.

ප්‍රධානම රෝගය තමයි ඇල්කොහොල් නිසා අක්‌මාවේ මේදය තැන්පත්වීම. (fatty liver) මෙය ඇල්කොහොල් හින්දමත් වෙනවා. සමහරුන්ට ඇල්කොහොල් නැතිව තරබාරුකම දියවැඩියාව අධික රුධිර පීඩනය වගේ දේවල් නිසාත් එනවා. එහෙම ඇල්කොහොල් නැතුව අක්‌මාවේ මේදය තැන්පත්වී ලෙඩ වෙන අයත් (Nash - නෑෂ්) ඉන්නවා.

මෙතනදී වෙන්නේ අපි කන ආහාරවල තියන ග්ලූකෝස්‌ අක්‌මාවේදී තෙල් බවට පත්වෙලා අක්‌මාවේ ශෛල අතර තැන්පත් වෙනවා. එවිට අක්‌මාවේ සෛල හානි වෙනවා. එවිට ලප කැලැල් එනවා. ඒවාට අපි කියනවා µයිබ්‍රොaසීස්‌ කියලා. (fibrosis) එබඳු කැලැල් වැඩි වැඩියෙන් ඇතිවෙලා අක්‌මාවේ ඝනකම වැඩිවෙන තත්ත්වයට අපි කියනවා සිරෝසීස්‌ (Cirrhosis) කියලා. 

අක්‌මාවේ ක්‍රියාකාරීත්වය අත්හිටවෙන්නේ අන්න එතකොටයි. මේ ලෙඩේ හරි භයානකයි. කෙළවර මරණයම තමයි. හැබැයි මේ ලෙඩේ පටන්ගත්ත බව දන්න ඕනම කෙනකුට තමන් හිටපු තැනින් ඉදිරියට නොයා ආපස්‌සට යන්න පටන් ගත්තොත් මම වගකීමෙන් කියනවා මේ ලෙඩේ නිට්‌ටාවට සුව කරගන්නවා සිකුරුයි.

මොකද අක්‌මාවේ සෛල ඉතා හොඳින් ඉක්‌මණින් ලියලා වර්ධනය වෙනවා.

ජීවිතය ඔන්න ඔහොමයි. දැන ගියොත් කතරගම, නොදැන ගියොත් අතරමග තමයි. ඉතින් මේවා ගැන හරියට දැනගෙන ඉන්නවා නම් ලෙඩ රෝගවලට වංගු දාල වෙට්‌ටු දාල සතුටින් ජීවත් වෙන එක අමාරු නෑ.

වැඩිපුර කෑවත් එකයි, බිව්වත් එකයි. ඒක නිසා කෑම බීම පාලනයකින් සතුටින් ජීවත් වෙන මග දැනුම තුළින් සොයන් යමු.

බුලිත ප්‍රදීප් කුමාර

Post a Comment

0 Comments