පෘතුවි තලය මත බිහි වන්නා වූ සෑම සත්වයකුටම ඇති ජීවත්වීමේ අයිතිය පිළිබඳ මුළුමහත් ලෝකයටම පහදා දුන් ප්‍රථම නායකයා දෙවනපෑතිස් රජුය. මිනිසාට මෙන්ම වන සතුන්ටද, එය එකසේ අත්විඳිනු උදෙසා එතුමා ලොව ප්‍රථම අභයභූමිය ලෙස මහමෙව්නා උයන ප්‍රකාශයට පත් කළේය. ඉන් නොනැවතී එතුමා අනුරාධපුරයේ සිට ගව් හතක දුරක පිහිටි සියලුම වැව් පොකුණුවල මසුන් මැරීමද තහනම් කළේය.
මෙලෙස අභයභූමි සංකල්පය එතරම් දුර ඈතකට දිවෙන අතර මේ අභයභූමි නිසා වඩාත්ම ආරක්‍ෂිත වූයේ අලි ඇතුන්ගේ ජීවිතයි. ඒ හරහා වල් අලින්ට අවශ්‍ය ආහාරපාන, නිදහස මේ අභයභූමිවලින් එදා නොඅඩුව සැපයුණි. එබැවින් වල් අලින්ට අභයභූමිවලින් බැහැරව යැමේ අවශ්‍යතාවක් නොවිණි. මේ යහපත්වූ වටපිටාව හරහා වල් අලින්ගේ බෝවීමද වර්ධනය විය.
මේ තත්ත්වය නිසා 1912 වසර වනවිට පනාමුරේ වනයේ පමණක් වල් අලි 2300 ක් පමණ සිටි බැව් පැවසේ. මේ සංඛ්‍යාවත් අද මුළු රටේම සිටින වල් අලි සංඛ්‍යාවත් සස¹ බලන විට දැන් මුළු දිවයිනේම සිටින වල් අලින්ගේ සංඛ්‍යාවට වඩා එය අඩු වන්නේ දහසකින් පමණය.
ශ්‍රී ලංකාවේ සුන්දරත්වය තව තවත් ඔප මට්‌ටම් කරවීමටත් දේශීයත්වයේ අනන්‍යතාව ලොවේ සලකුණු කිරීමටත් පමණක් නොව ජාතික ආදායමට විදේශ විනිමය එකතු කිරීමටත් දායක වී ඇති මේ අලි පරපුර සැබැවින්ම මේ රමණීය දිවයිනට "සම්පතක්" නොවන්නේද?
අප්‍රිකානු අලින්ගේ මෙන් වැහැරුණු රැළි වැටුණු ස්‌වභාවයක් මෙරට අලින්ගේ දක්‌නට නැත. ශ්‍රී ලංකාවේ වෙසෙන අලි හැඩහුරුවෙන් හා කඩවසම් බවින් අගතැන්පත්ය. එපමණක්‌ද නොව වටිනාකමෙන් මෙන්ම බරින්ද වැඩි දළ යුගල පිහිටන්නේද මෙරට ඇතුන්ගේ බව කියෑවේ. මෙරට සිටින සෑම අලි 100 කට ම දළ ඇතුන් 4-5 ක් සිටින බව වනජීවී නිලධාරීහු පවසති.
මේ අතර ලංකාවේ සිටින දළ ඇතුන්ගෙන් වටිනාම දළ ඇතුන් සිටින්නේ ගල්ගමුව වනජීවී ආරක්‍ෂක අඩවියේ බැව් පැවසේ. ගල්ගමුව, අඹන්පොල, නිකවැරටිය, කොටවෙහෙර, මහව, රස්‌නානායකපුර, ඇහැටුවැව, ගිරිබාව යන ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාස ආවරණය වන පරිදි ගල්ගමුව වන ජීවී කලාපය නිර්මාණය වී තිබේ. එසේම මේ කලාපයේ තනිවම හැසිරෙන දළ ඇතුන් දහඅට දෙනකු සිටින බවද පැවසේ. එසේම මෙකී කලාපයේ ගැවසෙන සෑම අලි රංචුවකම ඇත් පැටව් තිදෙනකුවත් සිටින බව කියෑවේ. ගල්ගමුව වනජීවී ආරක්‍ෂක කලාපයේ ජීවත්වන ඇතුන් අතර දළ පූට්‌ටුවෙක් ද වෙයි. දෙදළ එකට සම්බන්ධ වූ ඇතුන් අද මෙරට විරලය. ඊට අමතරව තනි දළ ඇතිs ඇත්තු දෙදෙනෙක් ද වෙති. එක් ඇතෙකුගේ වම් දළයත් අනෙක් ඇතාගේ දකුණු දළයත් වෙයි.
මෙරට අලි විශේෂ දෙකකි. "ඒ කොට අලි" හා "උස අලි" වශයෙනි. කොට අලි "කුරු අලි, රුහුණු ගැටව්, පුහුල් අලි" ලෙසින්ද "උස අලි" "විල් අලි" ලෙසින්ද හඳුන්වති.
එසේම අලි සමාජය පීතෘ මූලික සමාජයක් නොවේ. එය මාතෘ මූලික වූ සමාජයකි. අලි රංචුවක නායකත්වය හිමිවන්නේ දරුවන් ප්‍රසුත කළ ඇතින්නකටය. එකී අලි රංචුවේ දළ ඇතෙකු සිටියත් ඌට සුවිශේෂීත්වයක් දැක්‌වුවද නායකත්වය හිමි නොවේ. එලෙස රංචුවේ සිටින දළ ඇතාගේ ආරක්‍ෂාවට තරුණ අලි දෙතුන් දෙනෙක් පේවී සිටිති. දළ ඇතෙකුගේ වටිනාකම තක්‌සේරු කිරීමට මීටත් වඩා සාක්‍ෂියක් අවශ්‍ය ද?
එපමණක් ද නොව දාරක ප්‍රේමය දැක්‌වීම සාමුහික වගකීමක් කොට ගත් අලි සමාජයේ අලුත උපන් අලි බිළිඳෙකු වෙනුවෙන් රැහේ සෑම අලි මවකටම කිරි එරෙයි. ඒ කිරි බිළි¹ට බීමට ඉඩ හැරීමට තරම් සෙසු අලි අම්මලා කරුණාවන්තියෝ වෙති. එසේම අලි සමාජයේ පැටවකුගේ මව හදිසියේ මිය ගිය හොත් පැටවාට රැකවරණය ආරක්‍ෂාව මෙන්ම වෙනත් අවශ්‍යතා සැපයීම සෙසු අලි අම්මලාගේ වගකීමක් සේ සලකති. මෙය සතුන් අතර ඇති විරල සිද්ධියකි.
මිනිසුන් මෙන් නොව අලින්ගේ වර්ධන වේගය අඩුය. අලි මවකට පැටවකු ලැබෙන්නේ වසර හතරකට වරකි. අවශ්‍ය ආහාර ද්‍රව්‍ය හා අනෙකුත් අවශ්‍යතා සපයා ගැනීමට ඇති අවහිරතා නිසා අලි මව්වරුන්ට පැටවකු ප්‍රසූත කිරීමට වර්තමානයේ නම් අවුරුදු හත අටක කාලයක් බලා සිටීමට සිදුව තිබේ.
1990 වසර ආරම්භයේදී මෙරට විසූ වල් අලි සංඛ්‍යාව 10000 ක් පමණ වූ බවත් වර්තමානය වනවිට එය 3000- 3500 ත් අතර ප්‍රමාණයකට සීමා වී ඇති බවත් පැවසේ. එසේම වසරක් තුළ අකාලයේ මිය යන වල් අලින්ගේ සංඛ්‍යාවද දිනෙන් දින ඉහළ යමින් පවතී. මේ නිසා මෙරටට "සම්පතක් " වූ වල්අලි මේ රමණීය බිම් කඩින් වඳ වී යැමේ තර්ජනයකට අද ලක්‌ව තිබේ.
වල් අලින්ගේ හදිසි මරණ ගැන විමසිලිමත් වීමේදී එවා අති බහුතරය මානව ක්‍රියාකාරකම් නිසා සිදුවන අයුරක් දක්‌නට ලැබේ. විදුලිසර වැදීම, බඳින තුවක්‌කු, ස්‌වයංක්‍රීය ගිනි අවිවලට ගොඳුරු වීම, ඇණ ගැසූ ලෑලි උගුල්වලට හසුවීම, විෂ වර්ග ශරීර ගත වීම, බිම් බෝම්බවලට ගොදුරු වීම, වගා ළිංවලට වැටීම මෙන්ම මෑතක සිට දුම්රියට හසුවීම වැනි හේතු මත මියයන වල් අලි සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යන ප්‍රවණතාවක් ඇත.
පහත දැක්‌වෙන්නාවූ වගුව ඇසුරින් වසර 18 ක කාලයක් තුළ වල් අලි මිය ගිය ප්‍රමාණය හා ඒවා සිදුව ඇති ස්‌වභාවය අවබෝධ කර ගත හැක.
මියගිය හේතුව මේ අලි මිනිස් හබය මෙතරම් දරුණු වීමට බලපාන හේතු සාධක රැසකි. විසි වැනි සියවස ආරම්භ වන විට අපේ රටේ වනගහනය 70% ක් වූ අතර මේ වනවිට එකී ප්‍රමාණය 20% දක්‌වා අඩුවී ඇත. මීට හේතුව විවිධ සංවර්ධන ව්‍යාපෘති සඳහා වනාන්තර හෙළි පෙහෙළි කිරීමයි. මෙහි ආරම්භය 1930 දක්‌වා ඈතට දිවේ. ගොවි ජනපද ව්‍යාපාර ආරම්භ කිරීමත් සමඟම වනගහනය අඩු වන්නට විය. එහෙත් එය වන සතුන්ට ආහාර හා නිවාස අහුරා දැමීමට තරම් බලපෑමක් නොවීය.
හැත්තෑව දශකයේ අගභාගයේදී ආරම්භ කළ කඩිනම් මහවැලි ව්‍යාපාරය නිසා සැලසුමකින් තොරව වනාන්තර එළිපෙහෙළි කිරීම සිදුවිණි. සතා සිව්පාවන්ට සිය නිවස්‌න අහිමි විය. ආහාර හිඟ විය. ස්‌වාභාවික දිය කඩිති වියළී යැම නිසා පානයට ජලය හිඟ විය. අලිමංකඩ ඇහිරිණි. මේ නිසා විශේෂයෙන් වල් අලි ගම් වදින්නට විය. අද වන විට වල් අලි උවදුර වැඩිපුර පවතින්නේද මහවැලි කලාපවල හා වයඹ වනජීවී කලාපයේය. අද වන විට කුරුණෑගල දිස්‌ත්‍රික්‌කයේ වනගහනය කොළඹ දිස්‌ත්‍රික්‌කයේ පමණවත් නොමැත. කොළඹ දිස්‌ත්‍රික්‌කයේ මුල් බිම් ප්‍රමාණයෙන් 3.7% ක් වන ගහනය ඇති බවත් කුරුණෑගල දිස්‌ත්‍රික්‌කයේ එය 2.1% බවත් පැවසේ.
අපේ පැරැණි ගම්වල සැලසුම අනුව ජෛව හා පාරිසරික සබැඳියාව මනාසේ රැකිණ. එදා ගම ඉස්‌මත්තේ කැලෑ රොදක් තිබිණි. ඒ කැලෑව ගැමියන්ට හේන් වගාවටත්, අවශ්‍ය දර සපයා ගැනීමටත්, සතුන්ට ආහාර කැවීමටත් වෙන්ව තිබිණි.
නමුත් අද වනවිට මේ තත්ත්වය සම්පූර්ණයෙන් ම වෙනස් වී ඇත. ගල්ගමුව වනජීවී කලාපයේ පිහිටා ඇති උස්‌ගල සියඹලන්ගමුව, අතරගල්ල, අබකොළවැව, පාළු කඩවල ආදී වැව් හා ජලාශ ආශ්‍රිතව වන වැස්‌මක් දක්‌නට නොමැති තරම්ය. මේ වැව් ආශ්‍රිත වන වැස්‌ම ඉවක් බවක් නැතිව විනාශ කරනවා පමණක් නොව දේශපාලනඥයන්ගේ ආශිර්වාදය මත වැව් තාවුළු වගා බිම් බවට පත් කරන බැව් ජනතාව පවසති. රාජාංගනය ජලාශයේ තාවල්ල සෑම වසරකම යල් කන්නයට අනවසර වගා සඳහා යොදා ගැනීමත්. උස්‌ගල සියඹලන්ගමුව වැව් ඉස්‌මත්තේ සිදුවන අනවසර කුඹුරු වගා කිරීම් ආදියත් ඒ සඳහා සාක්‍ෂි ලෙස ජනතාව පෙන්වා දෙති.
මින් සිදුවූයේ වන සතුන්ට උග්‍ර ආහාර අර්බුදයකට මුහුණදීමට සිදුවීමයි. මෙහි අනිවාර්ය ප්‍රතිඵලය වූයේ වල්අලින්ට ගොවිබිම් ආක්‍රමණය කිරීමට සිදුවීමයි. එහිදී රසවත්, පෝෂ්‍යදායී හා පහසුවෙන් සපයා ගත හැකි ආහාර වර්ග ලැබිණි. අපේ රටේ වල් අලි මේ ආහාර වර්ගවලට දැන් හුරු වී සිටිති. ඒ මිනිසාගේ ආත්මාර්ථකාමී ක්‍රියාකලාපය නිසාමය.
වන පෙතකින් තවත් වන පෙතකට සංක්‍රමණය වන ජීවන රටාවක් ගෙන යන වල් අලින්ට අද මේ වනපෙත් මෙන්ම අලිමංකඩද අහිමිව ගොස් තිබේ. ආසියාවේ හොඳම ස්‌වභාවික විල් ඇත්තේ විල් පත්තුව වනෝද්‍යානයේය. මේ වනෝද්‍යානයට මෙරට වල් අලි මහත් රුචිකත්වයක් දක්‌වති. පොළොන්නරුවේ සෝමාවතී රක්‍ෂිතයේ සිට විල්පත්තුව වනයට වැටී තිබූ අලිමංකඩක් ඇත. එය හබරණ කැලය, කලා වැව, බළලු වැව, කහල්ල, මහ සියඹලන්ගමුව, රැස්‌වෙහෙර, සියඹලන්ගමුව ඔය, බුදුරුවකන්ද, ගිරිබාව, හෙට්‌ටිආරච්චිගම, පුත්තලම් පාරේ 12 -17 කණු අතර ප්‍රදේශයෙන් කලාඔය හරහා විල්පත්තුවට වැටී තිබිණි.
එහෙත් අද මේ ප්‍රදේශ බොහොමයක් ජනාවාස වී ඇත. ගල්ගමුව, ගිරිබාව, නවගත්තේගම, කරුවලගස්‌වැව, අඹන්පොල, ගල්නෑව වැනි ප්‍රදේශවල අලි මිනිස් ගැටුම උග්‍ර වීමට මේ අලිමංකඩ ඇහිරීම ප්‍රධාන ලෙස බලපා තිබේ.
මෙවැනි වාතාවරණයක් මත වෙනදාට වඩා අද වල් අලින් ප්‍රචණ්‌ඩකාරී වී ඇත. අහිමි වූ නිජබිම් හා ආහාර ලබා ගැනීම සඳහා මානවයා සමඟ අරගලයක යෙදීමට වල් අලියාට සිදුව තිබේ. මෙහි ප්‍රතිඵලය ප්‍රබලයා ජයගෙන දුබලයා පරාජය වීමයි.
මේ නිසා 2009 වසර තුළ වයඹ වනජීවී කලාපය තුළ පමණක් වල්අලින් 17 දෙනකු මියගොස් තිබේ. එසේම වල් අලි විසින් විනාශ කළ ජීවිත හා දේපළ ප්‍රමාණය ද අති විශාලය.
මේ අලි මිනිස් ගැටුම සමථයකට පත් කිරීමට කෙටි කාලීන මෙන්ම දිගුකාලීන වැඩපිළිවෙළක් අවශ්‍යය. ගම්මානවල ප්‍රචණ්‌ඩකාරීව හැසිරෙන වල්අලින් හඳුනාගෙන උන් අල්ලා සුදුසු ප්‍රදේශවලට මුදාහැරීම කෙටිකාලීන විසඳුමකි. එසේම වනපෙතකින් තවත් වන පෙතකට අලින් පලවා හැරීම නිෂ්ඵල කාර්යයකි. යළි ඔවුන් එකී වන පෙතටම පැමිණේ.
වල්අලින් ගම් වැදීම අවම කිරීම ඒ තර්ජිත ප්‍රදේශවල විදුලිය වැට ඉදිකිරීම දක්‌නට ලැබෙන අතර මෙයද එතරම් සාර්ථක ක්‍රමයක් නොවන බැව් පෙනේ. මේ විදුලිය වැටට විවිධ ජාවාරම්කරුවන් කරන හානියද, වනයකින් තවත් වනයකට හෝ ජලාශයකට වල් අලින්ට ගමන් කිරීමට හැකිවන පරිදි විදුලිය වැටෙන්ම නිර්මාණය කොට ඇති මංකඩවල් අහුරා වගා බිම් හා ගොඩනැගිලි ඉදිකිරීමද මේ වටිනා සම්පතේ විනාශයට හේතු වී තිබෙන බව බිම් මට්‌ටමේ සිටින වනජීවී නිලධාරීන්ගේ විශ්වාසයයි.
මීගලෑව විදුලිය වැට ඊට හොඳම සාක්‍ෂිය බැව් ඔවුහු පෙන්වා දෙති. ඇහැටුවැව ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ විකාදෙණිගම, බෝගස්‌වැව යන ගම්මාන ආසන්නයේ විදුලිය වැටෙන් ඉදිකොට ඇති අලිමංකඩ හරස් කොට අද වනවිට අක්‌කර 133 වගාබිමක් ආරම්භකොට තිබේ. එහි ස්‌ථිර ගොඩනැඟිලි ද ඉදිවෙමින් පවතී. වයඹ පළාතේ ප්‍රධාන දේශපාලනඥයකුගේ ආශිර්වාදය ඊට ලැබෙන බව ප්‍රදේශවාසීන්ගේ අදහසයි.
ගල්ගමුවේ සිට උල්පාතගම හරහා මාර්ගයේ සියඹලන්ගමුව ඔය ආසන්නයේ විදුලිය වැට මගින් ඉදිකොට ඇති අලි කොරිඩෝව හරස්‌වන පරිදි සිද්ධස්‌ථානයක් ඉදිවෙමින් පවතී. මෙම සිද්ධස්‌ථානය මේ ස්‌ථානයේ ඉදිකිරීමෙන් අලි කොරිඩෝවට සිදුවන්නේ දැඩි බාධාවකි. මෙම ඉදිකිරීම වළක්‌වන ලෙස මහවැලි නිලධාරීන්ට කොතෙක් දැනුම්දීම් කළත් එය වැළැක්‌වීමට මහවැලි නිලධාරීන් කටයුතු නොකරන බව ගල්ගමුව වනජීවී අඩවි ආරක්‍ෂක එම්. ඩී. එල්. ලයනල් මහතා පවසයි.
එසේම මේ ඉදිකරන්නා වූ විදුලිය වැට සාර්ථක වීමට නම් වැටට සමාන්තරව ගැඹුරු අගල් කැපිය යුතුය. නමුත් එවැන්නක් සිදුවී නොමැත. එසේම විදුලිය වැටට සමාන්තරව පතොක්, හණ, බෝගන්විලා වැනි ශාක සහිත ජීවි වැටක් ඉදි කළ යුතුයි. එමගින් විදුලිය වැටට අලින්ගෙන් වන හානිය වළක්‌වා ගත හැකිය.
අලි ඇතුන්ට අවශ්‍ය ආහාර හිඟ වීමද මේ අලි සම්පතේ ජීවිත අනාරක්‍ෂිත වීමට බලපාන තවත් හේතුවකි.
අද වනජීවී දෙපාර්තමේන්තුවට අයිති කැලෑවලත් වන සංරක්‍ෂණයට අයිති රක්‍ෂිත වලත් වගා කරන්නේ තේක්‌ක, ටර්පන්ටයින්, කායා, කළපු අන්දර වැනි ශාක වර්ගය. මේ කෘත්‍රිම වනාන්තරවල අලින්ට අවශ්‍ය ආහාර නැත. අනෙක් කරුණ වන්නේ ඒවායේ අධික උෂ්ණත්වය කිසිම සත්ව කොට්‌ඨාසයකට දරාගත නොහැකි වීමයි. ඒ කැලෑවල අලි ඇතුන් ළගින්නේ නැත. කහල්ල පල්ලෙකැලේ (ගල්ගමුව අඩවියට අයත්) රක්‍ෂිතයේත්, ගිරිබාව, සංගප්පාලක ප්‍රදේශයේ රක්‍ෂිත වලත් එය සම්බන්ධ වන තබ්බෝව රක්‍ෂිතය දක්‌වාත් ඇත්තේ මෙවැනි කෘත්‍රිම වන වැස්‌ම බැව් පැවසේ.
අලි මිනිස් ගැටුමට සෘජුවම බලපාන්නේ උක්‌ත වූ කරුණුය. තවත් බොහෝ කරුණු ඇතත් ඒවා මෙතරම්ම සෘජුව බලනොපායි.
වනාන්තරවල ආහාර සුලභ කිරීම, ජල පහසුකම් ඇති කිරීම මෙන්ම විශේෂයෙන්ම ජෛව පාරිසරික සබඳතාව රැක ගැනීම විශේෂයෙන්ම සිදු කළ යුතු පිළියම්ය. අභය භූමි හා වැව් තාවුලුවල මෑතක සිට බෝවී යන ආක්‍රමණකාරී ශාක වර්ග විනාශ කිරීමෙන් වල් අලින්ගේ ආහාර සුලභ කිරීම සිදු කළ හැකි අතර ඇහිරී ඇති අලිමංකඩ යළි පිළිසකර කිරීමද ඉක්‌මනින් සිදු කළ යුතුය.
මිනිසා අලින් වෙත දක්‌වන්නා වූ වෛරී ආකල්පය වෙනස් කිරීම සඳහා ද පියවර ගත යුතුය. ඒ සඳහා වල්අලින් විසින් විනාශ කරනු ලබන මිනිස් ජීවිත හා දේපළ වෙනුවෙන් ගෙවන වන්දි මුදල සතුටුදායක අන්දමින් වැඩි කිරීමට බලධාරීන් වහාම කටයුතු කළ යුතු වේ. එසේම අලි මිනිස් ගැටුම පවතින ප්‍රදේශවල වන ජීවී නිලධාරීන්ගේ කාර්ය සක්‍රීය කිරීමට අවශ්‍ය මානව හා භෞතික සම්පත් සැපයීම කළ යුතුය.
අලි මිනිස් ගැටුම හටගෙන ඇත්තේ අලින්ගේ හෝ මිනිසුන්ගේ හෝ වරදින් නොව නිසි සැලසුමකින් තොරව කළ සංවර්ධන කටයුතුය. ඒවා නිවැරැදි කිරීම අද කළ නොහැක්‌කකි. නමුත් ඒ සඳහා විකල්ප විසඳුම් ලබා දීම කළ හැක්‌කකි. එය අලින්ට හෝ මිනිසුන්ට නොව පාලකයන්ට පැවරෙන්නකි. එහෙත් අන්තිම අලියා හෝ ඇතා මැරෙනතුරු මේ සත්ව කොට්‌ඨාසය රැක ගැනීමේ වැඩපිළිවෙළක් වනජීවී දෙපාර්තමේන්තුව සතුව නොපවතින බව පොදු පිළිගැනීමයි.
විශේෂ ස්‌තුතිය - මීගලෑව මහවැලි ජාතික පාසලේ සිංහල ආචාර්ය ඩබ්. ඒ. එන්. ජයවීර මහතාට
දිලංක ප්‍රියදර්ශන - මීගලෑව