පසුගිය වසර කිහිපය තුළ ලොව බලවත් රටවල බලවත් ජාතීන්ගේ හා බලවත් පාලකයන්ගේ ඉහමොළ රත් කිරීමට හැකිවූ තනි පුද්ගලයකු බවට ජූලියන් අසාන්ජි (Julian Assange) පත්වී හමාරය. ඒ ඔහුත් ඔහුගේ විකිලීක්‌ස් Wikileaks වෙබ් අඩවියත් නිසාය.
ජූලියන් පෝල් හෝකින්ස් වර්ෂ 1971 ජුලි 3 වැනිදා ඔස්‌ටේ්‍රලියාවේ ක්‌වීන්ස්‌ලන්ඩ්හි ටවුන්ස්‌විල්හිදී උපත ලැබීය. ඔහුගේ මව ඈන් හෝකීන්ස්‌ය (Ann Hawkins) ඇය දෘෂ්‍ය කලාකාරිණියක ලෙස කටයුතු කළාය. යුද විරෝධී ක්‍රියාකාරිකයකු වන ජෝන් ෂිප්ටන් (John Shipton) ජුලියන්ගේ පියාය. ජුලියන් ඉපදීමට පෙර ඔහුගේ මවුපියෝ වෙන්වූහ. ඉන්පසු ජුලියන්ට වයස අවුරුදු 1 1/2 වන විට ඔහුගේ මව කුඩා නාට්‍ය රඟහලක් පවත්වාගෙන ගිය රිචඩ් බ්රෙට් අසාන්ජි (Richard Brett Adssange) සමග විවාහ වූ අතර ජුලියන් තම පියා ලෙස ඔහුව සැලකූ අතර පසුව ජුලියන් තම වාසගම ලෙස අසාන්ජි යන්න භාවිත කළේය. Assange යනු බටහිරකණය වූ චීන නමකි. මෙහි මුල්නම වූයේ Ausang යන්නය.
ජුලියන් තම මව සහ අර්ධ සහෝදරයා සමග නේල්බේ අසල මැග්නටික් දූපතේ ජීවත් වූ අතර පසු කාලයකදී තම නිවස ගින්නෙන් විනාශ වූ පසු ඔස්‌ටේ්‍රලියාවේ මෙල්බර්න්හී වික්‌ටෝරියා ප්‍රදේශයේ පදිංචියට ගියාය.
ජුලියන් Goolmangar ප්‍රාථමික පාසලෙන් හා නිව්සවුත් වේල්ස් හී Townsville State High School හිදී අධ්‍යාපනය ලැබීය. 1994 දී ඔහු මෙල්බර්න් විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලබා ගත්තේය. ඊටපසු ඔහු මධ්‍යම ක්‌වින්ස්‌ලන්ඩ් විශ්වවිද්‍යාලයෙන් හා කැන්බරා විශ්වවිද්‍යාලයෙන්ද උපාධි ලබාගෙන ඇත. ජුලියන් 1989 දී තෙරේසා ඩෝ (Teresa Doe) සමග විවාහ වූ අතර ඔවුනට දරුවන් සතර දෙනෙකි. 1999 දී ජුලියන් තෙරේසාගෙන් වෙන්වූ අතර 2009 වර්ෂයේ සිට 2012 දක්‌වා ඔහුගේ හවුල්කාරිය වශයෙන් තෝරාගත් සාරා හැරිසන් (Sarah Harrison) සමග ජීවත් විය.
ජුලියන් අසාන්ජි මෙල්බර්න් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ කාලය අතරතුරදී තවත් කිහිප දෙනෙකු සමග එක්‌වී වෙබ් අඩවියක් ආරම්භ කිරීමට සැලසුම් කළ අතර 2006 දී එය විකිලීක්‌ස් Wikileaks නමින් වාර්තාමය වෙබ් අඩවියක් ලෙස ආරම්භ කළේය. එහි නිර්මාතෘ හා අධ්‍යක්‍ෂ ජුලියන් අසාන්ජි විය. මෙම Wikileaks.Org 2006 ඔක්‌තෝබර් 4 වැනිදා ආරම්භ කළ අතර 2006 දෙසැම්බර් මසදී එහි පළමු ලියෑවිල්ල ප්‍රකාශයට පත්කරන ලදි. මුලින්ම කෙන්යාවේ දූෂණ විමර්ශන වාර්තාවක්‌ද, යුද්ධ උපකරණ හා ගබඩා පිළිබඳ ලියකියවිලි ඉදිරිපත් කළේය. රහස් තොරතුරු ප්‍රකාශයට පත් කරනු ලබන ලාභ නොලබන සංවිධානයක් ලෙස ආරම්භ කෙරුණු විකිලීක්‌ස් ආරම්භයේ සිට වසර 10 ක කාලය තුළ ලොව විවිධ රටවල රහස් ලේඛන මිලියන 10 කට වැඩි දත්ත ප්‍රකාශයට පත්කර ඇත.
2009 ජුලි වන විට මෙම වෙබ් අඩවියේ ලියාපදිංචි ස්‌වෙච්ඡා සේවක සංඛ්‍යාව 1200 ක් විය. එයට මාධ්‍යවේදීන්, ගණිතඥයන්, තාක්‍ෂණවේදීන්, ආදීන් ඇතුළත් වූ අතර ඔවුන් තායිවාන, යුරෝපා, ඔස්‌ටේ්‍රලියා, ඇමෙරිකා, දකුණු අප්‍රිකා ආදී රටවල තවත් රටවලත් අය වූහ. විකිලීස්‌ක්‌හී අරමුණ වූයේ වැදගත් ප්‍රවෘත්ති හා රහස් තොරතුරු මහජනතාව වෙත ගෙන යැමය. මේ විකිලීක්‌ස් පිළිබඳව හඳුන්වන අසාන්ජි කියා සිටින්නේ "ලෝකයේ වඩාත්ම පීඩාවට පත්වූ ලේඛනවල යෝධ පුස්‌තකාලය" එය බවය. 2009 වන විට විකිලීක්‌ස් ලෝකයේ ආකාර්ෂණීයම වෙබ් අඩවිය බවට පත්විය. ඒ එය ලෝකයේ රට රටවල අභ්‍යන්තර රහස් හා රාජ්‍ය රහස් ආදිය වාර්තා කිරීමට පටන් ගත් නිසාය. 2004 ජුලි සිට 2009 අවසානය දක්‌වා එය ඇෆ්ගනිස්‌තානයේ යුද්ධය පිළිබඳ රහස් ලියවිලි 92,000 ක් මුදාහැර ඇත.
2010 අප්‍රේල් මාසයේදී ඉරාක අහසේ හෙලිකොප්ටර් යානයක සිටි ඇමෙරිකන් හමුදා භටයන් බිම සිටි නිරායුධ මිනිසුන් 18 දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ සජීවී වීඩියෝ පටයක් විකිලීක්‌ස් මගින් ලෝකයට මුදා හැරියේය. මෙයට ලොවම කම්පා විය. 2010 ඔක්‌තෝබරයේ පැවැති ඉරාන යුද්ධයේ වාර්තා සටහන්, යුද අපරාධ ආදිය මෙහිදී හෙළි විය.
2012 වර්ෂයේදී රුසියානු රාජ්‍යය විසින් අරමුදල් සපයන රූපවාහිනී සේවයක් වන Russia Today (RT) හි වැඩසටහනකට සහභාගි වූ අසාන්ජි 1973 වර්ෂයේ සිට 1976 දක්‌වා ඇමෙරිකා එක්‌සත් ජනපද රාජ්‍ය ලේඛනාගාරයේ තිබූ "කිසින්ජර් කේබල්ස්" kissinger Cables ගැන අනාවරණය කළේය. Kissinger Cables යනු එකල ඇමෙරිකාවේ රාජ්‍ය ලේකම් හා ජාතික ආරක්‍ෂක උපදේශක හෙන්රි කිසිංජර් විසින් නිකුත් කරන ලද ඇමෙරිකානු රහස් කේබල් පණිවිඩයන්ය. මේවා මිලියන 1.7 කට වඩා තිබුණු අතර 2013 අප්‍රේල් මාසයේදී ඒවායින් 20590 ක් විකිලීක්‌ස් විසින් ප්‍රසිද්ධියට පත් කළේය. ඒ අතර ඇමෙරිකාවේ අතිශය වැදගත් වසරක් වන 1979 වර්ෂයේදී නිකුත් කර තිබූ රාජ්‍ය තාන්ත්‍රික කේබල්ස් මිලියන භාගයකටත් වඩා විකිලීක්‌ස් නිකුත් කළේය. මේ අතර ඇමෙරිකාව විසින් පවත්වාගෙන යනු ලබන ගුවන් තනාමෝ සිර කඳවුරේ වධ හිංසා පිළිබඳ හා එහි රඳවා සිටින සිරකරුවන් ගැන රහසිගත ලිපි 779 ක් විකිලීක්‌ස් මුදාහැරියේය.
විකිලීක්‌ස් විසින් රාජ්‍ය යුද අපරාධ තොරතුරු හෙළි කිරීමට පටන්ගත් පසුව 1917 වර්ෂයේදී ඇමෙරිකාව විසින් අනුමත කරන ලද "චරපුරුෂ සේවා පනත" (Espionage Act) යටතේ අසාන්ජිට විරුද්ධව නඩු පැවරීම සඳහා එක්‌සත් ජනපද අධිකරණය විකිලීක්‌ස් හා අසාන්ජි පිළිබඳව පෞද්ගලික විමර්ශනයක් ආරම්භ කිරීමටද පටන් ගත්තේය. අසාන්ජි 2010 අගෝස්‌තු මාසයේදී ස්‌වීඩනය බලා ගිය අතර එහිදී ඔහුගේ සංචාරයේදී ලිංගික පහරදීම් පිළිබඳව කාන්තාවන් දෙදෙනකු විසින් චෝදනා නඟන ලද අතර ඔහු ඒවා ප්‍රතික්‍ෂේප කළේය.
මේ අතර ඔස්‌ටේ්‍රලියා අගමැතිනිය ජුලියා ගිලාඩ් ඔහුගේ මේ විකිලීක්‌ස් හී ක්‍රියාකාරකම් නීති විරෝධී ලෙස විස්‌තර කළ මුත් එයට විරුද්ධව ක්‍රියා කිරීමට ඔස්‌ටේ්‍රලියාවේ නීතියක් නොමැති බව එරට පොලිසිය කියා සිටියේය. ඇමෙරිකාවේ උප ජනාධිපති ජෝ බීඩන් සහ තවත් අය ජුලියන් අසාන්ජිව හැඳින් වූයේ ත්‍රස්‌තවාදියකු ලෙසටය. සමහර අය අසාන්ජිව ඝාතනය කරන ලෙස හා කිරීමටද ඉල්ලා සිටියේය. එහෙත් ඔහුට බ්‍රසීල ජනපති ලූලා ඩි සිල්වා, ඉක්‌වදෝර් ජනපති රෆායෙල් කොරෙයා, රුසියා ජනපති දිමිත්රි මෙඩ්විඩෙව්ගේ, බ්‍රිතාන්‍ය කම්කරු පක්‍ෂ නායක ජෙරමිකෝබන්, ස්‌පාඤ්ඤයේ Podemos පක්‍ෂ නායක පැබ්ලෝ අග්ලේසියස්, එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්‌වරිය වන නවනීදන් පිල්ලේ, ආජන්ටිනාවේ එක්‌සත් ජාතීන්ගේ තානාපති ඇලිසියා කැස්‌ත්රෝ සහ සමාජ ක්‍රියාකාරීන් වන තරික් අලි ජෝන් පෙරී, බොලෝ ඩැනියල්, එල්ස් බර්න්, මරියා කොස්‌ටාකිඩ්ස්, ජෝන් පිල්ගර්, ආයිවේවෙයි, මයිකල් පුවර්, නෝමා චොමෙස්‌කි, වෝගන් ස්‌මිත්, ඔලිවර් ග්ල් ඔහුගේ සහායට පැමිණියේය. මේ අතර නව විකිලීක්‌ස් පක්‍ෂය යටතේ ඔස්‌ටේ්‍රලියානු සෙනෙට් මණ්‌ඩලයට තරග කරන බවටද අසාන්ජි නිවේදනය කළේය.
2012 ජුනි 19 වැනි දින ඉක්‌වදෝරයේ විදේශ ඇමැති රිකාර්ඩෝ පැටිනෝ ප්‍රකාශ කර සිටියේ අසාන්ජි දේශපාලන රැකවරණ ඉල්ලා සිටින බවයි.
2012 අගෝස්‌තු 16 වැනිදා විදේශ ඇමැති පැටිනෝ නිවේදනය කළේ එක්‌සත් ජනපදයේ රහස් පරීක්‍ෂණයෙන් පෙනී සිටින තර්ජන හේතුවෙන් හා ඇමෙරිකානු දේශපාලනඥයන් බොහෝ දෙනෙක් අසාන්ජි ඝාතනය කිරීමට යෝජනා කර ඇති බැවින් එල්ලවන තර්ජනයන් නිසා අසාන්ජිට දේශපාලන රැකවරණ ලබාදෙන බවයි. ඉක්‌වදෝරයේ ප්‍රකාශන නිදහස සහ මාධ්‍ය නිදහස සඳහා වූ අධිෂ්ඨානශීලී ආරක්‍ෂාව මත ඕනෑම මොහොතක ජීවිතය, සුරක්‍ෂිත භාවය හා පුද්ගලිකත්වයට අනතුරක් නොවීමට වගබලාගන්නා බවට ඔහු ප්‍රකාශ කළේය. ඉක්‌වදෝර ජනාධිපති රෆායෙල් කොරෙයා 2012 අගෝස්‌තු 18 වැනි දින අසාන්ජිට ලන්ඩනයේ ඉක්‌වදෝර් තානාපති කාර්යාලය තුළ දේශපාලන රැකවරණ ලබා දුන්නේය. ඊළඟ දිනයේදී අසාන්ජි එහි බැල්කනියේ සිට පිටත රැඳී සිටි මහජනතාව ඇමතීය. බොහෝ අයට ඔහු වීරයකු විය.
ලන්ඩනයේ මෙට්‍රොපොලිටන් පොලිසිය එතැන් පටන් අසාන්ජිව අත්අඩංගුවට ගැනීම සඳහා තානාපති කාර්යාලය අවට රැකවල් ලාගෙන ස්‌ථානගත විය. මේ කාලය තුළ, මේ දක්‌වා ඒ සඳහා පොලිස් නිලධාරීන් යෙදවීම සඳහා ගොස් ඇති වියදම පවුම් මිලියන 12.6 ක් විය.
2015 ජුලි 3 වැනිදා පැරිස් පුවත්පතක් වන "ලෑන්ඩඩ්" මගින් අසාන්ජි තමාට ප්‍රංශයේ සරණාගත තත්ත්වය ලබාදෙන ලෙසට ඉල්ලා සිටියේය. මෙම ලිපියට පිළිතුරු වශයෙන් ප්‍රංශ ජනාධිපති ප්‍රකාශ කළේ ප්‍රංශයට ඔහුගේ ඉල්ලීම අනුව ක්‍රියා කළ නොහැකි බවයි. 2017 දෙසැම්බර් 12 වැනිදා සිට අසාන්ජිට ඉක්‌වදෝරයේ පුරවැසි භාවය හිමිවිය.
2016 ඔක්‌තෝබර් 17 වැනිදා විකිලීක්‌ස් නිවේදනය කළේ රාජ්‍ය පාර්ශ්වය විසින් ඉක්‌වදෝර තානාපති කාර්යාලයේදී අසාන්ජිගේ අන්තර්ජාල සබඳතාව අහෝසිකර ඇති බවය. විකිලීක්‌ස් විසින් ඇමෙරිකාවේ මැතිවරණ උද්ඝෝෂණයට බලපෑම් කරන ලියකියවිලි නිසා අසාන්ජිගේ අන්තර්ජාල සම්බන්ධතාව තාවකාලිකව අත්හිටුවා ඇති බවත් දෙසැම්බර් 29 වැනි දින එය ආපසු ලබාදුන් බවත් තානාපති කාර්යාලය ප්‍රකාශ කර සිටියේය. ඉන්පසු 2018 මාර්තු 28 වැනි දින ඉක්‌වදෝර ලන්ඩන් තානාපති කාර්යාලය අසාන්ජිගේ අන්තර්ජාල සම්බන්ධතාව කපා දැමීය.
2019 අප්‍රේල් මාසයේදී ලන්ඩනයේ ඉක්‌වදෝර් තානාපති ප්‍රකාශ කර සිටියේ අසාන්ජි ඔවුන්ගේ රැකවරණ යටතේ කොන්දේසි උල්ලංඝනය කර ඇති බවය. 2019 අප්‍රේල් මාසයේදී විකිලීක්‌ස් මගින් අසාන්ජි වත්මන් ඉක්‌වදෝර් ජනාධිපති ලෙනින් මොරෙනෝට එරෙහිව ඉක්‌වදෝර ව්‍යවස්‌ථාදායකය ගෙන ගිය දූෂණ පිළිබඳ විමර්ශන වාර්තා ඉදිරිපත් කළේය. ඉන්පසුව ඉක්‌වදෝරියානු ආණ්‌ඩුව, ලන්ඩනයේ පිහිටි ඉක්‌වදෝර තානාපති කාර්යාලයෙන් අසාන්ජිව පිටුවහල් කිරීමටත්, එක්‌සත් රාජධානියේ මෙට්‍රොපොලිටන් පොලිස් භාරයට පත්කරන ලෙසටත් ගිවිසුමකට එළැඹියේය. ඒ අනුව 2019 අප්‍රේල් මස 11 වැනිදා ඉක්‌වදෝර තානාපති කාර්යාලය තුළදී අසාන්ජිව ලන්ඩනයේ මෙට්‍රොපොලිටන් පොලිසියට භාරදෙන ලදී. අත්අඩංගුවට ගන්නා විට අසාන්ජි ඉක්‌වදෝර තානාපති කාර්යාලය තුළ දින 2487 ක් වාසය කර තිබුණි.
නෙල්සන් මැන්ඩෙලා, දලයි ලාමාතුමා, බෞද්ධ ආධ්‍යාත්මික නායක දයසුකු ඉකෙඩා යන අය අසාන්ජිට සම්මාන තුනක් ලබා දුන්නේය. අසාන්ජි ඔස්‌ටේ්‍රලියානු මාධ්‍යවේදීන්ගේ සංගමයේ ගෞරවනීය සාමාජිකයෙකි. 2009 වර්ෂයේදී එක්‌සත් රාජධානියේ නව මාධ්‍ය සම්මානය ඔහුට පුද කළේය. 2019 දී නොබෙල් සම්මාන ලාභී මයරාඩ් මාගුවර් විසින් නොබෙල් සාම ත්‍යාගය සඳහා අසාන්ජිව නම් කළේය. 2010 දී ටයිම් Time සඟරාව පාඨක ඡන්දයෙන් අසාන්ජිව "වර්ෂයේ මිනිසා" Person of the Year වශයෙන් නම් කළේය.
ඔහු ලබාගත් සම්මාන හා ත්‍යාගයන් වනුයේ, The Economist New Media Award 2008, Amnesty International UK 2009, Sam Adams Award 2010, Le Monde Person of the year Award 2010, Free Dacia Award 2011, Sudney Peace Foundation Gold Medal 2011, Voltaire Award for Free Speech 2011, Big Brother Award Hero of Privacy 2012, Global
Exchange Human Rights Award People's choice 2013, Yoko One Lennon Courage Award For the Art 2013, New York Festivala World Best TV & Films Silver World Meal 2013, Union of Journalists in Kazakhstan Top Prize 2014. යනාදියයි. ජුලියන් අසාන්ජි විසින් සකස් කරන ලද චිත්‍රපට වනුයේ Collateral Murder (2010), The World Tomorrow (2012), The Engineer (2013) ආදියයි.
ජුලියන් ආසන්ජිගේ ප්‍රකාශනයන් වනුයේ The War you Don'ta See (2010), The SimPsons (2012), At Long Last Leave Citizen Four (2014), The Yes Men are Revolting Ter minal Flchasing Edward Snowden (2015), Agylum (2016), Risk (2016) Architects of Denial (2017), The New Radical (2017)
විකිලීක්‌ස් වෙබ් අඩවියේ නිර්මාතෘ ජුලියන් අසාන්ජි පිළිබඳවද කාටූන් ශිල්පීන් බොහෝ කාටූන් නිර්මාණය කර තිබුණි.
ඩ්‍රැගන් (Dragan) ගේ කාටූනයේ දැක්‌වෙන්නේ බ්‍රිතාන්‍ය යුක්‌තිය (British Justice) නමැති උසාවිය ඉදිරිපිටට පැමිණ සිටින ජුලියන් අසාන්ජිය. ඔහු අත විකලීක්‌ස් ලිපි ගොනුද ඇත. ඔහුගේ නඩු විසඳන විනිශ්චයකාරවරු අත අඬුවක්, ඇණයක්, මිටියක්, බුරුමයක් ඇත. ඒ ඔහුව හිල්කර ඇණ ගසා පහරදී ශරීරයේ කොටස් ගලවා දැමීමටය. විනිසුරුවන්ට ඒවා ලබාදුන් අය ඔවුන් පිටුපස සැඟවී සිටී. ඒ සිටින්නේ පොලිසිය, ඔත්තු සේවයේ නිලධාරීන්, රහස් පරීක්‍ෂකයන්ය. කාටූනයෙන් පෙන්වා දෙන්නේ අසාන්ජි අත්අඩංගුවට පත්වූ පසු ඔහුගේ යුක්‌තිය ඉටුකිරීමට පිටුපසින් සිටින බලවේග ඉඩ නොදෙනු ඇති බවය.
බ්‍රසීලයේ කාටූන් ශිල්පියකු වූ ලකුෆ් (Latufe) ගේ කාටූනයේ දැක්‌වෙන්නේ ලන්ඩනයේ පිහිටි ඉක්‌වදෝර තානාපති කාර්යාලයේ සහයෝගය ඇතිව එහි රැඳී සිටින අසාන්ජිය. ඔහුව අල්ලා ගැනීමට පැමිණ සිටින ඇමෙරිකාව සංකේතවත් කරන කාටූන් චාරිතය වූ අංකල් සෑම් සහ ඔහුගේ සහායට රඳවාගෙන සිටින බ්‍රිතාන්‍යය සංකේතවත් කරන මුර බල්ලා අසාන්ජි ඉක්‌වදෝර් තානාපති කාර්යාලයෙන් එළියට එනතෙක් බලා සිටී.
ජෝර්දාන ජාතික කාටූන් ශිල්පී ඉමාඩ් හාජා- (Emad Hajjaj) ගේ කාටූනයේ දැක්‌වෙන්නේ ඇමරිකාවේ සංකේතයක් වූ ලිබර්ටි ප්‍රතිමාව සහ විකිලීක්‌ස් නිර්මාතෘ ජුලියන් අසාන්ජිය. අසාන්ජි ලිබර්ටි ප්‍රතිමාවේ ගවුම ඔසවා විදුලි පන්දම දල්වා එහි දෙකකුල් නරඹයි. ඒවා ඉතා ගොරහැඬි සතෙකුගේ දෙකකුල් වගේය. පිටින් පෙනෙන සුන්දරත්වයත් ඇමෙරිකාව ඇතුළාන්තයේ නොමැති බව මේ කාටූනයෙන් පෙන්වා දෙයි. ඒ අතර ප්‍රතිමාව "ලිංගික ප්‍රහාරයක්" (Sexual Assault) යෑයි කෑ ගසයි. එහෙත් අසාන්ජි එවැන්නක් නොකරන බවත් ඔහු ඇමෙරිකාවේ ඇතුළාන්තය ලොවට හෙළිකරන බවත් මේ කාටූනයේ අර්ථයයි.
ජියන්ඩර්ස් (Jeander's) තම කාටූනය නම්කර ඇත්තේ "කිසිම දෙයකට බය නැති ජුලියන් අසාන්ජි" (Daredevil Julian Assange) යනුවෙනි. කාටූනයේ පරිගණකයක් ඉදිරිපිට සිට ඒ මගින් විකිලීක්‌ස් වෙබ් අඩවියේ වාර්තා සටහන් ඉදිරිපත් කරන අසාන්ජිව පෙන්වා ඇත. අසාන්ජි බොහොම බැරෑරුම් විදියට කියනවා. "මම සත්‍ය ලියන්නෙමි" (I Write even the Truth) කියා. මේ කාටූනය අසාන්ජිගේ නිර්භීත භාවය පෙන්වා දෙයි.
"ගොරවාපු මීයා" (The Mouse That Roared) යනුවෙන් හඳුන්වන ලද හෝර්සි (Horsey) ගේ කාටූනයේ පෙන්වා දෙන්නේ පරිගණකයක භාවිත වන මවුස් එක "ඉහළම රහස්" (Top Secret) නමැති ලිපි ගොනුවක් ඩැහැගෙන යන ආකාරයයි. මෙහි මවුස් එක මීයෙකුගේ කකුල් අතපය ඇති විදියට නිර්මාණය කර ඇත. මවුස් එක එම ලිපි ගොනුව ඩැහැගෙන යන්නේ රාජ්‍ය දෙපාර්තමේන්තුවෙනි. State Dept. මෙය දුටු එහි නිලධාරියෙක් කෑ ගසමින් දුව එති. ඔහු කියනවා "ඩැම් උඹ විකිලීක්‌ස්" කියා. (Damn You Wikileaks) (Damn යන වචනය අප්‍රසාදය තරහ දැක්‌වීමට භාවිතකරන ඉංග්‍රීරසි වචනයකි. එය තුට්‌ටුවක් වටින්නේ නැති යන අර්ථයද දැක්‌විය හැකිය.) එසේ නම් ඇමෙරිකාවට ඔවුන්ගේ රහස් හෙළිකරන නිසා විකිලීක්‌ස් හඳුන්වන්නේ තුට්‌ටුවක්‌වත් වටින්නේ නැති දෙයක් කියාද? කාටූන් ශිල්පියා අසන්නේ එයයි.
ස්‌පාඤ්ඤ ජාතික ප්‍රිගී (Priggee) ගේ කාටූන් නිර්මාණයේ දැක්‌වෙන්නේ විකිලීක්‌ස් නිර්මාතෘ ජුලියන් අසාන්ජි ඇමෙරිකානු තොප්පියකට මුත්‍රා කරන දර්ශනයකි. කාටූන් ශිල්පියා පෙන්වා දෙන්නේ විකිලීක්‌ස් මගින් ඇමෙරිකාවේ අභිමානය බින්දුවට බස්‌වා එය වැසිකිළියකට සමානකර ඇති බවය.
ක්‍රිස්‌ටො කොමර්නිට්‌ස්‌කි (Christo Komarnitski) ගේ කාටූනයේ දැක්‌වෙන්නේ විකිලීක්‌ස් නමැති පරිගණකය තුළ සිරකර ඇති ජුලියන් අසාන්ජිය. සිර ඇඳුමක්‌ද ඇඳ සිටින ඔහුට විකිලීක්‌ස් අද සිරගෙයක් වී ඇත. පරිගණකය තුළ සිරවී සිටින අසාන්ජි සිර මැදිරියේ කූරු අතරින් අත දිගුකර පරිගණක යතුරු පුවරුව තමා ළඟට ගැනීමට උත්සාහ ගනී. ක්‍රිස්‌ටො මේ කාටූනයෙන් පෙන්වා දෙන්නේ සිරගත වුවද අසාන්ජිගේ ක්‍රියාකාරකම් නොනවතින බවය.
මොයිර් (Moir) ගේ කාටූනය නම්කර ඇත්තේ "යකඩ මුහුණු ආවරණය පැළැඳි මිනිසා" (The Man in the Iron Mask) යනුවෙනි. ප්‍රංශයේ 14 වැනි ලුවී රජුගේ පාලන සමයේදී ප්‍රංශ බන්ධනාගාරයේ රැඳවියකුට මෙසේ යකඩ මුහුණක් පළඳවා තිබුණි. ඔහු බන්ධනාගාරය තුළ මිය යන තෙක්‌ම එම යකඩ මුහුණ ගැළවූයේ නැත. මෙම කතාව ප්‍රංශ ජාතික ඇලෙස්‌සැන්ඩර් ඩූමා විසින් නව කතාවකට නඟන ලද අතර පසු කාලයේදී එයින් චිත්‍රපටයක්‌ද බිහිවිය. එම අතීත සිද්ධිය මතක් කර දෙමින් මොයිර් විසින් නිර්මාණය කරන ලද මේ කාටූනය අනුව අනාගතයේදී ජුලියන් අසාන්ජිටත් මෙසේ යකඩ මුහුණක් පැළැඳ සිර ගෙයක් තුළ තපින්නට සිදුවේද? මේ කාටූනයේ දැක්‌වෙන යකඩ මුහුණේ උදාසීනත්වය (Indifference) යනුවෙන්ද ලියා ඇත. එසේ නම් අසාන්ජිගේ අනාගතය සිරගෙයක් තුළ උදාසීනත්වයෙන් යුක්‌තවම ගෙවී යනු ඇති බව කාටූන් ශිල්පී මොයිර්ගේ මේ කාටූනයේ අදහසයි.
රුවන් තරස්‌වින්
Tharaswin@gmail.com
0 Comments