ආදරයට ආදරය කිරීම


වර්ග කිරීමකින් බෙදීමකින් තොරව මනසට පැමිණෙන ඕනෑම දෙයක්‌ දෙස විනිශ්චයෙන් තොරව බලන්න. මනසේ නිහඬතාවය අත්විඳින්න. එයට සවන් දෙන්න. මුළු ලේකයම නිහඬ බව හැඟෙයි. සොබාදහමේ සංකලනයෙන් බිහි වූ ඔබ මොහොතකට ඒ සොභාදහමේම අංශුමාත්‍රයක්‌ බවට පත් වෙයි. වර්ග කිරීම්වලින්, බෙදීම්වලින්, සංකල්පවලින්, කිළිටු වූ ඔබගේ සිත ඉන් ඉවත් වූ විට පිරිසිදු වෙයි. ඒ සිත සුපහන්ය. සන්සුන්ය. ඒ සිත මුළු විශ්වයම මිස විශ්වයේ කොටසක්‌ නොවේ.

මුළු විශ්වයම සොබාදහමේ නිර්මාණයකි. සොබාදහම විශ්වයේ කිසිවක්‌ කිසිවිට වෙන්කර නිර්මාණය නොකළේය. සොබාදහම සිංහල, දෙමළ, මුස්‌ලිම්, ඇමෙරිකන් වශයෙන් කිසි විට මිනිසා බෙදා වෙන් නොකළේය. හින්දු, මුස්‌ලිම්, ක්‍රිස්‌තියානි, බුදුදහම ලෙසින් ආගමික බෙදීම්වලට ද මිනිසා යටත් නොකළේය. සොබාදහම නිර්මාණය කළ එකම ජාතිය මිනිස්‌ ජාතියයි. එකම ආගම මිනිස්‌කමයි.

එහෙත් මිනිස්‌ ශිෂ්ටාචාරය දියුණුවත්ම මිනිසා තමන්ටම කියා වටිනාකම් නිර්මාණය කරගන්නට උත්සාහ ගත්තේය. ඉන් ජාති, ආගම්, භාෂා ගොඩනගා ගත්තේය. ඉන් පසු තමන් විසින්ම නිර්මාණය කරගත් ආගම ආගම් වාදයක්‌ ලෙසත්, ජාතිය ජාතිවාදයක්‌ ලෙසටත් පෙරළා ගත්තේය. එම අන්තවාදී සිතුවිලි හා පැවතුම් නිසා මිනිසා, මිනිසා විසින් තනාගත් දේවලට අරගල ඇතිකර ගත්තේය. තමාගේ ස්‌වභාවික රිද්මය විනාශ කර ගත්තේය.

හින්දු, මුස්‌ලිම්, දෙමළ, සිංහල කවරෙකු හෝ වේවා මිනිස්‌කම පතුරු වන්නේ නම් එය ඔහුගේ ආගමකි. එනමුත් සිදුවනුයේ ජාති, ආගම් තුළින් මානව දයාව පතුරුවනවාට වඩා ඒවා ඉගැන්වීම් බවට පමණක්‌ පත්කර ගැනීමයි. එම නිසා ආගම ආගමික ඉගැන්වීමක්‌ බවට පත්කර ගත්තේය. ජාතිය ඉතිහාසය පාඩමක්‌ කර ගත්තේය. භූගෝල පාඩමක්‌ කර ගත්තේය. ජීව විද්‍යාත්මක පාඩමක්‌ කර ගත්තේය. ඉන් එහා එහි යථාර්ථයක්‌ සොයන්න මිනිසා මැලි විය. එය ඔහුට ඔරොත්තු නොදෙන්නක්‌ විය. එය අමතක කර මගහැර දැමීම ඔහුගේ සිතට වඩා පහසුය.

මට ඔබ ගැන දැන ගැනීමට අවශ්‍ය වුවහොත් ජාති, ආගම්, කුල ඇති වී ඇති බෙදීම්, සංස්‌කෘතිය, මේ කිසිවක්‌ නොසොයමි. ඔබ ගැන දැන ගැනීමට මට ඒවා කුමකටද? ඉන් මා කරනුයේ ඔබ ගැන ඉගෙනීම නොව ඉතිහාසය ග්‍රන්ථ හැදැරීමකි. ඔබ ද මා මෙන් යෑයි මට දැනුණු මොහොතේ සිට මට සංවේදී වූ මොහොතේ සිට, ඔබත් මාත් අතර ඇති මානසික දුරස්‌ථභාවය ගිලිහී ගොස්‌ මා ද ඔබ වෙයි.

එතැන් සිට මම ඔබට ගරු කරන්නට උගනිමි. ජාති, ආගම්, සංස්‌කෘතින්ගෙන් යුත් ඔබගේ විවිධත්වයට ගරු කරන්නට උගනිමි. ඔබගේ බත් පත උදුරා නොගන්නට උගනිමි. ඔබගේ ජීවිතය උදුරා නොගන්නට උගනිමි. අනාදරය අතහැර ආදරය උගනිමි. එපමණකින් ලෝකය සැනහී සුවපත් වන්නට සෑහෙයි. ලෝකයේ පවත්නා සියලු යුද ගැටුම් අමනාපකම් දියාරු වී යන්නට සෑහෙහි. මිනිසා මිනිසාට ආදරය කිරීම හැර ඒ සඳහා වෙනත් ඖෂධයක්‌ වර්තමානයේ හෝ අනාගතයේ මේ මිහිපිට පහළ වෙතැයි මම නොසිතමි. එය එතරම් ජීවමානය. ප්‍රත්‍යක්‍ෂය, නිශ්චිතය.

ඔබ අරගල කර ලබා ගන්නට යන දේවල සැබෑවටම ඔබ ලබා ගන්න යන දෙය පවතී ද? ඔබ යමකු සමඟ හිද ගන්නා ආසනයට අරගල කළා යෑයි සිතන්න. ආසනයට කථා කළ හැකි නම් එය මෙසේ කියාවි. ඔබ මෙහි විවිධ නම්වලින් හඳුන්වන ලී දඬු ගලවා ඉවත් කරන්න. ඔබට පෙනේවි ඇත්තේ හිද ගන්නා පුටුවක්‌ නොව ලී දඬු ගොඩක්‌ බව ඔබ ලී දඬුවලට අරගල කළහොත් ලී දඬු කියාවී ඒවා ලී දඬු නොව ගසක්‌ බව ගසට අරගල කළහොත් ගස කියාවී ගසක්‌ නොව පැළයක්‌ බව. පැළයට අරගල කළහොත් පැළය කියාවි පැළයක්‌ නොව ඇටයක්‌ බව. ඇටයට අරගල කළහොත් එය කියාවි ඇටයක්‌ නොව ගෙඩියක්‌ බව, ගෙඩියට අරගල කළහොත් ගෙඩිය කියාවි ගෙඩියක්‌ නොව ගසක්‌ බව. මෙහි කෙළවරක්‌ දැකිය හැකි ද? සැබෑවටම මෙහි පුටුව කියා දෙයක්‌ පවතියිද? පුටුව යන සංකල්පයක්‌ නම් පවතියි එය අප සිතා සිටින නොකිලිටි, නිර්මල පුටුවම ද? එය මුල් සියල්ලෙන් වෙන් වූ තනි දෙයක්‌ ලෙස ගත හැකි ද? එය තනි නිර්මාණයක්‌ද? නැත. කිසියම් දෙයක වෙනස්‌ වෙමින්, වෙනස්‌ කරමින්, සංකලනය වෙමින්, සංකලනය කරමින් ගිය ගමන් මගක එක්‌ වචන මාත්‍රයක්‌ පමණි. තනි නිර්මාණයක්‌ ලෙසින් අයිතිය සඳහා අරගල කළහොත් ඉන් ලැබෙන ප්‍රයෝජනය අහිමි වෙයි. එලෙසින් වර්ග කිරීම්, බෙදීම්, ආත්මාර්ථකාමී සිතිවිලි ඔස්‌සේ අරගල කරන විට මිනිස්‌ ජීවිතයෙන් ලද හැකි ප්‍රයෝජන අහිමි වෙයි. විඳීම අහිමි වෙයි. කිසිම මිනිසකුගේ ජාතිය, ආගම, භාෂාව, සියලු සංකල්ප අනෙකුත් සියලු ජාති, ආගම්, භාෂා, සංකල්පවලින් වෙන්ව තනිව නිර්මාණය වූවක්‌ නොවේ.

මගේ නිවසේ විමුක්‌තිය ඇතැයි සිතා ඔබට මගේ නිවසට පැමිණීමට අවශ්‍ය නම්, ඒ සඳහා නිවසට පැමිණිමට පාරක්‌ අවශ්‍යය. නිවසට පැමිණ විමුක්‌තිය ලබා ගැනීමට ඔබට නිවසට පැමිණෙන මාර්ගයට අරගල කළහොත් ඔබට විමුක්‌තිය ලැබේ ද? මාර්ගයේ ඇති වටිනාකම විමුක්‌තිය ලබා ගැනීමට යැමේ පහසුව පමණයි. විමුක්‌තිය හා සස¹ බලන කල පාර මොනතරම් නොවටී ද? එලෙසින්ම ආයතනය ද කරනුයේ ඔබගේ කාර්යයන්වල පහසුව සලසා දීම පමණි. අයිතිය පිළිබඳ අරගලය ඔබ අපේක්‍ෂා කරන දෙයින් ඔබව ඈත් කරයි. එනමුත් මෙවැනි නොවැදගත් දේ ගැටලු කරගෙන ඒවාට යුද කරන්නට, රණ්‌ඩුසරුවල් වෙන්නට ඔබ නොසිතාම පැටලී ඇත.

භෞතික දේ ලෙසින් අපි ආධ්‍යාත්මික දේට අරගල කරන්නට එතරම් වෙහෙසට පත් නොවෙමු. භාණ්‌ඩයක්‌ රණ්‌ඩුවීමෙන් ලබා ගත් හැකියි. රටක්‌ යුද කිරීමෙන් ලබාගත හැකියි. නමුත් මිනිස්‌කමින් යුත් මානව දයාව, සකල ලෝකය කෙරෙහි පතුරු වන සැබෑ ආදරය, ලෝක සංග්‍රාමයක්‌ පවත්වා වුවත් අනුන්ගෙන් තමන්ට ලබා ගත හැකිද? අයිති කර ගත හැකිද? පවුම්, රුපියල්, ඩොලර්වලට එය මිලදී කළ නොහැකිය. එය ඇමරිකාව, සෝවියට්‌ රුසියාව, ඉරාකය, ශ්‍රී ලංකාවට වඩා විශාලය. මුළු ලොවටම වඩා විශාලය. එය මුළු ලොවයි. එය මුළු ලොව ධනස්‌කන්ධයයි. මේ යථාස්‌වභාවය නිවැරදිව අවබෝධ කරගත් මොහොතේ සිට අපි නිහඬ වෙමු. සන්සුන් වෙමු. තමන්ගේ ජීවිතයට තමුන් ආදරය කරන්නා සේ අනුන්ගේ ජීවිතවලට ද ආදරය කරමු.

පරමාර්ථ සත්‍යයේදී ආදරය කියා දෙයක්‌ ද ලෝකයේ නොමැත. නමුත් එය ඉහළ කඳුමුදුනකට ළඟා වෙන ඔබගේ වෙහෙස නිවන මෘදු පානයකි. ආදරය ලෞකික හෝ ලෝකෝත්තර වෙයි. භෞතික හෝ අභෞතික වෙයි. ලෞකික ආදරයේ දී අනුන් නිසා තමන්ගේ සිතේ ඇති වන සිතුවිලිවලට, හැඟීම් වලට ආදරය කරයි. එය බලාපොරොත්තුවලින් පොරොන්දුවලින් පිරී ඇත. ලෝකෝත්තර ආදරය, අභෞතික ආදරය, එනම් ලෝකයේ යථා ස්‌වභාවය තේරුම් ගැනීමෙන් පසු මිනිස්‌ වග කෙරෙහි ඇති වන ආදරය බලාපොරොත්තු විරහිතය. බැඳීම්වලින්, අයිතියෙන් තොර එම ආදරය පරම ස්‌නේහයට යන පාර කියා දෙයි. ඒ ආදරය නොමියෙයි.

මිනිසා මිනිසාට සැබෑ ලෙස ආදරය කරනුයේ අනෙකා ද තමා සේ දකින දින දී පමණි. මිනිසා නිර්මාණය කළ ඒ මිනිසා ද සොබාදහමකි. මිනිසා විසින් ඉපදී. මිනිසා විසින් පැවතී, මිනිසා විසින් මිය යැම සොබාදහමයි. එනම් කවර ආගමකට, කවර ජාතියකට, කවර සංස්‌කෘතියකට අයත් වුවත් අවසානයේ දී පැමිණ ඇත්තේ එකම තැනකටය. එනමුත් මිනිසාට අවශ්‍ය අනෙක්‌ මිනිසා තමාගේ සිතැඟි පරිදි පවත්වාගෙන යැමටයි. එසේ කළ නොහැකි වූ විට එය නොරුස්‌සන ඔහු අනෙකාගේ ජීවිතය උදුරා ගනී. අනෙකාගේ ජීවිතය තීරණය කිරීමේ අයිතිය තමන් වෙත පවරා ගනී. අනෙකාගේ පැවැත්මට විරුද්ධ වෙයි. සොබාදහම නිර්මාණය කළ දේ තීරණය කරනුයේ සොබාදහම විසින්මය. වෙනකෙක්‌ එය කරන්නට උත්සාහ කළ මොහොතේ සිට හටගනුයේ විශාල අවුලකි. අරගලයකි. වේදනාවකි. ලෝකයෙන් නොසෑහෙන ලෙස සැප ලබා ගන්නට යැමත්, ලෝකයෙන් නොසෑහෙන ලෙස බලය ලබා ගන්නට යැමත් නිසා මිනිසා තමන්ගේම පැවැත්මට ඉවහල් වන තවත් මනුෂ්‍යයකුට විරුද්ධ වෙයි. වර්තමානයේ අප භුක්‌ති විඳිනුයේ ඒ වියවුලයි. ඒ අරගලයයි. ඒ වේදනාවයි.

මා සතු සියල්ල ම සඳහා ම නොව ඔබ සඳහා ද වේ. රැගෙන යන්න බැරි දෙය දෙස දුකින් බලනවාට වඩා අතිශය සුන්දර ලෙස පිරිනැමීම, හදවතින් පිරිනැමීම මොන තරම් අපූරු ද? මොනතරම් අමාරු ද? ඒ සිතුවිල්ල ඔබව නිර්භීත කරවයි. අයෝමය කරවයි. එය මහා ප්‍රඥවට අයත් එක්‌තරා අතිශය විශිෂ්ට උද්දීපනයකි. මොළයෙන් උපදින දර්ශනයට වඩා හදවතින් උපදින දැක්‌ම ඔබ වසාගෙන, ලොව වසාගෙන, සක්‌වල මුළුල්ල පැතිර යයි.

රන්දින් ජයසිංහ

Post a Comment

0 Comments