පුරාතන සිරිලක යශෝරාවය

ශ්‍රෝෂ්ඨ ඉන්දීය අධිරාජයාණන් කෙනෙකු වන අශෝක මහ රජුගේ පුත්, මිහිඳු මහ රහතන්වහන්සේ විසින් ක්‍රි. පූ. තුන් වැනි සියවසේදී බුදුසමය සහ සම්බුද්ධ ශාසනය, මෙරටට හඳුන්වා දෙනු ලැබීම, මෙරට දීර්ඝ ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම සිද්ධිය බවට කිසිම සැකයක්‌ නැත. බුදුසමය ලක්‌දිවට හඳුන්වා දීමෙන් පසු අඩ සියවසක්‌ ඇතුළත් නව දහම, දිවයිනේ අස්‌සක්‌ මුල්ලක්‌ නෑර ව්‍යාප්ත වෙමින්, එය මෙරට ජාතික ආගම මෙන්ම රාජ්‍ය ආගම බවට ද පත්විය. 

මෙලෙස බුදු දහම මෙරට තුළ ශීඝ්‍රයෙන් පැතිර යැම, විශේෂයෙන් සාමකාමී ක්‍රියා මාර්ග වලින් පැතිර යැම, සමස්‌ත ලෝක ආගමික ඉතිහාසයේ ම අහන්නට ලැබෙන ඉතා විරල සිදුවීමකි. මෙරට විසූ සෑම රජෙක්‌ ම වාගේ බුදුදහමේ අනුග්‍රාහකයෙක්‌ විය. දුටුගැමුණු සහ එතුමාගේ සොහොයුරු සද්ධාතිස්‌ස යන රජවරුන්ගේ රාජ්‍ය කාලය තුළ බුදුසසුනේ යශෝ කීර්තියේ උච්චතම අවස්‌ථාව උදාවිණැ යි ආචාර්ය ඊ. ඩබ්ලිව්. අදිකාරම්" ලක්‌දිව බුදුසමයේ පැරණි ඉතිහාසය" නමැති සිය ග්‍රන්ථයේ සඳහන් කරයි. (එහි 72 වන පිටුව) සම්බුද්ධ ශාසනය ස්‌ථිරසාර ලෙස ලක්‌දෙරණ මත පිහිටුවාලීමේ විශිෂ්ටතම සිද්ධිය, ලෝකයේ පැරණිතම ඓතිහාසික වාක්‍ෂය වන අනුරාධපුරයේ ජය ශ්‍රී මහ බෝධීන් වහන්සේ සංකේතවත් කරවයි. තමන්ගේ ජාතිය සම්බන්ධ වූ දීර්ඝ ඉතිහාසයේ, අන්‍ය කිසිම සිද්ධියක්‌ මෙම පුරාණ වෘක්‍ෂය රෝපණය කිරීමේ සිද්ධිය තරම් සිංහලයන්ගේ සිත්හි තදින් ඇඳී ගියේ ද යනු සැක සහිතයි. කිසිදු ආවරණයක්‌ නැති ගල්තලා මතුයෙන් පෝෂණය ලබා, ඉතාම ඝන ආවරණයක්‌ වුවද විනිවිද යන මොලොක්‌ මුල් සේම, එයින් සිහි ගැන්වෙන ධර්මයේ බලවේගය ද, ජනතාවගේ චිත්ත සන්තානයේ පතුලටම විනිවිද යාම නිසා ඒ බෝධි වෘක්‍ෂය පවා මනුෂ්‍යයෙකු මෙන් ජීවමාන ස්‌වරූපයක්‌ දරයි. (ලංකා පාලි සාහිත්‍ය" මහාචාර්ය ජී. සී. මලලසේකර 10 වන පිටුව. මෙහි සඳහන්ව ඇත්තේ, මලලසේකර මහ ඇඳුරුතුමන් විසින් පෝල් ඊ. පීරිස්‌ ශූරීන්ගේ කෘතියකින් උපුටා ගන්නා ලද්දකි.)

රාජ්‍ය ආගම හා බැඳී ඇති ධර්මද්වීප සංකල්පය, ලක්‌දිව ප්‍රබලතම ඓතිහාසික බලවේගයකි. මෙම සංකල්පයට අනුව මෙම දිවයිනේ රජු අත්‍යවශයෙන්ම බෞද්ධයකු වීම අවශ්‍ය විය. මහා සංඝයාගේ මහ පෙන්වීම අනුවත්, පෙර සිරිත අනුවත්, රජු කටයුතු කළ යුතු විය. එමෙන්ම බෞද්ධ ජුජනීය ස්‌ථානවලට ද අනුග්‍රහය කළ යුතු විය. රජුගේ පරම යුතුකම වුයේ බුදුදහම සුරක්‍ෂිත කිරීමය. ශ්‍රී ලංකාව අග්නිදිග ආසියාකරයේ පිරිසිදු ථේරවාද බුදුදහමේ කේන්ද්‍රස්‌ථානය ලෙස පිළිගනු ලැබීමේ විශිෂ්ට ගෞරවයෙන් දිවයින පිදුම් ලද්දේය. එතෙක්‌. මුඛ පරම්පරාගතව පැවත ආ පාලි ත්‍රිපිටකය, ක්‍රි. පූ. 1 වන සියවසේදී මාතලේ අළු විහාරයේදී පුස්‌කොළ මත ග්‍රන්ථාරූඪ කරනු ලැබිණි. මෙම තීරණය බුදුදහම සුරක්‍ෂිත කිරීමෙහිලා ගනු ලැබු බුද්ධිමත් පියවරක්‌ විය. දිවයිනේ වංශ කථාව ගෙනහැර පාන පාලි වංශ කථා අප්‍රමාණ සංඛ්‍යාවක්‌ හිමිකර ගැනීමට තරම් අපි භාග්‍යවන්ත වීමු. මහා වංශය නම් වූ ශ්‍රේෂ්ඨ පාලි වංශ කතාව ඓතිහාසික මූලාශ්‍රයක්‌ වශයෙන් අද්විතීයය. ඊට හේතුව, වසර 2500 ක දිවයිනේ ඉතිහාසය අඛණ්‌ඩවත්, ප්‍රධාන සිදුවීම් පිළිබඳව සවිස්‌තරවත්, එමගින් පුරාකථනය වීමය. එහි ඇතුළත් කරුණු අභිලේඛනමය හා පුරා විද්‍යාත්මක ආදී වෙනත් බොහෝ මූලාශ්‍ර මගින් තහවුරු වීම නිසා මහාවංශය, විශ්වාසනීය වෙයි.

ජාති, ගෝත්‍ර, කුලය හා සමය ආදී විවිධ කණ්‌ඩායම්වලට බෙදී ගොස්‌ සිටි ජනතාවක්‌, දැහැමි බවේ සහ බලයේ සංකේතය වන බෞද්ධ ධර්ම චක්‍රය යටතේ, එක්‌සත් වීම නිසා සමාජයීය එක්‌සත්කම ද එහි ප්‍රතිඵලයක්‌ වශයෙන් අනතුරුව දේශපාලන එක්‌සත්කමද ඇති විය. මේ අනුව, ක්‍රි. ව. පළවන සියවසේ දී වසභ, මුළු දිවයිනටම අගරජ විය. ස්‌වකීය රටවැසියන් ධර්මානුගත කිරීමට කටයුතු කිරීම, රජුගේ වගකීමක්‌ ලෙස සැලකින. ගම්බද පන්සල් හා පුළුල් ඉඩකඩ සහිත විහාරාරාම ඉදි කෙරිණි. සුවිශාල විහාර සංකීර්ණ නගරාසන්නයේ පිහිටුවන ලදී. අනුරාධපුරයේ මහා විහාරය, එබන්දකි. මහා විහාරය, අග්‍රගණ්‍ය අධ්‍යාපනික කේන්ද්‍රස්‌ථානයක්‌ ද විය. සමහර විට, එය පැරණි ලෝකයේ ප්‍රථම විශ්වවිද්‍යාලය ද විය හැකිය. අති විශාල දාගැබ් - (ස්‌ථුප) ගොඩ නගන ලදී. ස්‌ථූපය පිළිබඳ මූලික දැනුම භාරතයෙන් ලබාගන්නක්‌ වූවද හෙල කලා ශිල්පියා එය තවදුරටත් දියුණු කර ගත්තේය. පැරණි ලක්‌දිව, විශිෂ්ට නිර්මාණයකි, ස්‌ථුපය, දුටුගැමුණු මහරජුගේ රුවන්වැලි ස්‌ථුපය (ස්‌වර්ණමාලි චෛත්‍යය) (ක්‍රි. පූ. 2 වන සියවස) පැරණි බෞද්ධ ලෝකයේ, ගඩොලින් ඉදිවූ පැරණිතම වූද උසම වූද බෞද්ධ ස්‌මාරකය වන්නේය. රජ තනතුර දෙවියන් විසින් තමන් වෙත පවරා දෙන ලද අයිතියක්‌ ලෙස නොසැලකූ අපේ රජවරු, එබඳු අයිතියකට හිමිකම් නොපෑහ. රජවරු එබඳු අයිතියකට හිමිකම් පෑවා නම් ඒ ඉතාම ස්‌වල්පදෙනෙකි. රජ, රටේ නීතිය හා සාමය ආරක්‍ෂා කළේය. විදේශ ආක්‍රමණවලට එරෙහිව නැගී සිට ඒවා මැඩ පැවැත්විය. පිරිපුන් කාය ශක්‌තියෙන් යුක්‌තවූද නිර්භය වූද, නිදහස අගය කළා වූද, යුද ශිල්පියෙහි පුහුණුව ලද්දා වූ ද රණකාමී ජනතාව රජු සමග සිටියහ. දිවයිනේ දීර්ඝ ඉතිහාසයේ එක්‌ වතාවකදී පමණි. (1015 ක්‍රි. ව) අපේ ජාතික නිදහස අපට අහිමි වූයේ (සොළීන් රජරට අත්පත් කරගත් නමුදු - එම බලය ක්‍රි. ව 1072 දී ඔහුනට අහිමි විය) පාලනය ක්‍රමය ලෙස, රාජාණ්‌ඩු ක්‍රමයට රට වැසියන්ගේ පිළිගැනීම ලැබී තිබිණි. සිංහල රාජාණ්‌ඩුව ක්‍රි. පූ. සිව්වැනි සියවසේ සිට ක්‍රි. ව. 1815 දක්‌වාම පැවතිණි. ලක්‌දිවට පැමිණ මෙහි ජනපද පිහිටුවාගත් ඉන්දු - ආර්යයන්ට වී ගොවිතැන හා ජල සම්පාදනය පිළිබඳ දැනුමක්‌ තිබිණි. මෙම මූලික ප්‍රාථමික දැනුම, පසු කලෙක වැඩි දියුණු කර ගැනීමෙන් පුරාතන සිංහල රාජධානිය තුළ එය විශිෂ්ට ඉංජිනේරු ශිල්ප කෞශල්‍යය බවට පත්විය. කෘත්‍රිම ඇළමාර්ග හා වැව් එකිනෙකට සම්බන්ධ කර ගැනීමෙන් අනුක්‍රමයෙන් ගොඩනැඟුණු ජල සම්පාදන ක්‍රමය, නොයෙක්‌ දිශාවලට ගලාගිය ගංගාවල ජලය සම්මිශ්‍රණය කරවූ අති විශාල සංකීර්ණ වාරිමාර්ග ක්‍රමයක්‌ බවට පත්විය. විශාලත්වය අතින්ද සංකීර්ණත්වය අතින්ද මීට සමාන වූ වාරිමාර්ග ක්‍රමයක්‌ සමකාලීන භාරතයෙහි නොවීය." (Concise History of Ceylon 97 - 98 පිටු) වැවත් ගමත් පන්සලත් සම්බන්ධ වූ සංවර්ධන රීතිය පිළිබඳ සංකල්පය මගින්, සෑම අයෙකුටම කුමාර සැප සම්පත් නොලැබුණා විය හැකිය. එහෙත්, කිසිවෙකු කුසගින්නේ ඔහුගේ හෝ ඇයගේ නිaදි පැදුරට, රාත්‍රී කාලයේදී යෑවීමට ඉඩ නොතැබීම ඒ මගින් සහතික කරන ලද්දේය. (06.08.2004 දින ඩේලිනිවුස්‌ ඉංග්‍රීසි පුවත්පතේ කතුවැකිය) මෙලෙස, එකල ඒ තරමට හෝ සංවර්ධනය හා අත්වැල් බැඳගත් සමතාවය පැවතිණි. ක්‍රි.ව 18 වැනි සියවසේ පැවති ගම් සභාව, ගැමි ජනතාව අතර ආරවුල් සමථයකට පත් කළේය. බුදු දහමේ ඉගැන්වීම්වල පරමසාරය උකහාගත් සාමාන්‍ය මිනිසා, ගුණ දහම් අතින්ද මුහුකුරා ගිය ප්‍රඥාවෙන්ද සම්පූර්ණ වූවෝ දාර්ශණිකයෙකුට යම් තරමින් හෝ සමාන වූහ. ඔව්හු ආත්ම ශික්‍ෂණයෙන්ද විනීත භාවයෙන්ද යුක්‌ත වූහ. භක්‌තිමත් බෞද්ධයන් වුවද ජනතාව සර්ව අශුභවාදීහු නොවූහ. පිරිහී ගිය උෙද්‍යාaගයෙන් දුර්වල වූ අලසයෝද නොවූහ. එමෙන්ම තවුස්‌ ජීවන දැක්‌මද ඔවුනට නොතිබිණ. ඔව්හු සෞන්දර්ය අගය කළහ. ඔවුන්ගේ සෞන්දර්යකාමීත්වය, ශිෂ්ටත්වයෙන් ඔප් නංවන ලද්දක්‌ විය. පැරණි ලක්‌දිව සිංහල කලාව, භාරත කලාවේ අනු පිටපතක්‌ නොවීය. අපේ කලාව, සංකේතාත්මක වූද ආධ්‍යාත්මික වූද කලාවක්‌ මෙන්ම යථාර්ථවාදී ද විය. "බෞද්ධ ජාතක කථා වූ කලී ලෝකයේ පැරණිතම වූද නිරූපනවාදී වූද යථාර්ථවාදී වූද කතාන්දර යෑ" යි කොග්ගල මහා ප්‍රාඥයා වන මාර්ටින් වික්‍රමසිංහ පවසයි. (Literary and Humanist Aspects of Jatake Stories යන හිසින් 19.6.1965 දින ඩේලිනිවුස්‌ ඉංග්‍රීසී පුවත්පතේ පළ වු ලිපිය) බෞද්ධ විශ්ව කෝෂයේ සහකාර කර්තෘ පදවිය දැරූ ඒ. ඩී. ටී. ඊ. පෙරේරා ශූරීන් Revolutionary Buddhist ART of the Sinhalese යන මැයෙන් 20 මැයි 1970 දින Ceylon Observer  පුවත්පතට ලිපියක්‌ සපයමින් මෙසේ පවසයි.

"එදා අපගේ කලාව තේමාව අතින් මෙන්ම සංකල්පය අතින්ද, ප්‍රමුඛ වශයෙන් ආගමික වූවකි. තවද, එය සාමාන්‍ය වශයෙන් බලන විට භාරතයේ බෞද්ධ කලාවටද වෙනස්‌ වෙයි. සිංහල කලාව, අග්නිදිග ආසියාකරයේ රටවලටද බලපා ඇත. තවද ස්‌ථූපය සම්බන්ධයෙන් සිය අදහස්‌ දක්‌වමින් ඔහු පවසන්නේ, බෞද්ධ කලා ශිල්ප සංකල්පවල මස්‌තකය වුයේ ස්‌ථුප බවයි. අනෙක්‌ ආංශික ප්‍රවණතා ගලාගියේ එතුළිනි. එකල සිංහල බෞද්ධ කලාව, මධ්‍යකාලීන යුගයේ බටහිර කලාවටද වෙනස්‌ වන බව ඇතැම් වියතුන්ගේ මතයයි. ඒ අනුව බටහිර කලාවේ කැපී පෙනෙන ලක්‍ෂණය වූයේ ස්‌වාභාවික දේ ඒ අයුරින්ම දැක්‌වීමය. Naturalism එහෙත් සමකාලීන සිංහල කලාව ආමන්ත්‍රණය කළේ මිනිස්‌ හදවතටය. ආධ්‍යාත්මයට හා ප්‍රඥාවටය. එබැවින් එය බුද්ධි ගෝචර විය. තවද, අපගේ කලාවේ ඉතා සිත්ගන්නා සුළු ලක්‍ෂණය වී ඇත්තේ, සරල බවයි. ( Simble ocity) එය ගූස්‌වාදයෙන් කිලිටි නොවිණ. ආචාර්ය ආනන්ද කුමාරස්‌වාමි ශූරීන් "මධ්‍යකාලීන සිංහල කලාව" නමැති සිය විශිෂ්ට ග්‍රන්ථයේ ප්‍රස්‌ථාවනාවේ එකල සිංහල කලාව මෙසේ හඳුන්වයි.

"එය ආගමික කලාවකි. එහෙයින්ම, ජනප්‍රිය කලාවක්‌ද විය. තවද, එය මූලික වශයෙන් ජාතික කලාවක්‌ විය. එය ආගම හා ප්‍රජාව සමග ඒකීයත්වයට පැමිණි රජුන් සිටි ජනතාවකගේ කලාවකි." සිංහල සංගීතයේ යුග පුරුෂයා වන ආචාර්ය පණ්‌ඩිත් අමරදේවයන් අදහස්‌ කරන්නේ, ශ්‍රේෂ්ඨ කලාකරුවා ළංවන්නේ මුනිවරයෙකුට බවයි. හේ සසර දුකට අඳුනකි. පද්මාවරෝහණ සෙය්‍යාව හා අනුගතව සිය දිවි පෙවෙත ගෙවයි. පුරාවිද්‍යා චක්‍රවර්තී, මහාචාර්ය සෙනරත් පරණවිතාන "ලංකා ඉතිහාසය" විශ්වවිද්‍යාලයීය සංස්‌කරණයේ ප්‍රස්‌ථාවනාවෙහි, අප මෙතෙක්‌ සාකච්ඡා කළ කාල පරිච්ඡේදයට අයත් සංස්‌කෘතියේ හරය වෙත අපගේ අවධානය මෙසේ යොමු කරවයි.

"අවුරුදු දෙදහසක්‌ පමණ වූ මේ දීර්ඝ කාලයේදී, ලංකාව විවිධ විපර්යාසවලට භාජන වූ නමුත්, රටේ දෛවය ප්‍රධාන වශයෙන් රටවැසියන් විසින්ම හැඩ ගසා ගන්නා ලදී. දිවයින පිහිටි ආකාරය හේතු කොට ගෙන නොයෙක්‌ දිශාවලින් පැමිණි දේශපාලන, අර්ථ, සංස්‌කෘති ආදී ආභාෂවලට එය ගොදුරු වූ නමුත් ඒ ආභාෂයන් තමන්ගේ පරිසරයට ගැළපෙන පරිද්දෙන් වෙනස්‌ කර හැඩගසා ගැනීමේ ශක්‌තිය...... ඔවුන් සතුව තිබුණේය. ඔවුන් ඇති කළ දේශාපාලන ක්‍රමය හා සමාජ ක්‍රමය ශත වර්ෂ බොහෝ ගණනක්‌ මුළුල්ලේම නොනැසී පැවතුණේය. තවද, ඔව්හු අග්නිදිග ආසියාවේ බොහෝ රටවල මිනිසුන්ගේ ජීවිතය කෙරෙහි, වෙසෙසින්ම, ඔවුන්ගේ සංස්‌කෘතිය හා ආගම කෙරෙහි සැලකිය යුතු බලපෑමක්‌ද කළහ. ඉන්දියානු සභ්‍යත්වයට අයත් රටවල වැසියන් මේ සීහලද්වීපය කෙරෙහි දැක්‌වූයේ මෙහි සම්පත් ප්‍රමාණය හා භූමි ප්‍රමාණයද අනුව බලන විට ඉතා වැඩි යයි කිව යුතු ගෞරවාදරයකි. ආසන්නව පිහිටි අස මහාද්වීපයේ, කලින් කල ඇති වූ ආගමික වාද භේද ලංකාවාසීන් කෙරෙහිද බලපෑවේ නැතැයි නොකිය හැකි නමුත්, මේ දීර්ඝ කාල පරිච්ෙ-දය මුළුල්ලේම ඔවුන් තුළ පැවති හැඟêම වූයේ, ලංකා ඉතිහාසයේ මුල් අවධියේම ඉන්දියාවෙන් ලැබුණ ඒ ථෙරවාද බුද්ධාගම ආරක්‍ෂා කරගැනීම තමන් සතු ඉතාම වැදගත් යුතුකම බවයි. මෙපරිද්දෙන් මාහට වර්ගයාගේ සංස්‌කෘතික දායාදයට අමුතුම කොටසක්‌ එකතු කර තබන්නට ඔවුන්ට පුලුවන් විය."

ඉන්දියන් සාගරයේ කුඩා දිය බුබුලක්‌ බඳු වුවද" පෙරදිග මුතු ඇටය" ලෙස ගෞරවාදරයට පාත්‍ර වූ, එමෙන්ම ශ්‍රේෂ්ඨ ලේඛක ඇන්ටන් චෙකොෆ් විසින් "මිහිබට පාරාදීසය" (සුරපුර) ලෙස දක්‌නා ලද්දා වූ, මෙම දිවයිනේ සභ්‍යත්වය හා සංස්‌කෘතිය වූ කලී, විශිෂ්ටාර්ථ, විශේෂයෙන් බුදු සමයේ ඉගැන්වෙන පරම සන්තෘෂ්ටිය - එනම් නිර්වාණ සම්පත පිළිබඳ විශිෂ්ටාර්ථය, මගින් ඉතා දැඩි ලෙස ප්‍රබෝධමත් වූ ජනතාවගේ චමත්කාර ජනක කථා පුවත වන්නේය. ශ්‍රී ලංකාව බුදුසමයට ඉමහත් ලෙස ණය ගැතිය. ශේ්‍රෂ්ඨ ලංකා පුත්‍රයෙකු වු ශ්‍රීමත් රාමනාදන් අරුනාචලම්. කළ දේශනයක්‌" ලංකා ඉතිහාසයේ කටු සටහන්" නමින් මුද්‍රණයෙන් පළවී ඇත. එතුමා, දිවයිනේ අතීතය පිළිබඳව අප මෙසේ සිහිගන්වයි. "අතීතය කෙරෙහි නොදැනුවත්ව සිටීමත්, එම අතීතය උදාසීන ලෙස සැලකීමත් විශාල පාඩුවකි." තවද, එතුමා සත්‍ය කියමනක්‌ද උපුටා දක්‌වයි. "අතීතයක්‌ නැති ජනතාවක්‌, ස්‌ථායිතාවය රැක ගන්නා උපකරණය (ballast) නොමැති නෞකාවක්‌ බඳුය. සරල වචනවවලින් කිවහොත්, හබලක්‌ නැති ඔරුවක්‌ හෝ රුවල් සිඳී ගිය නෞකාවක්‌ බඳුය.

එච්. පී. සෝමරත්න