කරාපිටිය ශික්ෂණ රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි පී. ඒ. කිරිඇල්ල මහතාගේ අත්දැකීම් ඇසුරෙන් මෙම ලිපිය සකස් කෙරිණි.
අපි ඔහුට ගුණදාස යැයි කියමු. ගුණදාස හතළිස් එක් හැවිරිදි වියේ පසුවූ දෙදරු පියෙකි. ගුණදාසගේ බිරිඳ සෝමලතාය. මොවුන් වතු ආශ‍්‍රිත ගම්මානයක පදිංචිව සිටියහ. ගුණදාස වතුකම්කරුවකු ලෙස සේවය කළේය. බිරිඳ සෝමලතා ද වත්තේ දළු කැඞීමට ගියාය. මෙකී යුවළ දරුපවුල සමග කටුමැටි ගැසූ කුඩා නිවසක පදිංචිව සිටියහ. ගුණදාස මත්පැන් පානය කිරීමට දැඩි ලෙස ඇබ්බැහි වී සිටියේය. ඔහු දිනකට දෙතුන් වතාවක් මත්පැන් පානය කළේය. ගුණදාස කුලී වැඩ කිරීමෙන් උපයාගනු ලැබූ මුදලින් වැඩි පංගුවක් මත්පැන් පානය කිරීමට වියහියදම් කළේය. මේ නිසා සෝමලතාට දරු පවුලේ බඩවියත රැකගැනීම සඳහා දැඩි අරගලයක නිරතවීමට සිදුවිය.
ගුණදාස සවස් කාලයේ දී නිවසට පැමිණියේ කට ගොන්නක් බීගෙනය. මේ නිසා ගුණදාස හා බිරිඳ අතර නිරන්තරයෙන් ගැටුම් ඇතිවිය. ඇතැම් අවස්ථාවලදි ගුණදාස පරුෂ වචනයෙන් බැණ වදිමින් බිරිඳට පහර දුන්නේය. දරු දෙදෙනා ගැන සිතා ඇය ගුණදාසගෙන් සිදුවන සියලූ හිරිහැර ඉවසාගෙන සිටියාය. ”මේ දරුවෝ දෙන්නා ගැනවත් හිතලා ඔයාට ඔය දහජරාව නොබී ඉන්න බැරිද ගුණදාස?” මත්පැන් පානය නොකර සිටින අවස්ථාවලදි බිරිඳ සෝමලතා කීවාය. එහෙත් ගුණදාස ඒ ගැන කිසිදු තැකීමක් කළේ නැත.
ගුණදාසට මිතුරන් පිරිසක්ද සිටියහ. ඇතැම් අවස්ථාවලදි ඔහු මිතුරන් සමග එක්වී මත්පැන් පානය කළේය. මත්පැන් පානය කිරීමෙන් පසු මිතුරන් සමගද ගුණදාස ගැටුම් ඇති කරගත්තේය. එක්දිනක් ගුණදාස මිතුරන් සමග මත්පැන් පානය කරමින් සිටියදී පැරණි කථාවකට තම සමිපතම මිතුරකු සමග ගැටුමක් ඇති කරගත්තේය. මෙකි ගැටුම ගුටිබැට හුවමාරුවක්ද දක්වා ගියද අනික් මිතුරන්ගේ මැදිහත් වීමෙන් ගැටුම සමථයකට පත්විය. එහෙත් ගුණදාසගේ හොඳම මිතුරා ඔහු සමග වෛර බැඳ ගත්තේය. මම උඹට කරණ දේ පස්සේ බලාගන්න පුළුවන් මිතුරා ගුණදාසට තර්ජනය කොට යන්නට ගියේය. ගුණදාස ද මිතුරාට පරුෂ වචනයෙන් බැන වදිමින් යන්නට විය.
මේ සිද්ධිය සෝමලතාටද ආරංචි වි තිබුණි.
”ඔයා බීගෙන දැන් යහළුවන් එක්කත් රණ්ඩු වෙනවා නේද?”
සෝමලතා ගුණදාසට කීවාය.
”තමුසේගේ වැඩක් තමුසේ බලා ගන්නවා. මම දන්නවා එයාට කරණ දේ”
ගුණදාස වහසිබස් දොඩන්නට විය.
පසුදින උදෑසන ගුණදාස වත්තේ වැඩට යමින් සිටියදී පෙරදින රාත‍්‍රියේ ආරවුලක් ඇතිකරගත් මිතුරා හමුවිය. ”උඹ හමුවෙනකම් තමයි මම හිටියේ පරණ කුණු කේස් අදින්න ඇවිල්ලා උඹ මගෙන් මැරුම් කන්න එපා” ගුණදාසගේ මිතුරා කීවේය. ”උඹ මට මොනවා කරන්න”දැයි අසමින් ගුණදාස යන්නට ගියේය. දෙදෙනා අතර අතරමගදි ඇතිවූ ගැටුම තවත් මිතුරකු විසින් ගුණදාසගේ නිවසට පැමිණ සෝමලතාට කීවේය. වත්තේ වැඩට නොගොස් ගුණදාස එදින උදෑසන දහයට පමණ යළි නිවසට පැමිණියේය. හේ නිවසට පැමිණ මත්පැන් පානය කළේය. ඒ වනවිට ගුණදාස පදමට වෙරි වී සිටියේය.
පදමට වෙරි වී සිටි ගුණදාස වහසිබස් දොඩවමින් ගෙවත්තේ ඒ මේ අත ඇවිදිමින් සිටියේය. සෝමලතා හෙමින් සිරුවේ ගුණදාස මගහැර නිවසින් පිටතට ගියාය. හොරා දෙක තුනක් නිවසේ ගත කළ ගුණදාස කඩමණ්ඩිය දෙසට පිටත්ව ගියේය. සෝමලතා ද ඇඳිරි වැටීගෙන එනවිට නිවසට පැමිණියාය. ඇය නිවසට පැමිණ වැඩි වෙලාවක් ගතවුයේ නැත. ගුණදාසගේ මිතුරෙකු කඩිමුඩියේ ගුණදාසගේ නිවසට පැමිණියේය. ”අන්න ගුණදාස අයියා පාරේ වැටිලා මැරිලා. නළලෙන් ලේ ගලනවා” මිතුරා එක හුස්මට කියාගෙන ගියේය. මින් සෝමලතාද දැඩි කලබලයට පත්වූවාය. ‘උඹ මගෙන් මැරුම් කන්න එපා” ගුණදාසගේ මිතුරා කී කථාව සෝමලතාට එකවර මතක් වූවාය.
ඕ විලාප තබමින් ගුණදාස මැරී වැටි සිටි ස්ථානයට දිව ගියාය. ගුණදාසගේ නිවසේ සිටි කිලෝමීටර්යක් පමණ දුරින් වංගුවක් සහිත මාර්ගයේ ගුණදාස බිම වැටි සිටියේය. ”අනේ මගේ මහත්තයා මරලා” බිරිද කෑගසන්නට වූවාය. ගම්මුන්ද මෙම ස්ථානයට එක්රොක්වන්නට වූහ. ඒ වනවිට මෙම සිද්ධිය පොලිසියටද ආරංචි වී තිබුණි. ගුණදාසගේ මරණය සම්බන්ධ සැකය ඔහුගේ මිතුරා වෙත එල්ලවී තිබුණි.
පොලිස් නිලධාරීන් සිද්ධිය වූ ස්ථානයට පැමිණ පරීක්ෂණ ආරම්භ කරණු ලැබීය. පොලිසිය විසින් ගුණදාසගේ මළ සිරුර මහේස්ත‍්‍රාත්වරයාගේ නියෝගයට අනුව පශ්චාත් මරණ පරික්ෂණ කටයුතු සඳහා කරාපිටිය ශික්ෂණ රෝහල වෙත රැගෙන එනු ලැබීය. පශ්චාත් මරණ පරික්ෂණය පවත්වනු ලැබුවේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි පී. ඒ. කිරිඇල්ල මහතාය.
මියගිය පුද්ගලයා හැඳ සිටියේ අළු පැහැති සරමක් හා සුදුපැහැති කමිසයකි. මොහුගේ නළලේ සෙන්ටිමිටර් 07ක් පමණ දිගින් යුත් හා අඩි 02ක පමණ පළලින් යුත් තුවාලයක් දක්නට විය. පසුව අධිකරණ වෛද්‍යවරයා විසින් මියගිය පුද්ගලයාගේ මළ සිරුර බාහිරව පරීක්ෂා කළේය. මොහුගේ සිරුරේ එක් ස්ථානයක තිබූ ටයර් පහරක් අධිකරණ වෛද්‍යවරයාගේ තියුණු පරීක්ෂාවට ලක්විය. එය තැලිම් තුවාලයක් විය. සිරුරේ තැලීම් තුවාලයේ සටහන්ව තිබු ටයර් කට්ටවල දුර මැනීමට ද අධිකරණ වෛද්‍යවරයා කටයුතු කළේය.
පසුව අධිකරණ වෛද්‍යවරයා විසින් මියගිය පුද්ගලයාගේ සිරුර අභ්‍යන්තරව පරීක්ෂා කළේය. ඔහුගේ ඉළ ඇට කැඞී ගොස් තිබුණි. දකුණු පස අක්මාව ඉරීගොස් තිබු අතර අභ්‍යයන්තරව රුධිරය වහනය වී තිබුණි. මොහුගේ සිරුර මතින් කුඩා ලොරි රථයක් ධාවනය වී ඇති බැව් අධිකරණ වෛද්‍යවරයාගේ නිගමනය විය. මොහු ඝාතනය කොට මෙම ස්ථානයට ගෙනැවිත් දැම්මාද යන්න ඥාතීන් තුළ සැකයක් ඇතිවිය. මියගිය පුද්ගලයකුගේ සිරුරේ මෙවැනි වර්ගයේ තැලීම් තුවාලයක් ඇතිවිය නොහැකි බව අධිකරණ වෛද්‍යවරයාගේ නිගමනය විය. මෙවැනි තැලිම් තුවාල ඇතිවන්නේ පණපිටින් සිටින අවස්ථාවකදි වූ අනතුරකින් බව අධිකරණ වෛද්‍යවරයා විසින් පශ්චාත් මරණ පරික්ෂණයේ දි අනාවරණය කරගනු ලැබිය.
”ඇත්තටම මේ පුද්ගලයා හැපිලා තියෙන්නේ කුඩා ලොරි රථයක බව තැලීම් තුවාලයේ තිබූ ටයර් සලකුණු අනුව අනාවරණය කරගත්තා. ටයරයේ කට්ට රටාව අනුව ලොරි රථය වැඩිය උස වෙන්න බැහැ. මියගිය පුද්ගලයාගේ නළල තුවාල වෙලා තිබුණා. මොහු කුඩා ලොරි රථයේ හැපුණු විගස දඟලන්න ඇති ඒ අවස්ථාවේ තමයි නලල තුවාල වන්නට ඇත්තේ. මියගිය තැනැත්තාගේ පාද දෙක තිබුණේ මාර්ගයෙන් පිටතයි.” අධිකරණ වෛද්‍ය නිලධාරි පීි. ඒ. කිරිඇල්ල මහතා කිවේය.
පසුව පොලිසිය විසින් මේ පිළිබද පරික්ෂණ ආරම්භ කළේය. තේදළු අදිනු ලබන කුඩා ලොරි රථයක හැපිමෙන් මොහු මියගොස් ඇති බව පොලිසිය විසින් අනාවරණය කරගනු ලැබිය. මොහු ලොරි රථයේ හැපුණු විගස ලොරි රථය මඳ වේලාවක් නතරකොට යළි ඉදිරියට ධාවනය කළේය. අනතුර සිදුකොට පලාගිය ලොරි රථයේ රියදුරු පොලිස් අත්අඩංගුවට පත්විය.
රිය අනතුරකින් වූ බහුවිධ තුවාල නිසා අක්මාවට සහ ඉළඇටවලට හානිවීමෙන් මරණය සිදුවී ඇති බව අධිකරණ වෛද්‍යවරයා තීන්දු කළේය.
ලලිත් චාමින්ද
0 Comments