පියයුරුවල යම්කිසි ගැටිති තිබේදැයි පරීක්ෂාකරගැනීම


ඔබ දන්නවාද?

ශ්‍රී ලංකාවේ කාන්තාවන් අතර බහුලම පිළිකා වර්ගය පියයුරු පිළිකාවයි

පියයුරුවල මෙම ලක්ෂණ සාමාන්‍ය බව ඔබ දන්නවාද?

* බොහෝ කාන්තාවන්ගේ පියයුරු දෙකම එක සමාන නැත

* මාස්ශුද්දිය සිදුවන කාන්තාවන්ගේ පියයුරු හෝර්මෝන බලපෑම නිසා විවිධ වෙනස්කම්වලට භාජනය වේ.

* මාස්ශුද්ධියට පෙර පියයුරුවල ඇතිවන ගැටිතිමය ස්වභාවය, වේදනාව වැනි ලක්ෂණ සාමාන්‍ය වේ.

* මාස්ශුද්ධිය නැවතුණු කාන්තාවන්ගේ පියයුරු මෘදු සැහැල්ලු තත්ත්වයට පත්වේ.

පියයුරු අසාමාන්‍යතාවන් හඳුනා ගැනීමට නම් සෑම කාන්තාවක්ම ස්වයං පියයුරු පරීක්ෂාව කරන ආකාරය දැන ගත යුතුය.

ස්වයං පියයුරු පරීක්ෂාව

* මෙය සඳහා ආවරණ ස්ථානයක් (උදා. කාමරයක්) තෝරා ගන්න.

* ඔබගේ උඩුකය සම්පූර්ණයෙන් නිරාවරණය කොට කැඩපතක් ඉදිරිපස සිට ගන්න.

* පහත සඳහන් ඉරියව්වලදී දක්වා ඇති අසාමාන්‍යතා ඇත්දැයි පරීක්ෂා කර බලන්න.




පියයුරු පරීක්ෂා කළ යුත්තේ කවදාද?

* සෑම කාන්තාවක්ම මසකට වරක් පරීක්ෂාව කළ යුතුය.

* මාස්ශුද්ධිය සිදුවන කාන්තාවන් මාස්ශුද්ධිය අවසානයෙන් සතියකට පසුව තම පියයුරු පරීක්ෂාව කළ යුතුය.

* මාස්ශුද්ධය නතර වූ කාන්තාවන් සෑම මසකම නිශ්චිත දිනයක් පරීක්ෂාවට යොදා ගත යුතුය.

පියයුරුවල අසාමාන්‍යතාවක් හඳුනා ගතහොත් ඔබ යා යුත්තේ?

* ඔබ ප්‍රදේශයේ සුවනාරි සායනයට

* රජයේ හෝ පෞද්ගලික රෝහලක වෛද්‍යවරයෙක් වෙත හෝ ඔබේ පවුලේ වෛද්‍යවරයා වෙත

* ඔබට ආසන්නව පිහිටි රෝහලේ ශල්‍ය වෛද්‍ය / පියයුරු සායනයට

* පිළිකා කලින් හඳුනා ගැනීමේ සායනය
නො. 516, ඇල්විටිගල මාවත, නාරහේන්පිට, 
දුරකථන අංකය- 0113159227

පියයුරු පිළිකාවක් සෑදීමේ අවදානම වැඩි කාටද?

* පවුලේ මව හෝ සොයුරියකට පියයුරු පිළිකාවක් සෑදී ඇත්නම්

* පියයුරු රෝග පෙර ඉතිහාසයක් සහිත කාන්තාවන්

* දරුවන් නොමැති කාන්තාවන්/පළමු දරු ප්‍රසූතිය අවුරුදු 35ට පසුව සිදු වූ කාන්තාවන්

* අඩු වයසින් (අවු.11 ට පෙර) වැඩි වියට පත් වූ කාන්තාවන්

* වයස් ගතවී (අවු. 55ට පසු) මාස්ශුද්ධිය නතර වූ කාන්තාවන්

* වෛද්‍ය උපදෙස්වලින් තොරව ඊස්ට්‍රජන් හෝර්මෝනයට දීර්ඝ කාලීනව නිරාවරණය වු කාන්තාවන්

* ශරීරයේ අධික තරබාරු බව හෝ ආර්තවහරණයෙන් පසු බර වැඩි වූ කාන්තාවන්

සායනික පියයුරු පරීක්ෂාව යනු කුමක්ද?

* ස්වයං පියයුරු පරීක්ෂාවට අමතරව ඔබේ වයස අවුරුදු 20ට පසුව වෛද්‍යවරයෙකු, මහජන සෞඛ්‍ය හෙද සොයුරියන් හෝ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණියක් හමු වී සායනික පියයුරු පරීක්ෂාව සිදු කර ගන්න.

* වසර 20 - 40 දක්වා වසර 3කට වරක්ද, වසර 40 ඉක්මවූ පසු වසරකට වරක්ද මෙම පරීක්ෂාව ද සිදු කර ගන්න.

මැමෝග්‍රැෆි පරීක්ෂාව යනු,

* එක්ස් කිරණ අඩු මාත්‍රාවක් යොදා ගෙන ලබා ගන්නා එක්ස් කිරණ ඡායාරූපයකි.

* අතට හසු නොවන ප්‍රමාණයේ ගැටිති හඳුනා ගත හැක

* අවුරුදු 50ට වැඩි හෝ පියයුරු පිළිකා අවදානම් සාධක සහිත කාන්තාවන් මෙම පරීක්ෂණයට යොමු කෙරේ.

* මැමෝ පරීක්ෂණයේ අවශ්‍යතාවය තීරණය කරන්නේ වෛද්‍යවරයාය.

* ඇඳක හෝ ඝන මතුපිටක නිදාගෙන පියයුරු පරීක්ෂාව කළ හැක. පරීක්ෂා කරන පියයුර ඇති පැත්තේ උරහිසට යටින් ඝන රෙද්දක් නවා තැබීමෙන් පියයුරු පරීක්ෂාව පහසු වේ.

* අතේ ඇඟිලි එක්කොට ඇඟිලිවල ඇතුළු පැත්තෙන් පියයුරු (රූප සටහන් වල දක්වා ඇති ආකාරයට) හොඳින් පරීක්ෂා කරමින් පියයුරේ ගැටිති, සමට යටින් ඝන වීමක් හෝ එහාට මෙහාට නොයන තද ගතියක් ඇත්දැයි පරීක්ෂා කරන්න.

* වම් අතින් දකුණු පියයුර සහ දකුණු කිහිල්ල, දකුණු අතින් වම් පියයුර සහ වම් කිහිල්ල පරීක්ෂා කරන්න.

* පියයුරේ සෑම කොටසක්ම ආවරණය වන පරිදි, පිට පැත්තේ සිට ඔරලෝසුවේ කටු යන අතට අත තද කරමින් පියයුරේ ගැටිත්තක් වේදනාවක් හෝ ඝන වීමක් ඇත්දැයි පරීක්ෂා කරන්න.

* මහපට ඇඟිල්ලෙන් තනපුඩුව වටා ඇති තද පැහැති කොටස (ඇරියෝලාව) මිරිකා, තනපුඩුවෙන් කිරි නොවන ශ්‍රාවයක් පිටවන්නේ දැයි පරීක්ෂා කරන්න.

* ස්නානය කරන විටදීත් පියයුරු පරීක්ෂාව කළ හැක. මෙහිදී තෙත් වූ සම මත අත පහසුවෙන් ලිස්සා යන බැවින් පරීක්ෂාව පහසු වේ.

ජාතික පිළිකා මර්දන වැඩ සටහන

නො. 516, ඇල්විටිගල මාවත, නාරහේන්පිට,
දුරකථන අංකය
0113159227

දිණමින පුවත්පත

ආරෝග්‍යා අතිරේකය