ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ නම් වූ අප්‍රමාණ යුග පුරුෂයා


පුවත්පතකට ලිපියක්‌ ලිවීමට මා ගන්නා උත්සාහය ගැන සිහියට නැඟෙන හැම මොහොතකම නිතැතින් මගේ මතකයට එන්නේ ශ්‍රී ලංකාවේ සිටි ප්‍රවීණ අග්‍රගණ්‍ය අප්‍රමාණ යුග පුරුෂයෙකි. ලේඛන කලාවෙන් කිසියම් ප්‍රමාණයකට හෝ මා ඔප්නැංවී ඇත්නම් ඒ ගරුත්වය එතුමන්ට හිමිකර දෙමින් ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන්ගේ 48 වැනි ගුණ සමරු දිනය සිහිපත් කරනුයේ කෘතඥ පූර්වකවය.

පියාණන්ගේ අඩි පාරේ ගිය මාගේ කල්‍යාණ මිත්‍ර ප්‍රභාත් මිත්‍ර මානවසිංහ භද්‍ර යෞවන වියේදී මෙලොව හැරදා ගියේ වෛද්‍යවරුන්ගේ නොසැලකිල්ලෙනි. 

රැකියා විරහිත වූවන්ගේ සංගමයක්‌ 60 දශකයේ දී ශ්‍රී ලංකාවේ නොතිබුණද බොරලැස්‌ගමුවේ "වාපී මේකලාව" එවන්නන්ට තෝතැන්නක්‌ විය. රැකියා සොයා පැමිණියවුන් සඳහා කෑම් බීම් ඉඳුම් හිටුම් සැපයුවේ මනාප ඡන්ද ලබාගැනීමට නම් නෙවේ. මිනිසාගේ පරම යුතුකම මිනිසාට සේවය කිරීම යන්න වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම ක්‍රියා කළ මෙම නිවස තුළ මා ගත කළ අවුරුදු කිහිපය මාගේ නෑදෑ හිතවතකුගෙන් ලබන ආදර සැලකිල්ලට වඩා සැලකිල්ලක්‌ ලෙන්ගතුකමක්‌ මට හිමි විය. 

මේ අවධියේ ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ නමැති අප්‍රමාණ යුග පුරුෂයා ලංකාදීප වගතුග තීරුවෙන් නිර්භීතව ගෙන ගිය සටනට අදත් මෙරට මහා සංඝරත්නය එතුමන්ට ණය ගැතිය. දිවි පරදුවට තබා ශාසනය බේරාගත් මහා සංඝයා එවකට සමච්චලයට ලක්‌වන අයුරු දුටු මානවසිංහයන් ගත් ක්‍රියා මාර්ගය සම්බන්ධයෙන් අදටත් මෙරට මහා සංඝරත්නය එතුමන් සිහිපත් කරන්නේ ගෞරව පූර්වකවය. පාලි, සංස්‌කෘත, මගධ භාෂා පිළිබඳ හසළ දැනුමක්‌ තිබූ මානවසිංහයෝ ධර්මධර විනයධර භික්‌ෂුන් වහන්සේලා පමණක්‌ නොව ජෝ කුවින්ටස්‌, අර්නස්‌ට්‌ පෝරුතොට වැනි උගත් බුද්ධිමත් කතෝලික පියතුමන්ලාද ළඟින් ඇසුරු කළහ. 

ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් කිසිවක්‌ ලියන්නට අවශ්‍ය වූ විට මේස පුටු ඇඳ ඇතිරිලි සුවපහසුව සොයා ගියේ නැත. පුවත්පත කියවමින් සිටින ඉරියව්වෙන්ම වාඩි වී කුප්පි ලාම්පු එළියෙන් එදා ලංකාදීප පුවත්පතට "වගතුග" ලියා අවසන් කරන තෙක්‌ සිත වෙන කිසිම දේකට යොමු කළේ නැත. එවැනි බුද්ධිමත් දක්‌ෂකම් දක්‌වන නිහතමානී කුඩා දරුවකු මෙන් හැසිරෙන පුද්ගලයෝ වර්තමානයේ සිටිත්දැයි මා නම් දන්නේ නැත. 

එදා කොළඹ තිබූ උසම ගොඩනැඟිල්ල ටයිම්ස්‌ මන්දිරයයි. නොහොත් ලංකාදීප නිවහනයි. පිටුවෙන් පිටුව ලියා අවසන් කරන ලද "වග තුග" සියල්ල ඒකරාශි කර ලියුම් කවරයකටද දමා මා අත තබන්නේ "දෙයියන්ගේ නාමයට මේ ලියුම මහානාම දිසානායක මහතාගේ අතටම දෙන්න. වෙන කිසිවෙකු අතට දෙන්න එපා" යෑයි කියමිනි. ඒ දුන් නියෝගය කඩ නොකර ඒ අනුවම ක්‍රියා කිරීමට මම සමත් වූයෙමි. වග තුග රැගෙන මා කොළඹ යන්නේ පාසල් ඇඳුමෙන් (කොට කලිසම) නිසා මානවසිංහ පියාණන්ට මා කෙරෙහි අනුකම්පාවක්‌ මෝදු වන්නට ඇතැයි මම සිතමි. මටත් ප්‍රභාත්ටත් පළමුවෙන්ම දිග කලිසම් ඇන්දවීමට කටයුතු කළේ අප දෙදෙනාගේම සිත් සතන් පිනවීමට යෑයි අද මට හැඟී ගියත් එදා ඒ ගැන සිතීමට තරම් මම මන්ද බුද්ධික වූ බව නිතහමානීව සටහන් කරමි. 

මට ස්‌ථිර රැකියාවක්‌ සපයා දීම සඳහා එතුමන් නොගත් උත්සාහයක්‌ නැත. "වාපී මේකලාව" මානවසිංහ නිවහනට යන සෑම මොහොතකම දකුණු පසින් ඇති පොකුණත්, ඒ අවට පරිසරයත් ඉතා සමීපව ඇසුරු කළ මෙම වියත් පඬිවරයා සිහිපත් වන්නේ දෙනෙතට කඳුළක්‌ එක්‌ කරමිනි. එතුමන්ට නිවන් සැප ලැබේවායි මගේ එකම පැතුමයි.

ප්‍රේම්නාත් හේරත් - පානදුර

Post a Comment

0 Comments